Tuesday, September 19, 2023

252. ගැහැණු වැඩට යති















ගැහැණු වැඩට යති 
හවස ගෙදර එති 
සුවසෙ නොපවතිති 
ගෙදර වැඩට යති 

දාඩිය පිසලති 
භාජන සෝදති 
භෝජන සාදති 
බඩගෙඩි පුරවති 

ළමයින් නහවති 
කවමින් සනසති  
කොලහල බේරති 
නලවති සතපති 
  
පිසලති අමදිති 
අඩු වැඩි තෝරති
හැමටම කන්දෙති  
හැමදෙය විසදති  

දහවල රැය වෙති 
එනමුත් නොදනිති 
එක හුස්මට ඇති 
වැඩ කරගෙන යති 

වැඩටම කැපවෙති 
අ සනීපද වෙති  
සුළු බෙහෙතක් බොති 
නැවත වැඩට යති 

මාර්තු අට වෙති 
ඇගයුම් බොහො එති 
පැසසුම් ඉවසති 
එදත් වැඩට යති 

ඕටී නොලබති 
සති අග නොදනිති 
පොහොයක් නොදකිති  
වැඩෙහිම යෙදවෙති 

බැරිම තැනක් එති 
මොහොතක් නවතිති 
කඳුලක් පිසලති 
ගැහැණු වැඩට යති. 😥

(පින්තූරය අන්තර්ජාලයෙනි)


Monday, September 18, 2023

251. සඳෙහි පෙදෙසක

  












සඳෙහි සොඳුරුම පෙදෙසක 
ඔබව නිරතුරු දකිමී 
හදෙහි අඳුරුම පතුළට 
එවිට මම ගොඩ වදිමී 
පිටට නොපෙනෙන අයුරින් 
ඇතුළ දොරගුළු දමමි 
බිඳුණු සිහිනෙන් විසිරී 
සුවඳ මත සැරිසරමී 

සිහින බිඳුණද ළඟ ඇති 
මතක මත සැනසුම වේ 
රිදුන සිත අස්වසමින් 
හිඳින්නෙමි නොරිදුන සේ 
කොහේ හෝ හිඳ සිනහා 
නගයි නම් ඔබ පෙරසේ 
ඒත් ඇති ඉන් සැනසී 
හිඳින්නට මට සුවසේ 

ගඟෙහි දියමත වැතිරී 
සඳෙහි කැල්මන් දිදුලයි 
නිහඬ බවකින් වැසුණේ 
පතුල නොපෙනෙන ගැඹුරයි 
සුසුම් උණුසුම් ඉපදී  
හදෙහි සිතුවිලි අවුලයි 
කවිය ලියවෙනු ඇත්තේ 
අදත් ඔබ ගැන පමණයි.

(පින්තූරය අන්තර්ජාලයෙනි.)


Saturday, September 16, 2023

250. නිදහස
















සිනාසී කඳුළු බිඳු 
එකතුකර  අහවරයි 
සියලු දේ උසුලමින් 
සිටින්නේ හදවතයි   

බැඳුණු තැන් වෙළුණු තැන් 
කොහොමටත් වේදනයි 
තනිව යා හැකියි නම් 
ගමන හරි සුන්දරයි 
 
රිදවගන්නට තවත් 
හිතට සවි නැති කමින්
අතැරියා හුඟක් දේ
සුළගෙ යන්නට හිතින්

කැපුම් සීරුම් රිදුම් 
කවි අතර සඟවමින් 
පෙම් කරමි නිදහසට 
සරුංගලයක් ලෙසින්.

(පින්තූරය අන්තර්ජාලයෙනි.)


Thursday, September 14, 2023

249. ඇබ්බැහි


















හුඟක් අය පලක් නැති 
නවකතා පොත් මෙනී 
අරුත් සුන් වදන් බොල් 
දිගු වේවි වදවෙනා 

තවත් අය මොකුත් නැති  
කෙටි කතා පොත් මෙනී 
දුවන් ගොස් හිටිගමන් 
අතරමැද හිරවෙනා 

පෙළක් අය සති දෙසති
මාස සඟරා මෙනී 
විටින් විට තැනින් තැන 
රස නිරස කැළතෙනා 

කෙනෙක් දෙන්නෙක් එයින් 
මිහිර පිරි කවි මෙනී 
වරක් කියවූ සැණින් 
තදින් ඇබ්බැහි වෙනා.


(පින්තූරය අන්තර්ජාලයෙනි.)


Monday, September 11, 2023

248. කම්පා

 


 සිහින් හසරැල්ලකද 
 සුසුම් කඳුලැල්ලකද 
 අගිස්සෙන් සිටින්නේ 
 අම්මා ...

 තුන් සරණෙ කවියකද 
 උදා ඉර එළියකද
 සුවඳක්ව දැනෙන්නේ 
 අප්පා ....

 පාළු මහගෙදර අද 
 උනුන් තනි රකින සඳ 
 නිරන්තර පෙළයි හද 
 කම්පා .... 

 ඉකිබිඳුම් ඇසෙන රැය  
 හීනෙකින් ලඟට ගිය 
 දුවක් වැහැරුණු නළල් 
 සිම්බා ...

 (පින්තූරය අන්තර්ජාලයෙනි.)

Sunday, September 10, 2023

247. කවි පේලියක් අතර




 




 




 
 මට මගේ ඇස් අස්සෙ හංගන්න 
 හැකියි නම් එක හිනාවක් දෙන්න 
 හැරී නොබලා ඉතින් ඊට පසු 
 හැරුණු පාරෙන් ඔහොම ඔබ යන්න 

 සුළි සුළං හමන විට දසතින්ම 
 තේරුමක් නෑ පහන් දල්වන්න 
 මේ ප්‍රේමයේ ඉමයි හමුවෙන්නෙ 
 ඔබ දන්නෙ නෑ එ ඉම කියවන්න 

 වසන්තය ආවාට අපෙ නොවෙයි 
 හැකි නොවේ බලෙන් මල් ඇහැරන්න 
 ඒත් එහෙමයි කියා පුළුවන්ද 
 මුලින් ඉදිරි බිමින් වැතිරෙන්න 

 කොතන හරි වැර­දිලා බව හැඟෙයි 
 බොහෝ තැන් තියේ යලි විමසන්න 
 දුක් වේදනා තනිව විඳගන්න හැකියි 
මට හෙමි හෙමින් හුරුවෙන්න 

 සඳ එළිය නැති උනත් කමක් නෑ 
 රාත්‍රිය ඉක්මනින් එළඹෙන්න 
 මට ඕනෙ කාගෙනුත් දුරස් වී 
 කවි පේලියක් අතර තනිවෙන්න! 

 (පින්තූරය අන්තර්ජාලයෙනි.)


Friday, September 8, 2023

246. අතීතය



අතීතය සිහිනෙකැයි කීවට සැබෑ සුවඳයි දැනෙන්නේ 
සෙනේහෙන් සිත් බැඳුණු හින්දයි අදත් සිහියට නැගෙන්නේ 
වියෝගය නම් සැමට උරුමයි අපට පමණක් නොවන්නේ 
ඒක හින්දයි මේ තරම් කවි පුරුදු නමටම ලියන්නේ 

ලෝකයේ ගති ස්වභාවය කිසිවෙකුට වෙනසක් නොවන්නේ 
සිනාසී සුව විඳින හිතමයි වරින්වර දුක් විඳින්නේ 
කැළැල්  තිබුණට තදින් සීරුණු ඒතරම්නෑ රිදෙන්නේ 
ඒක හින්දයි අතීතය සුවඳක්ව තාමත් දැනෙන්නේ 

කළුව අතරින් අහස හෙමිහිට සිහින් වැස්සකි එවන්නේ 
පහු කරන් කටුබැද්ද හංදිය බසය හෙමිහිට ඇදෙන්නේ 
පේනමානේ ලබැඳි සරසවි බිමේ සේයා මැවෙන්නේ 
හුඟක් නූනත් එයින් නැවතී පපුව ඩිංගක් ගැහෙන්නේ

(පින්තුරය අන්තර්ජාලයෙනි.)

245. ගබ්සාව















නුඹේ කුස බදාගෙන මං හිටියෙ වෙලීගෙන 
ඔය හිතට මහ බරක් වෙච්චි බව නොදැනයි 
නෙත කඳුළු පෙරාගෙන අන්නාසි ගැට කද්දි 
මගෙ ඇඟත් පිච්චිලා හිරි වැටුණා සත්තයි ... 

මං මත්තෙ නුඹ දැකපු මහමෙරක් වන් හීන 
ගං දියට අතහැරුණ බව තිත්ත ඇත්තයි 
කළලයට අවජාත කොහෙන් අනුකම්පාද 
කඳුලකට උරුම තව කඳුලක්ම පමණයි ... 

පිරුවටේ ඉතිරි වූ ලේ පැල්ලමේ කහට 
යුක්තියේ රැකවරණ නොලබාම මැකුණයි 
හුස්ම පොද ඉල්ලද්දි මල් වඩම් මට ලැබුනෙ 
මගෙත් පව වෙන්න ඇති මේ සසර කුරිරුයි .... 

කතුරු තුඩ වියරුවෙන් අනින විට හදවතට 
මහමෙරක් වේදනා දැනෙන බව ඇත්තයි 
කඳුළ දුක දරාගෙන නොපිපීම මියැද යමි 
අම්මෙ නාඩා ඉඳින් මේ හුස්ම නුඹටයි!

(පින්තුරය අන්තර්ජාලයෙනි.)



244. අකුරු



ජීවත් වන්නට ඉතා 
සුවසේ හෙට ගැන සිතා 
මෙලොව උපන් කොයි කාටත් 
ඉගෙනුම ඇවැසිය මනා 

අයනු ආයනු මැදින් 
අකුරු මිහිරෙ කිමිදෙමින් 
ඉගන ගන්න විට සතොසින් 
මනස වැඩේ පිබිදෙමින් 

දැනගන්නට තොරතුරූ 
කියවන්නට පොත් සරූ 
අකුරු නැතිව කොහොමත් බෑ 
අකුරුය එහි වැඩ කරූ 

විෂය ප්‍රගුණ කල හැකියි 
දැනුම එකතු කල හැකියි 
අකුරු මැදින් ලෝකෙ පුරා 
සංචාරය කල හැකියි 

රටකට සීමා ඇතේ 
අකුරට සීමා නැතේ 
භාෂාවන් විවිධ පුදුම 
අකුරුවලින් හැඩ වුනේ 

අකුරු දන්න අය ළඟ 
හෙට ගැන බිය සැක නැත 
ලෝකෙම සිය අතට ගන්න 
සැනෙකින් ඔවුනට හැක 

අපට සුදුසු හරි මගේ 
අපිව අරන් යනු ඇතේ 
ඉගැනුම යන කලණ මිතුර 
ඇත්තේ අපගේ අතේ 

නැණ නුවණින් පිරවෙමූ 
අනාගතේ ජය ගමූ 
ලොවෙහි දිලෙන්නට හෙට දින 
හොඳින් අකුරු උගනිමූ !!!

(පින්තූරය අන්තර්ජාලයෙනි.)


243. ඈ


 
 මලක් පොපියන ලෙසින් දෙතොල්පෙති සැලීමයි 
 සිහින් අත් පා පුළුං සිනිඳුවට දැනීමයි 
 නැවුම් හිමිදිරිය සේ සිනාවන් මැවීමයි 
 මට පුදුම ඇය ගහක පිපි මලක් නොවීමයි 

 සිනිඳු හිසකේ ඇවිත් කොපුලතේ සිඹිමයි 
 මිහිරි සුවඳක් ඇගෙන් විසිරුවා හැමීමයි 
 සිනා තෙපුලෙන් පුරා සුරතලෙන් බැලීමයි 
 මට පුදුම ඇය සීත මඳනලක් නොවීමයි 

 පූසියක ලෙසින් ළඟ දැවටෙමින් සිටීමයි 
 දුක් සුසුම් සෝදමින් සිත පහන් කිරීමයි 
 හිටිගමන් හිත රිදී හෝ ගගා ඇඩීමයි 
 මට පුදුම ඇය මුහුදෙ රල පෙළක් නොවීමයි 

 කොයි වෙලෙත් රත්තරන් පාටින්ම පෙනීමයි 
 දිස්නෙ දෙන තරු ඇසින් මැජික් මතු කිරීමයි 
 බලාගෙන කොතෙක් සිටියත් මදියි සිතීමයි 
 මට පුදුම ඇය අහසෙ පුර හඳක් නොවීමයි 

 මල් වැලක් වගේ ළඟ සීරුවට එතීමයි 
 මේ තරම් සොඳුරුකම් කොහෙන්දැයි සිතීමයි
 කවුරුනත් ඈ වෙතට වශි වී සිටීමයි 
 මට පුදුම ඇය සොඳුරු කවි පෙළක් නොවීමයි!

(පින්තූරය අන්තර්ජාලයෙනි.)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.