Showing posts with label අහිමි. Show all posts
Showing posts with label අහිමි. Show all posts

Friday, November 19, 2021

177. වැස්ස












විසික් කර මට කුඩේ ඔයා තෙමි තෙමි බැස්ස 
ඉගිල් ලුන බස් රතේ පළාතෙම මඩ ඉස්ස 
අහස කුස වසා කළු වලා පෙළ එලි බැස්ස 
මතක් කර කර ඔයා අදත් දවසම වැස්ස! 

නවත් වන්නෙම නැතුව එන සීත මදනලේ 
පහත් කරගෙන දෑස ගුලි ගැසෙන කළුවරේ 
පසක් කරමින් සෙනෙහෙ උතුරුවන හදවතේ
හුඟක් මල් පිපෙයි දැන් අපේ වතුසුදු පැලේ 

වෙන්ව ගිය ආදරේ හිමිකමක් නැති කමට 
හිස්ව ඇති ජීවිතේ හැඩගැහෙන තනිකමට 
ඇත්ත ටම පසුතැවෙන සමහරක් දවසකට 
මල් අතර පෙනෙනවා ඔය මූණ එකදිගට!

Monday, November 8, 2021

176. වැහි












තියාගෙන අඳුරු පැහැ වලා සිය තුරුලෙහී 
කියා ගනු බැරි කඳුළු කවියකිය අහසෙහී 
එවා සිය සුසුම් වැල් සුළං කෝඩෙක මෙහී 
දරා ඉන්නට බැරුව හවස් වෙනකොට වහී 

ඇට මිදුළු කකියවන අකුණුසැර ඉදිරියෙන් 
පෙති සිඳුණු රෝස මල් බිම බලයි සීරුවෙන් 
බැරි මටයි මිදෙන්නට තවම මේ හීනයෙන් 
මට පුදුම ඔයා ගැන වෙනස් වුන ලේසියෙන් 

ආ මගින් හැරී අප, අප නමිනි වෙන් වුනේ 
ආ දරෙන් අසීමිත ඇන්ද රූ බොඳ වුනේ 
යා නොහී තව දුරක් මා ඉතින් නැවතුනේ 
ඒ මතක මල් මතින් ඔයාමද නික්මුණේ 

ආකහේ මා වගෙයි පාට ටික හේදුණූ 
කමක් නෑ ඔබට වත් ඇඳෙයි නම් දේදුණූ 
රිදුම් දෙන කඳුළු ළඟ හීතලේ මියැදුණූ 
පුච්චනව බඩ පපුව තේ එකත් අද උණූ


Wednesday, July 14, 2021

174. තාම මගෙ අහසයි ඔයා

















ගිලිහිලා මල් පෙති වැටෙද්දී හදිසියෙන් ආ සුලඟක 
තනිවෙලා සුසුමක් එතෙද්දී වෙන්ව යන මල් සුවඳක 
බොඳ වෙලා ගිය අකුරු අස්සෙන් මතුවෙලා ආ මතකෙක 
හමු වුනා ඔබ අදත් කවියක ලිව්ව ඉස්සර දවසක 

සැඟවිලා යන විට ලොවෙන් තනිවුන හිතයි හිත හිමි මමයි 
හිනැහිලා ඉන්නේ කෙසේ ඔබ තාම ඉස්සර වගෙ තමයි 
ඉතිරිලා සෙනෙහස ඉතින් කවි ගෙතුනෙ ඔබටම විතරමයි 
මගෙ වෙලා ඔබ හිත පුරාවට සිටි අතීතය දැන් දුරයි 

හිර කරන් හිත බැඳි සෙනේ අපෙ මතකයේ කඳුලක් තියා 
සමු අරන් මවෙතින් මිදී ඔබ වෙන්ව දුර අහසට ගියා 
තටු විදන් රිසි ලෙස ඉගිල්ලී යනෙන විට නව මං සොයා 
මම බලන් ඉමි සෙනෙහසින් තවමත් මගෙ අහසයි ඔයා.
(පින්තූරය අන්තර්ජාලයෙනි.)

Monday, June 14, 2021

164. ඉන්න නැවතී ටික වෙලාවක්


 












මේ වගේ වැහි වහින දිනවල අඳුරු ලාගෙන කළුවට
පේ වෙලා ලෝකෙට පෙනෙන්නට ඉන්නෙ මං ඒ බොරුවට 
සේ දිලා ගිය මතක දෝතම ආයෙ අරගෙන තුරුලට
පා වෙලා යමි අතීතේ අපෙ පාට දේදුණු හවසට 

කාරණාවක් කියා ගන්නට බැරුව ලැතවී අහසට 
තාරකාවක් හඩා තනියම බැසගියා සිඳු පතුලට 
ආයෙපාරක් ඇස් පුරාවට රුව දකින්නට නැතුවට 
හීන දාහක් දකිමි තවමත් ඔබ තියාගෙන හිතයට 

පෙන්වමින් අප අතර හිස්තැන් නික්මුනත් මුව මදහස 
ඉන්පසුත් හඬමින් සිනාසෙමි එයයි ප්‍රේමයෙ අනුහස 
පින් පුරන් හිත යට තියාගෙන සසරෙ හමුවන අදහස 
වෙන් වුනත් අපි තාම එහෙමයි අපේ හිත්වල සෙනෙහස
 
ඇන්නවිත් මුදු සිනා සරදම් සුවඳ රැන්දුණු මං පෙතේ 
එන්න එන්නම හිතට තනිකම වැස්ස සේ විත් ලං වෙතේ 
දෙන්න නෑ අද ඇත්තමයි මං යන්න කොහෙවත් හිතුමතේ 
ඉන්න නැවතී ටික වෙලාවක් මගේ මේ උණුසුම් හිතේ.

Thursday, May 13, 2021

160. හිතට දේදුණු අඳිනු කෙලෙසද













කොළඹ අහසම තදට කළු කර හිතන්නත් බැරි ඉක්මනින්
වහින වැස්සත් ඔයා වගෙ මේ සිනිඳු මල් පෙති රිද්දමින්
අකුණු හී සර වදින විට හිත පුපුරුවන රළු සද්දෙකින්
හැකිල දුක සේ වැතිර ඉන්නෙමි පියාගෙන නෙත් පැත්තකින්
 
කඳුළු දියකර බිමට හැලුවත් ගෙවෙන තුරු රැය වැස්සකින්
උදුල සඳ සහ දිලෙන තරු කළුවරෙහි කෙලවර හංගමින්
මිදුන මීදුම් තාම එහෙමයි වසාගත් ඇස හීනෙකින්
මටම සරදම් කරනවා වගෙ හිතෙනවා මට සත්තකින් 

නොමැති විට ඉර එළි ඇබින්දක් එබෙන තුරු හිස් අස්සකින්
පිපෙන කැකුලට කුමට මහ වැහි රැකෙනු මිස පණ යන්තමින්
සතුට සේදුන පසුව අහසම පිරවුනා මිස හිස්කමින්
හිතට දේදුණු අඳිනු කෙලෙසද පාට නැතිනම් පින්සලින්.


Wednesday, May 5, 2021

159. ඉකි බිඳින්නට වෙලාවයි මේ













හඳ මැකෙන්නට ලං වෙලා අහසෙත් පෙනේ මහ දුකක්
අතු අගිස්සෙන් ගිලිහිලා බිම වැටෙයි මුතු පිණි බිඳක්
මිය ඇදෙන්නට හදන හිත අස්වැසෙන්නට ඔහෙ ටිකක්
ඉකි බිඳින්නට වෙලාවයි මේ මගෙ ලොවේ තව රැයක් 

බිම හලන්නට කඳුළු මෙච්චර උපදවන ඇස් දෙකක්
හිරි වැටෙන්නට හදන තනියම නැතිව උණුහුම බිඳක්
තව රිදෙන්නට අඬන විට ඇයි මටම මේ වගෙ හිතක්
මම කියන්නෙම දුකම හිමිවෙන හිතට තව එක නමක්  

හිස තියන්නට මොහොතකට එක මගෙම වුනු උරහිසක්
හිමි නොවන්නට සසර මග මම කරන්නැති යම් පවක්
ඇහැ ඇරෙන්නට තවම බැරි මෙය නපුරු දුක සිහි නයක්
කවි ලියන්නෙම ඔයා ගැන අපෙ මතක මට මහ මෙරක්.


Wednesday, April 7, 2021

157. නැතිව ගිය හිත ආයෙ ඒවිද












ඔහු අරන් ගිය මගේ හිත මට දෙන්න ආපහු ගෙනත්
මග බලන් ඉමි සමනලුනි ඔබ එන්න ආපහු හෙටත්
කටු ඇනෙන්නට කලින් තටුවල දී රිදුම් දුක මහත්
හරි පරිස්සම් විය යුතුයි එහෙමයි උනේ මේ මටත් 

අපෙ තමයි මේ ලෝකයම පැතුවාට සතුටින් හෙටක්
දුක තමයි උරුමය ලැබේ සුසුමක් රැගත් මහ බරක්
මගෙ කියාගෙන ලඟට ගත් බොහොමයක් දේ සිහිනයක්
ලෙස දැනේ යන විට බිඳී හිත ගෙන දෙමින් තනිකමක්

පිබිද සිහිනෙන් පියවි ලෝකෙට එද්දී රෝගී හිතක් 
ඔබද ඇතුළුව මග හැරී ගිය සැවොම මට මහ මෙරක්
පුරුදු සුවඳම දැනෙන විට දැක මලක් මත ඔබ රුවක්
නැතිව ගිය හිත ඒවි ආපහු වෙලා මං ගැන මතක්.

Thursday, January 21, 2021

151. වෙන්වුනත් අපි














මීදුමේ දියවී හිමින් බැස යන සිසිල් සියුමැලි සඳයි 
සීතලේ වැතිරෙන බිමේ රළු සුවඳ සේපාලික මලයි 
ප්‍රේමයේ ඉසියුම් සුසුම් ගෙන හමන සුදුමුදු මදනලයි
මා ඔබේ කියමින් මගේ හිත ඔබම වෙත අලවා තබයි 

ගාවමින් සොම්නස අනන්තෙට සිනාවන් ඉතිරුණු දවස් 
ගාටමින් අලසව ගෙවී ගිය ප්‍රීතිමත් වරුවල හවස් 
කාටවත් නොකියා අපේ වී අපේ හිත සැඟවුන රහස් 
ආදරෙන් අමතයි සිතුම් පොදි නවත්වා කරමින් හරස් 

බාර ගත් දිග ගමන ගොස් නිමවන්නටම ඕනෑ වට 
මාවතක් ගානේ යමින් ගෙන බැරි බරක් පොඩි හිසකට 
පීරමින් හෙව්වත් දුකින් ඇස් විහිදමින් උස් අහසට 
පාර කීමට තාරකාවක් හිටියෙ නෑ ඔබ හැර ට 

තුන්යාමේ ළඟ හිඳින ඔබ ගැන හැඟුම් ගෙන සෙනෙහෙන් වඩා 
පන්හිදේ අමුණමි පැතුම් නෙත් අගිස්සෙන් නොවැටෙන හඬා 
තුන්හිතේ කිසිවෙකු කෙරේ නෑ අමුත්තක් බිඳකුදු කුඩා 
වෙන්වුනේ අපි, බැඳෙන්නයි ආදරෙන් වෙනදාටත් වඩා.


Wednesday, December 2, 2020

144. ඒ වගේ ..













මේ මල් පිපෙන්නේ කෙසේ
මේ රළ බිඳෙන්නේ කෙසේ
මේ තරු දිලෙන්නේ කෙසේ
අපි හමු වුනෙත් ඒ වගේ ...

සඳ එළිය සියුමැළි කෙසේ
නිල් අහස පැහැදිළි කෙසේ
මඳ පවන සිහිලැල් කෙසේ
අපෙ ආදරෙත් ඒ වගේ ...

මල් සුවඳ දෙන්නේ කෙසේ
බිඟු ගී ගැයෙන්නේ කෙසේ
පිණි මුතු දිලෙන්නේ කෙසේ
අපි අපෙ වුනෙත් ඒ වගේ ...

තුරු පත් හැලෙන්නේ කෙසේ
රොන් සුණු සැලෙන්නේ කෙසේ
සුසුමන් මිදෙන්නේ කෙසේ
අපි වෙන් වුනෙත් ඒ වගේ ...


Monday, November 30, 2020

142. තියා යන්න දුක














තියා යන්න ළඟ දරාගන්න දුක හිතට හැකී
කියා දෙන්න ආදරේ තරම මට අයිති නැතී
නිවා ගන්න හිත පියා ගත්ත ඇස් මතම රැඳී
හිනා වෙන්න ඔබ බලා ඉන්න මට එයම ඇතී

හුස්ම පුරාවට ඇවිළි ඇවිලි දුක් විඳින සුසුම්
නින්ද හොරාගෙන ඇහැරි ඇහැරි ඉකි බිඳින හැඟුම්
එක්ව බෙදාගනු පිණිස බලා ඉමි හදෙහි රිදුම්
මන්ද පමාවන කරුණ හිතාදර සඳෙහි කැළුම්

කණාමැදිරි එළි අග්ගිස්සක නෙත් කෙවෙනි දිවේ
කඩාවැටෙන තරු කැබිලිත්තක සිත පැතුම දැවේ
තියාගත්ත හිස උරහිස්සක මුදු සිසිල මැවේ
පියා ගනිමි ඇස් ඔබෙ ආදරයෙන් මහද නිවේ.
(පින්තූරය අන්තර්ජාලයෙනි.)

Tuesday, November 24, 2020

141. මේත් ඉතින් ඇති
















යාන්තමින් මුව සිනා පුරන විට බලා මදෙස නෙත් කොනින්
කාන්දමක් සේ ඇදී ගිහින් හිත නවතිනවා ඔබ ලඟින්
වාන් දොරටු හැර අනන්තයට සිත වාන් දමද්දීත් පෙමින්
හාද්දකින් කම්මුල සනසන්නට වරම් නොමැත මට ඉතින්
 
මෑත් වෙමින් අතු අගින් පිපෙන සුදු අරලිය සුවදක් වෙමින්
ආත්මයක් ගානේ අපි හමුවුණු සුවද තියෙයි හිත ළඟින්
කාත් කවුරුවත් නොමැති මගේ ලොව කළුවර හීනෙට ලොබින්
මේත් ඉතින් ඇති ගෙනා එළිය බිඳ හුස්ම නිවෙන්නට කලින්
 
ප්‍රාර්ථනා දියවෙලා මියෙන තරු අහස් ගඟේ සැඟවෙමින්
හීන් හඬින් ඈ රහස් කියනු ඇති ඔබේ සවන හැප්පෙමින් 
දෑස් පියන් වෙත සඳ දිය බින්ඳක් අරන් අපේ හීනයෙන් 
ඈත් වෙලා යමි මාත් කොහේ හරි අහිමි ප්‍රේම මන්දිරෙන්
(පින්තූරය අන්තර්ජාලයෙනි.)

Friday, November 13, 2020

140. වෙනස



















කාලයක් මල් දුන්න තුරුහිස් හිස් අතින් අසරණ වෙලා
ලෝකයක් දුන් පාට සේරම වැටී ගසමුල වැතිරිලා
හීනයක් දෝ හිතෙන තරමට මතකයන් සිත ගොළු වෙලා
ආදරෙන් ළඟ හිටිය කවුරුත් නෑ ලඟින් අද වෙන්වෙලා 

දුක දැනෙන්නට පටන් ගත්තම ඉගිල සිතුවිලි මහ දුර
සැප කියාගෙන ලඟට ගත් දුක දියව යයි නෙත් තෙත් කර
නොම දැනෙන්නට වෙන් වුනා මිස සැවොම හෙමිහිට මගහැර                
හිත හදන්නට කවුරුවත් නෑ පෙනෙන මේ ගහ කොළ හැර 

මග බලන්නට මග කියන්නට සෙනෙහසින් සිත අරුමැතී
තනි රකින්නට නපුරු කාලෙට කිසිවෙකුත් නම් ළඟ නැතී
හිස තමුන් තම අතට බාරයි එය සැබෑවම වනු ඇතී
හද බිඳින්නට නිසල වනයක වැටෙන පිණි බිඳුවත් ඇතී.

Tuesday, November 10, 2020

139. මතකයන් මට දෙන්න
















මල් යාය ඔබ ගන්න
මල් සුවඳ මට දෙන්න
තරු අහස ඔබ ගන්න
තරු එළිය මට දෙන්න
ගංගාව ඔබ ගන්න
ඒ සිහිල මට දෙන්න
හෙට දවස ඔබ ගන්න
අතීතය මට දෙන්න...

සීත පවනැලි මතින්
නිවෙන හවසක හෙමින්
දෑස බොඳවුන හැඟුම්
තාම ඇත අප නමින්
නිමාවක් නැති ලෙසේ
තාම උපදින හිතේ
ආදරේ ඔබ ගන්න
මතකයන් මට දෙන්න...

වහින වැහිකැට වගේ
ගනිනු කෙලෙසද සිතේ
ආදරේ ඒ වගේ
හුස්ම පොද එහි තියේ
හිනා මල් වැහි අපේ
තාම සුවඳයි හිතේ
ඒ සිනා ඔබ ගන්න
මතකයන් මට දෙන්න... 

Monday, November 9, 2020

138. මන්දාරී














නෙතට අවිවේකයි
සිතද අවිනීතයි
දකින තුරු මඟ බලනා
සිහිනයක සැරි සරනා
නෙතට අවිවේකයි...
සිතද අවිනීතයි... 

ඇඳුරු ලා වැහි වහින මන්දාරමේ
සසල සිතුවිලි ගැහෙන නිස්කාරනේ
පෙනී නොපෙනී හිඳින් නෙත්මානයේ
දිදී උණුහුම බිඳක් ....
මගේ මන්දාරී... 

රෑට තරු ඉකිබිඳින ගිම්හානයේ
පාලු හදකට ඔබම විය කාරණේ
පුරුදු ලෙන්ගතු කමට සංසාරයේ 
වෙන්න සඳ දිය බිඳක්
හැකිද මන්දාරී....

නෙතට අවිවේකයි
සිතද අවිනීතයි
දකින තුරු මඟ බලනා
සිහිනයක සැරි සරනා
නෙතට අවිවේකයි...
සිතද අවිනීතයි...

Wednesday, November 4, 2020

137. රොබරෝසියා

සනසන්න සුළගේ ඈ වෙත ගිහින්
ඇගෙ සවන රහසක් කියා
වැව රවුම පිරිලා ආයෙත් පිපී
ඇගෙ රෝස රොබරෝසියා
මේ පිපෙන මල් ගානෙ
බිම වැටෙන පෙති ගානෙ
මං ආදරේ යැයි කියා...

කන්දක් තරම් හීන පිපුනා හිතේ
පැතුමක හෙමින් ඇස් පියා
වැව් දියට අත හැරපු දා ජීවිතේ
හැඬුවාලු රොබරෝසියා

හැරයන්න ලෝබයි අදත් ඇත්තමයි
මල් සුවඳ හිමි නෑ කියා
එක්වන්නෙ නැති බැව් සැබෑ පෙම්වතුන්
දන්නේලු රොබරෝසියා

පවසන්න සුළගේ ඈ හට හිගින්
මං ආදරේ යැයි කියා
මොහොතක් දුරින් ඉන්න අපෙ ආදරෙන්
මට හරිම ලෝබයි කියා...

Inspired By:

Friday, September 25, 2020

136. ඔබට සුන්දර රැයක්














නෙළුම් කුළුණත් වැහෙන තරමට නැගෙන කළු වැහි වලාවන්
අහන් ඉන්නම් හිතේ හැටියට අදත් මට දුක කියාපන්
ඇවිත් හිරිපොද කවුළුවෙන් මුළු ගතම රිසිලෙස වෙලාගන්
කමක් නෑ දියවෙන්න ලං වුන ගිලන් හද තව අඬාපන්

කැළුම් දී වෙදැගිල්ල මුල රන් මුදුව දිලුනද දිස්නයෙන්
හැඟුම් සීතල වෙවී සැලුනා දුටුව විට ඔබ විස්මයෙන්
පැතුම් පොදි ඉහිරුනත් බිම ඇහිදින්න තනමින් හිස්අතින්
ඇළුම් කරනෙමි තාම විහිදුන සෙනේහෙට ඔය ඇස්වලින්

මලක් තාමත් වැස්සෙ තෙමි තෙමි රිදුනු හිත තව රිදවන
මලක් නොවුනත් මගෙ හිතත් ඒ වගෙයි විරහව විඳවන
මතක් වෙන්නට අපෙ අතීතෙන් සුවඳ බිඳුවක් අයදින
හිතක් මෙතරම් දුකක් ගන්නට කරපු පව් ඇති නොපෙනෙන

බිඳක් පමණක එළි තිතක් නැති නපුරු අහසක තනිවෙන
ගහක් ගානේ රැහැයි නාදය සවන් අතරෙහි වැළපෙන
ලොවෙන් වෙන් වී කට්ට කළුවර මගේ ලොව මා සැඟවෙන
රැයක් වේවා ඔබට සුන්දර ඇගේ සිහිනයෙ කිමිදෙන!

Friday, September 18, 2020

135. අහිමි















අහස මත්තෙම මියෙන තරුඑළි උහුලගෙන දුක මුහුදක
දකිනු රිසියෙන් කෙළවරක් පෙර මතක වැළපෙන කඳුලක
හදෙහි තාමත් උණුහුමයි පෙම දුටුව නිල්මිණි දෙනෙතක
දැනුනෙ නෑ දුක මේ තරම් නම් මීට පෙර කිසි දිනයෙක

අතරමග බිඳි එකම හීනය සතුටු නිම්නය අත්හළ
ඇවිදගෙන විත් පපුව සූරයි නින්ද නැති දිගු රැයතුල
ඔබට රහසින් අවදියෙන් ඉඳ ලිව්ව මේ දුක් කවිවල
අහිමි වීමක වේදනා ඇත අකුරු අතරෙහි දියකළ

පිරෙද්දී හිත එන්න එන්නම මහ මෙරක් තරමට පෙමින්
හිඳිද්දී ළඟ බිම බලාගෙන යන්න නොදුටුව සේ දුරින්
අඬද්දී හිත මුවාකර එය බලෙන් ගත් හුස්මක් මතින්
දැවෙද්දී තුන්හිතම ගින්නක නිවෙන්නේ කොහොමද ඉතින්

මහා වැස්සක් වැටී හදිසියෙ බිනර මහෙ දිනයෙක අග
හිතා ගන්නත් කලින් මල්පෙති තෙමී විසිරුන මුත් මග
නොයා සුවඳක දැනෙයි තාමත් අහිමි වන්නට බැරි වග
එපා සුළගේ අරන් යන්නට කමක් නෑ තිබුනට ළඟ.

Friday, September 11, 2020

134. තවම මම සන්තාපයෙන්













ඉපිද මියයන සුසුම් රැලි ගඟ ගෙවෙන තුරු රැය සීතලෙන්
නැතිද විදියක් මිදෙන්නට සිත දවන මේ රුදු පාළුවෙන්
විහිද පෙති පිපි කුමුදු මල් සිප හමන මදනළ ආදරෙන්
හැකිද එහි ගොස් කියන්නට මම තවම මෙහි සන්තාපයෙන්

සලා සිනහව වශී කල නෙත දිනෙක තුරුලෙහි සැඟවිලා
නොයා මා දෙස බලා දැන් ඔබ හිටියෙ තරුවක නැවතිලා
අයා මුව අත තබා හද විසිරෙන්න කලියෙන් ගිලිහිලා
පියා නෙත් හැර බලමි යලි නෑ ඔබව එහි මම රැවටිලා

නොවී ඔබහට සුසුම් සෝ දුක් මටම වී නම් සැනසුමයි
ලැබී සුපැතුම් සුවෙන් සතුටින් සැපෙන් ඉන්නට අවසරයි
එබී බැලුවොත් මගේ ලෝකෙට පෙනෙන හිස් තැන් අපමණයි
නිවී සිනහා පහන් වැට දැන් හුඟක් කල් හරි කළුවරයි

කිසිත් නොපතා අහස් තලයෙන් හෙමින් බැස යන සඳ ලෙසින්
මටත් පුළුවනි ඉන්න හැමදාමත්ම හිමි නැති ඔබ නමින්
බලෙන් හිර කර ඉනූ කඳුලක් වැටෙන්නට එන නෙත් අගින්
සොවින් ආ මග පිරික්සන්නෙමි වැරදුනාදෝ කොහෙ ඉතින්.

Monday, August 31, 2020

133. හිත හදාගෙන අස්වැසෙන්නම්


කඳුළු බිඳුවක් ඇසින් වැටුනා පරණ මතකය සිහි වෙලා
කුරුළු දෙහදක ඇඳුණු ආදර සිහින සිතුවම බොඳ වෙලා
අඳුරු අහසට නොකිය සඳවත කොහෙද ඈතක සැඟවිලා
සිදුරු වුන මුළු හදම කකියයි ඉවර මුත් සැම සිදුවෙලා

පේවිලා පා දෝත සිටියත් වැළඳ ගන්නට ස්නේහයෙන්
ගෑවිලා අත ආයෙ නික්මෙයි රැල්ල දියඹට වේගයෙන්
පෑසිනා මුතු අහුර හදවත හොවා සෙනෙහෙක නාමයෙන්
සේදිලා ගොස් සයුරු රැල්ලට වෙරළ දැන් අසනීපයෙන්

ජීවිතේ එක තැනක නොරැදී ගලන විට කෙලවර බලා
මාවතේ ඔබ නික්ම ගිය මම හිඳිමි තාමත් තනිවෙලා
මාරුතේ ගිලිහිච්ච කුසුමක් අහුලගෙන අහකට නොලා
මා ඔබේ යැයි කිව්ව දින හසරැල්ල ගමි මතකෙට නෙලා

නොම හඬා බැරි මුත් රිදෙද්දී සිදුරු හද එක සීරුවෙන්
නපුරු දා තනිකම් විඳින්නයි මිදෙන සුසුමක වාරුවෙන්
ලැබු නිසා ආදරේ හිමිකම් මගෙ නොවූ ඔය නෙත් තුලින්
හිත හදාගෙන අස්වැසෙන්නම් දිනෙක මතුදා මා ඉතින්.

Tuesday, August 25, 2020

132. ඒ ඔබ පමණි


මලක පෙති මත සෙනෙහෙ බිඳුවක් විහඟ තුඩකින් තියනවා
අසල ගැවසෙන සිසිල මඳනල එසිරි රහසෙම විඳිනවා
අතර මග අත හැරුණු හීනය දෑස අග යලි බිඳෙනවා
මතක අමතක කරන විදියක් නැතුව හිත දුක් විඳිනවා

පිපෙන විට තුරු හිසක කැකුළක් හෙටට පැතුමක් අතවනයි
නැගෙන විට අවපසෙහි තරුවක් අඳුරු අහසම හැඩ බලයි
හිඳින විට කිති කවා කිසිවෙක් හිත පුරා හරි උණුහුමයි
පිරෙන විට ආදරෙන් දෙසිතක් ලොවම බෙහෙවින් සුන්දරයි

බිඳෙන විට රළ අගිස්සෙන් මුදු සුමුදු පෙණකැටි සැදෙනවා
සිඳෙන විට එක රළක් තව දෙක තුනක් ඈතින් නැගෙනවා
නොගෙන මේ කමටහන් හිත වෙන කොහෙද ඈතක සරනවා
වෙරළ වෙත සංසාර ජීවන රැල්ල හෙමිහිට ඇදෙනවා

අහිමි හිමි නොම සිතා කිසිවක් අපේ වී අපි සිටි එදා
පැමිණි දුක් ඔබ හට නොවී නම් එයයි මගෙ සැනසුම මෙදා
තිබුණි නම් තව එකම පැතුමක් හදෙහි පණ අදිමින් රඳා
පමණි ඒ ඔබ ඊයෙ අද හෙට සසර මතු උපදින සදා!
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.