Friday, September 25, 2020
136. ඔබට සුන්දර රැයක්
නෙළුම් කුළුණත් වැහෙන තරමට නැගෙන කළු වැහි වලාවන්
අහන් ඉන්නම් හිතේ හැටියට අදත් මට දුක කියාපන්
ඇවිත් හිරිපොද කවුළුවෙන් මුළු ගතම රිසිලෙස වෙලාගන්
කමක් නෑ දියවෙන්න ලං වුන ගිලන් හද තව අඬාපන්
කැළුම් දී වෙදැගිල්ල මුල රන් මුදුව දිලුනද දිස්නයෙන්
හැඟුම් සීතල වෙවී සැලුනා දුටුව විට ඔබ විස්මයෙන්
පැතුම් පොදි ඉහිරුනත් බිම ඇහිදින්න තනමින් හිස්අතින්
ඇළුම් කරනෙමි තාම විහිදුන සෙනේහෙට ඔය ඇස්වලින්
මලක් තාමත් වැස්සෙ තෙමි තෙමි රිදුනු හිත තව රිදවන
මලක් නොවුනත් මගෙ හිතත් ඒ වගෙයි විරහව විඳවන
මතක් වෙන්නට අපෙ අතීතෙන් සුවඳ බිඳුවක් අයදින
හිතක් මෙතරම් දුකක් ගන්නට කරපු පව් ඇති නොපෙනෙන
බිඳක් පමණක එළි තිතක් නැති නපුරු අහසක තනිවෙන
ගහක් ගානේ රැහැයි නාදය සවන් අතරෙහි වැළපෙන
ලොවෙන් වෙන් වී කට්ට කළුවර මගේ ලොව මා සැඟවෙන
රැයක් වේවා ඔබට සුන්දර ඇගේ සිහිනයෙ කිමිදෙන!
Friday, September 18, 2020
135. අහිමි
අහස මත්තෙම මියෙන තරුඑළි උහුලගෙන දුක මුහුදක
දකිනු රිසියෙන් කෙළවරක් පෙර මතක වැළපෙන කඳුලක
හදෙහි තාමත් උණුහුමයි පෙම දුටුව නිල්මිණි දෙනෙතක
දැනුනෙ නෑ දුක මේ තරම් නම් මීට පෙර කිසි දිනයෙක
අතරමග බිඳි එකම හීනය සතුටු නිම්නය අත්හළ
ඇවිදගෙන විත් පපුව සූරයි නින්ද නැති දිගු රැයතුල
ඔබට රහසින් අවදියෙන් ඉඳ ලිව්ව මේ දුක් කවිවල
අහිමි වීමක වේදනා ඇත අකුරු අතරෙහි දියකළ
පිරෙද්දී හිත එන්න එන්නම මහ මෙරක් තරමට පෙමින්
හිඳිද්දී ළඟ බිම බලාගෙන යන්න නොදුටුව සේ දුරින්
අඬද්දී හිත මුවාකර එය බලෙන් ගත් හුස්මක් මතින්
දැවෙද්දී තුන්හිතම ගින්නක නිවෙන්නේ කොහොමද ඉතින්
මහා වැස්සක් වැටී හදිසියෙ බිනර මහෙ දිනයෙක අග
හිතා ගන්නත් කලින් මල්පෙති තෙමී විසිරුන මුත් මග
නොයා සුවඳක දැනෙයි තාමත් අහිමි වන්නට බැරි වග
එපා සුළගේ අරන් යන්නට කමක් නෑ තිබුනට ළඟ.
Friday, September 11, 2020
134. තවම මම සන්තාපයෙන්
ඉපිද මියයන සුසුම් රැලි ගඟ ගෙවෙන තුරු රැය සීතලෙන්
නැතිද විදියක් මිදෙන්නට සිත දවන මේ රුදු පාළුවෙන්
විහිද පෙති පිපි කුමුදු මල් සිප හමන මදනළ ආදරෙන්
හැකිද එහි ගොස් කියන්නට මම තවම මෙහි සන්තාපයෙන්
සලා සිනහව වශී කල නෙත දිනෙක තුරුලෙහි සැඟවිලා
නොයා මා දෙස බලා දැන් ඔබ හිටියෙ තරුවක නැවතිලා
අයා මුව අත තබා හද විසිරෙන්න කලියෙන් ගිලිහිලා
පියා නෙත් හැර බලමි යලි නෑ ඔබව එහි මම රැවටිලා
නොවී ඔබහට සුසුම් සෝ දුක් මටම වී නම් සැනසුමයි
ලැබී සුපැතුම් සුවෙන් සතුටින් සැපෙන් ඉන්නට අවසරයි
එබී බැලුවොත් මගේ ලෝකෙට පෙනෙන හිස් තැන් අපමණයි
නිවී සිනහා පහන් වැට දැන් හුඟක් කල් හරි කළුවරයි
කිසිත් නොපතා අහස් තලයෙන් හෙමින් බැස යන සඳ ලෙසින්
මටත් පුළුවනි ඉන්න හැමදාමත්ම හිමි නැති ඔබ නමින්
බලෙන් හිර කර ඉනූ කඳුලක් වැටෙන්නට එන නෙත් අගින්
සොවින් ආ මග පිරික්සන්නෙමි වැරදුනාදෝ කොහෙ ඉතින්.
Subscribe to:
Posts (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.