Monday, May 6, 2024

262. සුබ දසුන්

පහුගිය මාස එක හමාරක විතර කාලෙ අපේ සැමියාට අත්‍යාවශ්‍ය රාජකාරියක් යෙදී තිබීම නිසා උදේට අපේ පොඩි ලලනාවිය ඉස්කෝලේ එක්කගෙන යන්න උනේ මට. 4ට අවදි වී දාඩිය නාගෙන උයා පිහා මේකා නැගිට්ටවා ලේස්ති කරවාගෙන මාත් ලේස්ති වී ස්කෝලෙට ගොස් ඇරලවා ආපහු ඇවිත් රටට සේවයක් කිරීමේ පරම පැතුමෙන් මාත් රස්සාව පටන් ගන්න එපයි. ඒක නිසා උදේට ඉස්කෝලේ යන ගමනට මම පාරට බහින්නේ පුදුම සතුටකින්. එහෙම කරලත් කෝ ඉතින් අපිට සුබ නිමිත්තක් වත් ඇස ගැටෙන්නේ නෑනෙ. එක අතකට එහෙම වුනොත් තමයි පුදුමෙ. මෙච්චර කාලෙකට නිකන් කිසිම දෙයක් නොලැබුණු එකේ ඔය සුබ නිමිත්තත් අපිට අකැපයි. ඒත් නොසැලෙන වීරියෙන් යුත් අපි දෙන්නා දවස් දෙකක් යනකොට හොයාගත්තා මග දිගට සුබ දසුන් එකක් නෙවෙයි තුන හතරක්ම.😁 

ඉස්සෙල්ලාම ගෙදරින් එලියට බැහැලා පොඩ්ඩක් යනකොට අපිට හම්බුවෙන්නේ සූරියන්. සූරියන් කියන්නේ මහ පාරේ ඉන්න බලු පැටියෙක්. ඌ හැමදාම එක එක ඉරියව්වෙන් සූරිය නමස්කාරේ කර කර ඉන්නකොට තමයි අපි දකින්නේ. අපි දෙන්නාගේ සෙල්ලම තමා සුරිය නමස්කාරේ ඉරියව් 12න් ඒකා ඉන්න ඉරියව්ව අනුමාන කිරීම. ඕකෙන් ගොඩක් වෙලාවට දිනන්නේ අපේ පොඩි ලලනාවි තමයි. ඒකාට පුදුම ඉවක් තියෙන්නේ නාටු කෝටු බල්ලන්ගේ පූසන්ගේ වැඩ ගැන. කොයි ඉරියව්වෙන් හිටියත් සූරියන් ගේ හිනා මුණ දැක්කම මට නම් මාර ආසයි. ඉතින් දවස සුබායි කියලා හිතාගෙන අපි ඔන්න සූරියන්ට ටටා බායි කියලා ඊගාවට යන්නේ කුෂු කුෂු ව බලන්න. 🥰 

සම්බෝල පාට කුෂු කුෂු පූස් මහත්තයා ඉන්නේ කෝච්චි පාර අයිනේ කණුවක් උඩ. අපි යන්නේ කෝච්චි පාර පැනගෙන. සමහර දවසට කෝච්චි පාරට හැරෙනකොටම අපිට පේනවා අපි එනකන් මග බලාගෙන අව්ව තපින කුෂු කුෂු මහත්තයාව. ඒ වෙලාවට උගේ මූණ හරිම සිරියාවයි. අපි එතනින් යන වෙලාවට ඌ ඇස් දෙක ඇරලා අපේ දිහා බැලුවොත් ඔන්න අපේ දවස ඉතා සුබදායකයි කියලා තමා අපිට හිතෙන්නේ. නැති උනත් ඉතින් අවුලක්ම නෑ. අපිට පේන්න ඉන්න එකම මදැයි. ඒත් සමහර දවස්වලට නම් අපිට බෝනස් ලැබෙනවා. ඒ කියන්නේ කුෂු කුෂු මහත්තයා කණුව උඩ ඉන්නේ තනියෙන් නෙවෙයි. ජෝඩු දාලා එයාගේ ප්රියම්බිකාවත් එක්ක. ඒ වගේ දවස් ඉතින් ආයෙ කියන්න දෙයක් නෑ කිරියෙන් පැණියෙන් ඉතිරිලාම තමා පටන් ගන්නෙ. 😍 

ඊටත් පස්සෙ අපිට හම්බෙන්නෙ හෙන්දිරික්කා මල්. පාර දෙපැත්තේම හෙන්දිරික්කා මල් වවලා. එක පැත්තක තැඹිලි පාට. අනිත් පැත්තේ සුදු පාට. මේ දවස්වල හෙන්දිරික්කා මල් උදේටත් තියෙන්නේ පිපිලා වගේ. පර වෙන්නේ නෑ. දෙපැත්තම එක පාර බලන්න බැරි නිසා අපි දෙන්නා කතා වෙලා හෙන්දිරික්කා පාරට කිට්ටු වෙනකොට පැති මාරු කරගන්නවා. එක දවසක මම තැඹිලි පැත්තේ වැඩි වෙලා ගිහින් තැඹිලි පාට හෙන්දිරික්කා බලනවා. අනිත් දවසේ සුදු පාට හෙන්දිරික්කා බලනවා. මෙතනදීත් සමහට වෙලාවට අපිට බෝනස් ලැබෙනවා කට්ටිය පාර පනිනකන් වාහනේ පොඩ්ඩකට නැවත්තුවොත්. අපි දෙන්නා ටක් ගාලා පැති මාරු කරගෙන සුදුයි තැඹිලියි දෙකම බලන චාන්ස් එක අර ගන්නවා. දෙන්නාටම පහක් දාගන්න පුළුවන් වුන එහෙම දවසට ඉතින් අපිට පුදුම සතුටක්. කොහොමද ටිකිරි මොලේ. 😇 

අන්තිමටම ඔන්න අපිට හම්බුවෙන්නේ ඉස්කෝලේ ගාව බැහැලා ගේට්ටුවට ලඟට ඇවිදගෙන යනකොට තියෙන ඇහැළ මල් පිරුණු ගහ. එතෙන්දි ඉතින් උඩ පැනලා ඇහැල මල් අත්තක් අල්ලගන්න පුළුවන් උනොත් ඔන්න අපේ දවස සුබයි. අපේ පොඩි ලලනාවි කොච්චර උඩ පැන්නත් මල් අත්තක් අල්ලගන්න බැරි වෙන සමහර දවස් වලට මට ඉතින් ඒකාව උස්සගෙන කර ගහගෙන හරි ඒකාව මල් අත්තක් අල්ලනකන් ඉන්න වෙනවා. අමාරුයි කියලා මොනවා කරන්නද ඉතින්. දවස සුබ කරගන්නත් එපයි. අපි ඉතින් කොහොමහරි මල් අත්තක් අල්ලලාම තමයි පස්ස බලන්නෙ. 😘 

අද ඉඳන් ආපහු සති දෙකක් ඉස්කෝලේ නිවාඩුයි. වෙනදා වගේ මේ සුබ දසුන් ටික බලාගන්න නැති එක හිතට පොඩ්ඩක් දුකයි වගේ. සූරියනුයි කුෂු කුශුයි අපි එනකන් බලන් හිටියද දන්නෙ නෑ අදත්. හෙන්දිරික්කා නම් වෙනදා විදියටම පාර දෙපැත්තේ වැනි වැනි ඇති අදත්. ආපහු ඉස්කෝලේ පටන් ගනිද්දී ඇහැළ මල් ඉවර වෙලා තියෙයිද දන්නෙත් නෑ. උදේ ඉඳලා දිගටම මතක් උන නිසා ඔන්න ඔහේ මේකෙ පාලු මැකෙන්නත් එක්ක කුරුටු ගාලා තියන්න ඕනෙයි කියලා හිතුණා. 







ප. ලි. 
පින්තූර සියල්ලම අන්තර්ජාලයෙනි.



3 comments:

  1. පින්තූර අන්තර්ජාලයෙන් මොකටද යන එන ගමන් පොටෝ එකක් අල්ලන්න තිබ්බනේ. කොහොම උනත් ලිවීම නම් රහයි.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අයියො. මේක ලියන්න ගියමනෙ පින්තුරයක් ගන්න බැරි උන එකේ අඩු පාඩුව තේරුණේ. ආයි ඉස්කෝල පටන් ගත්ත ගමන් පින්තූර අරන් මෙතන අප්ඩේට් කරන්න ඕන. ඉෂ්ටුටියි හොඳේ.

      Delete
  2. හිත රිදුනානේ ඉතින් අන්තිමට පොටෝ අන්තර්ජාලයෙන් කියල කිව්වම 🙃🙃

    ReplyDelete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.