Monday, August 29, 2022

238. කවි අතර දිගු සුසුම්

 

පතාගෙන පැමිණෙන්න 
බැරි වුණෙන් මගේ පෙම 
බොහෝ දුර ඉඳන් මට 
ඉවසන්න කියා දෙයි 

වෙළාගෙන තනිකමම 
ගෙවී යන ජීවිතේ 
සොයා ගිය ආදරය 
සුන්බුන්ව දිරා යයි 

මුවාකර තෙත සෙමින් 
මදස්මිතිය සමග
හැමෝටම වගේ නෙත් 
එක්වන්ව සිනා සෙයි 

මළානික හිත ගාව 
නමුත් ඉඳහිට රෑක 
කවි අතර දිගු සුසුම් 
සන්සුන්ව ගලා යයි

(පින්තූරය අන්තර්ජාලයෙනි.)

Sunday, August 14, 2022

237. පුදුමයක් මිස




















පා කරන මල් රේණු සුලඟක 
මල් පිපෙන ගස් වුනත් දවසක 
වැළපෙනව වෙන්න ඇති ඉඳහිට 
ලඟින් ඉඳ ගිය සුවඳ සිහි කර 

දුරින් දුරටම ගිහින් දිගටම 
අතු විදා ගෙන විසල් අහසට 
පල දරන විට කොහොම යන්නද 
ආව මග දිගේ යලි ගම්රට 

පාර මතකයෙ ඇතත් සදහට 
ගොළුව ඉමි ඒ මතක සිහිකර
සෝපහාසෙන් සිනා සෙන්නට 
කැමති කෙනෙකුට ඔහේ ඉඩහැර 

නොහෙල්ලී කොහොමහරි සුළඟට 
මේ ඉන්නෙකත් පුදුමයක් මිස 
අහස් ගව් සිඹින්නට කිසිදින 
නොපැමිණි යෙමිය නුහුරු සබයට

කකියනා හිතට තරවටු කොට 
ඉවසගමි සියලු දුක් නිහඬව 
බාන්වැල් ගැට ටිකක් මුහුකර 
තවන්නට හිත කෙනෙක් නැතිසඳ...

(පින්තූරය අන්තර්ජාලයෙනි.)


Friday, August 12, 2022

236. දැන් සමුගමි





















ඇහැළ අහස යට ඉඳගෙන 
ඇහැළ පිපුණු මල් පාරේ 
පිරෙන නෙතයි ලිහෙන හිතයි 
යලි කියවමි 
ඇයි නොදනිමි ... 

මල් පෙති මේ දිලිසි දිලිසි 
කහ පාටින් පැළඳ ඉන්නෙ 
අපි විසිරෙව් ආදරේද 
කියා සිතමි 
ඉන් සැනසෙමි ... 

පෙති ගිලිහි මිහිකත වන් 
මලක සුසුම් සුවඳ දැනේ 
සොබා දහම එය නොවේද 
සිතට ගනිමි 
ඉන් නවතිමි... 

එකම මගට හැරෙනු බැරිව 
අප නැවතුනු මෙ මංසලේ 
දළු නොදමන මතක ගසේ 
සෙවණ හරිමි 
දැන් සමුගමි...

(පින්තූරය අන්තර්ජාලයෙනි.)


Thursday, August 11, 2022

235. ඉනික්බිති












උයන් තෙර කෙළවරක නතරවෙමු 
සුසුම් මුසු සුළං රැල්ලක එතෙමු 
ඉනික්බිති සුපෙම්වත් 
දෑස් දෙස නොබලාම  
තනියෙන්ම ආයෙ යන්නට හැරෙමු  

බිම වැටුණු අරලියා ඇහිඳගමු 
දුකක් මුසු සිනා පෙති මත දකිමු 
ඉනික්බිති හැගුම්බර  
සුවඳ ඒ හා රැගෙන 
සුවඳවත් සිතින් යන ගමන යමු 

ඉඳ හිටෙක මතක පොත දිග අරිමු  
සැනසුමේ සිත සතපවා ගනිමු 
ඉනික්බිති සම සිතින්  
ලද නොලද දේ සමග 
අපි අපිට හිමි ලෝක වෙත ඇදෙමු 

ඒත් .... 

ආදරය තුරුළු කර ගෙන ඉදිමු 
සංසාරෙ තව තැනක මුණගැහෙමු 
ඉනික්බිති බිඳක් හෝ 
වෙන් නොවන බව අදම 
මේ දැන්ම අපි අපිට ගිවිස ගමු...



Wednesday, August 10, 2022

234. අපරිමිත

















වෙරල ගල්පර හමු නොවී නම්
පෙරළිලා රළ එන මගේ 
සද්දයක් නොනැගෙන්න තිබුනා 
අපරිමිත වූ සිඳු හදේ 

ඇද පළුදු නොසොයාම ඇවිදින් 
නොදිලුනා නම් තරු රැයේ 
ලස්සනක් නොපෙනෙන්න තිබුනා 
අපරිමිත වූ අම්බරේ 

සුළං රැල්ලට මුහුව යන 
ජීවිතේ අවසන් තත්පරේ 
තෙක්ම නොනැසී ඇසෙනවා ඇති 
ලියු ගී හදවත් පොතේ 

හමුවෙලා යලි හිමි වුනානම් 
සැබෑ වී පැතුමක් හිතේ 
මේ තරම් නොදැනෙන්න තිබුණා 
අපරිමිත වූ ආදරේ...

Tuesday, August 9, 2022

233. අන්තිමේදි


















    රැය දිගු වී අනන්තයට 
    පෙම ඇවිදින් සිත නතුකළ 
    ජීවිතයේ මල් වැස්සට 
    හීන් සීරුවේ තෙමුණා... 

    මලක් වෙලා ඒ සෙවණේ 
    රැඳෙන්න ඇත්නම් සදහට 
    මේ ලොව කොතරම් සොඳුරුද 
    කියා දහස් වර සිතුණා... 

    හීන දරාගෙන දෝතින් 
    හෙට දිනයට ඇඟිලි ගැන්න 
    දිවියේ සතුටින් ම ඉඳපු 
    අතීතයක් මට තිබුණා... 

    ගිලීගි ගිය සතුට රැගෙන 
    ආයෙම ඔබ පැමිණේ යැයි 
    බලා ඉද්දි දින සති වී 
    වසර ගණන් කල් ගෙවුණා...

    සාධාරණ නැතත් ලෝකෙ 
    මෙහෙමත් සොඳුරු යැයි සිතෙන 
    රිදි රිදි මල් පිපුණු හිතක් 
    අන්තිමේදි මට ලැබුණා...


Sunday, August 7, 2022

232. රිදවීම



  









 පොළොව ගැන කවියක් ලියා 
 අහස රිදවන්නට සිතා 
 ගතිපු වෑයම අතැර දැමුවෙමි 
 එයින් ම සිතම රිදි නිසා 

 ඉඩෝරයෙ රළු කම් ඉතා 
 දැනුනෙ ළඟ හිටි නැති නිසා 
 නිදහසට කාරණා නොකියමි 
 අකීකරු වුනෙ මම නිසා 

 සඳක් අහසෙහි මැව් ලතා 
 පුරුද්දට විඳවමි සදා 
 අමාවකටත් මට එපා තරු 
 අඳුරු මට දැන් හුරු නිසා...



Friday, August 5, 2022

231. සිතක් සෙමින් මුමුණනවා

 











 
 අඳුරු අහස යට තුනියට 
 වැස්ස වැටෙන විට හවසක 
 මතක පොතේ පිටු තවමත් 
 එකින් එකට පෙරළෙනවා 

 වැස්ස තුරල් වී යද්දිත් 
 යන්න නොදී ආදරේට 
 තියා ගත්ත වැහි බිඳුවක 
 සීත හිතට හමු වෙනවා 

"තෙමි තෙමි ඔය මොකද වැස්සෙ 
 පිස්සුද ඇත්තට කෝලම "
 කන මිරිකපු තදට තාම 
 මේ කන් දෙක රතු වෙනවා 

 සීනි නැතුව හදාගත්ත 
 තිත්ත කෝපි සුවඳ මතට 
 හිත යට කොයිබින්ද ආව 
 සුසුම් වැලක් ගිලිහෙනවා 

 ප්‍රාර්ථනා විතරක් මදි 
 ගොඩයන්නට ජීවිතයම 
 හිතේ හයිය ළඟ නැතිනම් 
 කාට වුනත් වරදිනවා 

වැස්ස මිසක් වැහි බිඳුවක් 
එවිට කාටවත් කුමටද 
ඕන උනත් කල් යනකොට 
ඉබේම අමතක වෙනවා 

අඳුරු වලා පිරි අහසේ 
පහන් තරුව පායනකන් 
ආයෙ හැරෙන්නට ලෝබයි 
නොයා ටිකක් නවතිනවා 

පිස්සුව බෝ කල ඇස්දෙක 
පියමං කර ඇතත් ඈත  
වරදක් නම් වෙන්න එපා 
සිතක් සෙමින් මුමුණනවා...

(පින්තූරය අන්තර්ජාලයෙනි)

Thursday, August 4, 2022

230. හඳ















    කියවපු පොත් වල 
    හිත ගිය තැන් වල 
    කොහෙහරි අපි දෙන්නම හිටියා 

    රිවයින් කර කර 
    අහපු සිංදුවල 
    අපෙ කඳුළැලි හසරැළි රැඳුනා 

    මැදියම් රෑ මම 
    තාම ඇහැරගෙන 
    හඳ නොකියම බැස ගොස් තිබුණා 

    කළුවර දැක දැක 
    ලිව් හැම කවියෙම 
    ඒත් හඳේ සිහිලම තිබුණා...


සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.