Saturday, December 2, 2023

256. කොස් මල්ලි (ශනිදා රෑ 10ට)

කොස් මල්ලීව මට මුණ ගැසුනේ මීට වසරකට පමණ පෙර වුවත් සමීපව ආශ්‍රය කිරීමට වරම් ලැබුනේ පසුගිය දෙසැම්බරයේ නිවාඩු දමා ගමට පැමිණි අතරවාරයේදීයි. ඔහුටම ආවේනික වූ විසුළු ස්වරූපයකුත් ප්‍රමාණයෙන් අන් අයට වඩා විශාල සිරුරකුත් කළු කන් දෙකකුත් හිමි ඔහු නිතරම පාතාල ක්‍රියාකාරකම් වල නිරත වීමත් කොස් වලට ඇති අධික ඇබ්බැහියත් නිසා ඔහුට කොස් මල්ලී යන නම තැබුවේ අපේ තාත්තාය. සිය පාතාල ක්‍රියා වලින් අපව විටෙක ප්‍රීතියටත් විටෙක කෝපයටත් පත් කරමින් සිටි කොස් මල්ලී අපේ ආගමනයත් සමග අපේ වත්තේම නතර වන්නට වාසනාව හිමි විය. ඒ වෙනදාට පෙට්ටි පිටින් දල්වන රතින්යා පත්තු වෙන්නේ නැති බැවිනි. එසේ වූයේ රතින්යා පත්තු කරන විට යටිගිරියෙන් කෑ ගසන සිය මිණිබිරිය ගේ බෙරිහන් දීම ඉවසනවාට වඩා කොස් මල්ලීටත් ඔහුගේ කල්ලියටත් වත්තේ ගැවසීමට ඉඩ දීම පහසු බව අම්මාත් තාත්තාත් තීරණය කිරීමෙන් අනතුරුවය. 

උදේ පාන්දරිම අවදිව තේක්ක ගසින් බැස රයිස් කෝනර් එකට එන කොස් මල්ලිගේ පළමු ඉලක්කය වන්නේ කුරුල්ලන්ට කෑමට දෙන බත් ඇටයකුදු ඉතිරි නොකර මුළුමනින්ම කා දැමීමයි. () සවලෙන් ගසන්නාක් මෙන් අත් දෙකට බත් පුරවා ගෙන කටේ දමා ගන්නා ඔහු අප ගෙතුළ සිට බලා සිටී නම් කෑම ඉක්මන් කරන්නේ සැනෙකින් ලෑල්ල මත දිගා වී බත් කාගෙන කාගෙන යාමෙනි. පොල් කටුවක කිසිවක් දමා ඇත්නම් කටුව පිටින්මද කෙසෙල් ඇවරියක් තබා ඇත්නම් ඇවරිය පිටින්මද  උස්සාගෙන ගසට නගින ඔහු බිම වැටෙන කෙසෙල් ගෙඩි අහුලාගෙන යෑමට තම කල්ලියෙන් පොඩි එකෙකු නොබෝ වේලාවකින් පහලට එවනු ලබයි. තමා මිස තම කල්ලියේ වෙන කිසිම කෙනෙකුට රයිස් කෝනර් එකට ඒමට කොස් මල්ලී ඉඩ දෙන්නේ නැත. රයිස් කෝනර් එක කල්ලියේ නායකයා වන තමන් ගේ තනි උරුමයක් බව ඔහු තරයේ අදහන අතර අනිත් කල්ලි සාමාජිකයින්ට කෑමට අවසර දෙන්නේ තමා ඇති පදම් කා අවසන් වූ පසු ඉතුරු වූ යමක් වේ නම් පමණි. දිනපතා එල්ලී සිටීම නිසා සමබරතාවය ගිලිහී ඔන්චිල්ලාවක් මෙන් පැද්දෙමින් ඇති රයිස් කෝනර් එක ළඟදීම කොස් මල්ලී විසින් බිමට බෑවීමේ අවධානමක් පවතින නමුත් කිසිවෙකු ඒ ගැන කම්පා නොවන්නේ එසේ වී හෝ මේ වඳුරු කරදරය ඉවරයක් වෙනවා නම් මැනවයි සිතමිනි. (නරඹන්න)













උදේ පාන්දර එලිය වැටෙන්නටත් පෙර පටන්ගන්නා මොවුන්ගේ ප්‍රධාන ක්‍රියාන්විතය වන්නේ අසල ඇති පොල් වත්තේ කුරුම්බා බෑමයි. පොල් වත්තේ මුරකරු ඈත් මෑත් වනතුරු හොර ගල් අහුලමින් සිට වැඩට බසින කල්ලිය පොල් වත්ත හැකි තරම් කාබාසිනියා කර ඉන් නික්ම යන්නේ මද්යාහ්නය වන විටය. වැඩුණු නාම්බන් හතර පස් දෙනෙකුත් ඔවුන්ගේ ප්රියම්බිකාවනුත් පැටවුනුත් ඇතුළුව පහළොවක් දහසයක් තරම් විසාල වන කොස් මල්ලි කල්ලිය එලවා දැමීමට අහස් කූරු යැවීම, යකඩ බෝල විදීම, බව්වන් උසි ගැන්වීම, චිම්පන්සි වෙස් මුහුණු භාවිතය ආදී සියල්ල කර අවසානයේ වායු රයිෆල් ද භාවිතා කර නමුත් කොස් මල්ලි කල්ලියේ රෝම ගහකට වත් හානියක් සිදු කිරීමට තවම බැරි වීම පුදුමයකි. දිනක් බව්වන් බුරන විට හදිසි වී ගසින් පැන්න පිම්මට කල්ලියේ පුංචි පැටියන් ගෙන් එකෙකු බිමට පත බෑ වී බව්වෙකුට හසු වුවද කල්ලිය පිටින් බිමට බැස අසරණ බව්වාගේ සර්වාංගයම හපා දමා පසෙකට එලවා සිය පොඩි එකා බේරා ගත් සටනද කොස් මල්ලිලා බය කිරීමට සිතා මරා දැමූ වඳුරෙකු ලෙස ලේ පාටින් පාට කර ගසක එල්ලා තිබූ වඳුරු ප්‍රමාණයේ පුළුන් බෝනික්කෙකු දැක බය වීම පසෙක තබා ඒකාව බදාගෙන ජෝගි නටමින් රඟ දැක්වූ නාටකයද හැබැහින් දැකීමට තරම් මෙවර මම වාසනාවන්ත වීමි. එපමණක්ද නොව පොල් වත්තේ අයිතිකරුවන් කල දැනුම් දීමත් මත මේ උවදුර සොයා බැලීමට පැමිණි වන ජීවී මාමලාගේ කැබ් රිය තුලට පැන එහි වූ ෆේස් ෂිල්ඩ් එකක් උස්සා හිසේ පැළඳ ගෙන සියල්ල අමන්දානන්දයට පත් කිරීමටත් කම්මැලිකමක් ආ විට ජනේලයෙන් අත දමා අසල නිවසේ ගුවන් විදුලිය ක්‍රියාත්මක කර සින්දුවක් ඇසීමටත් තරම් කොස් මල්ලි රසවතෙකු වූ බව අසන්නට ලැබිණි.

කොස් මල්ලී නිසා අප කෝප ගන්නා එකම හේතුව කොස්ය. වත්තේ ගස් වල කොපමණ කොස් තිබේද, ඒවා කොතරම් පැසී දුරකට පැසී ඇත්ද යන්න කොස් මල්ලි කල්ලිය ඉතා හොඳින් දනී. කලකට පසු ගමට පැමිණි සිය මිණිබිරියට පැණි වරකා මදුලක් කෑමට දෙන්නට යයි කියා ගසක පහලම හටගෙන තිබූ කොස් ගෙඩියක් ගෝනියකින් වසා දැමූ තාත්තා එය කොස් මල්ලිලාගෙන් සඟවා තබා ගන්නට ගත්තේ අපමණ වෙහෙසකි. සියලු කරදර ඉවසා වදාරා පැණි වරකාව ඉදුණු සැනින් බිමට බාගෙන දෙපලු කර තබා ගලවන මදුළු දැමීමට භාජනයක් ගෙන එන්නට ගෙතුලට ගිය තාත්තා ආපහු එනවිට කොස් මල්ලිලා විසින් එය උස්සාගෙන ගොස් තිබුනේ විනාඩියකටත් වැඩ අඩු සුළු කාලයකදීය. කල්ලි නායක කොස් මල්ලි කඩිමුඩියේ බිමට බැස එය පැහැරගෙන යනු මිදුලේ සෙල්ලම් කරමින් සිටි අසල නිවසක ළමයෙකු මෙලෙස කැමරාගත කරගෙන තිබුණි. මේ හේතුවෙන් කොස් මල්ලීත් ඔහුගේ කල්ලියත් ගැන බද්ද වයිරයකින් පසු වන තාත්තා එම පලිය ගැනීමට බලා සිටිනුයේ කුඩා හෝ අවස්ථාවක් ලැබෙන තුරුය. නමුත් තාත්තාගේ බැන වැදීම්, ගෙරවීම් තුට්ටුවකට මායිම් නොකරන කොස් මල්ලි තාත්තා රැවුල කැපීමට භාවිතා කරන කණ්නාඩිය ඉස්සීමත්, තාත්තා කුඹුරට යන විට හිසේ දමන පන් තොප්පිය ගෙන ගොස් ගසක එල්ලීමත්, එළියේ තාත්තාගේ ලියන මේසය මත ඇති පොත පත කියවීමත්, තාත්තා පෙනෙන මානයක සිටී නම් ළඟටම පැමිණ විරිත්තා ගස උඩ සිට සුළු දිය පහ කිරීමත්  එසේත් නැත්නම් තාත්තා ප්‍රාණ සමානව ආදරය කරන පූස් නාම්බාට කෝචෝක් කිරීමත් යන ආදියෙන් අපට අති මහත් විනෝදයක් සපයයි.  



 








(නරඹන්න)  නිවසේ සිදුවන මේ සියල්ල විනෝදයෙනුත් කොස් මල්ලි කෙරෙහි අනුකම්පාවෙනුත් ඉවසූ මට දිනක් ඒ සියල්ල පරයා හීන් දාඩිය දමන්නට වූයේ මා අහම්බෙන් දුටු කිසිවක් නිසාවෙනි. නිවස තුල කිසිම තැනක මගේ ඩයලොග් හෝ මොබිටෙල් රවුටරයට සිග්නල් නැති බැවින් පුරා දින දෙකක් පුරා කල ක්ෂේත්‍ර පරීක්ෂණයකින් අනතුරුව මම රවුටරය පිටුපස මිදුල ආසන්නයේ මේසයක් මත තැබීමට තීරණය කලෙමි. ඒ සිග්නල් කණු තුනෙන් අඩුම වශයෙන් එකක් වත් එතැනට වැඩ කරන බැවිනි. එය එතැන තබා ඉදිරිපස ආලින්දයට වී වැඩ කරන මම දිනක් හදිසියේම දුටුවේ මගේ රවුටරය තැබූ මේසය මතට නැග එහි සිග්නල් තත්වය පිරික්සන කොස් මල්ලීය. ඒ දුටු මට දෙලොව රත් වූයේ කොස් මල්ලීගේ කැරැට්ටුව ගැන මේ සති දෙක තුනට පුළුල් අවබෝදයක් මා ලබා තිබූ නිසාය. නුදුරේදීම දිනයක කොස් මල්ලී මගේ රවුටරය උස්සා ඔන්ලයින් පාතාලය කරගෙන යන බව මට සහතිකයෙන්ම තේරුණු අතර කුමක් කරම්දෝයි රාත්‍රියක් නිදි නැතිව කල්පනා කල මට අස්වැසිල්ලක් වූයේ මගේ කුඩා මලයාගේ උපදේශන සේවයයි. දැනට පාසැල් ගුරු සේවයේ නිරත වෙමින් සිය දහස් ගණන් ළමයින් ආං බාන්  කරන ඔහුත් ඔහුගේ ප්‍රියම්බිකාවත් ඉත සිතින් යෝජනා කලේ මගේ රවුටරයට ඉහලින් රතින්යා කරල් දෙකකුත් ගිනි පෙට්ටියකුත් එල්ලා තබන ලෙසත් ඒවා මොනවාද යන්න අඳුනන කොස් මල්ලී  ඒ ගැන බිය උපදවා යලි පැත්ත පළාතට නොපැමිණෙන බවත් ඉන් මගේ රවුටරයට සෙත සැලසෙන බවත්, එතුලින් ඉදිරි අනාගතය යහපත් වන බවත්ය. ඉන් නොනැවතුණු ඔවුන් සිය සොයුරිය ගැන උපන් සානුකම්පාවෙන් විනාඩි කීපයක් ඇතුලත ඒ අදහස ක්රියාවටම නංවා දෙන ලදී.
             
ඉතින් ප්‍රිය මිතුර මිතුරිය, ආපහු කොළඹ යාමේ අදහස අත්හල මම සැක බිය සංකා සියල්ල දුරුකර පස් වනක් ප්‍රීතියෙන් යුතුව නිවසේ සිට සේවයේ නියැලෙමි. දිනපතා කුමක් හෝ පාතාල වැඩක් කර අපව සිනා සයුරක ගිල්වන කොස් මල්ලි ඇතුළු කල්ලියට හද පිරි ප්‍රණාමය පිරිනමමි. එපමණක්ද නොව රතින්යා කරල් දෙකකුත් ගිනි පෙට්ටියකුත් ඉහ උඩින් එල්ලා ගෙන සිටින මගේ රවුටරයේ පින්තුරයක් ගෙන කොනකින් මගේ රූපයද ඈදා අපේ අක්කා WFH කරන්නේ මෙහෙමයි කියා සිය වට්සැප් මිතුරන් සමග බෙදාගෙන මට මහත් අභිමානයක් ගෙනදුන් මගේ මලයාටත් උදේ හවස බැති සිතින් සිහිපත් කරමි.

2021-01-03
කොරෝනා මැද සතුට ගෙනා මිතුරෝ I

ප.ලි.
කොරෝනා මැද සතුට ගෙනා මිතුරෝ නම් වන මෙම ලිපි පෙළ ලිවීමට යෙදුනේ මීට වසට දෙකකට පමණ පෙර පැවති කොරෝනා පළමු ලොක් ඩවුන් කාලය තුළදීය. අනේක දුෂ්කරතා මධ්‍යයේ කොළඹින් බැහැර ගම් ප්‍රදේශයේ මාපිය නිවසේ සිට සේවයේ නියැලෙමින් ගත කළ එම කාලය මහත් සුන්දර වූ අතර මෙතැන් සිට හඳුන්වා දෙන සියලු මිතුරන් මට මුණගැසුනේ එහිදීය. ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් කියවා ඇති මෙම ලිපි වැඩි පාඨක පිරිසක් උදෙසා නැවත බ්ලොග් අවකාශයට යොමු කිරීමට සිතුවේ ලිවීමට කිසිම දෙයක් සිතට නොඑන මේ කාලයේ වෙන කරන්නට දෙයක් නැති නිසාත්, මගේ බෝට්ටුවේම සිටින අනිත් අයද පරණ ලිපි ප්‍රතිචක්‍රීකරණය කරනු දැක තිබීම නිසාත් බව මතක් කරනු කැමැත්තෙමි. කියවන ඔබට ජය.

14 comments:

  1. ඔව් ඔය වදුරන්ට හොදට ගණං පුලුවන්...විශේෂයෙන් එකතු කරගෙන යන්න හොදට පුලුවන් - Mayya-https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මයියා ඔව්. මෙයාලාට ගණන් පුළුවන් අපිට වඩා. ස්තුතියි. මම ඒ පැත්තේ එන්නම්.

      Delete
  2. කොස් මල්ලි සහ දෙල් අක්කාට සුභ පැතුම්. ලස්සන කථාව. කොස් මල්ලි මනුස්ස කෙනෙක් කියා හිතා ගන්න ටික කාලයක් ගියා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉයන්. කොස් මල්ලි මනුස්සයෙක් නොවී තියේයැයි. අපි පැවත එන්නෙත් කොස් මල්ලිලාගෙන් කියලනේ කියන්නෙ.

      Delete
  3. අප්පෙ උන් එච්චර දේවල් කරනවද?
    ලේසි නෑ

    ReplyDelete
    Replies
    1. උන් නොකරන දෙයක් නැත. ඔයයිලා වගේම තමා. මේච්චල් කරන්නම බෑ නොවැ.

      Delete
  4. කොහෙ ද ඔය පැත්ත? පළවෙනි විඩියෝ එකේ වලිකුකුලෙක් කෑගහන සද්දෙත් ඇහෙනව.

    ReplyDelete
    Replies
    1. මේ ඇවිල්ලා ගොඩාක්ම ඩොටේ ඩ්රැකී. හරියටම කියනවා නම් හම්බන්තොට දිස්තිරික්කයේ වලස්මුල්ල. වලස්මුල්ල කීවාට වලස්මුල්ලමත් නෙවි එහේ ඉඳලත් පොඩ්ඩක් ඇතුලට ආවාම කඩිගමුව කියලා ගමක් තියේ. ආන් එහෙ.

      කිව්වත් වගේ මෙහේ වළි කුකුල්ලු ඉන්නවා වැහි වැහලා. වලියා ගැනත් පොස්ට් එකක් එනවා ඉස්සරහට.

      Delete
  5. හප්පා එයානම් සෝක් වගේ.ඒ උනාට මටනම් පේන්න බැරි එකෙක් තමාඔය හැමදාම හැන්දෑ වෙනකොට රංචුවක් එනවා ගහක් කොලක් මලක් තියාගන්න නෑ ඉතින්

    ReplyDelete
    Replies
    1. ඔව් සඳේ. සෝක් උනාට වත්ත කාබාසිනියා කරන එක තමා බලන් ඉන්න බැරි.

      Delete
  6. හරිම නාස්තිකාරයෝ තමා. වාසනාවට අපේ ගෙවල් පැත්තට එන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ආ එහෙ නැද්ද. අනේ වාසනාවයි. මේ පැත්තේ ආවාට බොහොම ස්තුතියි.

      Delete
  7. අප්පචචියේ... වඳුරොත් ඇති කරනවද හිටං 😁🤭

    ReplyDelete
  8. රයිස් කෝනර් එකනං වැඩි දවසක් යන්න කලිං කැඩෙයි... අරැන්දැ දඟලන දැගලිල්ලට.
    දොරවල් වහගෙනද ඉන්නෙ. ගෙ ඇතුලටත් එනව ඇති නේ 🤔

    ReplyDelete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.