Saturday, February 16, 2019

53. මාගෙ පැංචිගෙ නමයි සුදූ...

උදයෙ සුපිපුණු මලක් බඳු
ළපටි අත පය හුඟක් මුදූ
පණ වගේ ආදරෙන් හැදූ
මාගෙ පැංචිගෙ නමයි සුදූ

පොඩ්ඩ වැරදුනු තැනදී බලා
කඳුළු ගුලි ගුලි බිමට හලා
අඬයි අපි පින්සෙන්ඩු වෙලා
යාලු වෙනතුරු සොරිය කියා

දොළහ එකොළහ නොකර පහූ
නිදා ගන්නට යාම බොරූ
සෙල්ලමින් කල් අරින යුරූ
අපිට පෙන්වනවාය තරූ

රෑ දෙකට යලි අවදි වෙලා
කාණුවට ගල් දමමු කියා
යන්න එලියට සමග එයා
අඬ ගසයි මට එන්න කියා

දෙන්න පස්සට හොඳ ගුටියක්
හිතට එන මුත් කෝ හැටියක්
කඳුළු ඇස් වල අලි පොරයක්
සැර කරොත් ඇති එක සැරයක්

හිතෙන දේවල් කොහොම හරී
ගන්නෙ තාත්තා ලඟට හැරී
පැංචි මගෙ ළඟ නැතුව බැරී
එයත් හරි මගෙ පනත් හරී...

52. මතක මල් ...

නිලට දිදුලන පුංචි ඇස් හිමි
කිරි හිසට මිණි කිරුළු පළඳා
සිහින මාළිග සෑදුවේ මං
නුඹ මගේ කුස තුලට වන්දා

හඳෙන් හිමිහිට නික්ම ඇවිදින්
මගේ තුරුලට පනින හින්දා
හඳේ හාවිගෙ ටිකිරි හුරතල්
එදත් මං සිහිනයෙන් වින්දා

මවෙත එන්නට පෙරාතුව නුඹ
ලොවම ගෙන අත මිටට කැන්දා
ලියූ කවි ඇති තාම මල්වල
හිතේ උණුහුම් හැඟුම් රන්දා

සුසුම් දුක් ඇස කඳුලෙ දියකර
ලොවට රහසින් තනිව වින්දා
සිනා දෝතින් අරන් ලෝකෙට
මලක් වගෙ නුම හැදෙන හින්දා

නැවත ඉපදී නුඹ නිසා මං
තුන් වසක් හෙට ඉවර හින්දා
ලියා තබනෙමි අදත් කවියක්
මතක මල් කිරි සුවඳ රන්දා ...


Monday, February 11, 2019

51. හෙන්දිරික්ක මල් පිපිලා

හෙන්දි රික්ක මල් පිපිලා මුළු මිදුලම හැඩ වෙලා
කෙල්ල එක්ක සෙල්ලමටම මුළු දවසම ගත වෙලා
කරන්න නෑ ගෙදර වැඩක් ඔක්කොම ඇත හිර වෙලා
රණ්ඩු කෙක්ක හිනස්සන්න තිස්සෙම ඇප කැප වෙලා

ටක් ටුක් ටික් මං යන්නේ මොන පාරෙද කියන්න
කොතන ගියත් නවතින්නේ කොයිබකදැයි සොයන්න
අත්තාපන් මුත්තාපන් රෑ වෙනකන් සොයන්න
මූද ගාව තියෙන පොතේ අකුරු දෙකක් ලියන්න

රවුම් රවුම් බෝල ඇඳලා පොත්වල පිටු පුරවලා
ගිහින් දෙන්නෙ ආච්චි හට දෙන්න කියල කියවලා
තාත්ත ආවම හනිකට අලියා පිටේ නග්ගලා
වඩම්මවයි පොඩි නිලමෙව මුතු කුඩයක් අල්ලලා

රජ්ජුරුවෝ බිමයි බිමයි රැජිනයි උඩ හිඳින්නේ
මිටි ගොල්ලෝ බිම ඉඳගෙන ආවතේව කරන්නේ
අනේ හැබෑටම අපිටත් පිස්සුම නොවැ තියෙන්නේ
පඩ කෙල්ලෙක් හිනස්සන්න ඇයි මෙච්චර නැහෙන්නේ

යාලුයි යාලුයි අපි යාලුයි
රෑ බතටත් අද අමු මාලුයි
සුද්දි නැතුව බෑ හරි පාලුයි
දාල යන්නෙ නෑ අපි යාලුයි...

50. අපි හැදුනම ලොවම හැඩයි

කඳු තිබුනම පොලොව හැඩයි
සඳ නැගුනම අහස හැඩයි
මල් පිපුනම ගසද හැඩයි
අපි හැදුනම ලොවම හැඩයි...

මුතු හැදුනම මුහුද හැඩයි
රැලි නැගුනම ගඟද හැඩයි
එක මුතුකම සවිය වඩයි
අපි හැදුනම ලොවම හැඩයි..

Saturday, February 9, 2019

49. ප්‍රභාතයක් වී...

ප්‍රභාතයක් වී ඇස තැවරෙද්දී
නුඹෙ රුව නිරන්තරෙන්
නුඹෙන් වියුක්තව කිසිත් සිතන්නට
මට වෙන සිතක් කොහෙන්...

ගලා ගලා යන උණුසුම් සෙනෙහස
හද බිඳී ඉවුරු මතින්
සිනා තෙපුල් කිරි ප්‍රමෝදයන් මැද
සැනසෙයි අමා සුවෙන්...

දැවෙන දිලෙන යලි හඬන සිනාසෙන
අහසෙහි අරුම ගෙනා
නිවෙන සැනෙන සැනසුමද සුවය දෙන
සඳ නුඹ සතුට ගෙනා...

Wednesday, February 6, 2019

48. නුඹ දෝතට වැඩියා...

මුතු පිනිදිය ගලා හැලෙන
සොඳුරු නිසල රෑ යාමෙක
පසළොස්වක සඳක් වගේ
නුඹ දෝතට වැඩියා
මිහිරි හැඟුම් සමුදායක
පාවී පාවී සරන නිබඳ
සන්සුන් නැති හිතට නුඹව
හරිම බරට දැනුනා...

කඳුළු සුසුම් හසරැලි වී
උණුසුම් වූ සෙනෙහස ළඟ
ලියවෙන හැම කවි පදයම
නුඹේ නමට ගෙතුනා
කිසිම දිනෙක නොවුණු ලෙසින්
සොඳුරු හැඟුම් මවුන හදේ
පිපී බිඳෙන පිනි කැටයත්
සුන්දර ලෙස පෙනුනා...

දිලිසෙන නිල් ඇස් දල්වා
මදෙස බලා නුඹ සිටියා
මුළු ලෝකෙම මගේ වෙලා
එවිට සිතට දැනුනා
හදට තුරුළු කර සතොසින්
මලක් වගේ බලාගන්න
නුඹට නිබද සෙත් සදන්න
පොරොන්දුවක් දුන්නා...

Tuesday, February 5, 2019

47. සිනා...

ආදරේට හාදු දෙද්දි මුවින් පැන්න කිරි සිනා
කාමරේට හැංගි හොරා එද්දී පැන්න කිරි සිනා
ආච්චිගෙන් තෑගී ගද්දි බෝම වෙච්ච කිරි සිනා
කෝච්චියට අත වනද්දි පාට වෙච්ච කිරි සිනා

තාත්තගේ කරේ යද්දී සද්දෙ දැම්ම කිරි සිනා
පාත්තියේ පස් කොටද්දී උඩින් පැන්න කිරි සිනා
පොච්චියෙන් දුම් දමද්දී ඉහල නැග්ග කිරි සිනා
පාන්දරින් මල් පිපෙද්දී දසත විසුල කිරි සිනා

යාන්තමින් ඇස් අරිද්දි නෙලුම් මලේ ඒ සිනා
වාන් දමන් ගලන ගඟේ සුදු පෙණ කැටි ඒ සිනා
හීන්සැරේ කන්ද ඉඹින මීදුම් සළු ඒ සිනා
කාන්තියෙන් දිස්නෙ වැටෙන මුතු පිනි කැට ඒ සිනා

පාත් වෙමින් පහල බලන වලා පෙලේ ඒ සිනා
මෑත් වෙමින් අතු අස්සෙන් හිනැහෙන මල් ඒ සිනා
ඈත් එක්ක හාද වෙන්න හමන සුළගෙ ඒ සිනා
හාංකවිස්සියක් එබැව් නොදැන නගයි ඈ සිනා...

46. එදා සහ මෙදා ...

අතට අහු වුන හැම කොලේකම
බලි කුරුට්ටක් ඇඳලා නිතරම
තබා එක ළඟ නුඹයි මාවයි
එදා දුටුවෙමි මගේ ලෝකය

බිත්ති පොත් පිටු බිමද හැමතැන
බලි කුරුටු නුඹ අතින් නිමැවෙන
නුඹයි මාවයි ඒත් එකලඟ
මෙදා දකිනෙමි නුඹේ ලෝකය...

Sunday, February 3, 2019

45. පාරමී පුරමි...

නිදන පොඩි සඳකට
රහස් කොඳුරනු නොහැකිව
කවි පෙළක් ලියවෙයි
නුඹේ මුදු මුව සිඹිමින

සුන්දරම හැඟුම් අහුරක
මහා මෙරක් සේ සෙනෙහස
දිනෙන් දින තව ලියලයි
නුඹේ සුවදින් පණ ලැබ

සසර මග පුරාවට
නුඹ නමට දිවි කැපකර
මටම යලි හිමි වන්නට
පාරමී පුරමි මම...


44. වස්තුව ...

කඳුළු දිය කර හරින කිරි ටිකිරි සිනාවයි
සුසුම් පා කර හරින මුදු තෙපුල් කතාවයි
මහා මෙරක හිසේ බර දුටු සැනින් පලා යයි
මගෙ කුඩා මැණික මට සදා වාසනාවයි

ඉඩෝරෙට බිඳුණු හද බිමට වැසි වැස්සුවේ
අවාරෙත් කැකුළු මල් නටු අගට කැන්දුවේ
අමාවක දිනෙත් සඳ අහස් කුස නැංවුවේ
මගේ පණ ඉතින් නුඹ තමයි මගෙ වස්තුවේ !

Friday, February 1, 2019

43. නුඹට...

හෙමිහිට අඩි තියා උයනට ඇවිද ගිහින්
සුදු මුදු රෝස කැකුලියනට හාදු දෙමින්
ලීවෙමි කවක් පෙති මත සියුමලිව ඉතින්
සුරතල් පපා නුඹ දඟ කල විදිය තොසින්

එන මඳ නලෙන් උදයෙම සීතෙන් වුවද
ඉව කර නොඉවසිල්ලෙන් ඔය කිරි සුවඳ
කරගෙන තුරුළු හරි ආදරයෙන් කවුද
තනියෙන් සිනාසුන දින කොතරම් ඇත්ද

ලස්සන සින්දුවක් අහගන්නට කියලා
සුටික්කන් ගෙ කිචි බිචියට කන් යොමලා
කොඳුරා උන්ට කවියක තාලය කියලා
මතකයි වරු ගණන් මල් ගස් ළඟ උන්නා

සමනළයින් ගෙ අත් තටුවල රැඳී පාට
සිත්තම් කරයි ලොව නුඹ මෙහි එන දාට
සිතමින් සිය දහස් වර සිහිනෙන් රෑට
නිසැකයි කීව කවි නුඹ හට ඇසුනාට

රන්වන් හිමිදිරියෙ ලා හිරු නැග එද්දී
සිත්තම් කරන් සොම්නස මල් හිනැහෙද්දී
මත්වී එයින් මොහොතක් හිත නවතිද්දී
නුඹමයි සිහි වුනේ සිහිනෙක පාවෙද්දී

නැග එන රැල්ල නගමින් සුරතල් තාල
පිළිගෙන තොසින් දක්වන සෙනෙහස ආල
මා වගෙ නුඹට අන්දන සුසිනිදු සේල
ජීවය උතුරමින් දිදුලන ගං දෑල

කැටි කර මෙලොව සොඳුරුම දේවල් එකට
මැදි කර සෙනෙහෙ උල්පත නොසිඳෙන එයට
ගුලි කර අතේ මුළු ලෝකෙම මා වෙතට
ගෙන ආ නුඹට මා පුරනා පින් කුමට !

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.