Saturday, December 9, 2023

257. හිච්චියා සහ චූටි (ශනිදා රෑ 10ට)

 හිච්චියාට දැන් වයස මාසයකි. චූටියාට මාස පහකි. නමුත් දෙදනාගේම මුල් ළමා විය සංවර්ධනය වී හමාර වී තිබුණේ ඉපදෙන විටමය. මුලින් මුලින් දෙදෙනාගේම නම් අග්ගිස්සට පුතා කෑල්ලකුත් එකතු කර හිච්චි පුතා චූටි පුතා ලෙස ආදරෙන් ඇමතුවද දැන් පුතා කෑල්ල කොහේ ගිහින්ද නැත. සිය මේරූ වසු මොළය පාවිච්චි කර මේ අයියා මලෝ දෙදෙනා කරන කුපාඩි වැඩ දිහා බලා සිටි කෙනෙකුට කොහොමටත් පුතා කියා කටක් ඇර කියන්නටද බැරිය. ආහාර අවශ්‍යතාවය සඳහා අසල ළදු කැලෑවට හැමදාම උදෑසනින්ම බලහත්කාරයෙන් මෙන් ඇදගෙන යන මේ දෙදෙනා දැක කුලප්පු වන එයාලාගේ සුදු නංගී නොහොත්  අපේ පොඩි ලලනාවියගේ කන් කෙඳිරිය උච්චතම වූ තැන ‘අද එහෙනම් ගෙදරට ගෙනත් ඔය වත්තේ කොහෙන් හරි ගැටගහන්න’ කියා අම්මා කීවද ගෙදර කොතැනක ගැට ගැසුවත් එම ගැටය තිබෙන්නේ වැඩිම උනොත් පැය කාලකි. අයිතිකාර මාමා ගෙදරින් ගොස් විනාඩි දහයක් යන්නට මත්තෙන් ලිහා දමා වත්ත පුරා ඉගිලෙන්නට ඉඩ හසර ලබා දෙන තුරුම ලණුවෙන් ඇද ගනිමින් බෙල්ල කඩා ගැනීමට හිච්චියාත් චූටියාත් තරඟයට අර අදින්නේ මැරෙන සැටි මේ දැන් පෙන්වන්නට මෙනි. කෙසේ හෝ හැන්දෑ වනතුරු මේ යක්සයින් දෙදෙනාගේ පණ බේරී තිබිය යුතු නිසාත් අහක යන්නට ගිය කරදරයක්  ඔඩොක්කුවට ගෙනත් දමන්නැයි කිව්වේ අප නිසාත් කවුරුන් හෝ පැමිණ ලණු ලිහා දමයි. 
















එසේ පළමු කඩඉම ජයගෙන ලණුවෙන් නිදහස් වුණ පසු දෙදෙනාගේ ඊළඟ ඉලක්කය වන්නේ කෙසේ හෝ මන්යොක්කා පඳුරු ටිකට කිට්ටු කර ඉව අල්ලා ඒ සිලල්ල මොහොතින් කා දමන බව ඇඟවීමයි. කනවා නම් ජීවිතාන්තය දක්වා කෑමට වත්තේ ඇති තණකොළ සෑහුනද උලා කන්නට මහන්සි වනවාට වඩා මිදුලේ එක තැනක ඉඳ මොනවා හරි කට ළඟට ගෙන්වාගෙන ඉන් සප්පායම් වීම කොතරම් සැප පහසුවක් දැයි මේ කුඩා වයසට වුව තේරුම් ගැනීමේ හැකියාවක් හිච්චියාටත් චූටියාටත් ඇත. සිය මන්යොක්කා පඳුරු ටික බේරා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් අම්මා වැටේ වැවී තිබෙන මකුලතා කොළ කපා කට මුලටම ගෙනත් දමන නිසාත් එයාලාගේ සුදු නංගී එයාගේ බෝතලයෙන්ම වතුර ගෙනත් බොන්නට බාල්දියකට පුරවන නිසාත් කෑමෙන් බීමෙන් කිසිම අඩුපාඩුවක් මේ දෙදෙනාට නැත. ඊ ළඟ සන්තෑසිය වන්නේ කා බී අහවර වන තෙක්  හිච්චියාගේත් චූටියාගෙත් හිසවල් අතගාමින් ආදරය දක්වමන් සිටි සුදු නංගී ගෙතුලට යාමට හැදුවොතින්ය. දනි පනි ගා වහා නැගිටගන්නා දෙදෙනා නංගීගේ පස්සෙන් අපිටත් ගෙට එන්නට ඕනෑමයි කියා මුහුණු පුප්පා ගෙන සිටින අතර ඊට ඉඩ නොදී ළඟට ගිය විට පිඹීමත් එතැන් සිට කෑම වතුර වර්ජනය කිරීමත් කරන්නේ කුමන ක්‍රමයකින් හෝ තම වසු අයිතිවාසිකම් දිනා ගැනීමේ අරමුණෙනි. පෙර වැරදි අටෝරාසියක් තිබීම නිසා කාගේවත් පපු කිනිත්තක් මෙය දැක උණු නොවන සඳ සිය අදහස අත්හැර දැමුවද ඒ වෙනුවට පළාතටම ඇහෙන ලෙස උම්බෑ කියා බෙටි කිහිපයක් හැලීමෙන් එහි පලිය ගැනීමට මේ දෙදෙනා අමතක නොකරති.

වෙන වෙනම ගත් කල ඉතාම හොඳ වසු පැටියන් වුවත් දෙන්නා එක්ව ගත් කල නම් ගන්නට දෙයක් නැති හිච්චියාත් චූටියාත් සිතා සිටින්නේ අපද වසු පැටියන් බවයි. සුදු නංගීට කියා බෙල්ල කස්සවා ගැනීමට අමතරව ලඟට විත් ඔළුව ඇඟේ ඇතිල්ලීමෙන් කරන කරදරය අප ඉවසන්නේ නැති බව තේරුණ විට අපට හිසෙන් අනින්නට ඒමත් සෙල්ෆියක් ගැනීමට ගිය විට පා පහරවල් දෙක තුනකින් අපට සැලකීමත් දෙන්නාම සිදු කරන්නේ හිතා මතාමය. ඉන් නොනැවතී අසල ඇති පොල් ගසක හෝ පුවක් ගසක බෙල්ල අතුල්ලා අවසානයේ හිච්චියා චූටියාගේ පිටේ නැගගෙන බයිස්කෝප් පෙන්වීම ඇරඹෙන අතර මේ කිසිවකින් අප නම්මවා ගැනීමට නොහැකි වන විට හිච්චියා අස්පයෙකු සේ කඩුල්ලට උඩින් පිම්මක් පැන පාරට දිවීම සිදු කරයි. ‘අන්න දිව්වා. වාහනේක වත් හැපුනොත් අපිට තමයි වග කියන්න වෙන්නේ.  පොඩ්ඩක් ගිහින් බලන්න’ යයි කියමින් හැමෝම ඒ බාල්දිය පෙරලන්නේද මේ කිසිවකට සම්බන්ධ නොවී පැත්තක සිටි අහිංසක තාත්තා පිටය. මඳ වෙලාවකින් පිටව යන තාත්තා ගුරු පාර මැද තප්පුලමින් සිටින කුපාඩි හිච්චියාවද සොයාගෙන නැවත පැමිණෙන්නේ අපිට එහෙම වාසනාවක් නැතැයි පවසමිනි. 

දිනක් මගේ වැඩ මේසයට අතේ දුරින් සුදු නංගීගේ ආදර සැලකිලි ලබමින් සිටි මේ දෙදෙනාගේ හැසිරීම උදේ සිටම තිබුනේ ඉතාම හොඳ තත්වයකය. හවස හතරට දමා තිබූ ටෙක්නිකල් සොලියුෂන් අවුට්ලයින් මීටින් එකට මගේ සහභාගිත්වය අනිවාර්ය වූ නිසා තේ පානය ඉක්මනින් අහවර කොට පැමිණ මා විසින් මෙසේ මෙසේ කිව යුතු යැයි සිතමින් කිව යුතු දෑ කොලයකද සටහන් කරගෙන ඉතා හොඳින් එයට ලක ලැහැස්ති වුනෙමි. හරියටම හතර වනවිට අප සියලු දෙනා මීටිමට සම්බන්ධ වී අනික් පසින් සුදු නැන්දා පැමිණෙන තුරු ඕපයක් කතා කරමින් සිටියෙමු. මඳ වෙලාවකින් සුදු නැන්දා පැමිණ හායි එවුරිවන් කියා කිව්වා පමණකි. පැත්තක සිටි හිච්චියා හෙනයක් ගහන්නාක් මෙන් උම්බෑ කියා මහ හඬක් නැගීය. අන්දමන්ද වූ සැවොම ඒ අමුතු වෙල්කම් එක ආවේ කොහෙන්දැයි විපරම් කර බලනවාත් සමගම හිච්චියාගේ උම්බෑවෙන් ඕනෑවටත් වඩා ෆෝම් වී සිටි චූටියාත් කන දෙදරන්නට තරම් හයියෙන් උම්බෑ දෙක තුනක්ම කීය. ඉතින් පිංවතුනි. එවෙලේ මා පත් වූ සෝචනීය තත්වය ඔබට සිතා ගැනීමට කිසිසේත්ම නොහැකිය. එය එතනින් අහවර වූවායයි ඔබට සිතෙනවානම් එයද වැරදිය. 

එතෙක් මෙතෙක් ජීවිතයේ කිසි දිනක අත් නොවිඳි මේ නව නිංගිරාවෙන් වූ හදිස්සියත් කලබලයත් කොයි තරම් වීද යත් මට මියුට් බොත්තම සොයා ගැනීමට නොහැකි විය. එක්කෝ එක ළඟ ඇති ඒ බොත්තම් දෙක ටැපළින. කුමක් වූවාද කියා මට මේ දැන්වත් සිහියට නොඑයි. කෙසේ හෝ මියුට් ඔබනවා වෙනුවට අවසිහියෙන් මෙන් මා ඔබා තිබුනේ වීඩියෝ බොත්තමයි. හවස හතර පසු වීත් තවම ස්ර්වන්ට් කිට් එකෙන් ඉඳ උම්බෑ කියන මේ හරකා කවුරුන් දැයි කියා සියල්ලන් දැක ගැනීමට මත්තෙන් විදුලි වේගයෙන් ලැප්ටොප් එකේ කැමරාව ඇඟිල්ලෙන් වසාගත් මට තවදුරටත් බොත්තම් නොසොයා කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කිරීමට තරම් මොළයක් පෑදුණේ මගේ පෙර පින් කඳක මහිමයෙනි. හිතේ තිබූ තරහට හෙඩ් සෙට් එක පිටින්ම දිව ගොස් පල් හොරුන් දෙදෙනා කුඹුර තෙක්ම පන්නා දමා සුසන්තිකා අක්කාටද ඉරිසියා හිතෙන වේගයෙන් ආපහු දිව අවුත් මා මීටිමට යලි වාඩි වූයේ සිය කැවුම් මුහුණ පබාවතිය දුටු මොහොතේ කුස රජ අත්විඳි තරම් වූ ලජ්ජාවකින් හා චකිතයකින් යුතුවයි. නමුත් ඒ වන විට සියල්ලෝම උම්බෑව අමතක කර සිය සර්වාංගයේම අවධානය මීටීම වෙත යොදා තිබුනෙන් යන්තම් සැනසෙන්නට මට හැකි විය. එනමුත් මයික් එක අන්මියුට් කරමින් මා කතා කල වාරයක් වාරයක් පාසා දහදිය වැගිරෙන්නටත් ඉතිපිසෝ බගවා කියා තොල් මැතිරෙන්නටත් වූයේ ඉබේටම මෙනි. ඒ කුඹුරට එලවා දැමූ හිච්චියාත් චූටියාත් සෙට් වී මට ගේම දෙන්නට කොයි වෙලේ නැවත කඩාපාත් වේදැයි නොදන්නා බැවිනි. කල්ප කාලාන්තරයක් සේ හැඟී ගිය මෙලොව දීර්ඝතම පැය ගෙවා දමා අවසානයේ මීටීම ඉවර වී සභා තොමෝ සතුටින් විසිර ගිය පසු මට දැනුනේ එකදු සතයකුදු බිම නොදමා ෆයිව් මිලියන් මනි ඩ්‍රොප් වෙතින් මිලියන පහම දිනා ගත්තාටත් වඩා වූ අප්‍රමාණ සතුටකින් මගේ හද පැලීමට එන සෙයකි. නමුත් සභාවේ තදින් සිනා ඇතිවේ යයි මා කෙරෙහි කල පතල මහා කරුණාවෙන් එවෙලේ කරබාගෙන සිටි සුදු නැන්දා මීටීම ඉවර වූ වහාම මට වෙනම හායි පාරක් දා කතාව මුල සිට අගට අසා ගත්තේ එයාට එතරම් සොඳුරු උණුසුම් වෙල්කම් එකක් ජීවිතයේ කෙදිනකදීවත් ලැබී නැති බව දන්වමිනි. කියන්නා කෙසේ කීවත් වැඩි පරෙස්සම කෝකටත් හොඳ නේදැයි සිතා මේ සිද්ධිය පිළිබඳව එතෙරදී හෝ මෙතෙරදී කටේ කෙල බිඳක් නොසෙල්වන බවට එයා පල්ලා දිවුරා සුදු නැන්දාව පොරොන්දු කර ගතිමි.
 
 











මෙසේ උම්බෑ දෙක තුනක් පමණක් කියා ජාත්‍යන්තර ආදරය දිනා ගැනීමට තරම් වාසනාවන්ත වූ පළමු වසු පැටියන් දෙදෙනා ලෙස හිච්චියාත් චූටියාත් ඉතිහාසගත වූ අතර නව නිංගිරාවෙනුත් හාස්‍යයෙනුත් සාපලත් අමතක නොවෙන දිනයක් මගේ මතක පොතට එකතු විය. ඉන්පසු දින දෙක තුනක් යනතුරු පොඩි ලලනාවියටද තර්ජනය කර හිච්චියාත් චූටියාත් දෙසවත් නොබලා ලොකු සීන් එකෙන් සිටියත් කල් යත්ම ඔවුනගේ ජාත්‍යන්තර උම්බෑව යලි අසන්නට දොළදුකක් මටද ආයෙන් සියලු තරහ මරහ අමතක කර යලිත් ඔවුන්ව ගෙදරට ගෙන්නා ගත්තේ සැමගේ සිනා සරදම් මැදය. පෙර වැරදි වලින් කවදාවත් පාඩමක් ඉගෙන නොගන්නා මැට්ටියෙකු ලෙස හංවඩු ගැසුණ  නමුත් තමන්ට ජාත්‍යන්තරයට යන්නට කල උපකාරයට ගරු කිරීමක් ලෙසින් මා හිතාදර හිච්චි පුතාත් චූටි පුතාත් නැවත වතාවක් මා අමාරුවේ නොදමන බව මගේ ඒකායන විස්වාසයයි.  

2021-01-08
කොරෝනා මැද සතුට ගෙනා මිතුරෝ II  

16 comments:

  1. ඔයාගෙ කතාව කියෙව්වා... හිනාත් ගියා..මගේ මතකයත් ගොඩාක් දුර ඈතට ගියා. මට මතක් උන්නා ඉස්සර අපේ ගෙදරත් මේ වගේම දඟයෙක් හිටියා නේද කියලා. එයාලගෙ වැඩ හරිම හුරතල්. හරිම රසවත් ඔයාගෙ කතාව.

    ReplyDelete
    Replies
    1. ඔව් මේගොල්ලො ඉන්නෙ ඉතිං අපේ ලේ පිරිසිදු කරන්න තමයි. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට.

      Delete
  2. Replies
    1. බොහොම ස්තුතියි ඩ්‍රැකී.

      Delete
  3. අඩේහ් ඒ ගොල්ලො නම් මරු...❤

    ReplyDelete
  4. හරිම ලස්සන කථාවක්! පන පිහිටුවලා ලියලා!!

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි තට්ටතුමනි.

      Delete
  5. හරක් පැටව්ම නොවුනත් අපේ ගෙවල්වලත් ඔහොම කපටියෝ හිටියා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත කපටියෝ හැමතැනම.බෝම ස්තුතියි Litseeker.

      Delete
  6. අපූරැවට ලියල තියේ 👌
    මහ දඟයො දෙන්නෙක් නෙව ❤😁. හර්ෂණ දිසානායකගෙ 'පාන්දරින් ඉස්කෝලෙට' ගීයත් මතක් උනා!

    ReplyDelete
  7. සුපිරියටම ලියලා තියෙනවා....සේපලිකා මල් නමින් කමෙන්ට් කරාට මේක ඔයාගේ බ්ලොග් එක කියලා දැනං හිටියෙ නෑ - Mayya

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි මයියා මේ පැත්තේ ආවාට සහ කමෙන්ට් කලාට.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.