Friday, November 19, 2021

177. වැස්ස












විසික් කර මට කුඩේ ඔයා තෙමි තෙමි බැස්ස 
ඉගිල් ලුන බස් රතේ පළාතෙම මඩ ඉස්ස 
අහස කුස වසා කළු වලා පෙළ එලි බැස්ස 
මතක් කර කර ඔයා අදත් දවසම වැස්ස! 

නවත් වන්නෙම නැතුව එන සීත මදනලේ 
පහත් කරගෙන දෑස ගුලි ගැසෙන කළුවරේ 
පසක් කරමින් සෙනෙහෙ උතුරුවන හදවතේ
හුඟක් මල් පිපෙයි දැන් අපේ වතුසුදු පැලේ 

වෙන්ව ගිය ආදරේ හිමිකමක් නැති කමට 
හිස්ව ඇති ජීවිතේ හැඩගැහෙන තනිකමට 
ඇත්ත ටම පසුතැවෙන සමහරක් දවසකට 
මල් අතර පෙනෙනවා ඔය මූණ එකදිගට!

Monday, November 8, 2021

176. වැහි












තියාගෙන අඳුරු පැහැ වලා සිය තුරුලෙහී 
කියා ගනු බැරි කඳුළු කවියකිය අහසෙහී 
එවා සිය සුසුම් වැල් සුළං කෝඩෙක මෙහී 
දරා ඉන්නට බැරුව හවස් වෙනකොට වහී 

ඇට මිදුළු කකියවන අකුණුසැර ඉදිරියෙන් 
පෙති සිඳුණු රෝස මල් බිම බලයි සීරුවෙන් 
බැරි මටයි මිදෙන්නට තවම මේ හීනයෙන් 
මට පුදුම ඔයා ගැන වෙනස් වුන ලේසියෙන් 

ආ මගින් හැරී අප, අප නමිනි වෙන් වුනේ 
ආ දරෙන් අසීමිත ඇන්ද රූ බොඳ වුනේ 
යා නොහී තව දුරක් මා ඉතින් නැවතුනේ 
ඒ මතක මල් මතින් ඔයාමද නික්මුණේ 

ආකහේ මා වගෙයි පාට ටික හේදුණූ 
කමක් නෑ ඔබට වත් ඇඳෙයි නම් දේදුණූ 
රිදුම් දෙන කඳුළු ළඟ හීතලේ මියැදුණූ 
පුච්චනව බඩ පපුව තේ එකත් අද උණූ


සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.