Monday, May 31, 2021

161. නුඹට එහෙනම් සුබ ගමන් !












පියා ගෙන ඇස් හීනි වෙන්නට සිහින ලෝකෙක හිත තියා
හිනා වෙනකොට ඔහොම උඹ හරි ලස්සනයි මැණිකේ කියා
සිනා සරදම් මැවූ එදවස මතකයන් අපි ළඟ තියා
නොයා බැරි තැන ඔයා තනියම ඉතින් දුර ගමනක් ගියා
 
දහය එකොළහ දොළහ එකටම එකම පන්තියෙ එක ලඟින්
හිටිය හැටි අපි මතක් වෙනකොට පිරෙනවා හිත උණුහුමින්
දියව යන නෙත මුවා කරගෙන බරට ගිලිහෙන සුසුමකින්
කොහොම හරි හිත හදාගමි යලි සසරෙ හමුවන පැතුමකින් 

දිවියෙ අහිමිව ගිය සියල්ලම කඳුළු බිඳුවක් මත ලියා
තටුවෙ කණකොක් පැහැය සුදුමැලි අරන් එය දෝතෙහි තියා
හිටියෙ කාලෙක සිටන්මලු නුඹ සුදට සළුවක් විය වියා 
නැහැනෙ දැක්කෙත් කාලෙකින් අපි දිනෙන් දින එය කල් ගියා 

හුදෙකලා එක විරාමෙක මුළු ලොවම නැවතුනු හිස්කමින්
බලකලා දඬුවම් විඳින්නට හිටි තැනම සිර ගත වෙමින්
ගිලිහිලා සුළඟට වැටෙද්දී පිපි මලක් ලෙස හිනැහෙමින් 
නැවතිලා මතකේ සිතින් නොහඬා සිටින්නේ යන්තමින් 

අතර සිතුවිලි මතුවෙමින් එන හිතෙහි මොනවද හිරවෙලා 
නතර වන බව පෙනේ කවියද අතර මග ඔහෙ නැවතිලා
සයුර මෙන් දුක් ගත්ත ඔබ අද සිටී සුවසේ සැනසිලා
සසර හමුවෙමු කවමදාහරි ආයෙ සොහොයුරියන් වෙලා 

රැඳෙනු ඇති අපෙ මතකයේ නුඹ සෑමදාමත් එක ලෙසින්
පිදෙනු ඇති අප පිරූ පින් පෙත් සියල්ලම නුඹගේ නමින්
මිදෙනු බැරිවුන කඳුල නෙතගින් වැටෙනු ඇති තව මොහොතකින්
හිඳිනු මැන ගිය තැනක සුවසේ නුඹට එහෙනම් සුබ ගමන් !


Thursday, May 13, 2021

160. හිතට දේදුණු අඳිනු කෙලෙසද













කොළඹ අහසම තදට කළු කර හිතන්නත් බැරි ඉක්මනින්
වහින වැස්සත් ඔයා වගෙ මේ සිනිඳු මල් පෙති රිද්දමින්
අකුණු හී සර වදින විට හිත පුපුරුවන රළු සද්දෙකින්
හැකිල දුක සේ වැතිර ඉන්නෙමි පියාගෙන නෙත් පැත්තකින්
 
කඳුළු දියකර බිමට හැලුවත් ගෙවෙන තුරු රැය වැස්සකින්
උදුල සඳ සහ දිලෙන තරු කළුවරෙහි කෙලවර හංගමින්
මිදුන මීදුම් තාම එහෙමයි වසාගත් ඇස හීනෙකින්
මටම සරදම් කරනවා වගෙ හිතෙනවා මට සත්තකින් 

නොමැති විට ඉර එළි ඇබින්දක් එබෙන තුරු හිස් අස්සකින්
පිපෙන කැකුලට කුමට මහ වැහි රැකෙනු මිස පණ යන්තමින්
සතුට සේදුන පසුව අහසම පිරවුනා මිස හිස්කමින්
හිතට දේදුණු අඳිනු කෙලෙසද පාට නැතිනම් පින්සලින්.


Wednesday, May 5, 2021

159. ඉකි බිඳින්නට වෙලාවයි මේ













හඳ මැකෙන්නට ලං වෙලා අහසෙත් පෙනේ මහ දුකක්
අතු අගිස්සෙන් ගිලිහිලා බිම වැටෙයි මුතු පිණි බිඳක්
මිය ඇදෙන්නට හදන හිත අස්වැසෙන්නට ඔහෙ ටිකක්
ඉකි බිඳින්නට වෙලාවයි මේ මගෙ ලොවේ තව රැයක් 

බිම හලන්නට කඳුළු මෙච්චර උපදවන ඇස් දෙකක්
හිරි වැටෙන්නට හදන තනියම නැතිව උණුහුම බිඳක්
තව රිදෙන්නට අඬන විට ඇයි මටම මේ වගෙ හිතක්
මම කියන්නෙම දුකම හිමිවෙන හිතට තව එක නමක්  

හිස තියන්නට මොහොතකට එක මගෙම වුනු උරහිසක්
හිමි නොවන්නට සසර මග මම කරන්නැති යම් පවක්
ඇහැ ඇරෙන්නට තවම බැරි මෙය නපුරු දුක සිහි නයක්
කවි ලියන්නෙම ඔයා ගැන අපෙ මතක මට මහ මෙරක්.


සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.