Thursday, December 17, 2020

150. ටැංකිව් LPL











හමන සුළඟට වැඩිය වේගෙන් දහසයක් දින ගත වුනා
හවස හනිකට ඉවර කර වැඩ වසන්තම් වෙත යොමු උනා
හයට හතරට විකට් අතරට වෙහෙස සිත ගත දිය වුනා
බොහොම ටැංකිව් දුන් විනෝදෙට කොරෝනත් අමතක උනා 

ගාලු කොටුවෙන් බැහැල එළියට විසුනු කර දුටු හීනය
වාඩ මචනුත් එක්ක යාපනෙ ගියා නොවැ කුසලානය
වාලු කතරෙහි වාඩි වුන හිත නොදැක කාසියෙ වාසිය
පාලු මකමින් ඇහේ තාමත් අස්සයන් ගිය වේගය 

හිතේ කහටක් කොහෙද ලැබු ජය උපරිමයි මැනැවින් සිතා
නැගේ කිතුගොස තවම එක ලෙස පෙන්වමින් කිරුලෙහි ලතා
අගේ දැක මිනිසත් කමේ උණු වුන හිතින් බිඳුවක් සිතා
අනේ අර රනවුට් එකත් යලි දුන්න නම් ඉහළයි ඉතා 

බැරි උනත් සැනසෙන්න ජය ගෙන හීන කුසලානය දිනන්
හැකි වුනා දෙක වෙන්න පිටියෙහි පැමිණිලා බිංදුවෙ ඉඳන්
නැගිටලා වැටි වැටි උනත් සිත සුසුම දුක අමතක කරන්
සුපිපුනා දහසක් කුසුම් G G ගෙ ආගමනය බලන් 

අමුණමින් ඇහැරුණු සිතුම් එක එක හෙමින් කවි අතරෙහී
සඟවමින් ගිලිහුණු පැතුම් බිම වැටුණු උල්කා පතුලෙහී
නිමවමින් එල් පී එලුත් සමුගෙන දුරස් වන මොහොතෙහී
සැනසෙමින් ඉමි නිවෙන දිලිසෙන මතක මං පෙත අතරෙහී.

Wednesday, December 16, 2020

149. ජයෙන් ජය වේවා අද...















ගියද පසු බැස විටෙක නොසිතුව විලස රිදි සිත තද කරන්
නොමද තෙද ඔද වැඩුනෙ දින දින පිටියෙ අණසක පතුරුවන්
සැරද නම සිරි දකුණු ලක කිතු ගොසට අබිමන් එක් කරන්
නොවැද යුද ජය ලැබෙන තුරු යලි හැරුනෙ කවදද සිංහයන්

නොදා අහකට උගත් පාඩම් දවා පැරදුම් චිතකය
බදා එකමුතුකමින් නෙලුවොත් ඵලය ජය අප අතරය 
සදා නොමැකී තියෙන එක වගෙ හිතේ D G මතකය
එදා බැරි උන නමුත් අද හැකි පහු කරන්නට ශතකය

දිදුල සඳකැන් මැද තුශාරය පිපුණු හිත් සැණෙකින් බිඳී
නොකළ කිසිවක් වෙද ධනංජය පිටිය මැද සටනෙහි රැඳී 
නිසල වන පමණටම ගැඹුරයි ගඟෙහි දිය නිහඬව හිඳී
සසල සිතුවිලි නිහඬ රෑ යම ගෙවෙන තුරු හිත පිරිමදී 

අතට අත දී හිතට හිත දී එළඹි සිහිහෙන් හිඳ තද 
තිතට වැඩ පෙන්වන්න පිටියෙහි බිඳල නැගිටින රුපුනොද
සතුට උතුරා යන්න අපමණ දෝර ගලමින් හිත මැද
ඔබට මෙලෙසින් එවමි සුපැතුම් ජයෙන් ජය වේවා අද !!!

Monday, December 14, 2020

148. කමුද බරිකිත් ?













ඉෂ්ට වෙන්නැති පැතුම් අභියස තට්ට තනියම වැළපුනා
දෂ්ට කරමින් සිනා සරදම් වටේටම හිත කැරකුනා
කට්ට කළුවර මකා ගෙන හඳ වළා වියනෙන් මතුවුනා
වට්ටවන්නට හයිය හිත බිම තාම බෝලෙට බැරි උනා 

පට්ට කිව් අය පට්ටමත් නෑ සොබා දහමට වෙයි නතූ
කට්ට අපටම නොවේ කාටත් කන්න වෙයි දෛවය සතූ
දිට්ඨ ධම්මය රසල් හට අද පෙන්වමින් කි කි ගතූ
මට්ටු කලෙ ඉසුරෙහි උදානය එක්ව හීනය අප පැතූ 

ගැස්ම කොපමණ නම්ද ඉහිළුව යැව්ව අවසන් පන්දුවේ
හුස්ම එවෙලෙහි ගත්තෙ කවුරුද දන්නෙ නෑ මම නම් නොවේ
ගැම්ම ටික ටික යද්දි අතහැර අපව බිඳි බිඳි බින්දුවේ
දුන්න හතරට සියක්‌ මල්වෙඩි තාම හිත තුළ පත්තුවේ 

හැන් ගෙමින් කළු මේඝ දූතයෙ වැස්ස සිටියදි පැත්තකින්
ඇස් පියන් මත සඳ කිනිත්තෙන් ඉහේ සඳ දිය යන්තමින්
කල් බලන්නට දින දෙකක් තව තියේ හිත පිරිමද්දමින්
හිස් අතින් ආ අපිට කෝකත් එකයි කමු බරිකිත් ඉතින්

වින්ද තරමට දුක් සුසුම් ලය සතුට සැනසුම ඉස්තිරයි
බින්ද තරමට පරාජය හද දිනුම සිත මන්මත් කරයි
මන්ද අඳුරට දිස්න දුන් තරු කොහෙද නෑ අද සත්තකයි
නින්ද අහිමිව ලියපු කවි රෑ බලනකොට හරි ලස්සනයි. 


Thursday, December 10, 2020

147. හීන ගිලිහී...















රෑට තනිවුන පාලු අහසක අන්ධකාරයෙ තනිවෙලා
කාට හැකිවෙද නාඬ ඉන්නට හීන යනවිට ගිලිහිලා
තාම නොවැසුන දෑස මගහැර සීත සුසුමක් බිම හෙලා
දෑත දිගුකර වැළඳ ගන්නෙමි හැකි වුනානම් ලං වෙලා 

පාර පෙනි පෙනි ගිහින් දිගටම දිනුම් කණුවට අත දුරින්
බාර ගන්නට වුනෙ පරාජය වාසනාවක් නැති කමින්
සූර ගෙන අවසාන පන්දුව බිඳුන පැතුමක ඉකිලමින්
තාම කකියන හදෙහි පතුලේ තියේ කඳුලක් මියයමින් 

බාලයන් රජවන කිරීටෙක කිරුළු දරමින් සිතු ලෙස
මාලයක් මල් නුහුරු ගෙලවට පළඳවන්නට බැරි ලෙස
තාලයන් අහුරා තියා ගී ආයෙමත් නෑසෙන ලෙස
කාලයට ඉඩ දෙමු ඔහේ හිත පාරවන්නට රිසි ලෙස  

සීරුවට එක වැස්ස වැටුනත් දියවෙලා කළු මේ කුලක්
බේරගෙන පෙති තාම හිනැහී ඉන්නවා සමහර මලක්
තෝරගෙන දේදුන්න සාදන රහස ගෙන සතුටෙන් බිඳක්
ඒවි යලි සමහර වෙලාවට අපට සුවදායක හෙටක්.


Wednesday, December 9, 2020

146. කළුවර ලඟට වෙලා














මල් පෙති වැටුනා නටුවෙන් මිදිලා
සිත සුසුමක හැපිලා
තරු එළි නිවුනා එකිනෙක මැකිලා
නෙත කඳුලක වැදිලා 
මිහිදුම් ඉරුණා ඈතට ඇදිලා 
හද රිදුමක එතිලා
පියමං කළදා ඔබ දුර ඈතක
මගෙ අත අත හැරලා
 
ඇතිවෙන නැතිවෙන සැප දුක හමුවේ
එකතැන නොනැවතෙමින් 
සසරෙහි වෙරළත සොයමින් පැමිණෙයි
ජීවන රැල්ල නිතින්
සනසන කලඹන සිතුවිලි පිරිමැද
හද බිතු අතර සෙමින්
හමුවන වෙන්වන ලෙන්ගතුකම් ඇත
සසරෙහි පුරුදු ලෙසින් 

හැරගිය පෙම හිත පාරනකොට පෙර
මතකයෙ නතර වෙලා
මියැදුන හීනය සිහිපත් වේ මල්
සුවඳක මිලින වෙලා
අහිමිව ගියමුත් අහිතක් නෑ හිත
එය දැන් පුරුදු වෙලා
තනිකම කවියක හිර කර ගන්නෙමි
කළුවර ලඟට වෙලා


Tuesday, December 8, 2020

145. පාඩුවේ යන ගමන යමු අපී

















ඇති වෙමින් නැති වෙමින් ගලන මේ ජීවිතේ
පුදුමෙකැයි විටෙක සිත කියනවා 
ඉක්මවා තරම පිම්බෙන සබන් බෝල හරි
ඉක්මනට උඩ ගිහින් බිඳෙනවා
පැහැය නැති උනත් ඉමිහිරි සුවඳ දෙන ඉතා
කුසුම් රෑ තුන් යමෙත් පිපෙනවා
බලන් හිටියොත් අහස පහු වෙලා හරි හඳක්
කළා සොළසක් අරන් පිපෙනවා
 
දිනුම පැරදුම දෙකම උරුමයක් වූ ලොවේ
සම සිතින් ලැබෙන දේ ගමු අපී
දුවන අය දුවපු දෙන් හති වැටෙනකන් ඔහොම
බලාගෙන පැත්තකින් ඉමු අපී
අපව මායිම් නොකර සමච්චල් කරපු අය
ඉතින් පව් සමාවක් දෙමු අපී
කවද හරි දිනන තුරු නතර වෙන්නෙම නැතුව
පාඩුවේ යන ගමන යමු අපී.


Wednesday, December 2, 2020

144. ඒ වගේ ..













මේ මල් පිපෙන්නේ කෙසේ
මේ රළ බිඳෙන්නේ කෙසේ
මේ තරු දිලෙන්නේ කෙසේ
අපි හමු වුනෙත් ඒ වගේ ...

සඳ එළිය සියුමැළි කෙසේ
නිල් අහස පැහැදිළි කෙසේ
මඳ පවන සිහිලැල් කෙසේ
අපෙ ආදරෙත් ඒ වගේ ...

මල් සුවඳ දෙන්නේ කෙසේ
බිඟු ගී ගැයෙන්නේ කෙසේ
පිණි මුතු දිලෙන්නේ කෙසේ
අපි අපෙ වුනෙත් ඒ වගේ ...

තුරු පත් හැලෙන්නේ කෙසේ
රොන් සුණු සැලෙන්නේ කෙසේ
සුසුමන් මිදෙන්නේ කෙසේ
අපි වෙන් වුනෙත් ඒ වගේ ...


Tuesday, December 1, 2020

143. කමක් නෑ දිනුවේ නැතත්...
















තගදමා කළු මේඝ දූතෙට වෙන කොහේ හරි යන්නට
බලකලා ටොස් එක දිනූ විට මුලින් විත් බැට දෙන්නට
බිඳදමා සිතුවිලි ඇසිල්ලෙක පැමිණිලා ඇහිදින්නට
පැරදුනා තුන් වෙනි වතාවෙත් මටම මේ දුක් දෙන්නට 

එක දිනන්නට බැරි වුනා වතුරෙහි ගියා සුළුවෙන් තකා
දෙක දිනන්නට නැති වුනා අර රසල්හට වැහුනනෙ යකා
ගිය දෙයක් ආපහු ලැබෙන් නෑ ඇඬු නමුත් දැන් දත විකා 
අද දිනයි ඒවත් මැකෙන්නට බැලුවෙ මම රෑටත් නොකා
 
හිර කරන්නට පිටිය මැද එක හයේ පාරක් වත් නොදී
තව බලන්නටමයි හිතෙන්නේ ගලා යන සුසුමක රැදී
මග අරින්නට එකම බෝලෙන් බැරි උනා දෛවයෙ හැටී
අද ගහන්ට හැකි වුනා නම් දෙකක් නෑ දිනනව අපී

වෙන වෙලාවට මුව පුරෝගෙන හිනා මල් වැහි වස්සන
බැරි වෙලාවත් අපිට නෑ හඳ වෙන කොහේ හරි ලිස්සන
හිත හදාගෙන සාංකාවෙන් තාම ලකුණක් ඉල්ලන
මම නිදාගමි නපුරු අහසේ කොහිද තරු කැට ලස්සන

බැලෙන් නෑ වෙනතක් කෙනෙක් එක කොයි වෙලාවෙත් ළඟ ඇතී
ලැබෙන් නෑ දිනුමක් නමුත් ඉන් මග අරින්නට සි නැතී
දුකක් නෑ ළඟටම ඇවිත් අද සතුට ආපහු යන්නැතී
කමක් නෑ දිනුවේ නැතත් දැක්කම පිරේ හිත ඒ ඇතී.

Monday, November 30, 2020

142. තියා යන්න දුක














තියා යන්න ළඟ දරාගන්න දුක හිතට හැකී
කියා දෙන්න ආදරේ තරම මට අයිති නැතී
නිවා ගන්න හිත පියා ගත්ත ඇස් මතම රැඳී
හිනා වෙන්න ඔබ බලා ඉන්න මට එයම ඇතී

හුස්ම පුරාවට ඇවිළි ඇවිලි දුක් විඳින සුසුම්
නින්ද හොරාගෙන ඇහැරි ඇහැරි ඉකි බිඳින හැඟුම්
එක්ව බෙදාගනු පිණිස බලා ඉමි හදෙහි රිදුම්
මන්ද පමාවන කරුණ හිතාදර සඳෙහි කැළුම්

කණාමැදිරි එළි අග්ගිස්සක නෙත් කෙවෙනි දිවේ
කඩාවැටෙන තරු කැබිලිත්තක සිත පැතුම දැවේ
තියාගත්ත හිස උරහිස්සක මුදු සිසිල මැවේ
පියා ගනිමි ඇස් ඔබෙ ආදරයෙන් මහද නිවේ.
(පින්තූරය අන්තර්ජාලයෙනි.)

Tuesday, November 24, 2020

141. මේත් ඉතින් ඇති
















යාන්තමින් මුව සිනා පුරන විට බලා මදෙස නෙත් කොනින්
කාන්දමක් සේ ඇදී ගිහින් හිත නවතිනවා ඔබ ලඟින්
වාන් දොරටු හැර අනන්තයට සිත වාන් දමද්දීත් පෙමින්
හාද්දකින් කම්මුල සනසන්නට වරම් නොමැත මට ඉතින්
 
මෑත් වෙමින් අතු අගින් පිපෙන සුදු අරලිය සුවදක් වෙමින්
ආත්මයක් ගානේ අපි හමුවුණු සුවද තියෙයි හිත ළඟින්
කාත් කවුරුවත් නොමැති මගේ ලොව කළුවර හීනෙට ලොබින්
මේත් ඉතින් ඇති ගෙනා එළිය බිඳ හුස්ම නිවෙන්නට කලින්
 
ප්‍රාර්ථනා දියවෙලා මියෙන තරු අහස් ගඟේ සැඟවෙමින්
හීන් හඬින් ඈ රහස් කියනු ඇති ඔබේ සවන හැප්පෙමින් 
දෑස් පියන් වෙත සඳ දිය බින්ඳක් අරන් අපේ හීනයෙන් 
ඈත් වෙලා යමි මාත් කොහේ හරි අහිමි ප්‍රේම මන්දිරෙන්
(පින්තූරය අන්තර්ජාලයෙනි.)

Friday, November 13, 2020

140. වෙනස



















කාලයක් මල් දුන්න තුරුහිස් හිස් අතින් අසරණ වෙලා
ලෝකයක් දුන් පාට සේරම වැටී ගසමුල වැතිරිලා
හීනයක් දෝ හිතෙන තරමට මතකයන් සිත ගොළු වෙලා
ආදරෙන් ළඟ හිටිය කවුරුත් නෑ ලඟින් අද වෙන්වෙලා 

දුක දැනෙන්නට පටන් ගත්තම ඉගිල සිතුවිලි මහ දුර
සැප කියාගෙන ලඟට ගත් දුක දියව යයි නෙත් තෙත් කර
නොම දැනෙන්නට වෙන් වුනා මිස සැවොම හෙමිහිට මගහැර                
හිත හදන්නට කවුරුවත් නෑ පෙනෙන මේ ගහ කොළ හැර 

මග බලන්නට මග කියන්නට සෙනෙහසින් සිත අරුමැතී
තනි රකින්නට නපුරු කාලෙට කිසිවෙකුත් නම් ළඟ නැතී
හිස තමුන් තම අතට බාරයි එය සැබෑවම වනු ඇතී
හද බිඳින්නට නිසල වනයක වැටෙන පිණි බිඳුවත් ඇතී.

Tuesday, November 10, 2020

139. මතකයන් මට දෙන්න
















මල් යාය ඔබ ගන්න
මල් සුවඳ මට දෙන්න
තරු අහස ඔබ ගන්න
තරු එළිය මට දෙන්න
ගංගාව ඔබ ගන්න
ඒ සිහිල මට දෙන්න
හෙට දවස ඔබ ගන්න
අතීතය මට දෙන්න...

සීත පවනැලි මතින්
නිවෙන හවසක හෙමින්
දෑස බොඳවුන හැඟුම්
තාම ඇත අප නමින්
නිමාවක් නැති ලෙසේ
තාම උපදින හිතේ
ආදරේ ඔබ ගන්න
මතකයන් මට දෙන්න...

වහින වැහිකැට වගේ
ගනිනු කෙලෙසද සිතේ
ආදරේ ඒ වගේ
හුස්ම පොද එහි තියේ
හිනා මල් වැහි අපේ
තාම සුවඳයි හිතේ
ඒ සිනා ඔබ ගන්න
මතකයන් මට දෙන්න... 

Monday, November 9, 2020

138. මන්දාරී














නෙතට අවිවේකයි
සිතද අවිනීතයි
දකින තුරු මඟ බලනා
සිහිනයක සැරි සරනා
නෙතට අවිවේකයි...
සිතද අවිනීතයි... 

ඇඳුරු ලා වැහි වහින මන්දාරමේ
සසල සිතුවිලි ගැහෙන නිස්කාරනේ
පෙනී නොපෙනී හිඳින් නෙත්මානයේ
දිදී උණුහුම බිඳක් ....
මගේ මන්දාරී... 

රෑට තරු ඉකිබිඳින ගිම්හානයේ
පාලු හදකට ඔබම විය කාරණේ
පුරුදු ලෙන්ගතු කමට සංසාරයේ 
වෙන්න සඳ දිය බිඳක්
හැකිද මන්දාරී....

නෙතට අවිවේකයි
සිතද අවිනීතයි
දකින තුරු මඟ බලනා
සිහිනයක සැරි සරනා
නෙතට අවිවේකයි...
සිතද අවිනීතයි...

Wednesday, November 4, 2020

137. රොබරෝසියා

සනසන්න සුළගේ ඈ වෙත ගිහින්
ඇගෙ සවන රහසක් කියා
වැව රවුම පිරිලා ආයෙත් පිපී
ඇගෙ රෝස රොබරෝසියා
මේ පිපෙන මල් ගානෙ
බිම වැටෙන පෙති ගානෙ
මං ආදරේ යැයි කියා...

කන්දක් තරම් හීන පිපුනා හිතේ
පැතුමක හෙමින් ඇස් පියා
වැව් දියට අත හැරපු දා ජීවිතේ
හැඬුවාලු රොබරෝසියා

හැරයන්න ලෝබයි අදත් ඇත්තමයි
මල් සුවඳ හිමි නෑ කියා
එක්වන්නෙ නැති බැව් සැබෑ පෙම්වතුන්
දන්නේලු රොබරෝසියා

පවසන්න සුළගේ ඈ හට හිගින්
මං ආදරේ යැයි කියා
මොහොතක් දුරින් ඉන්න අපෙ ආදරෙන්
මට හරිම ලෝබයි කියා...

Inspired By:

Friday, September 25, 2020

136. ඔබට සුන්දර රැයක්














නෙළුම් කුළුණත් වැහෙන තරමට නැගෙන කළු වැහි වලාවන්
අහන් ඉන්නම් හිතේ හැටියට අදත් මට දුක කියාපන්
ඇවිත් හිරිපොද කවුළුවෙන් මුළු ගතම රිසිලෙස වෙලාගන්
කමක් නෑ දියවෙන්න ලං වුන ගිලන් හද තව අඬාපන්

කැළුම් දී වෙදැගිල්ල මුල රන් මුදුව දිලුනද දිස්නයෙන්
හැඟුම් සීතල වෙවී සැලුනා දුටුව විට ඔබ විස්මයෙන්
පැතුම් පොදි ඉහිරුනත් බිම ඇහිදින්න තනමින් හිස්අතින්
ඇළුම් කරනෙමි තාම විහිදුන සෙනේහෙට ඔය ඇස්වලින්

මලක් තාමත් වැස්සෙ තෙමි තෙමි රිදුනු හිත තව රිදවන
මලක් නොවුනත් මගෙ හිතත් ඒ වගෙයි විරහව විඳවන
මතක් වෙන්නට අපෙ අතීතෙන් සුවඳ බිඳුවක් අයදින
හිතක් මෙතරම් දුකක් ගන්නට කරපු පව් ඇති නොපෙනෙන

බිඳක් පමණක එළි තිතක් නැති නපුරු අහසක තනිවෙන
ගහක් ගානේ රැහැයි නාදය සවන් අතරෙහි වැළපෙන
ලොවෙන් වෙන් වී කට්ට කළුවර මගේ ලොව මා සැඟවෙන
රැයක් වේවා ඔබට සුන්දර ඇගේ සිහිනයෙ කිමිදෙන!

Friday, September 18, 2020

135. අහිමි















අහස මත්තෙම මියෙන තරුඑළි උහුලගෙන දුක මුහුදක
දකිනු රිසියෙන් කෙළවරක් පෙර මතක වැළපෙන කඳුලක
හදෙහි තාමත් උණුහුමයි පෙම දුටුව නිල්මිණි දෙනෙතක
දැනුනෙ නෑ දුක මේ තරම් නම් මීට පෙර කිසි දිනයෙක

අතරමග බිඳි එකම හීනය සතුටු නිම්නය අත්හළ
ඇවිදගෙන විත් පපුව සූරයි නින්ද නැති දිගු රැයතුල
ඔබට රහසින් අවදියෙන් ඉඳ ලිව්ව මේ දුක් කවිවල
අහිමි වීමක වේදනා ඇත අකුරු අතරෙහි දියකළ

පිරෙද්දී හිත එන්න එන්නම මහ මෙරක් තරමට පෙමින්
හිඳිද්දී ළඟ බිම බලාගෙන යන්න නොදුටුව සේ දුරින්
අඬද්දී හිත මුවාකර එය බලෙන් ගත් හුස්මක් මතින්
දැවෙද්දී තුන්හිතම ගින්නක නිවෙන්නේ කොහොමද ඉතින්

මහා වැස්සක් වැටී හදිසියෙ බිනර මහෙ දිනයෙක අග
හිතා ගන්නත් කලින් මල්පෙති තෙමී විසිරුන මුත් මග
නොයා සුවඳක දැනෙයි තාමත් අහිමි වන්නට බැරි වග
එපා සුළගේ අරන් යන්නට කමක් නෑ තිබුනට ළඟ.

Friday, September 11, 2020

134. තවම මම සන්තාපයෙන්













ඉපිද මියයන සුසුම් රැලි ගඟ ගෙවෙන තුරු රැය සීතලෙන්
නැතිද විදියක් මිදෙන්නට සිත දවන මේ රුදු පාළුවෙන්
විහිද පෙති පිපි කුමුදු මල් සිප හමන මදනළ ආදරෙන්
හැකිද එහි ගොස් කියන්නට මම තවම මෙහි සන්තාපයෙන්

සලා සිනහව වශී කල නෙත දිනෙක තුරුලෙහි සැඟවිලා
නොයා මා දෙස බලා දැන් ඔබ හිටියෙ තරුවක නැවතිලා
අයා මුව අත තබා හද විසිරෙන්න කලියෙන් ගිලිහිලා
පියා නෙත් හැර බලමි යලි නෑ ඔබව එහි මම රැවටිලා

නොවී ඔබහට සුසුම් සෝ දුක් මටම වී නම් සැනසුමයි
ලැබී සුපැතුම් සුවෙන් සතුටින් සැපෙන් ඉන්නට අවසරයි
එබී බැලුවොත් මගේ ලෝකෙට පෙනෙන හිස් තැන් අපමණයි
නිවී සිනහා පහන් වැට දැන් හුඟක් කල් හරි කළුවරයි

කිසිත් නොපතා අහස් තලයෙන් හෙමින් බැස යන සඳ ලෙසින්
මටත් පුළුවනි ඉන්න හැමදාමත්ම හිමි නැති ඔබ නමින්
බලෙන් හිර කර ඉනූ කඳුලක් වැටෙන්නට එන නෙත් අගින්
සොවින් ආ මග පිරික්සන්නෙමි වැරදුනාදෝ කොහෙ ඉතින්.

Monday, August 31, 2020

133. හිත හදාගෙන අස්වැසෙන්නම්


කඳුළු බිඳුවක් ඇසින් වැටුනා පරණ මතකය සිහි වෙලා
කුරුළු දෙහදක ඇඳුණු ආදර සිහින සිතුවම බොඳ වෙලා
අඳුරු අහසට නොකිය සඳවත කොහෙද ඈතක සැඟවිලා
සිදුරු වුන මුළු හදම කකියයි ඉවර මුත් සැම සිදුවෙලා

පේවිලා පා දෝත සිටියත් වැළඳ ගන්නට ස්නේහයෙන්
ගෑවිලා අත ආයෙ නික්මෙයි රැල්ල දියඹට වේගයෙන්
පෑසිනා මුතු අහුර හදවත හොවා සෙනෙහෙක නාමයෙන්
සේදිලා ගොස් සයුරු රැල්ලට වෙරළ දැන් අසනීපයෙන්

ජීවිතේ එක තැනක නොරැදී ගලන විට කෙලවර බලා
මාවතේ ඔබ නික්ම ගිය මම හිඳිමි තාමත් තනිවෙලා
මාරුතේ ගිලිහිච්ච කුසුමක් අහුලගෙන අහකට නොලා
මා ඔබේ යැයි කිව්ව දින හසරැල්ල ගමි මතකෙට නෙලා

නොම හඬා බැරි මුත් රිදෙද්දී සිදුරු හද එක සීරුවෙන්
නපුරු දා තනිකම් විඳින්නයි මිදෙන සුසුමක වාරුවෙන්
ලැබු නිසා ආදරේ හිමිකම් මගෙ නොවූ ඔය නෙත් තුලින්
හිත හදාගෙන අස්වැසෙන්නම් දිනෙක මතුදා මා ඉතින්.

Tuesday, August 25, 2020

132. ඒ ඔබ පමණි


මලක පෙති මත සෙනෙහෙ බිඳුවක් විහඟ තුඩකින් තියනවා
අසල ගැවසෙන සිසිල මඳනල එසිරි රහසෙම විඳිනවා
අතර මග අත හැරුණු හීනය දෑස අග යලි බිඳෙනවා
මතක අමතක කරන විදියක් නැතුව හිත දුක් විඳිනවා

පිපෙන විට තුරු හිසක කැකුළක් හෙටට පැතුමක් අතවනයි
නැගෙන විට අවපසෙහි තරුවක් අඳුරු අහසම හැඩ බලයි
හිඳින විට කිති කවා කිසිවෙක් හිත පුරා හරි උණුහුමයි
පිරෙන විට ආදරෙන් දෙසිතක් ලොවම බෙහෙවින් සුන්දරයි

බිඳෙන විට රළ අගිස්සෙන් මුදු සුමුදු පෙණකැටි සැදෙනවා
සිඳෙන විට එක රළක් තව දෙක තුනක් ඈතින් නැගෙනවා
නොගෙන මේ කමටහන් හිත වෙන කොහෙද ඈතක සරනවා
වෙරළ වෙත සංසාර ජීවන රැල්ල හෙමිහිට ඇදෙනවා

අහිමි හිමි නොම සිතා කිසිවක් අපේ වී අපි සිටි එදා
පැමිණි දුක් ඔබ හට නොවී නම් එයයි මගෙ සැනසුම මෙදා
තිබුණි නම් තව එකම පැතුමක් හදෙහි පණ අදිමින් රඳා
පමණි ඒ ඔබ ඊයෙ අද හෙට සසර මතු උපදින සදා!

Monday, August 24, 2020

131. හිනාවක් එක ඉතින් ඇති


හිතුනෙ නැතුවට මාස දින සති ඉකුත් වී වසරක් ගිහින්
කොහෙද ඈතක ඔබව අරගෙන ගොසින් මට නොකියම හොරෙන්
දැවෙන මතකයෙ සුවඳ ඉව කර ලිහුණු කවි පද ඇහිඳිමින්
පෙනුනෙ නැතුවට කාටවත් මං මගේ ලෝකයෙ මිය ගිහින්

සුළං හිරිකඩ සීත නපුරුයි ඇවිත් හිරිහැර කරනවා
ගිලන් හදවත වාරුවට එක උරිස්සක ඉඩ හොයනවා
බලන් ඉන්නට බැරිම තැන බලි කුරුටු ඇඳ යලි මකනවා
ඉතින් කෝ ඔබ කොහෙද කොතනද අසිහියෙන් සිත හොයනවා

වලාවක් නැති අහස යට බැරි සිසිල් වැසි දිය රැඳෙන්න
විලාපෙන් රෑ රැහැයි සෝකයෙ නපුරු දැහැනට වැදෙන්න
පලාතම හිස් මසිත එකමෙක හුස්ම බින්දක් නැගෙන්න
හිනාවක් එක ඉතින් ඇති අද හැකිද හීනෙන් පෙනෙන්න

Thursday, July 2, 2020

130. කාලයක් තිබුනා
















කාලයක් තිබුනා
මල් වල සුවඳ හැඳිනූ
සිලි සිලි සුළඟ කියවූ
සුසුමක අරුම හැඟුනූ
මගෙ යැයි මා සිතූ...

දෑසකුත් තිබුනා
නිතරම රහස් මිමිනූ
නුහුරක මසිත රැඳ වූ
හුස්මට හුස්ම වැනි වූ
මගෙ යැයි මා සිතූ...

කටුක ගමනේ වෙහෙස දැනි දැනි සතුට මග අරුණා
හීන පොට්ටනි අතින් ගිලිහී මගදි බිම වැටුනා
එන්න යැයි අයදින්න හිතුනත් ඉතින් බය හිතුනා
ආවොතින් පිළිගන්න හද දොර කවුළු හැර තිබුනා

ඈත දුර මන්දාරමේ තරු එලිය නිදි මැරුවා
ආයෙ ආයේ වැරදි වැරදී කවිය මම ලිව්වා
සීත කඳුලක් දෑස අද්දර සීරුවෙන් උන්නා
ආකහෙන් හඳ කාටවත් නොකියම ගිහින් තිබුණා.

Friday, June 26, 2020

129. මගේ හිත අනේ අසරණ වුනා.
















දිලී නොදිලී රැයේ ඉකිබින්ද තරු රෑන
ඈත මන්දාරමක තනිවුනා
හිතේ උණුහුම ගාව තුරුළු වී හිටි රුවක්
පෙනී නොපෙනී ගිහින් සැඟවුනා

වැටී පරවුණ මලක සිනිඳු පෙත්තෙන් පැමිණ
හිතේ පතුලට සුවඳ කිමිදුනා
බලා දෑසින් දෑස මිදුන සුසුමක සිහිළ
මැකී ගිය සිතුවමක බොඳවුනා

වැටී හොඳටම වැස්ස රිදී අත්තටු සේද
කදෝකිමියෙක් සෙමින් වැලපුනා
වැවේ දිය රැළි මතට අතහැරපු අපෙ හීන
අසනි සැරයක තිබී හමුවුනා

හැපී සිතුවිලි අතර ඉනූ කවියක සිරව
නොකී සෙනෙහෙක අරුම දියවුනා
ලිහී මතකය විසුල පලා යන්නට බැරුව
මගේ හිත අනේ අසරණ වුනා.

Monday, June 22, 2020

128. කෙනෙක් තාමත් ඉන්නවා
















අගේ කර කර සුවඳ තවරයි මලක් සුළඟට සීරුවෙන්
විලේ දිය මත සොඳුරු සිතුවම් මැවේ සුදු සඳ සේලයෙන්
හිතේ හැටියට හීන ඇහිඳින රැයේ තනියම පාලුවෙන්
මගේ නොවුනට කමක් නෑ මට තාම මේ හිත ආදරෙන්

හිතේ පෙම සීරුවට අරගෙන මුතුම මුතු අකුරින් ලියා
එවූ කවි තව ගෙනේ සුපුරුදු සුවඳ හිත මත්තෙම තියා
මවා දෙන්නට සොඳුරු සිතුවිලි නිසල රෑ අහසට කියා
මගේ පණ තව ලියනවද කවි තාම නිදි නැතිදෝ ඔයා

තියාගෙන ළඟ පරිස්සම් කර ගන්න මට හුස්මක් වගේ
බලාගෙන සැනසෙන්න දිවි ඇති තුරාවට කවියක් වගේ
පියාගෙන ඇස් ගිලී කිමිදී සරන්නට සෙනෙහස් ගඟේ
පුරාගෙන පින් ආයෙ එන්නම් දිනෙක මං මෙසසර මගේ

නිනව්වක් නැති ලොවේ තනියෙන් ඔහේ සැඟවී ඉන්නවා
කප්පරක් වැඩ මත්තෙ නැහෙමින් හිතට මහ දුක් ගන්නවා
අනේ ඇති දැන් පරිස්සම් වී තුටින් ඉන්නැයි යදිනවා
නොකිව්වට ඔය ගැනම වදවෙන කෙනෙක් තාමත් ඉන්නවා

Monday, May 11, 2020

127. මතකය















සඳක් නැති කළු අහස් තලයෙන් සුසුම් දුක් බිම වැටෙනවා
පලක් නැති හීනයක පැටලී ලොවක් නිදි සුව විඳිනවා
මතක් කර එක් දිනෙක මතකය විටින් විට හිත බිඳෙනවා
වෙසක් පහනක් ඈත ගෙපැලක තාම නොනිවී දිලෙනවා

හදාගෙන නම් නැතිව අතොරක් සෑම මොහොතෙම හිනැහුනා
පියා ගෙන ඇස් ඔබේ සෙවණේ නිවී සෙනෙහෙන් සැනසුනා
තියා ගෙන හෙට දිනට පැතුමක් රැයේ සිත ළඟ සැතපුනා
නිසාවෙන් පින්මඳ මෙ දෝතින් නෙලූ මල් යලි ගිලිහුනා

බලා ඉමි දුර අඳුර මැද්දෙත් රුවක සේයා මැවෙනවා
අසා ඉමි පිණි වැටෙන හඬ ඒ මතින් කිසිවක් ඇහෙනවා
මළානික සේපාලිකාවන් හෙමින් සුළඟින් සැලෙනවා
සොයා ගෙන ඒ සුවඳ කිසිවෙක් මවෙත ඒ දැයි සිතෙනවා

එකින් එක මට නොපිපි මල් ඔබෙ නමට හෙට සුපිපුනාවේ
සුසුම් දුක් නෑ ඔබට හිමි මා වෙතම විත් සැඟවුනාවේ
කොහේ කොතැනක වුවද කම් නෑ සිනා මල් පිබිදුනාවේ
අහිංසක ඔය හිතට සැනසුම සදාකල් හිමි වුනාවේ!

Sunday, April 12, 2020

126. එදා වාගේම












බිඳක්වත් උණුහුම නොදී තරු සැඟවෙමින් මිය ඇදෙනවා
නිනව්වක් නොගෙනම වලාකුළු ඈත කන්දෙහි එතෙනවා
උදව්වට එන්නේම නෑ හිත හිතු මතේ සැරි සරනවා
මයෙ හිතේ ඔබ සිටින පැත්තට මහා වැස්සක් වහිනවා

කවුළුවෙන් විත් සීත සුළඟක් කුටිය ඇතුලට එබෙනවා
කෙහෙරැලක් මත නළලතේ ආදරෙන් සුසුමක් තියනවා
නැවතෙමින් යලි ඇවිදිමින් මුදු අකුරු තව පිරිමදිනවා
අවදියෙන් නිදි නැතුව තාමත් මගේ සඳ දුක් විඳිනවා

දුව ඇවිත් මල් සුවඳ ඉස්සර ආයෙමත් හිත ඉඹිනවා
සිහිනෙකින් මෙන් මතකපොත පෙර මතකයන් දිග හැරෙනවා
උණුහුමින් ඔබ උන්නු තැන හද මොහොතකට සුව ලැබෙනවා
අද නැතත් හෙට දකින්නට ඔබ දෑස මේ මග බලනවා

පරවුනත් මල් සුවඳ එලෙසින් තාම ගසමුල තියෙනවා
නැලවුනත් සුළගින් ළදල්ලක් කඳුළු පිණි බිම වැටෙනවා
සැනසෙමින් මම කොහොම ඉන්නද එකම පැනයක් තියෙනවා
කකියමින් හද ගැඹුර තාමත් එදා වාගේම රිදෙනවා.
(පින්තුරය අන්තර්ජාලයෙනි)

Tuesday, February 11, 2020

125. ඔබ තුටින් නම් මට ඉතින් ඇති














සඳ කිනිත්තට කන්ද මුදුනෙන් පිපෙන හොඳටම හිනා වී
මග අරින්නට හැකිවෙලා වගෙ තරු ඇසක් ඉන් මුවා වී
ඇහැ ඇරෙන්නට නපුරු හීනෙන් දුටුව මෙතුවක් මුලා වී
තව ටිකක් කල් ඉතින් දෙනවද අනේ බිඳුවක් සමා වී

පිපි මලින් බර තුරු පියස්සෙන් සුවඳ හෙමිහිට හමා වී
හිස් අතින් සැරිසරන මා වෙත අපේ මතකය තියා වී
දුර අනන්තයටත් එහා ගිය සෙනෙහසින් සිත පෙලා වී
කැටයමක් වුනු එක රුවක් හුස්මක් හදේ සිර කරා වී

වන උයන් දොර පුංචි කැකුලක් සුසුමකින් ඉකි බිදී වී
හිත පුරා පෙම් කල වසන්තෙට නොයන්නැයි ගතු කියා වී
නැවතුමක් එක නොනිමි සසරක ජීවිතේ නම් දරා වී
පිනි බිඳක් සේ බිඳී මියයන නැගෙන විට හිරු උදාවී

සුබ පැතුම් පොදි සහසකින් හෙට ඔබට ආසිරි සදා වී
ඔබ තුටින් බව සමහරක් විට මා හටත් විත් කියා වී
හිමි නොවෙන්නට හමු වුනත් සිත් සෙනෙහසින් බෝ පමා වී
ඔබ තුටින් නම් මට ඉතින් ඇති යාවි මේ දුක් නිමා වී.
(පින්තුරය අන්තර්ජාලයෙනි)

Monday, February 3, 2020

124. සෙනෙහෙ නොමියෙන
















එකට විත් පොඩි කුරුළු යුවලක් අදට සමුගන්නට හදයි
දුරක වන් හුදෙකලා තරුවක් සඳට හෙමිහිට අත වනයි
ලඟට ගෙන අපෙ බිඳුණු මතකය කවියකට සිත මුල පුරයි
බරට මිදුනත් සුසුම් කොතෙකුත් හිතේ බර තව එලෙසමයි

අහිමි සඳකට හඬන සිත මුතු කඳුළු කැට නෙත ඇහැරවයි
දැකුම වුව මොහොතකට සිහිනෙන් ගෙනෙන සැනසුම අපමණයි
පිහිට වුන පෙති මිලින මලකට කුළුණු සිත පින් සුවදමයි
සමග එමි මතු සසරෙ පසුපස සෙනෙහෙ නොමියෙන එහෙමමයි

මලක සුවඳක් ලෙසින් ඇවිදින් හිතේ නොකියම පැටලුන
වැටෙන හුස්මක් වගේ මොහොතක් නොහැර සෙනෙහෙට නතුවුන
මදිව පින් ගිය ගමන මගකදි නතරවෙන්නට සිදු වුන
අපම පමණක් නොවේ තව අය සිටී පැරදුම හිමි වුන.
(පින්තුරය අන්තර්ජාලයෙනි.)

Friday, January 31, 2020

123. මටත් පඬුරක් තියන්න











හිතත් එක්කම තනිව දුර ගොස් සිහින මාළිග මං හැදූ
තවත් සුන් බුන් ඉතුරු නොකරම ලැබී දිවි සරදම් රුදූ
මතක් කර ඔය සුවඳ බිඳුවක් සෙනෙහෙ සිත ගාවම මුදූ
නැතත් ඔබ කිරි ඉද්ද පඳුරේ තාම පිපෙනව මල් සුදූ

නවත්වා සමනල්ලු හමුවන ගමනෙ විසිතුරු අහන්න
හිතන් හිටියට දුරුත්තේ අපි එක්ව සිරිපා වඳින්න
වරම් නෑ දඬු කෝඩු හට වෙයි තවත් බොහො පින් පුරන්න
කමක් නෑ ඔබ ගියොත් හැකිනම් මටත් පඬුරක් තියන්න

සුහද කම් ඔය නෙතින් දුටු මේ අදත් ඉස්සර වගෙ තමයි
පැහැද හද පුදසුනෙහි බැතියෙන් රකිමි සැමදාමත් ණයයි
මහද දුක සුසුමන්ම උපදන ගැඹුරු මහ සයුරට සමයි
වරද පව් පින් කිසිත් අප කල අපට අද නොපෙනෙන එකයි.

Friday, January 17, 2020

122. ඒ මා නොවේ
















තත්පරෙන් තත්පරය හිමිහිට ගෙවී අද දවසත් නිමයි
හිස්කමින් පිරි හිතට සැනසුම එදා වගෙමයි මහ දුරයි
ඇස් කොනින් ඔබෙ රුව හොයාගෙන දෑස ඉගිලෙන්නට හදයි
ඇත්තමයි මේ වැටෙන හුස්මත් එන්න එන්නම මට බරයි

පිණි දියෙන් ඔබෙ සෙනෙහසේ හරි හිතු මනාපෙට නෑවුනූ
පිපි මලක් විය මේ හිතත් හෙට ලොව දිනන්නට පේවුනූ
හිමි කමක් නැති බව දැනී කඳුලින් නුවන් යුග සේදුනූ
වැහි බිඳක් නැති ආකහෙන් කවදා ලැබෙන්නද දේදුනූ

මුණ ගැසී ඔය රුව දකින්නට ආයෙ මොහොතක් සුවදෙන
හැපි හැපී සමුදුර රළක් මෙන් සිත කොතෙක් නම් අයදින
වහ වැටී සේපාලිකා මල් සුවඳ මත්තෙම වදවෙන
තටු සිදී ගිය සමනලිය මෙනි මාද ටිකකින් මිය යන

මහමෙරක් වන් දුක දරාගෙන අහිමි වුන සැනසුම් සුවේ
සියදහස් සැරයක් දැවී හිත එකම නමකිය කෙඳිරුවේ
මදහසක් ලෝකෙට පෙනෙන්නට අමුණගෙන යන්තම් මුවේ
සිහිනෙකින් මෙන් සැරිසරන්නෙමි එහෙත් ඒ මා නම් නොවේ!
(පින්තූරය අන්තර්ජාලයෙනි)

Thursday, January 9, 2020

121. රිදුනු හිත කවියක ලියා
















මලානික එළි නිවා දමමින් තරුද අහසේ මියගිහින්
කතා නොකරම මල්ද ගහකොළ හිදී අඳුරේ නිදියමින්
මුවාකර දුක් විඳින මේ හිත මහා සැනසුම් සුසුමෙකින්
වතාවක් එක ඇවිත් ඉන්නට බැරිද මා ළඟ සිහිනෙකින්

බලා ගෙන මග හිනා දෝතින් අරන් ඔබ ඒවිය කියා
ගෙවා දැමු සති මාස අපමණ නෙතේ බර කඳුළුම තියා
සොයා ගන්නට ඕන මුත් ලොව අහිමි ඔබෙ සුවඳින් එහා
නවාතැන් ගමි තාම සුසුමක බිඳුණු හිත කවියක ලියා

ඈත නික්මී ගියත් සමුගෙන එදා ඔබ මගෙ හිත අරන්
මෑත තාමත් එහෙමමයි මම සුවඳ මතකයෙ ඇස් පියන්
දෑත පටලා තුරුළු වෙන්නට ආදරේ හිත හිර කරන්
ආයෙ හැකිවෙද කවමදා හරි දන්නවා නම් මට කියන්.
(පින්තූරය අන්තර්ජාලයෙනි)

Tuesday, January 7, 2020

120. ආදර මතක සැමරුම්












සිනාවක් පළඳන්න මලකට කඳුළු වගුරන අහසකින්
අසා ගන්නට හැකිය සෙනෙහස උනන මායිම් නොතකමින්
මුවා වෙන්නට තැනක් නොමැතිව සිනා තොටමුණ තනි වෙමින්
ගෙවා දැමු වරු ගණන් සිහි වෙයි ඔබේ සුවදෙහි සැනසෙමින්

සිහිනයක් බව දැනුන මුත් නෑ දෑස් විවරව ඇහැරුනේ
සිහිලසක් ගිනියම මැදින් විත් හද විමන් වැද සැඟවුනේ
ක්ෂිතිජයක් වනවා මිසක් හදවත මියෙන්නට එන දිනේ
ගගනතක් කෙදිනද සැබෑවට සයුරු දිය හා එක්වුනේ

හැපී එකිනෙක සැදී පෙණකැටි සිනා කඳුලක මුසු කල
නැගී පියමං කරයි සසරෙහි වෙරළ වෙත ජීවන රල
බිඳී ආදර මතක සැමරුම් අතීතයෙ සිතුවම් කල
මැකී ගිය මං ලකුණු සසඳමි හදේ මේ දුක සිර කල.
(පින්තූරය අන්තර්ජාලයෙනි)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.