Saturday, November 18, 2023

255. මට පුදුම (ශනිදා රෑ 10ට)

 

හිටි ගමන් චැට් එකේ ඩොට් තුනක් එවන එක 
ඊට පසු විරිත්තා ‘නෑ නිකන්’ කියන එක 
එහෙම දවසට රෑට හීනෙනුත් පේන එක 
මට පුදුම අපෙ පිස්සු තාම හොඳ නූන එක 

එක නගරෙ අත දුරින් අපි දෙන්න ඉන්න එක 
ඒ උනත් හමුවෙලා මොකටදැයි සිතෙන එක 
ඉබේ දකිතැයි සිතා ලස්සනට අඳින එක 
මට පුදුම අපිට අපි තාම හමු නූන එක 

හිමකිරම දුටු මතින් සිනාවක් නැගෙන එක 
ක්ලැරන්ස්ගේ සින්දු ටික විතරක්ම අහන එක 
හැමදාම දොයියන්න කලින් හඳ බලන එක 
මට පුදුම අපෙ මතක තාම නැති නූන එක 

වැස්ස දවසට උදේ කළු කෝපි හදන එක 
බොන ගමන් කාගෙහරි කවි පොතක් බලන එක 
මේසෙ උඩ අරලියා මලක් නොවරදින එක 
මට  පුදුම කිසි දෙයක් තව වෙනස් නූන එක 

ඉඳහිටෙක මල් අතර ඔය මූණ පෙනෙන එක 
දුර ඉන්න තරු රෑට එක ළඟින් දිලෙන එක 
මතක් වී විදුලියක් හිත මැදින් කෙටෙන එක 
මට පුදුම අපි අපෙන් තාම වෙන් නූන එක!

 (පින්තුරය අන්තර්ජාලයෙනි.)

20 comments:

  1. වට කරන් මල් හීන ඔය රුවම සිතන එක
    කට ඇරන් දුටුවිටක කවියෙ රස විඳින එක
    නට නටා වැහි අස්සෙ නිදහසේ තෙමෙන එක
    මට පුදුම අපේ හිත් එකම දේ හිතන එක....

    හරිම ලස්සනයි
    ජයවේවා !!!

    ReplyDelete
  2. ලස්ස්නයි. මේක ඇත්ත පසුබිම් කථාවක් තියෙනවනම් ඒක තවත් ලස්සන ඇති.

    ReplyDelete
    Replies
    1. අම්මපා. ඉයන්ගෙ එක වගේ එතකොට තමයි ගැඹුර දැනෙන්නෙ. 🙏👌

      Delete
    2. බොහොම ස්තුතියි ඉයන්. පසුබිම් කතාවක් තියෙනවා මේකටත්. 💜️ 💜️

      Delete
    3. ඇත්ත තමයි බස්සා. මමත් ඉයන්ගේ සිංදුව ඇහුවා. ලස්සනයි. හිතට දැනුනා. :)

      Delete
  3. ඇත්තටම ලස්සන පද පේලි ටිකක්....හිමකිරම කියන්නේ අයිස්ක්‍රීම් වලට නේද - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මයියා.හිමකිරම නම් අයිස්ක්‍රීම් තමා.

      Delete
  4. අනේ ඒක මාර ලස්සනයි..ඇත්තටම 💜️

    ReplyDelete
  5. හරිම ලස්සනයි!
    කියන්නම් තවත් වතාවක්.
    හරිම ලස්සනයි!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තට්ට තුමෝ.

      Delete
  6. හරිම ලස්සනයි, වගේම තාත්විකයි.👌

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බසු තුමනි මේ පැත්තෙ ආවාට.

      Delete
  7. ඒක නම් දැනුණා! ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මලී ලස්සනයි කිව්වා නම් ඉතින් ගැම්මක් තමා. ස්තුතියි මලී.

      Delete
  8. මරැ 💔
    කවියයි පිංතුරයයි මරැවටම ගැලපෙනව 👌

    ReplyDelete
    Replies
    1. ආ නමිෂ්. ටැංකිව් වේවා. මං බැලුවා ඒත් නමිෂ්ගේ කමෙන්ට් එක පරක්කු මොකෝ කියල.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.