Monday, January 31, 2022

205. දැන් ඉතින්...


















දැන් ඉතින්.... 
දුරුතු මාසෙත් ඉවරයි 
ගෙවුණ ඉක්මන පුදුමයි 
හිරි වැටී ඇති හිතට රහසේ 
සීතලද නික්මී යයි 
මීදුමද දිය වී යයි.... 

හෙට ඉඳන්.... 
පෙබරවාරිය එළඹෙයි 
ආදරේ සඳ දිලිසෙයි 
අකල් වැහි වට හිතේ මතුපිට 
රිදුම් ඉඳහිට පෑරෙයි 
පුංචි වලවල් හෑරෙයි.... 

කවුළුවෙන්.... 
තාරකාවක් පායයි 
විසල් අහසට යාවෙයි 
අනන්තයටම පියාඹනු වස්  
පියාපත් යුග හිමිවෙයි 
ඒ සැනින් හිත ඉගිලෙයි.... 

මේ දැනුත්.... 
කදෝකිමියෙක් ඉගිලෙයි 
නිවි නිවී යළි දැල්වෙයි 
අතරමං වූ බවට ඉඟි ඇත 
ඒත් පිහිටක් නොලැබෙයි 
කොළඹ අහසම නිදියයි....



Sunday, January 30, 2022

204. වර්ණ












මුණගැහෙන්නේ නැතිව  අව් වැසි 
වෙන් වුනා නම් දෙපසට  
ඇඳෙන් නැතුවම වියැකිලා යන 
පාට දේදුණු කොපමණ
පිටෙන් පිට හරි සීරුවට ගෙන 
කියෙව්වොත් ජීවිත පොත 
සමහරක් විට අසිරිමත් වැකි 
මුණගැහෙන්නට පුළුවන.... 

හමා නොගොසින් නැවතුනානම් 
සුළඟ එක තැනකම ඉඳ
මලක සුවඳත් කෙමිය ඇතුලෙම 
හිරවෙලා මිය ගොස් අද 
සුදුය කිව්වට එහෙම පෙනුනට
එකම හිරු කිරණක් තුල 
ප්‍රිස්ම නැතුවත් සමහරුන් හට 
වර්ණ දැක ගන්නට හැක....
 
 

Saturday, January 29, 2022

203. මං නොදන්නෙමි














දුකක් හිතුනම 
සඳට නම් හැකි 
මූණ හංගාගෙන හඬන්නට 
වලා අස්සෙහි .... 

හිතක් රිදුනම 
රළට නම් හැකි 
හැල්මෙ දිවගෙන විත් හැපෙන්නට 
වෙරළ මත්තෙහි .... 

පෙමක් බිඳුනම 
ගඟට නම් හැකි 
ගලාගෙන ගොස් පැන ගිලෙන්නට 
මූදු පතුලෙහි .... 

හිතින් වැටුනම  
පිරිමි නම් හැකි
සුමිරි පානෙන් පා කරන්නට 
හිත අනන්තෙහි  .... 

කුමක් වූවත් 
ගැහැණු නම් අපි 
හූල්ලනු මිස මක් කරන්නද 
මං නොදන්නෙමි ....




Friday, January 28, 2022

202. ඒකට කමක් නෑ නේද?
















දුන්න මානාගෙන අහසට 
දඩයක්කාර තැන එන දවසට 
දැක්කද වහන් වෙන හැටි හඳ 
මුවා වී ලොකු වළාකුලකට 

කඩු දුනු කුමටදැයි ප්‍රේමෙට 
කවියෝ එමට ඇහුවට 
උණුවෙන හිත් හොයන්නට නැත 
වෙඬරුත් ගණන් ගිහින් අද

හිත් පාරගන්නෙ මොකටද 
පෙම කියා කියන්නෙම දුක 
සතුටක් ඕනිම නම් හිතට 
අපි හමු වුන එකම මදිද 

දුර ළඟ ලොකු පුංචි අනුපාත 
මැන මැන බලන ලෝකෙක 
සියේට සීයක්ම ගැලපුණත් 
අපෙ හිත් යා වෙන්නෙ කොහොමද 

පාළුයි තමයි කාටත් 
ඕනි අය ළඟ නැති වෙනකොට 
ඒ වුනත් මේ දැනෙන නිදහස 
අපි හෙව්ව නිවීමම නේද 

දඩයක්කරුවන්ගෙ විත්ති 
දැන් අපිට අදාලම නැති කොට 
හැමදාම අපි දකින හීනවල 
මල් සුවද තැවරේවි නේද 

ඉස්සර පුරුද්දට තාමත්  
රෑට අවේලාවෙ ඇහැරුනාම    
අපි ගැන ලියන්නම් කවියක් 
ඒකට කමක් නෑ නේද?


Thursday, January 27, 2022

201. මට එහෙම දැනෙනවා












සුදුපාට මීදුමේ 
රතුපාට බස්රතේ 
දිග..... හුස්මක් අරන් 
උස කන්ද නගිනවා 

වා කවුළු කෙලවරේ 
මුදු සීත මඳනලේ 
හුරු පුරුදු මල් සුවඳ 
මට තාම දැනෙනවා 

පෙම්වතුන් යුවලකට 
පමණක්ය කිය කියා 
පිටිපස්සෙ සීට් එක 
දොර දෙසම බලනවා 

අර ඈත කඳු පෙලේ 
ඔබ ඉන්න මන්දිරේ 
කොහේ වේදැයි කියා 
මං එවිට හොයනවා...

ප. ලි. 
ගිනි පෙට්ටියක් වගේ 
මේ ඇදෙන බස් රතේ 
ඔයාටත් පේනවැති 
මට එහෙම හිතෙනවා...

කවුළුවෙන් අතවනා 
ගිහින් එන්නැයි කියා 
කියනවා මයි ඔයා 
මට එහෙම දැනෙනවා ...




Wednesday, January 26, 2022

200. ඇතැම් හදකට හැකිය













ඇතැම් මලකට හැකිය 
සලා පෙති නැළවෙන්න 
පිටත් කර සිය සුවඳ 
නල එක්ක... 

ඇතැම් ගසකට හැකිය 
සිනාවක් පළඳින්න 
සකස් කර සිය රුහිරු 
ඵල එක්ක... 

ඇතැම් රැයකට හැකිය 
සනීපෙට නිදියන්න 
වෙනස් කර ගනුදෙනුව 
දුක එක්ක... 

ඇතැම් හදකට හැකිය 
කුමක්ව වුව ඉවසන්න 
පසක් කර බිඳෙන හිත 
කවි එක්ක...



Tuesday, January 25, 2022

199. නිහඬ නැවතුම



අයෙක් හමුවෙති 
අයෙක් වෙන්වෙති
සතුට දුක දෙක 
සිතෙහි රඳවා 

දිගු ගමන් යති 
කෙටි ගමන් යති 
එකම තැනකින් 
ගමන් අරඹා 

මන්ද ගාමී 
සීඝ්‍රගාමි 
අන්ත දෙක මැද 
වේග සසඳා 

දෙනෝදාහක් 
යනෙනු දැක දැක 
නිහඬ නැවතුම 
සිටී කරබා!


Monday, January 24, 2022

198. මල සහ ඇය



බඹර තුඩකින් ලැබෙන 
ආදරේ වේදනා 
සුවයකැයි පවසන්නෙ

හැලෙන පෙති මතුපිටත් 
කිසිම වෙනසක් නැතිව 
සුවඳක්ම තවරන්නෙ 

මාරුතේ හැපී හැපී 
බිඳී යන ප්‍රාර්ථනා 
සොඳුරු යැයි පවසන්නෙ 

මිලිනවී ගියත් හෙට 
අද දවස හැකි තරම් 
හිනාවෙන් පුරවන්නෙ 

මල! 

මහත් දුක් වේදනා 
උරුමයක් යැයි සිතා 
කප්පරක් ඉවසන්නෙ 

හෙටින් එළිවන දිනේ 
කෙම් බිමක් ගැන සිතා 
හීනයක් පුබුදන්නෙ 

මඳක් පිටුපස හැරී 
කිසිවෙකුට නොපෙනෙන්න 
කඳුළු බිඳු පිසලන්නෙ 

යලිත් ඉදිරිය බලා
ලෝකෙටම පෙනෙන්නට
සිනාමුව දක්වන්නෙ

ඇය !



Friday, January 21, 2022

196. රේල් පීලි වල ප්‍රේමය!














සැමගෙන් දුරස් වී 
සැමගෙන් වෙනස් වී 
වෙනමම ඉසව්වක තනි වීමය 
රේල් පිලිවල ලෝකය ... 

පෙරට ඇදි ඇදී 
හිස මතින් ගමන් යන 
යකඩ බර දරා ඉසිලීමය 
රේල් පිලිවල කාරිය... 

සමාන්තරව සිටිමින් 
එකම දිසාවට යමින් 
සියල්ල සුන්දර යැයි සිතීමය 
රේල් පීලි වල ප්‍රීතිය... 

එක්කෙනෙක් දුරස් වීත් 
කොච්චි නවතින බැවින් 
දුරස් වීමක් ගැන නොසිතීමය 
රේල් පීලි වල නීතිය... 

කිසිදාක ලං නොවීත් 
කිසිදාක වෙන් නොවීත්
ඔවුනොවුන් දෙස බලා සිටීමය 
රේල් පීලි වල ප්‍රේමය!



Thursday, January 20, 2022

195. සමහර දවස්











කොහේ හිටියත් දැනෙන  කුමක්දෝ තනිකමක් 
ඉබේ සුසුමක් මිදෙන නැතත් කිසි හේතුවක් 
සියුම් කැළඹීල්ල හද හුස්මටද දෙන බරක් 
සමහරක් දවස් ඇත දැනෙන මහ හිස්කමක් 

කහපාට හවස්වරු මුසු වෙච්ච යම් දුකක් 
කඩල ගොටුවක සුවඳ අරන් එන මඳ නලක් 
ස්ටේෂමේ සෙනග පීරමින් එක් නෙතක් 
දැන දැනම හොයනවා හමු වෙන්නෙ නැති රුවක්!




Wednesday, January 19, 2022

194. හිමි අහිමි

 















රිදුනු සිත අමුතුවෙන් රිදෙන්නට තැවෙන්නට 
 තව දෙයක් ඉතිරි වී නැති නිසා 
 කැමති නම් යනු පිණිස ඔබට රිසි ලෙස නික්ම 
 මා සිටියෙ හද දොරටු හැර තියා 
 හොයන බව දන දැනම මුවා වී සඳවතට 
 නොගිය ඔබ ඉන්න මුත් සැඟවිලා 
 ලියනකොට මෙහෙම කවි එනවමයි දනිමි ඔබ
 මිදුණා යැයි කියපු හිත දියවෙලා 

 හිත පුරා නැල වෙමින් සිටිනවා මිසක තුරු 
 නම ගමක් හෙව්වෙ නෑ මඳ නලේ 
 හිතුමතේ ඇවිත් රොන් සදනවා මිසක බිඟු 
වෛයිවර්ණ හෙව්වෙ නෑ වන මලේ 
 හිතෙන තැනකින් එබී දිලෙනවා මිසක සඳ 
 ඇද පළුදු හෙව්වෙ නෑ ආකහේ 
 ඉපදෙමින් ඉතිරෙමින් ගලනවා මිසක සිත 
 හිමි අහිමි හෙව්වෙ නෑ ආදරේ!



Tuesday, January 18, 2022

193. එක අහසක් යට

 















සුසුම විටෙකදි ගස 
 කුසුම වන අරුමය 
 වැසී යන ලෙස කොළ 
 දරන මල් තුරු පෙළ 
 දකින හැම මොහොතෙම 
 සිතෙයි නොදැනිම මට 
 සතුට එනතුරු අප 
 බලා සිටියුතු වග 

 සුළං රැල්ලෙත් මඳ 
 තුරක් නැළවෙන වග 
 සිහින් සවරයක හඬ 
 එහිද මිමිණෙන වග 
 සුලං සිලි සිලි ළඟ 
 දැනෙයි නොදැනිම මට 
 සියුම් ලෙස ඒ ස්වර 
 අසා සිටියුතු බව 

 අන්ධකාරය තුලත් 
 රසක් හමුවන බව 
 අපට රිසි සේ එයත් 
 විඳිය හැකිවන වග 
 ලොවම සැතපෙන පැයේ 
 දැනෙයි නොදැනිම මට 
 මතක අවදිව හිතේ 
 ඔහේ දිවයන රඟ 

 අහිමි බව හැඟුනම 
 වෙන්ව ගියමුත් අප 
 ගෙවී ගිය කාලය 
 අපිව අස්වැසු වග 
 නින්ද නොම එන රැයේ
 හැඟෙයි නොදැනිම මට 
 එකම අහසක් යට 
 අපිත් සතුටින් අද.



Monday, January 17, 2022

192. උරුමය













කොහොමහරි කන්ද නැග්ගොත් 
ඊලඟට එන්නෙ පල්ලම 
කන්ද තමයි අමාරු  
පල්ලම ලේසියි 
තාත්ත නිතරම කියනව... 

කන්ද නම් නැවතිල්ලෙ නැගිය හැකි 
පල්ලමේ ලිස්සුවොත් ඉවරයි 
කන්ද තමයි ලේසි 
පල්ලම අමාරුයි 
අම්ම නිතරම කියනව... 

දෙන්නගෙම කුළුඳුලේ දරු වුන මට  
උරුමයම අරුමය වෙච්චි 
කන්දත් අමාරුයි
පල්ලමත් අමාරුයි 
හරි පවු නේද සාන්ත!
මංම තනියෙන් හිතනව...



Sunday, January 16, 2022

191. කරබාගෙනම ඉන්නව.












සමහර උදේ වරුවල 
කෝපි මල් මගෙන් අහනව 
ඒ සුවඳ අඳුරනවද කියල 
පෙතිවල සිනිඳු දැනෙනවද කියල 
ඒත් මට හිත නෑ කියන්න  
ඒ අපේ හීනවල සුවඳ කියල 
ඒ අපේ හීනවල මෙලෙක කියල 
ඉතිං... 
කරබාගෙනම ඉන්නව.

සමහර උදේ වරුවල 
කුරුල්ලො මගෙන් අහනව 
ඒ කිචිබිචිය අඳුරනවද කියල 
පියාඹන සැහැල්ලුව දැනෙනවද කියල 
ඒත් මට හිත නෑ කියන්න  
ඒ අපේ හීනවල සද්දෙ කියල 
ඒ අපේ හීනවල නිදහස කියල 
ඉතිං... 
කරබාගෙනම ඉන්නව. 

සමහර හවස් වරුවල 
සමනල්ලු මගෙන් අහනව 
ඒ පාට අඳුරනවද කියල 
පිහාටුවල සුබාව පේනවද කියල 
ඒත් මට හිත නෑ කියන්න  
ඒ අපේ හීනවල පාට කියල 
ඒ අපේ හීනවල ලස්සන කියල 
ඉතිං... 
කරබාගෙනම ඉන්නව. 

සමහර හවස් වරුවල 
දොළ පාර ඔහේ ගලනව 
මොනවද මුමුනමින් කියනව 
යන ගමන් මා දිහාවෙත් බලනව 
ඒත් මට හිත නෑ කියන්න  
අපෙත් අත් අත් අරුනයි කියල 
නමුත් හිත් අත් අරුනෙ නැහැයි කියල 
ඉතිං... 
කරබාගෙනම ඉන්නව!


Saturday, January 15, 2022

190. සුව කරන්නිය













සුදු වතින් සැදි ප්‍රිය 
සුව කරන්නියකිය 
හෙදිය නම් ලද ලිය 
අමුතු ජීවියෙකිය 

නිදහසක් හිමි නැති 
පුදුම රැකියාවකි 
නමුත් අහිතක් නැති 
මේක සත්කාරෙකි 

අරන් අවධානම 
වැඩට දුවගෙන එන 
ගොඩක් නම් තිබුනට 
'මිස්'ය පුරුදුම නම 

ලෙඩුන් සෝ දුක ළඟ 
පෙනෙද්දිත් අනියත  
සිනාවෙන් හෙට ගැන 
සිතුම ලේසිම නැත 

පහන්සිල අත මත 
නිවෙද්දිත් සුළඟට  
සිතයි සැඟවෙන පණ 
රකින්නට හුස්මක 

අධික වැඩ ගේ දොර 
රෑට සේවා මුර 
කළමනාකරණය 
නොකළහොත් ඉවරය 

කරොත් වැඩ හරියට 
ඉඩක් සුරලොව ඇත  
හෙල වුනෝතින් හිත  
අපායෙත් යත හැක 

රෑට බත් එක හරී 
දෝණි තාමත් නිදී 
ඒත් නොගිහින් බැරී 
වාට්ටුව අද බිසී!


ප. ලි.
හෙද සොයුරෙකුගේ ඉල්ලීම පරිදි අප ආදරණීය සියලුම හෙද සොයුරු සොයුරියන් වෙනුවෙන් ලියවුණකි.

Friday, January 14, 2022

189. බයිකල්
















ඔයත් නැතිකොට පාලු යන්නට 
පෙට්ටගමෙ කවි අගුළු ඇරියට 
හිතට හරියන දෙයක් නැතිතැන
ඕන් බයිකල් විල උනා මම!

දෑස් මානෙන් එහා ඈතට 
නීල නිල විහිදෙන අනන්තෙට 
ඔයා දැක්කොත් දැන් මගේ හැඩ   
කියයි 'සන්තෝ .. මේකෙ ලස්සන !'

සිසිරයේදී මිදී හොඳටම 
ගල්වෙලා සෘණ විසි ගණන්වල  
ආයි ගිම්හානයක් ඇවිදින් 
සිනාසෙද්දී හොඳ ගණන් මට

ඒත් මේ වෙන විපරියාසය   
අවුල් වාගේ හිතෙනවා මට 
අහන් ඉන්නව නම් කියන්නං
හිතේ තියෙනව අදහසක් හොඳ 

සෙන්ටිමීටර දෙකක් දවසට 
ඇදී මායිම් පළල් කරගෙන  
ආක්ටික් වෙත ගිහින් යාවෙන
අලුත් මුහුදක් උනොත් කොහොමද   

ආක්ටික් යැයි නමක් දැම්මට 
ඒ මොකෙක් වත් නොව ඔයා මිස 
දන්නවා නේ මගෙන් ගැලවී
යන්න බැරිබව කිසිම කෙනෙකුට 

අලුත් මුහුදක් වෙලා එන මම 
බාර ගන්නකො ඔයා සදහට 
ආන් එතකොට ඇහැකි අපි හට 
ආසියාවත් වෙන් කරන්නට 

කෝක කිව්වත් හිනාවෙන එක 
මෝඩ ගස්වල හැටිද ඇත්තට  
ඒත් බෑ බය හිතෙනවා මට 
කාරණාවක් මතක් වෙනකොට 

බැරිවෙලාවත් ඊට කලියෙන් 
මහ විසාලෙට මිදී රොන්මඩ 
ඔයා කොහොමෙයි බේර ගන්නේ 
ගොඩ උනෝතින් මගේ හදවත?



Wednesday, January 12, 2022

188. ගංගා















තුංග ගිරි හිස මුදුනෙන් 
තනි කැමැත්තට බැස්සට 
පහල ලස්සන ලෝකයෙ 
සිරිය දකිමැ’යි සිතුවට 
ගිරිකුලෙන් නම් පහළට 
කී වරක් ඇද වැටුණද 
හොඳම නෑ කවදාවත් 
ගැහැණු හිතකට තදියම ... 

හිතේ තෙරපෙන මහ දුක 
ඉවුරෙ හංගා ගත්තට 
සිනා පෙණකැටි නංවා 
සතුටු මුහුණක් මැව්වට 
සමහරක් දා රෑකට 
තට්ට තනියම ඇඩුවට 
තනිව නැගිටින එකමයි 
ගැහැණු හිතකට පිළියම ... 

මහා ගල්පර සමගත් 
කරට කර ඉඳ ගැටුනට 
සමහරක් තැන් මගහැර 
හිතෙන පැත්තට හැරුණට 
හිටි ගමන් මග නැවතී 
තැනිතලාවක තනියම 
සිනාවක කිමිදීමයි 
ගැහැණු හිතකට ලස්සන ... 

කප්පරක් දුර ගෙවමින් 
සයුර වෙත එළඹෙන සඳ 
වෙහෙසකර දිගු ගමනක් 
නිමාවක් වී අවසන 
කොයිතරම් ගතු කීවත් 
පිරිමි පපුවක උණුහුම 
අස්සෙ ගුලිවෙන එකමයි 
ගැහැණු හිතකට සැනසුම!



Tuesday, January 11, 2022

187. සමහරක් අය

 



















සිදුරු කරගෙන පොලෝ හදවත 
ඉතා ගැඹුරට කිඳා බැස්සේ ටිකෙන් 
ටික එසවෙමින් ඉහලට 
හෙමින් සාරය උරා ගත්තේ 
ඛාදනය වී ගිලන් වන හද 
ඒත් ඒ කිසිවෙකු නොදත්තේ 
මුදුන් මුල් නැති සමහරක් ගස් 
තමයි පොළොවක් වසා ගත්තේ 

හෝස් ගා ඉර එවන අව්වෙන් 
හැකි තරම් සැර උරා ගත්තේ 
කුඩා පත් දස දහස් ගණනින් 
හලා බිම තෙත රඳා ගත්තේ 
ඉරි තැලෙන්නට ඉඩ නොදී හිත
වසාගෙන හෙවණැල්ල මත්තේ 
මල් පිපෙන්නැති සමහරක් ගස් 
තමයි පොළොවක් බලා ගත්තේ

සියල්ලම මායාවකැයි කී 
ලොවෙත් යම් සත්‍යයන් ඇත්තේ
නැවතුමේ දිවි, ලැගුම් අහිමිය
සැරිසරන්නට පමණි හැක්කේ 
හිමි නොවූ සඳ අතහැරි යන 
වැඩිමනත් සිත් සතන් මැද්දේ 
හිමිකමක් ගැන නොම සිතූ අය 
තමයි ප්‍රේමය හොයා ගත්තේ!



Monday, January 10, 2022

186. විනිවිදිමි රැය














කොහොමටත් මට තිබුනෙ හරි පුංචි ලෝකයක් 
ඔයා එහි ආ එකම මට තවම හීනයක් 
දෙයියනේ! හිතක් තුළ ඒ තරම් ප්‍රේමයක් 
මං දන්නෙ නෑ මගෙන් උනාදැයි පාපයක්

ඇහැරගෙන ගත කරමි; රැය අඳුර විනිවිදිමි 
හසු නොවන යමක් මත ඇඟිලි තුඩු වෙව්ලුවමි 
සීරුවට පිරිමදිමි; අසිහියෙන් මෙන් සිඹිමි 
ඒ ඔබද; ඒ මමද; අපි දෙන්නමද; සොයමි!


Sunday, January 9, 2022

185. හඳ දන්නවනම් ?
















පුංචි කාලෙ හැමදාමත් අහස පුරාවට හිටියා
ගිය ගිය තැන හඳහාවා රෑ මගෙ පස්සෙන් ආවා
පහ වසරෙදි ශිෂ්‍යත්වෙට වාඩි කරන් මං ගාවා
කන්ද උඩින් පායපු හැටි රචනාවට මං ලිව්වා

සා. පෙ. ලියන්නට කලියෙන් පෝයට පන්සල් ආවා
වෙහෙර වටේ අපි වඳිද්දි ඔයා වෙහෙර උඩ හිටියා
උ. පෙළ පාඩම් කරද්දි ජනේලෙ අයිනෙන් පායා
අපි පාඩම් කරපු ඒව ඔක්කොම අහගෙන හිටියා

කැම්පස් තේරිලා ඉද්දි තව ලස්සන වී පෙනුනා
ඔහේ බලන් ඔය දිහාව මං නිසදැස් කවි ලීවා
හදිස්සියෙන් මගෙ ලෝකෙට තව හඳ හාවෙක් ආවා
ඔයා වගේමයි එයැයිත් නොදැක ඉන්න බැරි වූවා

ගෙවල් දෙකක අපි දෙන්නම එක වෙලාවෙ හඳ බැලුවා
එයැයි මෙමට හාවා වෙලා මම එයැයිට හාවී උනා
සිනා කතා සරදම් මැද අපි මහ හුඟ දුරක් ගියා
කියන්න ඕනත් නෑ තව දැක්කනෙ හැමදේම ඔයා

හාවා සමු අරන් ගිහින් හද ආවාටයක් උනා
අහස මැද්දෙ හිටිය ඔයත් වළාකුලකට වැහිලා ගියා
හැමදාමත් හඳ බැලිල්ල නොදනිම මග ඇරිලා ගියා
අහම්බෙකින් දැක්කත් හාවෙක් නැති බව මතක් උනා

කොතැනකවත් දොස් දකින්න ඒත් හිතට බැරිව ගියා
භූ ලක්ෂණ අපෙත් වෙනස් ඒ ගානක් නැතුව ගියා
උප ග්‍රහයෙක් වුවත් ලොවක් ඇස් අද්දර ගෙනත් තියා
සොළොස් කළාවම හාවා යනකොට මට දීල ගියා!



Saturday, January 8, 2022

184. අපි
















කලාතුරකින් තාරකාවක් 
උදෙත් පායා අහස සරසයි 
මතක් කරමින් අපෙ අතීතය 
මලක සුවඳක් හිතට මුමුණයි 

බලා ඉන්නෙමි දොර පියන් ළඟ 
ඈත ක්ෂිතිජෙට මං මනාපයි 
කෝච්චිය දැන් පහු කරන්නේ 
වැල්ලවත්තේ අපෙම මුහුදයි 

රැල්ල අවුදින් වෙරළ දැකගෙන 
ආයෙමත් ඈතට පලායයි 
පරණ සටහන් මැකී ඇති දැන් 
ලියන්නට අලුතින් වෙලාවයි 

ඉලක්කම් කිසිවක්ම නොබලා 
ඉගිල්ලී කාලය පියාඹයි 
එදා වගෙමයි අදත් නොවෙනස් 
අපේ හිත් ගැන තාම පුදුමයි 

තිත්ත ඇත්තට හුරු වෙලා දැන් 
තිත්ත රසටම මාත් ආසයි 
එහෙම වෙන්නට උදව් කලෙ මට  
හිතේ පැලවුනු ඔය හිනාවයි 

මග බලන් ඉන්නට එපා යැයි 
කියන්නට මගෙ හිතට ලෝබයි 
ඒත් මං මේ අදත් එන්නේ 
ආ පමාවෙන් හැරිල යන්නයි ...



Friday, January 7, 2022

183. අත් හැරුණු අත්











රැයක් පමණක් ගසක් සැරසුව
කුඩා සේපාලිකා කුසුමක්
ගසේ පාමුල වැතිර ගෙන වුව
ගෙනෙනු ඇත ඉමිහිරිම සුවඳක්
 
කඳුළු පිණි තණ පලසෙ පුරවා
රාත්‍රිය මහ හුගක් හැඬුවත්
නාඳුනන දෙපයක් උදෑසන
ලබනු ඇති ඉන් අමුතු සිසිලක්

නැගී ඇහැරෙන විටදි අරුණළු
ඉරී මිහිදුම් සේල ලිහුණත්
කඳුළු පිසදා ගතිපු කන්දක්
දකිනු ඇත තුරු හිසක කැකුළක්

පවන් රැල්ලට එකතු වුන මුත් 
මග ඇරුණු තනි සිතක සුසුමක්
ගෙතෙනු ඇති අත් හැරුණු අතකින්
අද හෙටම ලස්සනම කවියක් !



Thursday, January 6, 2022

182. ප්‍රේමය

 













දෝත දිගු කර මහා කන්දක් 
වහින වැස්සක් බදා ගත්තට 
හිනා වීගෙන වැටෙන වැහි බිඳු 
නොයිවසිල්ලෙන් එකතු කෙරුවට 
සේදි සේදී දියව හදවත 
එකම හුස්මට නාය යනකොට 
සබඳ ප්‍රේමය යැයි කියන්නේ 
නිහඬවම ඉඳ නැසී යාමට ... 

ලොවෙන් සඟවා අසුන්දරකම් 
මූල මණ්ඩල ඔසව ගත්තට 
පොලෝ ළමැදේ පැලුම් අතරින් 
සිහිල් උල්පත් ගලා හැලුනට 
පර මලක් වියළුණු පතක් හැර 
පොළොවකට වෙන ලැබුනෙ මොනවද 
සබඳ ප්‍රේමය යැයි කියන්නේ 
නිහඬවම විඳ දරා ගැනුමට ... 

කහ ගැහී ගිය ඉපල් නටු අග
විහඟ සමනල නෙත් නොදැක්කට 
යන වගක් නොකියූ වසන්තය 
ගියා මිස ආපහු නොආවට 
සැහැසි හිරු වියලවපු හද බිඳ 
පත් සියල්ලම බිමට වන් විට 
සබඳ ප්‍රේමය යයි කියන්නේ 
නිහඬවම හිඳ අත් හැරීමට ... 

මේඝ දුතයො ඇවිත් කළුවට 
වසා අහසම හිත රිදෙව්වට 
තැනින් තැන දිලි තාරකා එලි 
ඉඟිමරා ලොකු කතා කිව්වට 
වලා අතරින් ඇබින්දක් හරි 
හොයාගෙන ඉඩ දිලෙනවිට සඳ 
සබඳ ප්‍රේමය යැයි කියන්නේ 
කඳුළු අතරින් සිනාසීමට ...



Tuesday, January 4, 2022

181. WFH ජෝගිය














ඔපිස් වැහුනා කොරෝනාවෙන් ගෙදර ඉඳලයි වැඩ ඉතින් 
දැක්කෙ අවසන් වරට ඔපිසිය මීට දෙවසරකට කලින් 
ඔයාලට දැන් සැපයි ලේසියි කියන අය කටවල් ඇරන් 
අනේ කියවා බලන්නකො මෙය තරහ නොමගෙන මුල ඉඳන් 

ඇත්තටම අට පහය කිව්වට ෆ්ලෙක්සිබල්  වර්කින් අවර්ස් 
හිටි ගමන් මහ රෑත් වැඩ මැද ගන්න හින්දා ඉන්ටවල් 
නැතිය මව්පිය පිහිට, සර්වන්ට්ලත් ඉතින් අස්පය ගණන් 
තනිව දිවි බර අදිමි ගෙනයමි ගිලෙන නැව ළමයත් ඇදන් 

අවදි වී කලියෙන් දවල්ටත් එක්ක කෑමද උයනවා 
ඉඩක් ලැබුනොත් කන්න තේ හා තවත් ස්නැක් හදනවා 
නිදාගෙන සැප ගන්න දෙන්නට අවදි කර තේ බෙදනවා 
හත නවය පැය දෙක ඔපිස් වැඩ නිදහසේ මං කරනවා 

උදේ සිට සැරසිලා හොඳහැටි සැමියා අට වෙනකොට යන 
වයස අවුරුදු හයේ නළගන සමග මා මෙහි තනිවෙන 
දැකල වනසල ගියපු කුස්සිය හොඳවයින් බණ සිහිවෙන 
කරල අස් පස් කවල කනකොට අනේ එකොළහ පහු වෙන 

වාඩි වී එක තැනක පැය බාගෙකට හිටියොත් සීරුවේ 
කොහේ හෝ ජල්බරියකිය මට හිතන්නත් බැරි ජාතියේ 
දිදී උත්තර අන්ගනාවිට කටට එන එන පාලියේ 
බැරිම විට දොර වහල යතුරත් තියාගාමී මා බාරයේ 

දෙකට ස්ටෑන්ඩ්අප් එකේදී කියන්නට යම්කිසි දෙයක් 
ඕන නේදැයි සිතා ගත්විට කරන්නට මොනහරි වැඩක් 
කෝල් සීයක් විතර එකපිට පෝලිමේ එන අරුමයක් 
තියේ මට නම් ගෙවී අහවර නොවුන පෙර කල කරුමයක් 

සෑම සඳුදම මීටිමේදී වීඩියෝ ඔන් කිරීම  
අනිවා හින්දා ඊට කලින් මූණ හොදා ගැනීම 
කරමි ඒ නැති දිනට රෑ වන තුරා එලෙසින් සිටීම 
ෂුවර් සර්වන්ට් කිට් එකට මගෙ දිනෙක බුදු බව ලැබීම 

ඔන් උනොතින් කෝල් එකකදි වීඩියෝ එක බැරිවෙලා 
හපොයි ඉවරයි එතෙන්දිම මගෙ යනව සායම දිය වෙලා
ඒක හින්දා ඕන වූ විට ගලවගන්නට තෝරලා 
වසා කැම් එක ස්ටිකර් දෙක තුනක් තියෙනව අලවලා 

තුනෙන් පසු ගෙන ලන්ච් පැය ලලනාවි නාවා ඉක්මනින් 
කෑම දී ඇති යමක් ගිලලා මාත් එනවා සන්තොසින් 
උදේ අලවුණු යමක් වේ නම් සොයා බලලා ඉස්තිරෙන් 
කොටා ටක් බක් ගනිමි වැඩ උන්මාද මගෙ මොළ යන්තරෙන් 

පයේ සිට ඔලු ගෙඩිය දක්වා පිරී තියෙනා විට වැඩ 
අහෝ කේදෙකි එහෙම දවසට එනව කෙල්ලත් උකුලට 
කීන් ගාමින් නාද දුන්නත් කෑම ඉල්ලාගෙන බඩ 
අනේ කන බොන දෙයක් නිස්කාසුවේ ලබන්නට නෑ ඉඩ

කරකවෙන්නට පුටුව නෑ ළඟ නිතර කොන්දත් රිදෙනවා 
ඕන කමකට එකෙක් නෑ ළඟ හැමෝගෙම බිසී වැටෙනවා 
ෆෑන් දැම්මට වැඩක් නෑ මෙහෙ හොඳට දාඩිය දමනවා 
ඔපීසියේ රත්තරන් AC එක ම මතකෙට නැගෙනවා 

ටීම් මීටින් ඇක්ටිවිටි සහ අනෙක් දේවල් හැමෙකම 
ළමය සමගින් පෙනී ඉන්නා එකම සිරියාවිය මම 
වැඩිය මොකටද මගේ ප්‍රොෆයිල් රූපයෙත් හරි අඩකම 
ළමය ඉන්නව හිනා වී ගෙන මාත් එක්කම ඕසෙට 

පුංචි තිරයේ කොටලා ඇස් දෙක දැනටමත් ඇත පොට ගිහින් 
නැතිය ඉඩ මොනිටරේ තැබුමට ගත්තෙ නෑ තව පෙට්ටියෙන් 
අත දුරින් ඇති ඔපිස් බිල්ඩිම දිහා බල බල හුල්ලමින් 
ගෙදර සිට වැඩ කිරිමේ ෂැප අත් විදින්නෙමි සිත් ලෙසින් 

මූණ වත් දැක නොමැති අලුතින් ආව පොඩි උන් බැලීම 
අපොයි ස්ට්‍රෙස් කියා අඬනා සියල්ලන් අස් වැසීම 
ඇත්තටම අපි වැඩද වදවෙන මනේජර්ගෙ හිත හැදීම 
දහසකුත් වැඩ අස්සෙ තියෙනව ඕප විපරම් කිරීම 

ඉවරුනත් ඒ නැති උනත් වැඩ හවස හය හත වෙනකොට 
පැත්තකට කර සියල්ලම යා යුතු අනිත් රස්සාවට 
ඉති කුමාරිය සිහි කරන් ඒ සේරමත් නිමවනකොට 
හොඳ ගණන් මට වැනි වැනී ඇවිදින වෙලාවෙත් දොයි මම 

වැඩ මූඩ් නැති දවස් දෙකතුන අයිස් ගැහුවා මුත් මෙයා 
හිතට හරි නෑ හිතෙනවාමයි මේව මට පලදෙයි කියා 
එහෙම කාලෙට නිදිමරාගෙන උදේ දෙකතුන වෙන තුරා 
බැලන්ස් කරනව අයිස් සහ වැඩ හිතෙන තුරු දැන් හරි කියා 

ලබල තියෙනව මම ලැබීමක් වැඩ අතින්නම් අම්මපා 
කියල මොකටද මගේ ගාවට එන්නෙ වැඩ සිං සිං ගගා 
යන්න වුනමුත් හදිස්සියකදී මතු බවේ මට බය නැතා 
ගන්න පඩියට හිතට එකඟව කොහොමහරි මං වැඩ කරා 

හිතුන විට වැඩ නොකර ඉඳලා ආයෙ හිතුනම කරන්නේ 
මදිද පුළුවන් කමම වෙන අය එහෙම නැතුවයි තැවෙන්නේ 
එහෙම බැලුවම මගේ ජොබ් එක සිරාවට මල් හතයිනේ 
අන්න එහෙමයි කපන්නට බැරි අත අරන් මං ඉඹින්නේ



Sunday, January 2, 2022

180. සියල්ලම මේ හරිම පුදුමයි


වැටෙනකොට තුරු පතක් වියලී 
දැනෙන දුක මහ පොලොව උසුලයි 
පිපෙනකොට මල් කැකුළු හිනැහී 
සුළඟ දිවැවිත් සුවඳ අහුලයි 
අහස දුර යැයි කියා කීවද 
වහින වැහි බිඳු පොළොව සනසයි 
විටෙක නැවතී හිතල බැලුවොත් 
සියල්ලම මේ හරිම පුදුමයි 

ඊයෙ තිස් එක රැයේ සැණකෙළි 
සිරිය මැද හද සිදුරු කෙරුනා 
බියව සිය බිජු අහිමි වේයැයි 
කිරල මව් මහ හඬින් හැඬුවා 
සද්ද මැද සියොළඟම වෙව්ලා  
කණාමැදිරියො පහන් නිව්වා  
බලා මල් වෙඩි ඉපිල්ලී සිත
පැටික්කී මගෙ මිදුලෙ නැටුවා 

නින්ද නැති නෙත් බලෙන් පියවා 
ඇහැරගෙන මුළු රැයම ගෙව්වා 
සතුට දුක යන අන්ත දෙක මැද 
මසිත මට හිමි ඉසව් සෙව්වා
පමා වී මුත් පුරුදු පාරෙන් 
අරුණ පළවෙනිදා ව හෙව්වා 
හරිම නිහඬයි සැවොම නිදි 
හිමිදිරිය සැනසුම් සුසුම් හෙලුවා

හුඟක් දේ කිව් තවත් වසරක 
නිමාවක් සනිටුහන් කෙරුනා 
නැතත් වෙනසක් අදට ඊයෙන් 
කිරිබතක් මං ඉතින් හැදුවා
යාන්තම් අනිතිම සුමානේ  
කොහොමහරි මං ගමට දිව්වා 
හුස්ම ගන්නට ඇහැකි දැන්නම් 
අම්ම තාත්තගෙ මූණ බැලුවා

අහිමි හිමි මැද රිදෙන හිත ගෙන 
වහින වැස්සට තබා කඳුලක 
වටහගනු බැරි කප්පරක් දේ 
පවන් රැල්ලට මුදා සුසුමක 
අහිංසක හෙට දිනෙක හසරැලි 
පිපෙන කුසුමෙක තබා තුරුහිස 
ඉතින් අපි මේ විඳිනු ඇත්තේ  
රසම නොවෙදෝ එකම දිවියක....



සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.