Monday, August 29, 2022

238. කවි අතර දිගු සුසුම්

 

පතාගෙන පැමිණෙන්න 
බැරි වුණෙන් මගේ පෙම 
බොහෝ දුර ඉඳන් මට 
ඉවසන්න කියා දෙයි 

වෙළාගෙන තනිකමම 
ගෙවී යන ජීවිතේ 
සොයා ගිය ආදරය 
සුන්බුන්ව දිරා යයි 

මුවාකර තෙත සෙමින් 
මදස්මිතිය සමග
හැමෝටම වගේ නෙත් 
එක්වන්ව සිනා සෙයි 

මළානික හිත ගාව 
නමුත් ඉඳහිට රෑක 
කවි අතර දිගු සුසුම් 
සන්සුන්ව ගලා යයි

(පින්තූරය අන්තර්ජාලයෙනි.)

Sunday, August 14, 2022

237. පුදුමයක් මිස




















පා කරන මල් රේණු සුලඟක 
මල් පිපෙන ගස් වුනත් දවසක 
වැළපෙනව වෙන්න ඇති ඉඳහිට 
ලඟින් ඉඳ ගිය සුවඳ සිහි කර 

දුරින් දුරටම ගිහින් දිගටම 
අතු විදා ගෙන විසල් අහසට 
පල දරන විට කොහොම යන්නද 
ආව මග දිගේ යලි ගම්රට 

පාර මතකයෙ ඇතත් සදහට 
ගොළුව ඉමි ඒ මතක සිහිකර
සෝපහාසෙන් සිනා සෙන්නට 
කැමති කෙනෙකුට ඔහේ ඉඩහැර 

නොහෙල්ලී කොහොමහරි සුළඟට 
මේ ඉන්නෙකත් පුදුමයක් මිස 
අහස් ගව් සිඹින්නට කිසිදින 
නොපැමිණි යෙමිය නුහුරු සබයට

කකියනා හිතට තරවටු කොට 
ඉවසගමි සියලු දුක් නිහඬව 
බාන්වැල් ගැට ටිකක් මුහුකර 
තවන්නට හිත කෙනෙක් නැතිසඳ...

(පින්තූරය අන්තර්ජාලයෙනි.)


Friday, August 12, 2022

236. දැන් සමුගමි





















ඇහැළ අහස යට ඉඳගෙන 
ඇහැළ පිපුණු මල් පාරේ 
පිරෙන නෙතයි ලිහෙන හිතයි 
යලි කියවමි 
ඇයි නොදනිමි ... 

මල් පෙති මේ දිලිසි දිලිසි 
කහ පාටින් පැළඳ ඉන්නෙ 
අපි විසිරෙව් ආදරේද 
කියා සිතමි 
ඉන් සැනසෙමි ... 

පෙති ගිලිහි මිහිකත වන් 
මලක සුසුම් සුවඳ දැනේ 
සොබා දහම එය නොවේද 
සිතට ගනිමි 
ඉන් නවතිමි... 

එකම මගට හැරෙනු බැරිව 
අප නැවතුනු මෙ මංසලේ 
දළු නොදමන මතක ගසේ 
සෙවණ හරිමි 
දැන් සමුගමි...

(පින්තූරය අන්තර්ජාලයෙනි.)


Thursday, August 11, 2022

235. ඉනික්බිති












උයන් තෙර කෙළවරක නතරවෙමු 
සුසුම් මුසු සුළං රැල්ලක එතෙමු 
ඉනික්බිති සුපෙම්වත් 
දෑස් දෙස නොබලාම  
තනියෙන්ම ආයෙ යන්නට හැරෙමු  

බිම වැටුණු අරලියා ඇහිඳගමු 
දුකක් මුසු සිනා පෙති මත දකිමු 
ඉනික්බිති හැගුම්බර  
සුවඳ ඒ හා රැගෙන 
සුවඳවත් සිතින් යන ගමන යමු 

ඉඳ හිටෙක මතක පොත දිග අරිමු  
සැනසුමේ සිත සතපවා ගනිමු 
ඉනික්බිති සම සිතින්  
ලද නොලද දේ සමග 
අපි අපිට හිමි ලෝක වෙත ඇදෙමු 

ඒත් .... 

ආදරය තුරුළු කර ගෙන ඉදිමු 
සංසාරෙ තව තැනක මුණගැහෙමු 
ඉනික්බිති බිඳක් හෝ 
වෙන් නොවන බව අදම 
මේ දැන්ම අපි අපිට ගිවිස ගමු...



Wednesday, August 10, 2022

234. අපරිමිත

















වෙරල ගල්පර හමු නොවී නම්
පෙරළිලා රළ එන මගේ 
සද්දයක් නොනැගෙන්න තිබුනා 
අපරිමිත වූ සිඳු හදේ 

ඇද පළුදු නොසොයාම ඇවිදින් 
නොදිලුනා නම් තරු රැයේ 
ලස්සනක් නොපෙනෙන්න තිබුනා 
අපරිමිත වූ අම්බරේ 

සුළං රැල්ලට මුහුව යන 
ජීවිතේ අවසන් තත්පරේ 
තෙක්ම නොනැසී ඇසෙනවා ඇති 
ලියු ගී හදවත් පොතේ 

හමුවෙලා යලි හිමි වුනානම් 
සැබෑ වී පැතුමක් හිතේ 
මේ තරම් නොදැනෙන්න තිබුණා 
අපරිමිත වූ ආදරේ...

Tuesday, August 9, 2022

233. අන්තිමේදි


















    රැය දිගු වී අනන්තයට 
    පෙම ඇවිදින් සිත නතුකළ 
    ජීවිතයේ මල් වැස්සට 
    හීන් සීරුවේ තෙමුණා... 

    මලක් වෙලා ඒ සෙවණේ 
    රැඳෙන්න ඇත්නම් සදහට 
    මේ ලොව කොතරම් සොඳුරුද 
    කියා දහස් වර සිතුණා... 

    හීන දරාගෙන දෝතින් 
    හෙට දිනයට ඇඟිලි ගැන්න 
    දිවියේ සතුටින් ම ඉඳපු 
    අතීතයක් මට තිබුණා... 

    ගිලීගි ගිය සතුට රැගෙන 
    ආයෙම ඔබ පැමිණේ යැයි 
    බලා ඉද්දි දින සති වී 
    වසර ගණන් කල් ගෙවුණා...

    සාධාරණ නැතත් ලෝකෙ 
    මෙහෙමත් සොඳුරු යැයි සිතෙන 
    රිදි රිදි මල් පිපුණු හිතක් 
    අන්තිමේදි මට ලැබුණා...


Sunday, August 7, 2022

232. රිදවීම



  









 පොළොව ගැන කවියක් ලියා 
 අහස රිදවන්නට සිතා 
 ගතිපු වෑයම අතැර දැමුවෙමි 
 එයින් ම සිතම රිදි නිසා 

 ඉඩෝරයෙ රළු කම් ඉතා 
 දැනුනෙ ළඟ හිටි නැති නිසා 
 නිදහසට කාරණා නොකියමි 
 අකීකරු වුනෙ මම නිසා 

 සඳක් අහසෙහි මැව් ලතා 
 පුරුද්දට විඳවමි සදා 
 අමාවකටත් මට එපා තරු 
 අඳුරු මට දැන් හුරු නිසා...



Friday, August 5, 2022

231. සිතක් සෙමින් මුමුණනවා

 











 
 අඳුරු අහස යට තුනියට 
 වැස්ස වැටෙන විට හවසක 
 මතක පොතේ පිටු තවමත් 
 එකින් එකට පෙරළෙනවා 

 වැස්ස තුරල් වී යද්දිත් 
 යන්න නොදී ආදරේට 
 තියා ගත්ත වැහි බිඳුවක 
 සීත හිතට හමු වෙනවා 

"තෙමි තෙමි ඔය මොකද වැස්සෙ 
 පිස්සුද ඇත්තට කෝලම "
 කන මිරිකපු තදට තාම 
 මේ කන් දෙක රතු වෙනවා 

 සීනි නැතුව හදාගත්ත 
 තිත්ත කෝපි සුවඳ මතට 
 හිත යට කොයිබින්ද ආව 
 සුසුම් වැලක් ගිලිහෙනවා 

 ප්‍රාර්ථනා විතරක් මදි 
 ගොඩයන්නට ජීවිතයම 
 හිතේ හයිය ළඟ නැතිනම් 
 කාට වුනත් වරදිනවා 

වැස්ස මිසක් වැහි බිඳුවක් 
එවිට කාටවත් කුමටද 
ඕන උනත් කල් යනකොට 
ඉබේම අමතක වෙනවා 

අඳුරු වලා පිරි අහසේ 
පහන් තරුව පායනකන් 
ආයෙ හැරෙන්නට ලෝබයි 
නොයා ටිකක් නවතිනවා 

පිස්සුව බෝ කල ඇස්දෙක 
පියමං කර ඇතත් ඈත  
වරදක් නම් වෙන්න එපා 
සිතක් සෙමින් මුමුණනවා...

(පින්තූරය අන්තර්ජාලයෙනි)

Thursday, August 4, 2022

230. හඳ















    කියවපු පොත් වල 
    හිත ගිය තැන් වල 
    කොහෙහරි අපි දෙන්නම හිටියා 

    රිවයින් කර කර 
    අහපු සිංදුවල 
    අපෙ කඳුළැලි හසරැළි රැඳුනා 

    මැදියම් රෑ මම 
    තාම ඇහැරගෙන 
    හඳ නොකියම බැස ගොස් තිබුණා 

    කළුවර දැක දැක 
    ලිව් හැම කවියෙම 
    ඒත් හඳේ සිහිලම තිබුණා...


Monday, June 20, 2022

229. නපුරූ

















දෙතොල හරහා අඳිමි මතකෙන් 
එකල සුපුරුදු සිනා ලකුණූ 

දෙනෙත පිසදා සිහිළ කඳුලෙන් 
සොයමි දිදුලන මතක සොඳුරූ 

සිතෙහි සතපා මිහිර අපමණ 
සෙමින් නික්මී ගියේ කවුරූ 

රුවක නතරව අතරමං වෙමි 
අතර නටඹුන් සිහින පවුරූ 

සයුරු රලපෙළ බිඳෙන වැළපෙන 
නිසල වෙරළෙහි දුකම කෙඳිරූ 

හිතත් එක්කම ගියේ සේදී 
තැනු නිසාවෙනි සිහින මැඳුරූ 

තාරුකා එළි එකක් වත් නැති 
පාලු අහසෙහි පිරුණ අඳුරූ 

සොයමි මට මා මගහැරී ගියෙ 
මන්ද මේ හැටි ලොවක නපුරූ ...

(පින්තුරය අන්තර්ජාලයෙනි.)

Thursday, April 7, 2022

228. සාක්කිය













කාන්සිය දුරලන්න 
අඳුරු වැහි පොදි බඳින යාමයේ 
රාත්රිය අඬවන්න 
රැහැයියෙක් ගැයුම අරඹා තියේ 
නේත්රය පුරවන්න 
කඳුළු උල්පත් හරින ස්නේහයේ 
සාක්කිය හදවතම 
පමණක්ය ඔබට බැඳි ප්‍රේමයේ 

නඩු අසා නිදි වරා 
මටම කරගෙන සියලු චෝදනා 
නිදොස් කොට නිදහසේ 
ඔබට යන්නට හරිමි පා වෙලා 
ඉගිල්ලී පසුපසින් 
නෑවිදින් ඉවසගෙන වේදනා
හැම රෑම හඳට කවි 
ලියයි මේ අහිංසක මේනකා.



Monday, April 4, 2022

227. ගැළවීම















බත් කටත් හෝ දෙකක් යන්තමින් හිස් බඩට 
ඔබ්බවාගෙන විහින් දුක් විඳිමි 
හාමතේ වැළපෙනා සුවහසක් සිත් සතන් 
තුරුළු කර මහ හුගක් ඉකි බිඳිමි 
එක පහන් සිලක් හරි අන්ධකාරෙට රුදුරු 
දල්වගන්නට හැකිද අර අදිමි 
ඔසවලා හිස් කෙළින් නැගිටිනා හෙට දිනක් 
නොඑන බව ඇස් පනාපිට හඟිමි 

හීන කඳු අතහැරි පොළොවටම වැටුණාට 
දුකක් කවදාකවත් නෑ හිතුනෙ 
කනට ජාතික ගීය ඇහෙන හැම වාරෙකම 
පපුව දිය වී යනව මෙනි දැනුනෙ
අතැර නොගිහින් එතෙර එකට ගොඩයන පැතුම 
විතරමයි හද කොනක රැව් නැගුනෙ 
එහෙව් රට අපේ පණ මෙලෙස දුක් උහුලද්දි 
දකින්නට උන එකයි අපෙ කරුමෙ 

තැලි තැලී එක දිගට උහුලනා ගින්දරින් 
මහ පොලොව අහස කම්පා වීම 
ඇරඹිලා තියෙද්දිත් මිනිසුනේ මට පුදුම 
මේ ලෙසින් තියෙනෙකයි හික්මීම 
ධර්ම යුද්ධෙන් දිනුම කොයි වෙතත් දිනෙන් දින 
සුසුම් රැල්ලෙන් නැගෙන පිබිදීම 
අතරමග නොනැවතී අවසානයම දකිමු 
අපි ළඟයි ඇත්තෙ අපෙ ගැළවීම!


Thursday, March 31, 2022

226. ඉවසීම ?

















විමානෙට රෑ වෙලා එනකොට 
පළාතෙම ගණ අඳුර පමණය 
විඩාවට පත් වෙච්ච නගරය  
මලානික රූ සැවොම නිසලය  
අදත් දවසේ සාරාංශය 
කිසිත් වෙනසක් නොමැති අයුරය 
තවත් දවසක් අතීතය වෙත 
එකතු වී දැන් ගියා පමණය 

රෑට කළුවර අන්ධකාරෙට 
දෙනෙත් නෑ ඇත්තටම අන්ධය 
ඊට හරියන නිහැඬියාවද 
මවා පානා හැඟුම ගුප්තය 
හිතක් පපුවත් නැතත් සුළඟක් 
මලක් ඉඹලා ගියා පමණය 
කිසිත් පැතුමක් නොයිපදී හිත 
බංකොලොත් වුන අයුර පුදුමය  

කරන්ට් එක නැති තවත් දවසක් 
හෙටත් පායා ඒම නියතය 
සුසුම් රැල්ලෙන් සුළි කුණාටුව
තවත් හැඩි දැඩි වීම නිසැකය 
වහින්නට බැරියෙන් ගිගුම් දී 
අහස කරබා හිඳිනු පමණය 
විනිශ්චය තෙක් සියලු අවනඩු 
ඉවසනා එක අපට උරුමය...



Sunday, March 6, 2022

225. පරාජිත නොවූ පෙම

















  
   දුර්වර්ණ සමරු පොත අරගමී 
   තිස් හතර වෙනි පිටුව පෙරලමී 
   එදා ඔබ එහි තැබූ අපේ නම් දෙක ලියූ 
   රෝස මල් පෙති යලිත් දැකගමි 

   සිනාසෙන මතක මත දිවයමී 
   දයාබර ලෙස තුරුළු කරගමි 
   මුතු අකුරු මත ලිහූ අපේ හීන වල තිබූ 
   මල් සුවඳ ලයෙහි සිර කරගමී 

   ගැහෙන හදවත පතුල විමසමී 
   ඔබ සිටිය පෙදෙස වෙත පිවිසෙමී
   ලොවක් මා ළඟ මැවූ උණුහුමෙන් තොර නොවූ 
   සදාදරණීය සිත සිපගමී 

   කියා ගනු බැරි ඉමක නවතිමී 
   නිරාමිස සුව එහිත් සොයනෙමී
   හමු වෙලත් හිමි නොවූ හිමි නොවිත් වෙන් නොවූ 
   පරාජිත නොවූ පෙම අදහමී!



Friday, March 4, 2022

224. ඇත්ත

 

















  දුකක් හිතුනම ලියවෙන 
  හුඟක් කවිවල ඇත්තෙම 
  ටිකක් තිත්තට දැනුනත් 
  හිතේ නලියන ඇත්තයි 

  තමන් හරි යයි හිතුනත් 
  පෙළක් විටෙකදි ගොළුවෙන 
  හිතින් කිව්වෙම කරබා 
  බලා ඉන්නට කියලයි 

  මලක සුවදක් අරගෙන 
  වහං උනමුත් සුළඟක් 
  සුවඳ දැනෙනෙක කිසිදා 
  වලක්වන්නට බැරුවයි 

  ගෙවී අවපස හෙමිහිට 
  උදා වෙනකොට පුරපස 
  සඳක් දිළි දිළි අහසේ 
  හිනා වෙනවා නිසැකයි!



Monday, February 21, 2022

223. සැනසීම කොහිවේද













සැන්දෑව පාලුවෙන් යුක්තයි 
පිල්ලෑව වැව අදත් ගුප්තයි 
රන්පාට පින්තාරු කළ අහස මතදීම 
රතු පාට ඉර පාන මිය යයි 

මන්දාරමේ අඳුර පැතිරෙයි 
නිස්කාරණේ දෑස වෙහෙසෙයි 
මල් ආසනේ දුබල කුසුමන් වෙතින් විසුල 
දුක් දෝමනස් සුවඳ හැඟවෙයි 

සිලිලාරයක සිසිල දැනවෙයි 
සුදිලේන සිල පහනෙ සෙලවෙයි 
නන්නාඳුනන දෑස එක්කාසු කොට දෑත 
පිල්ලෑව බෝධියට මුමුණයි 

සන්තානයට සුසුම් ලංවෙයි 
නින්නාද වන හඬට කන්දෙයි 
සංසාර දුක ගාව අපි එහෙමමයි තාම 
සැනසීම කොහිවේද නොදැනෙයි...



Sunday, February 20, 2022

222. නික්මෙන්නට පෙර




















මහ රෑක නිස්සද්ද බව බින්ද 
මඳ නලේ ඇයි තාම නිදි නැද්ද 
හෙමි හෙමින් රැය පුරා ඉකි බින්ද 
හිත මගේ කියවන්න පුලුවන්ද 

සංසාර ගණුදෙනු ම අත් වින්ද 
තුන් යාමෙ හිත් මත්තෙ මල් විද්ද 
උන්මාද පෙම් උයනෙ පින් මන්ද 
අව්‍යාජ හිත් කොයිද පෙම් බැන්ද 

රිදි රිදිම යන දෙපය පිරිමැද්ද 
කටු ගාල මිස රෝස කොයිබින්ද 
හැම රෑම පැනයක්ය නිදි බින්ද 
හෙට උදය අරඹන්නෙ කොතනින්ද 

දුක සතුට අඩු වැඩිව අත් වින්ද 
දිවි සැරිය තව කොතෙක් දුර ඇත්ද 
මල් උයන දෙන සුවඳ මකරන්ද 
නික්මෙන්න පෙර ආයෙ හමු වෙයිද ...



Saturday, February 19, 2022

221. සැනසුම

















විසල් අහසින් නැඟ එන 
බිරුම් පුපුරන අතළඟ 
අකල් වැහි ගැන පොළොවට 
බයක් හිතුනෙම නැතුවද 

බදන් සුළඟක් හොඳටම 
නවත්තන්නට පොරකන 
ගසක් දැක්කම අසරණ
බලන් ඉන්නට ඇහැකිද 

පහන් තරුවක් දිලිසෙන 
අහස් තලයට පියඹන 
හිතක් තිබුනට අත්තටු 
පුදන්නට කවුරුන් වෙද 

ටිකක් වත් හිත සැනසෙන 
රැයේ සිහිනෙක දැවටෙන 
පුළුල් උරිසක සිසිළස 
අදත් ලබනට හැකිවෙද ....



Friday, February 18, 2022

220. නම්

















සිලිටි වෙරළත 
හොයා ගෙන විත් 
හැපී හැඬුමට නම් 
කුමට සයුරට 
නැගෙන රැළි මෙතරම් 

හමන පවනට 
සුවඳ මුසු කර 
විසිර යන්නට නම් 
කුමට මලකට 
සිනිඳු පෙති මෙතරම් 

රැයට කළුවර
කඳුල දිය කර 
දෙනෙත වැසුමට නම් 
කුමට සිතකට 
සිහින පෙම් සිතුවම් 

මතක අතරින් 
තුරුළු කරගෙන 
සුසුම් ලන්නට නම් 
කුමට තිබුනද 
අපට එක එක නම්...


Thursday, February 17, 2022

219. කවි ලියන්නේ කෝමද


















බලා ඉන්නට බැරි තැන 
වසා කවුළුව හෙමිහිට 
නින්ද අයදින මේ හිත 
අයිතිකාරිය කාගෙද 

නවම් සඳවත අහසට 
ඇවිත් මැදියම් රෑකට 
හෙළන කඳුලක සීතල 
ගෙනෙන තනිකම මේකද 

අතු අගිස්සක් අඬ අඬ
පිණි බිඳිත්තක් බේරන 
හිතේ උණුහුම ටික ටික 
දිය කරන්නේ ඒමද  

ලිහි ලිහී තව විසිරෙන 
සිතුම් රළ පෙළ අපමණ 
ආයෙ ආයෙම මුමුණා 
ගතු කියන්නේ කාටද 

ඈත දුර සිට පාවෙන 
ඇවිත් හිත අග යාවෙන 
සුසුම් එකිනෙක මගහැර 
කවි ලියන්නේ කෝමද....



Tuesday, February 15, 2022

218. වැලන්ටයින් තෑග්ග



















එකට මහ වැහි හතක් වැස්සත් කුඩේ අමතක වෙනවය 
අව්වෙ යනකොට අදාලම නෑ පිච්චි පිච්චී යනවය  
දිග ගවුම්, හැඩ සාය හැට්ටද ලෝකෙ දරුණුම විහිළුය 
කොහි යතත් නිල ඇඳුම නම් ටී ෂර්ට් එක සහ ඩෙනිමය 

දැක්ක විට අඩි උස සපත්තූ කලන්තෙට වගෙ එනවය 
ස්ලිපර්ස් දෙකකින් ඉතා සරලව කකුල් දෙක තුටු වෙනවය 
කැට් වොර්ක් යන අංගනාවියො දැකල හිත උණු වෙනවය 
අඩි දෙකට පහු කරල වේගෙන් ගමන දුවගෙන යනවය 

කොන්ඩ දිග දස අතේ විහිදුන මෝස්‌තර නෙක අපලය 
කොටට කැපුවම හුළං වැදි වැදි බෙල්ල වුව සැනසෙනවය 
ඕන කඩ චෝරුවක් ගිලිනට කොයි වෙලෙත් කට කැමතිය 
දසන් පෙනුනට මොකක් වෙනවද කැකිරි පැළුනම නියමය  

බෑග් දෙක තුන මල විකාරය හිතෙද්දිත් ටැපලෙනවය 
එකම බැක් පැක් එකට සේරම කොහොමහරි පැටවෙනවය 
ඒක පිට මැද එල්ල ගත් විට දෑත නිදහස් වෙනවය 
හිතේ හැටියට පද්ද පද්දා ඕන ගමනක් යනවය 

උපදවා බැති ප්‍රේම බොරු ගුණ ගායනා නොකරනවය 
අසාධාරණෙ පේන්නට බෑ ඉබේටම නැගිටෙනවය 
හිතේ හංගන් දෙයක් ලතැවෙන පුරුද්දක් හෙම නැතිමය 
මූණටම අත ඇරලා දැම්මම ඒක එතනින් ඉවරය 

මූඩ් එකපිට මාරු වීමෙන් නිතර හොල්මන් වෙනවය 
විහිළු කරනා අයවලුන් හට විසේසෙන් තැන දෙනවය 
සිංදු පිස්සන් වෙත කලාබර බලෙන් ගොස් ඇමිණෙනවය  
සතුන්ගේ නම් නිතර දෙවෙලේ භාවිතාවට එනවය 

රාස්ස ගණ යැයි කෙන්දරයේත් කියා තියෙනව මතකය 
එහෙව් රාස්සිගෙ විමන වෙත වැඩි දෙවියො වේ නම් පුදුමය 
වැලන්ටයිනුත් ඇවිත් ගොස් ඇත තෑගි සුපැතුම් අකැපය 
විහින් වැටුනට අමාරුවෙ මේ කවිය දෙවියනි ඔබටය!



Monday, February 14, 2022

217. අතීත මතක

 












 හිතුනාම බලෙන් මෙන් 
 කඩා බිඳ ගෙන එයි ය 
 සඟවාපු ඉසව් වල 
 වැඩිපුරම ගැවසෙයි ය 
 අවුස්සා සියල්ලම 
 අතර මං කර යයි ය 
 මතකයන් දඟකාර
 පුංචි සුළි සුළඟක් ය.

 පිරික්සා මෙතෙක් කල් 
 ආ ගමන් විමසයි ය 
 පුරුද්දා කැඩුණු තැන් 
 යලි එකට අමුණයි ය 
 ආදරේ හිතෙන හරි 
 සොඳුරු එළි දල්වයි ය 
 අතීතය හුරුබුහුටි 
 පුංචි පරිපථයක් ය.



Sunday, February 13, 2022

216. තාමත් ...

 













 පායගෙන එනතුරා 
 අඩ හඳක් ආකහේ 
 තාරකා ඇස් අගින් 
 සිනාවක් මතු නොවේ 
 හිස් කමක් දැනෙනකොට 
 කොතන මුත් ජීවිතේ 
 නැවතිලා බලාගෙන 
 හිටි හුඟක් තැන් තියේ 

 හේබාපු හිත් යාය 
 පිස ආපු මකරන්ද 
 ආපස්ස හරවන්න 
 කාටත්ම පුලුවන්ද 
 ජීවිතේ රැලි නැගෙන 
 සොඳුරුකම් අත් වින්ද 
 දැන දැනම අතරමං 
 වුන හීන කොතරම්ද 

 එක ළඟින් එකට ඉඳ 
 එළි දිදී දිළිසුනත් 
 හුඟක් දුර තිබිය හැක
 තරු අතර නොපෙනුනත්
 දිනු එකම හදවතට 
 අයිතියක් නැතුවමත් 
 සෙනෙහසක් තියෙන්නට
 බැරිද වෙන්වූ විටත්?



Saturday, February 12, 2022

215. සමහරක් දේ හරි පුදුමයි













මලක් හුඟක් ලස්සන 
පවනැල්ලෙ හැපිලා සැලෙද්දි
ගඟක් හුඟක් ලස්සන 
හැලැහැප්පීම් මැද ගලද්දි 
ඉරක් හුඟක් ලස්සන 
හවසට මූදෙ ගිලෙද්දි 
පෙම්කතා හුඟක් ලස්සන 
හමු වීම් වෙන්වීම් තියෙද්දි 

වැරද්දක් වෙන්න කොහොමත් 
පුංචිම වෙලාවයි යන්නෙ 
කොච්චර පරිස්සම් කෙරුවත් 
වීදුරුත් දවසක බිඳෙන්නෙ 
හැම පැන්සලකම අග්ගිස්සෙ 
මකනයක් එනමුත් නේන්නෙ 
සමහරක් දේ හරි පුදුමයි 
හා නැද්ද මං අහන්නෙ 

හිතේ හරි මැදින් නවතින්න 
හැමෝටම බෑ මේම කෝමත් 
ඒ නිසයි අපි හිටියෙ සතුටින් 
වෙන කවමදාකටත් වැඩියෙන් 
හිමිදෙයක් පිළිගෙන නවතිමුද 
අපි අපිට නැතිවෙන්නෙ නැත්නම් 
තව ඉතින් මොනවහරි කියන්නකො 
ඇයි ඔය බුකවගෙන තාමත් ....


Friday, February 11, 2022

214. තිතක් වෙනුවට ...















තවත් මල් පෙති වැටෙනවා 
සුළඟ නොනැවති හමනවා 
කොහෙන්දෝ පාවෙලා ඇවිදින් 
පුරුදු සුවඳක් දැනෙනවා 

දෑස ඈතක ඇදෙනවා 
කෙනෙක් ඒ යැයි සිතෙනවා 
තාම බංකුව දකුණු පැත්තේ 
එනවනම් ඉඩ තියෙනවා 

ඈත අහසම පෙනෙනවා 
පුරුදු හිස් බව තියෙනවා 
නූල කැඩිලා සරුංගලයක් 
ඔහේ ඔබ මොබ සරනවා 

දැස හෙමිහිට වැසෙනවා 
හීනි සුසුමක් නැගෙනවා 
නැගිට යා යුතු වේය ආපසු 
මසිත් මට බල කරනවා 

සඳක් ටිකකින් නැගෙනවා 
අදත් කවියක් ලියනවා 
තිතක් වෙනුවට කවිය අග දිග 
පේළියක් තිත් තියනවා..........



Thursday, February 10, 2022

213. හයිය හිත්

 

 








 හයිය බව පෙන්නාපු 
 හිත් අස්සෙ තියෙන්නෙම 
 මහමෙරක් සන්තාප 
 කාටවත් නොපෙනෙනා 

 මලක් වී උදෑසන 
 අතු මත්තෙ පිපෙන්නෙම 
 රෑ පුරා සුසුම් ලෑ 
 ගසක දුක් වේදනා 

 හුස්මකින් තිගැස්සෙන 
 හදවතේ තිබු නමුත් 
 මල් සුවඳ රැකගන්න 
 මහඟු පෙම් ප්‍රාර්ථනා 

 ඒ හීන හිත දරා 
 වෙන් වෙන්න වූ දාට 
 ගැලපිලා එකට එයි 
 නැති කරුණු කාරණා 

 නෑවිදින් හිටියාට 
 දුකක් නෑ කිසිදාක  
 ඒත් මුණගැහුණාම 
 යළිත් හිත පෑරෙනා 

 ජීවිතේ නව්කාව  
 කොහි යාද නවතීද 
 නොසිතාම යා කරමි 
 රෑ අහසෙ තාරුකා!

Wednesday, February 9, 2022

212. අපි යන්ද











ඇවිද යනවිට දවසක 
අදිසි යමකින් කැළඹී 
නතරවූ හදවතකි හිටි වන 
අර කන්ද ... 

පරිස්සම් කර මුදුනත 
සුරැක ගත් සිය ප්‍රේමය 
ගෙනෙනවා ඇති හිතට පිපි මල් 
මකරන්ද .... 

කිසිත් නොපෙනී පිටතට 
ඒත් හද ගැබ සිරවී 
කොයිතරම් දුක් ගිනි තිබෙන්නට 
පුලුවන්ද .... 

අපට පමණක් නොවෙමැයි 
සැමට සැප දුක උරුමයි 
ඉතින් සතුටින් වෙන් වෙලා දැන් 
අපි යන්ද ....



Tuesday, February 8, 2022

211. උණුසුම් කවියක් ඕනෑය

 

 











 සුසුම් පා කර ඈතට 
 රිදුනු සිත පිරිමැද්දා 
 කොලය අරගෙන ඒ මත 
 කුරුටු බලියක් ඇන්දා 
 අහස අග තරු යුවළක් 
 උනුන් හට තනි රැක්කා 
 දුබල එළියෙන් දෑසක 
 කඳුළු දිලිසෙනු දැක්කා 

 සසර ගනුදෙනු මෙතරම් 
 දුරක පැමිණෙන අරුමය 
 නටුව දිනෙකදි ගිලිහෙන 
 මලට ඉඩදිය යුතුමය 
 අයිති නැතිමුත් දෑසින් 
 දෑස පැටලුනු ප්‍රේමය 
 නොලැබ මගහැර යන්නට 
 හිතට තවමත් ලෝබය 

 පෙනෙන මානයෙ පැතිරුණ 
 අන්ධකාරය පමණය 
 මතක එලි දැල්වෙන්නේ 
 සසල සිතුවිලි අතරය 
 දැකපු හැම හීනයකම 
 සුවඳ තවමත් ඉතිරිය 
 අදත් උණුසුම් කවියක් 
 තුරුළු කරගත යුතුමය!


Sunday, February 6, 2022

210. වේදනා


















 කරුවලේ ඉන්නකොට 
 තාරකා ඇස්වලට 
 එලිය මුණගැහුනාම වේදනයි 

 සන්තාප වැහි වහින 
 මට සිලුටු හදවතක 
 හීන ගොඩ ගැහුනාම කරදරයි 

 පටු පුංචි කැදැල්ලක 
 මේ ලෙසින් කොටු වීම 
 එක්තරා විදියකින් සැනසුමයි 

 කොහොමටත් හුඟක් බර 
 හිත්වලට ප්‍රේමයක් 
 නෑවිදින් හිටියනම් අහවරයි!


Saturday, February 5, 2022

209. අඩක් ලියූ තව කවියක්

















ඇසින් උසුලගන්නට බැරි 
වසන්තයේ සිරි මේ යැයි 
කියා දීපු උණුසුම් හද 
කොහේ වේද අද සොයනෙමි 

අනන්තය ලඟට කැඳවා 
සුළං කපොල්ලක සිරකළ
ඉන්ද්‍රජාල රූපකාය  
වහා මතකයේ ඇඳගමි 

ආදරේ පිරි ඉතිරෙන
දෑසකින් හෙලූ සුසුමක් 
පාවෙලා ඇවිත් කොපුලක 
හැපී යන අයුරු හඟිනෙමි 

කලබගෑනි මැද සසැලෙන 
ජීවිතේ අඳුරු කැඩපත 
බිඳෙන්නට නොදී රැකගත් 
ස්නේහයේ මහිම දැකගමි 

එතී අඳුරු වැහි කෝඩෙක 
තුනී අකුණු පුපුරන විට 
නෙලුම් කුළුණ දිලිසෙන යුරු 
සැහැල්ලුවෙන් හිඳ විමසමි 

මහල් නිවාසෙට ඉහළින් 
රවුම් හඳක් පායනකොට 
අඩක් ලියූ තව කවියක්
මේස රෙද්ද යට සතපමි!



Friday, February 4, 2022

208. ඔබ නැතිව ඔබ එක්ක
















මල් සුවඳ මග ඇරුන 
අළු දූලි හෙවණැල්ල 
කාන්සිය පිරෙන හිත 
නැගෙද්දිත් අරුණැල්ල 
සොඳුරු නැති බව ඇත්ත 
කොලොම්පුර පවනැල්ල 
ඒත් දිගටම හුස්ම 
ගත යුතුයි පෙණහැල්ල 

සැකයකිය නිරතුරුව 
අසනීප හදවතේ 
හැකිවේද නගින්නට 
ජීවිතේ ගිරිදඹේ 
ඉසිඹුවක් ගත හැකිය 
හොවා සැනසුම් හිතේ 
ලැබෙයි නම් දිගම දිග 
ඔබේ කෙටි පණිවිඩේ...

දම්පාට ආකාසෙ 
මන්දාරමක් ගාව 
ඔබ නැතිව ඔබ එක්ක 
පාවෙන්නමයි ආස 
සංසාර සුවඳක්ව 
මේ පාලු හිත ගාව 
සැරිසරන පිනම ඇති 
ගෙනියන්න යනදාට...



Thursday, February 3, 2022

208. රැය














මාර ගස් අතු පතර 
තටු එකට පොරෝගෙන 
නිසොන්මන් වී රැයේ 
කොළඹ කපුටන් නිදයි 

නැතිව තෙල් වැඩ බැරිව 
අන්ධකාරෙහි ගිළුණු 
කැළණිතිස්සට එපිට 
පහන් කණු හිස නමයි 

නිතර අක්‍රීය වන 
නොරොච්චෝලේ වගේ 
එලිය බිඳ වැටී වැටී 
කණමැදිරියන් සරයි 

සුරඟනා ලොව දෙසට 
සිහිනයෙන් ඇවිද ගොස් 
ජීවිතේ පොරෝගෙන 
පොඩි පැටික්කිය නිදයි!



Wednesday, February 2, 2022

207. මගෙ අහස



 








 වලාකුළු කැරලි ටික 
 පැත්තකට කෙරුවාම 
 අහස් නිල්, නිල් පාට 
 ඔය කමිසෙ ඇන්දාම 
 ඉණට අත් දෙක තියන් 
 පල්ලෙහා බැලුවාම 
 ඇත්තමයි මේ අහස 
 කොයිතරම් ලස්සනද 

 මොකක්හරි අල්ලගෙන 
 විහිළුවක් කෙරුවාම 
 තරහදැයි අස අසා 
 මං අතින් ඇද්දාම 
 දම් පාට කර මූණ 
 තව බුම්ම ගත්තාම 
 ඇත්තමයි මේ අහස
 කොයිතරම් ලස්සනද 

 අවුස්සා රැලි කොන්ඩෙ 
 අවුල් කර දැම්මාම 
 ඇහි පිල්ලමක් හොරෙන් 
 ගලවගෙන දිව්වාම 
 අල්ලන්න පසු පස්සෙ  
 දුවල හති වැටුනාම 
 ඇත්තමයි මේ අහස
 කොයිතරම් ලස්සනද 

 හංගගත් මගෙ කවිය 
 උදුරලා ගත්තාම 
 බැරෑරුම්කම මූණෙ 
 ඒ සැණින් ඇඳුනාම 
 හිනා පිපිරෙන සද්ද 
 හිත යටින් ඇහුණාම 
 ආදරේ මං හුඟක්  
 මේ අහස මගෙ නේද?



Tuesday, February 1, 2022

206. මතක














අපිට අපි රැකගන්න බැරි වුනොත් කවදාහරි 
එක අහස යට ඉඳිමු සතුටින්ම කොහොමහරි 
ක්ශිතිජ ඉම දෙස බලා එදා අපි කියපු හැටි 
සිහි වුනා දකින විට හෝ ගගා අඬන රැළි 

හෙට ආයෙ එනවමයි ගිවිසගෙන හිටියාට 
දුක හිතෙනවා නේද ඉර මූදෙ ගිලුනාම 
පාලුවට තරු ටිකක් උඩ අහසෙ හිටියාට 
ඇහැරගෙන ඉන්නවා ඇති මූද මුළු රෑම 

වැලි අස්සෙ කිරි කවඩි සිප්පියක් හංගලා 
රැල්ල මුමුනණු ඇසේ ගිහින් එන්නම් කියා 
මතකයේ ඇවිදිද්දි අපි එකට අඩි තියා 
හිරිවැටුණු හිත උඩින් කෝච්චිය දැන් ගියා!



Monday, January 31, 2022

205. දැන් ඉතින්...


















දැන් ඉතින්.... 
දුරුතු මාසෙත් ඉවරයි 
ගෙවුණ ඉක්මන පුදුමයි 
හිරි වැටී ඇති හිතට රහසේ 
සීතලද නික්මී යයි 
මීදුමද දිය වී යයි.... 

හෙට ඉඳන්.... 
පෙබරවාරිය එළඹෙයි 
ආදරේ සඳ දිලිසෙයි 
අකල් වැහි වට හිතේ මතුපිට 
රිදුම් ඉඳහිට පෑරෙයි 
පුංචි වලවල් හෑරෙයි.... 

කවුළුවෙන්.... 
තාරකාවක් පායයි 
විසල් අහසට යාවෙයි 
අනන්තයටම පියාඹනු වස්  
පියාපත් යුග හිමිවෙයි 
ඒ සැනින් හිත ඉගිලෙයි.... 

මේ දැනුත්.... 
කදෝකිමියෙක් ඉගිලෙයි 
නිවි නිවී යළි දැල්වෙයි 
අතරමං වූ බවට ඉඟි ඇත 
ඒත් පිහිටක් නොලැබෙයි 
කොළඹ අහසම නිදියයි....



Sunday, January 30, 2022

204. වර්ණ












මුණගැහෙන්නේ නැතිව  අව් වැසි 
වෙන් වුනා නම් දෙපසට  
ඇඳෙන් නැතුවම වියැකිලා යන 
පාට දේදුණු කොපමණ
පිටෙන් පිට හරි සීරුවට ගෙන 
කියෙව්වොත් ජීවිත පොත 
සමහරක් විට අසිරිමත් වැකි 
මුණගැහෙන්නට පුළුවන.... 

හමා නොගොසින් නැවතුනානම් 
සුළඟ එක තැනකම ඉඳ
මලක සුවඳත් කෙමිය ඇතුලෙම 
හිරවෙලා මිය ගොස් අද 
සුදුය කිව්වට එහෙම පෙනුනට
එකම හිරු කිරණක් තුල 
ප්‍රිස්ම නැතුවත් සමහරුන් හට 
වර්ණ දැක ගන්නට හැක....
 
 

Saturday, January 29, 2022

203. මං නොදන්නෙමි














දුකක් හිතුනම 
සඳට නම් හැකි 
මූණ හංගාගෙන හඬන්නට 
වලා අස්සෙහි .... 

හිතක් රිදුනම 
රළට නම් හැකි 
හැල්මෙ දිවගෙන විත් හැපෙන්නට 
වෙරළ මත්තෙහි .... 

පෙමක් බිඳුනම 
ගඟට නම් හැකි 
ගලාගෙන ගොස් පැන ගිලෙන්නට 
මූදු පතුලෙහි .... 

හිතින් වැටුනම  
පිරිමි නම් හැකි
සුමිරි පානෙන් පා කරන්නට 
හිත අනන්තෙහි  .... 

කුමක් වූවත් 
ගැහැණු නම් අපි 
හූල්ලනු මිස මක් කරන්නද 
මං නොදන්නෙමි ....




Friday, January 28, 2022

202. ඒකට කමක් නෑ නේද?
















දුන්න මානාගෙන අහසට 
දඩයක්කාර තැන එන දවසට 
දැක්කද වහන් වෙන හැටි හඳ 
මුවා වී ලොකු වළාකුලකට 

කඩු දුනු කුමටදැයි ප්‍රේමෙට 
කවියෝ එමට ඇහුවට 
උණුවෙන හිත් හොයන්නට නැත 
වෙඬරුත් ගණන් ගිහින් අද

හිත් පාරගන්නෙ මොකටද 
පෙම කියා කියන්නෙම දුක 
සතුටක් ඕනිම නම් හිතට 
අපි හමු වුන එකම මදිද 

දුර ළඟ ලොකු පුංචි අනුපාත 
මැන මැන බලන ලෝකෙක 
සියේට සීයක්ම ගැලපුණත් 
අපෙ හිත් යා වෙන්නෙ කොහොමද 

පාළුයි තමයි කාටත් 
ඕනි අය ළඟ නැති වෙනකොට 
ඒ වුනත් මේ දැනෙන නිදහස 
අපි හෙව්ව නිවීමම නේද 

දඩයක්කරුවන්ගෙ විත්ති 
දැන් අපිට අදාලම නැති කොට 
හැමදාම අපි දකින හීනවල 
මල් සුවද තැවරේවි නේද 

ඉස්සර පුරුද්දට තාමත්  
රෑට අවේලාවෙ ඇහැරුනාම    
අපි ගැන ලියන්නම් කවියක් 
ඒකට කමක් නෑ නේද?


Thursday, January 27, 2022

201. මට එහෙම දැනෙනවා












සුදුපාට මීදුමේ 
රතුපාට බස්රතේ 
දිග..... හුස්මක් අරන් 
උස කන්ද නගිනවා 

වා කවුළු කෙලවරේ 
මුදු සීත මඳනලේ 
හුරු පුරුදු මල් සුවඳ 
මට තාම දැනෙනවා 

පෙම්වතුන් යුවලකට 
පමණක්ය කිය කියා 
පිටිපස්සෙ සීට් එක 
දොර දෙසම බලනවා 

අර ඈත කඳු පෙලේ 
ඔබ ඉන්න මන්දිරේ 
කොහේ වේදැයි කියා 
මං එවිට හොයනවා...

ප. ලි. 
ගිනි පෙට්ටියක් වගේ 
මේ ඇදෙන බස් රතේ 
ඔයාටත් පේනවැති 
මට එහෙම හිතෙනවා...

කවුළුවෙන් අතවනා 
ගිහින් එන්නැයි කියා 
කියනවා මයි ඔයා 
මට එහෙම දැනෙනවා ...




Wednesday, January 26, 2022

200. ඇතැම් හදකට හැකිය













ඇතැම් මලකට හැකිය 
සලා පෙති නැළවෙන්න 
පිටත් කර සිය සුවඳ 
නල එක්ක... 

ඇතැම් ගසකට හැකිය 
සිනාවක් පළඳින්න 
සකස් කර සිය රුහිරු 
ඵල එක්ක... 

ඇතැම් රැයකට හැකිය 
සනීපෙට නිදියන්න 
වෙනස් කර ගනුදෙනුව 
දුක එක්ක... 

ඇතැම් හදකට හැකිය 
කුමක්ව වුව ඉවසන්න 
පසක් කර බිඳෙන හිත 
කවි එක්ක...



Tuesday, January 25, 2022

199. නිහඬ නැවතුම



අයෙක් හමුවෙති 
අයෙක් වෙන්වෙති
සතුට දුක දෙක 
සිතෙහි රඳවා 

දිගු ගමන් යති 
කෙටි ගමන් යති 
එකම තැනකින් 
ගමන් අරඹා 

මන්ද ගාමී 
සීඝ්‍රගාමි 
අන්ත දෙක මැද 
වේග සසඳා 

දෙනෝදාහක් 
යනෙනු දැක දැක 
නිහඬ නැවතුම 
සිටී කරබා!


Monday, January 24, 2022

198. මල සහ ඇය



බඹර තුඩකින් ලැබෙන 
ආදරේ වේදනා 
සුවයකැයි පවසන්නෙ

හැලෙන පෙති මතුපිටත් 
කිසිම වෙනසක් නැතිව 
සුවඳක්ම තවරන්නෙ 

මාරුතේ හැපී හැපී 
බිඳී යන ප්‍රාර්ථනා 
සොඳුරු යැයි පවසන්නෙ 

මිලිනවී ගියත් හෙට 
අද දවස හැකි තරම් 
හිනාවෙන් පුරවන්නෙ 

මල! 

මහත් දුක් වේදනා 
උරුමයක් යැයි සිතා 
කප්පරක් ඉවසන්නෙ 

හෙටින් එළිවන දිනේ 
කෙම් බිමක් ගැන සිතා 
හීනයක් පුබුදන්නෙ 

මඳක් පිටුපස හැරී 
කිසිවෙකුට නොපෙනෙන්න 
කඳුළු බිඳු පිසලන්නෙ 

යලිත් ඉදිරිය බලා
ලෝකෙටම පෙනෙන්නට
සිනාමුව දක්වන්නෙ

ඇය !



Friday, January 21, 2022

196. රේල් පීලි වල ප්‍රේමය!














සැමගෙන් දුරස් වී 
සැමගෙන් වෙනස් වී 
වෙනමම ඉසව්වක තනි වීමය 
රේල් පිලිවල ලෝකය ... 

පෙරට ඇදි ඇදී 
හිස මතින් ගමන් යන 
යකඩ බර දරා ඉසිලීමය 
රේල් පිලිවල කාරිය... 

සමාන්තරව සිටිමින් 
එකම දිසාවට යමින් 
සියල්ල සුන්දර යැයි සිතීමය 
රේල් පීලි වල ප්‍රීතිය... 

එක්කෙනෙක් දුරස් වීත් 
කොච්චි නවතින බැවින් 
දුරස් වීමක් ගැන නොසිතීමය 
රේල් පීලි වල නීතිය... 

කිසිදාක ලං නොවීත් 
කිසිදාක වෙන් නොවීත්
ඔවුනොවුන් දෙස බලා සිටීමය 
රේල් පීලි වල ප්‍රේමය!



Thursday, January 20, 2022

195. සමහර දවස්











කොහේ හිටියත් දැනෙන  කුමක්දෝ තනිකමක් 
ඉබේ සුසුමක් මිදෙන නැතත් කිසි හේතුවක් 
සියුම් කැළඹීල්ල හද හුස්මටද දෙන බරක් 
සමහරක් දවස් ඇත දැනෙන මහ හිස්කමක් 

කහපාට හවස්වරු මුසු වෙච්ච යම් දුකක් 
කඩල ගොටුවක සුවඳ අරන් එන මඳ නලක් 
ස්ටේෂමේ සෙනග පීරමින් එක් නෙතක් 
දැන දැනම හොයනවා හමු වෙන්නෙ නැති රුවක්!




Wednesday, January 19, 2022

194. හිමි අහිමි

 















රිදුනු සිත අමුතුවෙන් රිදෙන්නට තැවෙන්නට 
 තව දෙයක් ඉතිරි වී නැති නිසා 
 කැමති නම් යනු පිණිස ඔබට රිසි ලෙස නික්ම 
 මා සිටියෙ හද දොරටු හැර තියා 
 හොයන බව දන දැනම මුවා වී සඳවතට 
 නොගිය ඔබ ඉන්න මුත් සැඟවිලා 
 ලියනකොට මෙහෙම කවි එනවමයි දනිමි ඔබ
 මිදුණා යැයි කියපු හිත දියවෙලා 

 හිත පුරා නැල වෙමින් සිටිනවා මිසක තුරු 
 නම ගමක් හෙව්වෙ නෑ මඳ නලේ 
 හිතුමතේ ඇවිත් රොන් සදනවා මිසක බිඟු 
වෛයිවර්ණ හෙව්වෙ නෑ වන මලේ 
 හිතෙන තැනකින් එබී දිලෙනවා මිසක සඳ 
 ඇද පළුදු හෙව්වෙ නෑ ආකහේ 
 ඉපදෙමින් ඉතිරෙමින් ගලනවා මිසක සිත 
 හිමි අහිමි හෙව්වෙ නෑ ආදරේ!



Tuesday, January 18, 2022

193. එක අහසක් යට

 















සුසුම විටෙකදි ගස 
 කුසුම වන අරුමය 
 වැසී යන ලෙස කොළ 
 දරන මල් තුරු පෙළ 
 දකින හැම මොහොතෙම 
 සිතෙයි නොදැනිම මට 
 සතුට එනතුරු අප 
 බලා සිටියුතු වග 

 සුළං රැල්ලෙත් මඳ 
 තුරක් නැළවෙන වග 
 සිහින් සවරයක හඬ 
 එහිද මිමිණෙන වග 
 සුලං සිලි සිලි ළඟ 
 දැනෙයි නොදැනිම මට 
 සියුම් ලෙස ඒ ස්වර 
 අසා සිටියුතු බව 

 අන්ධකාරය තුලත් 
 රසක් හමුවන බව 
 අපට රිසි සේ එයත් 
 විඳිය හැකිවන වග 
 ලොවම සැතපෙන පැයේ 
 දැනෙයි නොදැනිම මට 
 මතක අවදිව හිතේ 
 ඔහේ දිවයන රඟ 

 අහිමි බව හැඟුනම 
 වෙන්ව ගියමුත් අප 
 ගෙවී ගිය කාලය 
 අපිව අස්වැසු වග 
 නින්ද නොම එන රැයේ
 හැඟෙයි නොදැනිම මට 
 එකම අහසක් යට 
 අපිත් සතුටින් අද.



Monday, January 17, 2022

192. උරුමය













කොහොමහරි කන්ද නැග්ගොත් 
ඊලඟට එන්නෙ පල්ලම 
කන්ද තමයි අමාරු  
පල්ලම ලේසියි 
තාත්ත නිතරම කියනව... 

කන්ද නම් නැවතිල්ලෙ නැගිය හැකි 
පල්ලමේ ලිස්සුවොත් ඉවරයි 
කන්ද තමයි ලේසි 
පල්ලම අමාරුයි 
අම්ම නිතරම කියනව... 

දෙන්නගෙම කුළුඳුලේ දරු වුන මට  
උරුමයම අරුමය වෙච්චි 
කන්දත් අමාරුයි
පල්ලමත් අමාරුයි 
හරි පවු නේද සාන්ත!
මංම තනියෙන් හිතනව...



Sunday, January 16, 2022

191. කරබාගෙනම ඉන්නව.












සමහර උදේ වරුවල 
කෝපි මල් මගෙන් අහනව 
ඒ සුවඳ අඳුරනවද කියල 
පෙතිවල සිනිඳු දැනෙනවද කියල 
ඒත් මට හිත නෑ කියන්න  
ඒ අපේ හීනවල සුවඳ කියල 
ඒ අපේ හීනවල මෙලෙක කියල 
ඉතිං... 
කරබාගෙනම ඉන්නව.

සමහර උදේ වරුවල 
කුරුල්ලො මගෙන් අහනව 
ඒ කිචිබිචිය අඳුරනවද කියල 
පියාඹන සැහැල්ලුව දැනෙනවද කියල 
ඒත් මට හිත නෑ කියන්න  
ඒ අපේ හීනවල සද්දෙ කියල 
ඒ අපේ හීනවල නිදහස කියල 
ඉතිං... 
කරබාගෙනම ඉන්නව. 

සමහර හවස් වරුවල 
සමනල්ලු මගෙන් අහනව 
ඒ පාට අඳුරනවද කියල 
පිහාටුවල සුබාව පේනවද කියල 
ඒත් මට හිත නෑ කියන්න  
ඒ අපේ හීනවල පාට කියල 
ඒ අපේ හීනවල ලස්සන කියල 
ඉතිං... 
කරබාගෙනම ඉන්නව. 

සමහර හවස් වරුවල 
දොළ පාර ඔහේ ගලනව 
මොනවද මුමුනමින් කියනව 
යන ගමන් මා දිහාවෙත් බලනව 
ඒත් මට හිත නෑ කියන්න  
අපෙත් අත් අත් අරුනයි කියල 
නමුත් හිත් අත් අරුනෙ නැහැයි කියල 
ඉතිං... 
කරබාගෙනම ඉන්නව!


Saturday, January 15, 2022

190. සුව කරන්නිය













සුදු වතින් සැදි ප්‍රිය 
සුව කරන්නියකිය 
හෙදිය නම් ලද ලිය 
අමුතු ජීවියෙකිය 

නිදහසක් හිමි නැති 
පුදුම රැකියාවකි 
නමුත් අහිතක් නැති 
මේක සත්කාරෙකි 

අරන් අවධානම 
වැඩට දුවගෙන එන 
ගොඩක් නම් තිබුනට 
'මිස්'ය පුරුදුම නම 

ලෙඩුන් සෝ දුක ළඟ 
පෙනෙද්දිත් අනියත  
සිනාවෙන් හෙට ගැන 
සිතුම ලේසිම නැත 

පහන්සිල අත මත 
නිවෙද්දිත් සුළඟට  
සිතයි සැඟවෙන පණ 
රකින්නට හුස්මක 

අධික වැඩ ගේ දොර 
රෑට සේවා මුර 
කළමනාකරණය 
නොකළහොත් ඉවරය 

කරොත් වැඩ හරියට 
ඉඩක් සුරලොව ඇත  
හෙල වුනෝතින් හිත  
අපායෙත් යත හැක 

රෑට බත් එක හරී 
දෝණි තාමත් නිදී 
ඒත් නොගිහින් බැරී 
වාට්ටුව අද බිසී!


ප. ලි.
හෙද සොයුරෙකුගේ ඉල්ලීම පරිදි අප ආදරණීය සියලුම හෙද සොයුරු සොයුරියන් වෙනුවෙන් ලියවුණකි.

Friday, January 14, 2022

189. බයිකල්
















ඔයත් නැතිකොට පාලු යන්නට 
පෙට්ටගමෙ කවි අගුළු ඇරියට 
හිතට හරියන දෙයක් නැතිතැන
ඕන් බයිකල් විල උනා මම!

දෑස් මානෙන් එහා ඈතට 
නීල නිල විහිදෙන අනන්තෙට 
ඔයා දැක්කොත් දැන් මගේ හැඩ   
කියයි 'සන්තෝ .. මේකෙ ලස්සන !'

සිසිරයේදී මිදී හොඳටම 
ගල්වෙලා සෘණ විසි ගණන්වල  
ආයි ගිම්හානයක් ඇවිදින් 
සිනාසෙද්දී හොඳ ගණන් මට

ඒත් මේ වෙන විපරියාසය   
අවුල් වාගේ හිතෙනවා මට 
අහන් ඉන්නව නම් කියන්නං
හිතේ තියෙනව අදහසක් හොඳ 

සෙන්ටිමීටර දෙකක් දවසට 
ඇදී මායිම් පළල් කරගෙන  
ආක්ටික් වෙත ගිහින් යාවෙන
අලුත් මුහුදක් උනොත් කොහොමද   

ආක්ටික් යැයි නමක් දැම්මට 
ඒ මොකෙක් වත් නොව ඔයා මිස 
දන්නවා නේ මගෙන් ගැලවී
යන්න බැරිබව කිසිම කෙනෙකුට 

අලුත් මුහුදක් වෙලා එන මම 
බාර ගන්නකො ඔයා සදහට 
ආන් එතකොට ඇහැකි අපි හට 
ආසියාවත් වෙන් කරන්නට 

කෝක කිව්වත් හිනාවෙන එක 
මෝඩ ගස්වල හැටිද ඇත්තට  
ඒත් බෑ බය හිතෙනවා මට 
කාරණාවක් මතක් වෙනකොට 

බැරිවෙලාවත් ඊට කලියෙන් 
මහ විසාලෙට මිදී රොන්මඩ 
ඔයා කොහොමෙයි බේර ගන්නේ 
ගොඩ උනෝතින් මගේ හදවත?



සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.