Friday, December 24, 2021

179. නිමාවන තව දිනක්














උදුවප් මහේ අගින්
නිමාවන තව දිනක්
තත්පරෙන් තත්පරේ
ගෙවී යයි..
 
හුරුපුරුදු ලතාවෙන්
ජීවිතේ රළ පේළි
සංසාර වෙරල වෙත
පියමනියි...
 
කහපාට අත්හැරී
රතුපාට වූ හඳක්
හිස් අහස මැද්දෑවෙ
නිසසලයි ..
 
තරු සොයා ඉගිල්ලුන
දිග අහස් කූරකින්
ගිනි ගතිපු මල් රේණු
බිම හැලෙයි...



178. පොළොවක් වී


සුවඳ සුළඟට දී
පැහැය අහසට දී 
රසය බිඟුනට දී 
ඵලය ගසටම දී 
 
මිලින වී පරවී 
වැටෙන දිනයකදී 
වැළඳ ගමි නොරි දී  
ඔබව පොළොවක් වී!



සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.