Saturday, November 18, 2023

255. මට පුදුම (ශනිදා රෑ 10ට)

 

හිටි ගමන් චැට් එකේ ඩොට් තුනක් එවන එක 
ඊට පසු විරිත්තා ‘නෑ නිකන්’ කියන එක 
එහෙම දවසට රෑට හීනෙනුත් පේන එක 
මට පුදුම අපෙ පිස්සු තාම හොඳ නූන එක 

එක නගරෙ අත දුරින් අපි දෙන්න ඉන්න එක 
ඒ උනත් හමුවෙලා මොකටදැයි සිතෙන එක 
ඉබේ දකිතැයි සිතා ලස්සනට අඳින එක 
මට පුදුම අපිට අපි තාම හමු නූන එක 

හිමකිරම දුටු මතින් සිනාවක් නැගෙන එක 
ක්ලැරන්ස්ගේ සින්දු ටික විතරක්ම අහන එක 
හැමදාම දොයියන්න කලින් හඳ බලන එක 
මට පුදුම අපෙ මතක තාම නැති නූන එක 

වැස්ස දවසට උදේ කළු කෝපි හදන එක 
බොන ගමන් කාගෙහරි කවි පොතක් බලන එක 
මේසෙ උඩ අරලියා මලක් නොවරදින එක 
මට  පුදුම කිසි දෙයක් තව වෙනස් නූන එක 

ඉඳහිටෙක මල් අතර ඔය මූණ පෙනෙන එක 
දුර ඉන්න තරු රෑට එක ළඟින් දිලෙන එක 
මතක් වී විදුලියක් හිත මැදින් කෙටෙන එක 
මට පුදුම අපි අපෙන් තාම වෙන් නූන එක!

 (පින්තුරය අන්තර්ජාලයෙනි.)

Saturday, November 11, 2023

254. හඳ එළිය මගහැරී (ශනිදා රෑ 10ට)

 

 රාත්‍රිය කොයි තරම් සුන්දරව තිබුනත් 
 එහි ඇතැයි හැඟෙනවා කාගේ හෝ කඳුලක් 
 දහවලේ කළුවෙලා නොලබමින් හෙවනක් 
 වැතිරිලා හති අරී දිගම දිග හුස්මක් 

 නහවමින් අතු රිකිළි හඳ එළිය අහුරක් 
 ගලද්දීත් නොලියවී තියේ යම් කවියක් 
 නොපෙනුණත් හදවතේ කළුවරක ලකුණක් 
 තිබිය හැක හඳ එළිය මග හැරුණු පෙදෙසක් 

 අතීතෙන් හමා එන කුමක්දෝ සුවදක් 
 උරා බී සන්සුන්ව මිදී යයි සුසුමක් 
 ඉරුණු තැන් වල යොදා පැලැස්තර මැහුමක් 
 පෙතිඅරී  හෙට උදෙත් පිපෙන්නට පැතුමක්! 

 (පින්තුරය අන්තර්ජාලයෙනි.)

ප. ලි. 
සති තුනක් නිකන්ම වාෂ්ප වී ගිය නිසාත් අද නම් එක වචනයක් හරි පොස්ට් නොකර  නැගිට්ටොත් බලාගමුයි කියා මටම තර්ජනය කරගත් නිසාත් රෑ 9 සිට ලිය ලියා මක මකා  යාන්තන් මේක අමුණගත් බව සලකන්න.



සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.