Friday, December 24, 2021

179. නිමාවන තව දිනක්














උදුවප් මහේ අගින්
නිමාවන තව දිනක්
තත්පරෙන් තත්පරේ
ගෙවී යයි..
 
හුරුපුරුදු ලතාවෙන්
ජීවිතේ රළ පේළි
සංසාර වෙරල වෙත
පියමනියි...
 
කහපාට අත්හැරී
රතුපාට වූ හඳක්
හිස් අහස මැද්දෑවෙ
නිසසලයි ..
 
තරු සොයා ඉගිල්ලුන
දිග අහස් කූරකින්
ගිනි ගතිපු මල් රේණු
බිම හැලෙයි...



178. පොළොවක් වී


සුවඳ සුළඟට දී
පැහැය අහසට දී 
රසය බිඟුනට දී 
ඵලය ගසටම දී 
 
මිලින වී පරවී 
වැටෙන දිනයකදී 
වැළඳ ගමි නොරි දී  
ඔබව පොළොවක් වී!



Friday, November 19, 2021

177. වැස්ස












විසික් කර මට කුඩේ ඔයා තෙමි තෙමි බැස්ස 
ඉගිල් ලුන බස් රතේ පළාතෙම මඩ ඉස්ස 
අහස කුස වසා කළු වලා පෙළ එලි බැස්ස 
මතක් කර කර ඔයා අදත් දවසම වැස්ස! 

නවත් වන්නෙම නැතුව එන සීත මදනලේ 
පහත් කරගෙන දෑස ගුලි ගැසෙන කළුවරේ 
පසක් කරමින් සෙනෙහෙ උතුරුවන හදවතේ
හුඟක් මල් පිපෙයි දැන් අපේ වතුසුදු පැලේ 

වෙන්ව ගිය ආදරේ හිමිකමක් නැති කමට 
හිස්ව ඇති ජීවිතේ හැඩගැහෙන තනිකමට 
ඇත්ත ටම පසුතැවෙන සමහරක් දවසකට 
මල් අතර පෙනෙනවා ඔය මූණ එකදිගට!

Monday, November 8, 2021

176. වැහි












තියාගෙන අඳුරු පැහැ වලා සිය තුරුලෙහී 
කියා ගනු බැරි කඳුළු කවියකිය අහසෙහී 
එවා සිය සුසුම් වැල් සුළං කෝඩෙක මෙහී 
දරා ඉන්නට බැරුව හවස් වෙනකොට වහී 

ඇට මිදුළු කකියවන අකුණුසැර ඉදිරියෙන් 
පෙති සිඳුණු රෝස මල් බිම බලයි සීරුවෙන් 
බැරි මටයි මිදෙන්නට තවම මේ හීනයෙන් 
මට පුදුම ඔයා ගැන වෙනස් වුන ලේසියෙන් 

ආ මගින් හැරී අප, අප නමිනි වෙන් වුනේ 
ආ දරෙන් අසීමිත ඇන්ද රූ බොඳ වුනේ 
යා නොහී තව දුරක් මා ඉතින් නැවතුනේ 
ඒ මතක මල් මතින් ඔයාමද නික්මුණේ 

ආකහේ මා වගෙයි පාට ටික හේදුණූ 
කමක් නෑ ඔබට වත් ඇඳෙයි නම් දේදුණූ 
රිදුම් දෙන කඳුළු ළඟ හීතලේ මියැදුණූ 
පුච්චනව බඩ පපුව තේ එකත් අද උණූ


Wednesday, July 14, 2021

174. තාම මගෙ අහසයි ඔයා

















ගිලිහිලා මල් පෙති වැටෙද්දී හදිසියෙන් ආ සුලඟක 
තනිවෙලා සුසුමක් එතෙද්දී වෙන්ව යන මල් සුවඳක 
බොඳ වෙලා ගිය අකුරු අස්සෙන් මතුවෙලා ආ මතකෙක 
හමු වුනා ඔබ අදත් කවියක ලිව්ව ඉස්සර දවසක 

සැඟවිලා යන විට ලොවෙන් තනිවුන හිතයි හිත හිමි මමයි 
හිනැහිලා ඉන්නේ කෙසේ ඔබ තාම ඉස්සර වගෙ තමයි 
ඉතිරිලා සෙනෙහස ඉතින් කවි ගෙතුනෙ ඔබටම විතරමයි 
මගෙ වෙලා ඔබ හිත පුරාවට සිටි අතීතය දැන් දුරයි 

හිර කරන් හිත බැඳි සෙනේ අපෙ මතකයේ කඳුලක් තියා 
සමු අරන් මවෙතින් මිදී ඔබ වෙන්ව දුර අහසට ගියා 
තටු විදන් රිසි ලෙස ඉගිල්ලී යනෙන විට නව මං සොයා 
මම බලන් ඉමි සෙනෙහසින් තවමත් මගෙ අහසයි ඔයා.
(පින්තූරය අන්තර්ජාලයෙනි.)

Monday, July 5, 2021

172. දිනේවා මාගෙ හිමි සඳු


















ආව මග මේ සසර ගමනෙහි පිරූ පින් බොහො බව මම 
ආයෙ ආයෙම පසක් වේ මට ඔබේ සෙනෙහස දුටුවම
දෝව ගෙන හිත ඔබේ සුවඳින් ලබා ලොව්තුරු සුවයම 
බාර ගමි හැම දේම සතුටින් ඔබට දී ජීවිතයම 


ගලා සෙනෙහස සතුට සැනසුම උණුසුමින් පිරි කැදැල්ලේ 
සිනා කිරිකැටි වදන් සුරතල් ගලාගෙන යන නිදැල්ලේ 
බලා හිනැහෙමි නිවෙමි සැනසෙමි නිබඳ සොම්නස් සදැල්ලේ
පියා ගෙන නෙත් ඔබේ සෙවනේ ගෙවී යන හැම ඇසිල්ලේ 


නිතින් වෙහෙසී සිතා අපි ගැන අපට සැප සම්පත් සැදූ
හදින් උතුරා සෙනේ ගඟුලක් නිබඳ අප වෙතටම පිදූ
ඉතින් එළැඹෙන උපන් දිනයෙහි පැතුම් සහසක් සිත රැඳු
සුවෙන් සතුටින් සැපෙන් සැමදා දිනේවා මගෙ හිමි සඳු !!!



Friday, July 2, 2021

170. කැලේ පිපුණ මල














වැවෙන්නට ගේ ළඟ පත්තියෙ වරම් නොම ලැබුනා වුනත් 
ලබන්නට සැලකිළිද පැසසුම් අරන් ආ පින් මදි වුනත් 
නැගෙන්නට හිරු එන වෙලාවෙදි අලුත් දවසක් ගෙන තවත් 
බලන්නට ලස්සන නොවේදෝ කැලේ සුපිපුණ මේ මමත් 

සිඹ බලන්නට සුවඳ බින්දක් නැතිව දුටු දුක හීනය  
හිමි කමක් සුවඳක නොවේ නම් එය ඉතින් නොලැබීමය 
කල පවක් වේ නම් අතීතයෙ එය විදින්නට වේමය 
සැන සුමක් වේ නම් හිතට එය සියළු දේ ඉවසීමය 

අත හරින්නට බැරි දෙයක් ලොව තිබේ යැයි සිත සැකහල 
යළි බිඳින්නට බැරි ලෙසින් සිත අබිමනක් මට එක්කල  
නිම කරන්නට බැරි සෙනේහෙන් සුපිපි සිත මන් මත්කල  
මම බලන්නට නොවැරදිම එයි මගේ ප්‍රේමය සමනළ 

Wednesday, June 30, 2021

169. මගේ ළඟ නවතිනවද















කොළඹ අහසින් බැහැල යන ඉර තියා තව දිනකට තිත
දියඹ නොදැකම අඳුර තුරුලෙහි පියා සැනසෙනවා නෙත
කළඹ මින් හද සසල සිතුවිලි අතීතෙක නැවතුනු හිත
නිහඬ වම දුක දරා වැළපෙයි තියා ළඟ කඳුලක තෙත
 
හෙලා වැව් දිය මතට හසරැල් හැපීගෙන සුළඟෙහි මඳ
වලා අතරින් මිදී ටිකකින් ඇවිත් හිනැහෙන විට හඳ
විලාපෙන් රෑ රැහැයි සුසුමක් හදේ බිඳෙමින් යන සඳ
ගලා විත් සඳ එලිය වගෙ නුඹ මගේ ළඟ නවතිනවද
 
අහස ඔබ නොම පෙනෙන නිම් හිම් තවම මට ඉස්සර වගේ
පහස තරු කැකුලියන් අපමණ සිනා සී ඔබ යන මගේ
ඉවස ගෙන හිත තවම වදවෙන සෙනෙහෙකට ගිය හිතුමතේ
දවස අහවර කරමි ඉවකර සුවඳ ඔබෙ සුසුමක් දිගේ

 

Wednesday, June 23, 2021

167. සැබැයි අපෙ ආදරේ














ඉතින් අපි වෙන් වුනත් ලොවක හිත තෙත නැතී
සිබින්නට මතකයන් තවම ඉඩ කඩ ඇතී 
හිතින් විමසා බලමි කිසිත් අමතක නැතී
සුවෙන් සතුටින් සැපෙන් ඔයා ඉන්නව ඇතී

හොඳයි හිතෙනවා වරෙක දකින්නට නැති එකත් 
අඬයි මේ හිත හොරෙන් එහෙම උනොතින් තවත් 
ලැබෙයි සිතු කියල්ලම දෑස් මත බොඳ වුවත් 
සැබැයි අපෙ ආදරේ දනී මම සහ ඔබත් 

කුඩා දරුවෙක් වගේ කෙළිදෙලෙන් කතාවෙන් 
බදා හදවත මගේ සිටිය මුදු සිනාවෙන් 
වසා නෙත් පියන් යලි අරින සුළු පමාවෙන් 
බලා ඉන්නෙම ඔයා මගේ දෙස දයාවෙන්...

Monday, June 14, 2021

164. ඉන්න නැවතී ටික වෙලාවක්


 












මේ වගේ වැහි වහින දිනවල අඳුරු ලාගෙන කළුවට
පේ වෙලා ලෝකෙට පෙනෙන්නට ඉන්නෙ මං ඒ බොරුවට 
සේ දිලා ගිය මතක දෝතම ආයෙ අරගෙන තුරුලට
පා වෙලා යමි අතීතේ අපෙ පාට දේදුණු හවසට 

කාරණාවක් කියා ගන්නට බැරුව ලැතවී අහසට 
තාරකාවක් හඩා තනියම බැසගියා සිඳු පතුලට 
ආයෙපාරක් ඇස් පුරාවට රුව දකින්නට නැතුවට 
හීන දාහක් දකිමි තවමත් ඔබ තියාගෙන හිතයට 

පෙන්වමින් අප අතර හිස්තැන් නික්මුනත් මුව මදහස 
ඉන්පසුත් හඬමින් සිනාසෙමි එයයි ප්‍රේමයෙ අනුහස 
පින් පුරන් හිත යට තියාගෙන සසරෙ හමුවන අදහස 
වෙන් වුනත් අපි තාම එහෙමයි අපේ හිත්වල සෙනෙහස
 
ඇන්නවිත් මුදු සිනා සරදම් සුවඳ රැන්දුණු මං පෙතේ 
එන්න එන්නම හිතට තනිකම වැස්ස සේ විත් ලං වෙතේ 
දෙන්න නෑ අද ඇත්තමයි මං යන්න කොහෙවත් හිතුමතේ 
ඉන්න නැවතී ටික වෙලාවක් මගේ මේ උණුසුම් හිතේ.

Monday, May 31, 2021

161. නුඹට එහෙනම් සුබ ගමන් !












පියා ගෙන ඇස් හීනි වෙන්නට සිහින ලෝකෙක හිත තියා
හිනා වෙනකොට ඔහොම උඹ හරි ලස්සනයි මැණිකේ කියා
සිනා සරදම් මැවූ එදවස මතකයන් අපි ළඟ තියා
නොයා බැරි තැන ඔයා තනියම ඉතින් දුර ගමනක් ගියා
 
දහය එකොළහ දොළහ එකටම එකම පන්තියෙ එක ලඟින්
හිටිය හැටි අපි මතක් වෙනකොට පිරෙනවා හිත උණුහුමින්
දියව යන නෙත මුවා කරගෙන බරට ගිලිහෙන සුසුමකින්
කොහොම හරි හිත හදාගමි යලි සසරෙ හමුවන පැතුමකින් 

දිවියෙ අහිමිව ගිය සියල්ලම කඳුළු බිඳුවක් මත ලියා
තටුවෙ කණකොක් පැහැය සුදුමැලි අරන් එය දෝතෙහි තියා
හිටියෙ කාලෙක සිටන්මලු නුඹ සුදට සළුවක් විය වියා 
නැහැනෙ දැක්කෙත් කාලෙකින් අපි දිනෙන් දින එය කල් ගියා 

හුදෙකලා එක විරාමෙක මුළු ලොවම නැවතුනු හිස්කමින්
බලකලා දඬුවම් විඳින්නට හිටි තැනම සිර ගත වෙමින්
ගිලිහිලා සුළඟට වැටෙද්දී පිපි මලක් ලෙස හිනැහෙමින් 
නැවතිලා මතකේ සිතින් නොහඬා සිටින්නේ යන්තමින් 

අතර සිතුවිලි මතුවෙමින් එන හිතෙහි මොනවද හිරවෙලා 
නතර වන බව පෙනේ කවියද අතර මග ඔහෙ නැවතිලා
සයුර මෙන් දුක් ගත්ත ඔබ අද සිටී සුවසේ සැනසිලා
සසර හමුවෙමු කවමදාහරි ආයෙ සොහොයුරියන් වෙලා 

රැඳෙනු ඇති අපෙ මතකයේ නුඹ සෑමදාමත් එක ලෙසින්
පිදෙනු ඇති අප පිරූ පින් පෙත් සියල්ලම නුඹගේ නමින්
මිදෙනු බැරිවුන කඳුල නෙතගින් වැටෙනු ඇති තව මොහොතකින්
හිඳිනු මැන ගිය තැනක සුවසේ නුඹට එහෙනම් සුබ ගමන් !


Thursday, May 13, 2021

160. හිතට දේදුණු අඳිනු කෙලෙසද













කොළඹ අහසම තදට කළු කර හිතන්නත් බැරි ඉක්මනින්
වහින වැස්සත් ඔයා වගෙ මේ සිනිඳු මල් පෙති රිද්දමින්
අකුණු හී සර වදින විට හිත පුපුරුවන රළු සද්දෙකින්
හැකිල දුක සේ වැතිර ඉන්නෙමි පියාගෙන නෙත් පැත්තකින්
 
කඳුළු දියකර බිමට හැලුවත් ගෙවෙන තුරු රැය වැස්සකින්
උදුල සඳ සහ දිලෙන තරු කළුවරෙහි කෙලවර හංගමින්
මිදුන මීදුම් තාම එහෙමයි වසාගත් ඇස හීනෙකින්
මටම සරදම් කරනවා වගෙ හිතෙනවා මට සත්තකින් 

නොමැති විට ඉර එළි ඇබින්දක් එබෙන තුරු හිස් අස්සකින්
පිපෙන කැකුලට කුමට මහ වැහි රැකෙනු මිස පණ යන්තමින්
සතුට සේදුන පසුව අහසම පිරවුනා මිස හිස්කමින්
හිතට දේදුණු අඳිනු කෙලෙසද පාට නැතිනම් පින්සලින්.


Wednesday, May 5, 2021

159. ඉකි බිඳින්නට වෙලාවයි මේ













හඳ මැකෙන්නට ලං වෙලා අහසෙත් පෙනේ මහ දුකක්
අතු අගිස්සෙන් ගිලිහිලා බිම වැටෙයි මුතු පිණි බිඳක්
මිය ඇදෙන්නට හදන හිත අස්වැසෙන්නට ඔහෙ ටිකක්
ඉකි බිඳින්නට වෙලාවයි මේ මගෙ ලොවේ තව රැයක් 

බිම හලන්නට කඳුළු මෙච්චර උපදවන ඇස් දෙකක්
හිරි වැටෙන්නට හදන තනියම නැතිව උණුහුම බිඳක්
තව රිදෙන්නට අඬන විට ඇයි මටම මේ වගෙ හිතක්
මම කියන්නෙම දුකම හිමිවෙන හිතට තව එක නමක්  

හිස තියන්නට මොහොතකට එක මගෙම වුනු උරහිසක්
හිමි නොවන්නට සසර මග මම කරන්නැති යම් පවක්
ඇහැ ඇරෙන්නට තවම බැරි මෙය නපුරු දුක සිහි නයක්
කවි ලියන්නෙම ඔයා ගැන අපෙ මතක මට මහ මෙරක්.


Thursday, April 8, 2021

158. මට යන්න හිතයි මියැදී...










මල් යාය පුරා දම් පාට වෙලා
මල් වැස්ස තාම පවතී
මඳ සුළඟ වැදී මල් වැටෙන හැටී
ඔහෙ බලා ඉඳිමි නැවතී...

ඒ මලට හොරා මල් සුවඳ නෙලා
ජීවිතේ අරන් මිහිරී
හීනයක් වෙලා ඔබ ආව එදා
මතකයන් පමණි ඉතිරී...

ළඟ කඳුළු තියා ඔබ ඇයගෙ වෙලා
දුර යන්න ගියා සැඟවී 
සිත ලඟට සදා දුක තුරුළු වෙලා
මට යන්න හිතයි මියැදී...

Wednesday, April 7, 2021

157. නැතිව ගිය හිත ආයෙ ඒවිද












ඔහු අරන් ගිය මගේ හිත මට දෙන්න ආපහු ගෙනත්
මග බලන් ඉමි සමනලුනි ඔබ එන්න ආපහු හෙටත්
කටු ඇනෙන්නට කලින් තටුවල දී රිදුම් දුක මහත්
හරි පරිස්සම් විය යුතුයි එහෙමයි උනේ මේ මටත් 

අපෙ තමයි මේ ලෝකයම පැතුවාට සතුටින් හෙටක්
දුක තමයි උරුමය ලැබේ සුසුමක් රැගත් මහ බරක්
මගෙ කියාගෙන ලඟට ගත් බොහොමයක් දේ සිහිනයක්
ලෙස දැනේ යන විට බිඳී හිත ගෙන දෙමින් තනිකමක්

පිබිද සිහිනෙන් පියවි ලෝකෙට එද්දී රෝගී හිතක් 
ඔබද ඇතුළුව මග හැරී ගිය සැවොම මට මහ මෙරක්
පුරුදු සුවඳම දැනෙන විට දැක මලක් මත ඔබ රුවක්
නැතිව ගිය හිත ඒවි ආපහු වෙලා මං ගැන මතක්.

Thursday, January 21, 2021

151. වෙන්වුනත් අපි














මීදුමේ දියවී හිමින් බැස යන සිසිල් සියුමැලි සඳයි 
සීතලේ වැතිරෙන බිමේ රළු සුවඳ සේපාලික මලයි 
ප්‍රේමයේ ඉසියුම් සුසුම් ගෙන හමන සුදුමුදු මදනලයි
මා ඔබේ කියමින් මගේ හිත ඔබම වෙත අලවා තබයි 

ගාවමින් සොම්නස අනන්තෙට සිනාවන් ඉතිරුණු දවස් 
ගාටමින් අලසව ගෙවී ගිය ප්‍රීතිමත් වරුවල හවස් 
කාටවත් නොකියා අපේ වී අපේ හිත සැඟවුන රහස් 
ආදරෙන් අමතයි සිතුම් පොදි නවත්වා කරමින් හරස් 

බාර ගත් දිග ගමන ගොස් නිමවන්නටම ඕනෑ වට 
මාවතක් ගානේ යමින් ගෙන බැරි බරක් පොඩි හිසකට 
පීරමින් හෙව්වත් දුකින් ඇස් විහිදමින් උස් අහසට 
පාර කීමට තාරකාවක් හිටියෙ නෑ ඔබ හැර ට 

තුන්යාමේ ළඟ හිඳින ඔබ ගැන හැඟුම් ගෙන සෙනෙහෙන් වඩා 
පන්හිදේ අමුණමි පැතුම් නෙත් අගිස්සෙන් නොවැටෙන හඬා 
තුන්හිතේ කිසිවෙකු කෙරේ නෑ අමුත්තක් බිඳකුදු කුඩා 
වෙන්වුනේ අපි, බැඳෙන්නයි ආදරෙන් වෙනදාටත් වඩා.


සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.