Saturday, December 23, 2023

259. චුට්ටං බට්ටිච්චා - නින්දෙදි මං දැක්කා (ශනිදා රෑ 10ට)

 ගොම්මන් අඳුර ගලාවිත් හෝරා කිහිපයකට පසු සන්සුන් ලොවකට අපව කැඳවමින් අවට සිසාරා ගලා යන ඉමිහිරි සේපාලිකා මල් සුවඳ කුඩා කල සිටම මම විඳ ඇත්තෙමි. ඒ මිදුලේ කොනකට වෙන්නට වවා තිබූ සේපාලිකා ගසට පින් සිදු වන්නටය. පැරණි සේපාලිකා ගස අබලන් වී මීට වසර කිහිපයකට පෙර මිය ගියද තම සුවඳේ උරුමය රැගත් දරුවන් දෙදෙනෙකු අපට දායාද කිරීමට තම ඒ මව් ගස කාරුණික විය. මිදුලේ සිය අනසක පතුරුවමින් වැඩෙන ඉන් එක් ගසක් දැන් නව යොවුන් වියට පා තබා මල් සමය අරඹා ඇත. අම්මාගේ උන්මාද ගතිය එලෙසම නැතිනම් ඊටත් වඩා වැඩියෙන් උරුම කරගත් මා දියණියද ගමේ නිවසට පා තැබූ පළමු දිනයේ පටන් සේපාලිකා උන්මාදිනියක බවට පත් විය. එහි ප්‍රතිපලය වූයේ සෑම දිනකම රෑ හතාමරට හෝ අටට පමණ මිදුලේ සේපාලිකා ගස යටට ගොස් පිපෙන මල් වල සුවඳ විඳිමින් පහත කිනිති වල ඇති මල් කුඩා මල් වට්ටියකට හෙමි හෙමින් නෙලා ගැනීමට පැයකට ආසන්න කාලයක් ගත කිරීමයි.

එදා වැසි දිනයක් වුවද මෙම ලලනාවියගේ සේපාලිකා උමතුව නොනවතින කන්දොස්කිරියාවක් වූයෙන් පොද වැස්සේ එක අතකින් කුඩයද අනිත් අතින් විදුලි පන්දමද ගෙන රෑ අටට පමණ එදාත් මිදුලට ගියේ මල් කිහිපයක් හෝ නෙලා ගෙන ඒමටයි. මල් වට්ටිය අතින් එල්ලාගත් දියණියද මා පසෙකින් විය. පොද වැස්ස අතරේම තරමක් ලොකු අත්තක් පහත් කර කඩිනමින් එහි මල් නෙලූ අපි එන්නට ආපහු හැරෙද්දී මහ හඬින් “අන්න කුරුළු බිත්තර තියෙනවා....” යැයි කියූ දියණිය එක්වරම නතර විය. සැනෙකින් විදුලි පන්දම එල්ල කර එදෙස බැලූ මට දක්නට ලැබුනේ පහලට එල්ලෙන සිහින් සේපාලිකා අත්තක් මත විදුලි පන්දම් එළියට දිලිසෙන සුදු බෝල තුනකි. නිශ්ශබ්ද වී ඉතා පරිස්සමින් මඳක් කිට්ටු වී විපරමින් බැලූ විට ඒවා කුරුළු බිත්තර නොව නින්දේ පසුවන සැබෑ කුරුල්ලන් බව අවබෝධ කර ගැනීමට තත්පර කිහිපයකදී අපට හැකි විය සෙන්ටිමීටර් හතරක් පහක් පමණ වූ බෝලවල විෂ්කම්බයත් වට ප්‍රමාණයත් හැඩහුරුකමත් අනුව මේ නිදා සිටින්නේ අන් කිසිවෙකු නොව බට්ටිච්චන් තිදෙනෙකු බව තවත් තත්පර කීපයක අවෑමෙන් නිගමනය කිරීමට අපට හැකි වූයේ කෙමෙන් වැඩි වෙමින් පැවතුන වැස්සද අමතක කරගෙන සිත පුරා නැග එන ප්‍රීති ප්‍රමෝදය අතරිනි.

දුටුවනම අතට ගෙන තුරුළු කර ගැනීමට තරම් සෙනෙහසින් පිරී ගිය හිතක් පහල වුවද ආයාසයෙන් එය නවත්වා ගත් අප තවත් හොඳින් විපරම් කලේ කුරුළු හිස සහ කුරුළු පාද මේ සිනිදු බෝලයේ කොතැනක තිබේදැයි අනුමාන කර ගැනීමටයි. නමුත් ඔවුන් ඉතා සකසුරුවම් ලෙස සිය කුඩා සිරුරුවල පිහාටු පුම්බාගෙන හිස් සහ පාද ඒ අතර සඟවාගෙන සිටියේ අපට කිසිදු ඉඟියක් නොදෙමිනි. එක් සුදු බෝලයක පමණක් බෝලයට පිටතින් සිහින් කූරක් වැනි යමක් යන්තමින් දිස් වුවද රාත්‍රී අඳුර නිසා එය ගසේ අත්තේ කොටසක්ද නැතහොත් කුරුළු වලිගයද යන්න අපට නිශ්චිතවම හඳුනා ගත නොහැකි විය. බට්ටිච්චේකුගේ සැබෑ ප්‍රමාණයට වඩා මඳක් විශාල වන ලෙසත් හුරුබුහුටි බෝලයක් ලෙස වටකුරු වන ලෙසත් සිය සිරුරු සකසා ගැනීමට තරම් ඔවුන් දක්වා තිබූ කුසලතාවයෙන් මවිතයට පත් අපට ඇති වූයේ මේ හුරුබුටුටියන් තිදෙනා ගැන ඉමහත් අනුකම්පාවකි. කිසිසේත්ම කුරුල්ලකු යයි අනුමාන කිරීමට නොහැකි වන ලෙස හිස සහ පාද සිය අත්තටු අතර සඟවා ගෙන නිදන මේ කුඩා ප්‍රාණීන් තිදෙනා රාත්‍රිය ගත කිරීම සඳහා අප මිදුලේ සේපාලිකා ගසම තෝරා ගැනීම අප වෙත දක්වන ලද විශේෂ සැලකිල්ලක් ලෙසය අපට හැඟී ගියේ. පොද වැස්සේ වැටෙන වැහි බින්දු සේපාලිකා මල් අත්ත මත වැටී ඔවුන්ගේ පුළුන් බෝල සිරුරු ස්පර්ශ කළා මෙන්ම ඒ හා සමඟම අතු පතර සිසාරා හැමූ සීතල සුළඟ ඔවුන් නිදා සිටි සේපාලිකා අත්ත විටින විට සෙලවුවද ඒ ගැන කිසිම තැකීමක් නොකර ඔවුන් නිදා සිටියේ නින්දේදී ඔවුන් අතු මතින් ගිලිහී බිම නොවැටී සිටින්නේ කෙසේදැයි යන පැනයද අපට ඉතිරි කරමිනි. 

දහවල් කාලයේ බට්ටිච්චන් කොපමණ දැක තිබුණත් නිදා සිටින බට්ටිච්චෙකු අප සැබැවින් දුටු මුල්ම වතාව මෙය වූයෙන් අප  ඊ ලඟට කල්පනා කලේ මෙය චායාරුපයකට නගා ගන්නේ කෙසේද කියයි. කිසියම් අත් වැරදීමකින් කලබලයක සේයාවක් හෝ වුවහොත් මේ නිසොල්මන් සුදු බෝල තුන අවදි වී වෙනතකට පියඹා යාදෝ යන බියත් සමග හඬ නොනැගෙන ලෙස ගෙට ගොස් ජංගමය ගෙන ආ අප විදුලි පන්දම් එලිය බෙහෙවින්ම බාල කර පින්තූරයක් ලබා ගන්නට සැරසුණා පමණකි. සිතේ සැනසුම බිඳී අප වරදකරුවන් බවට පත් කරමින් සුදු බෝල තුනෙන් දෙදෙනෙකු අවදි වී හොට කරකවා අවට බැලුවේ මේ සීතලේ තම සැප නින්දට බාධා කරන සතුරා කවුරුද කියා දැක ගැනීමටයි. නමුත් මේ කිසිවක් ගණනකට නොගත් මැද සුදු බෝලය ඒ සිටින ඉරියව්වෙන්ම නිදා සිටියේ අවට පරිසරයේ කුමකින් කුමක් වුවත් සිය නින්ද ඒ හැමටම වඩා වැදගත් බව පසක් කරමිනි. අවදි වී සිටියද ඉවතට ඉගිළී යාමට තරම් නොසන්සුන්කමක් හෝ කලබලයක් නොදැක් වූ කුඩා ප්‍රාණීන් දෙදෙනාද නින්දේ පසු වූ කුඩා ප්‍රාණියා ද අපට අනුකම්පා කර ඔවුන්ගේ පින්තූරයක් ගන්නා තෙක් ඉවසාගෙන සිටියේ අපේ කුරුළු උන්මාදය ගැන උපන් සෝකයෙන් විය හැකිය. මෙහි දැක්වෙන්නේ එම මිල කල නොහැකි ආදරණීය පින්තූරයයි.


රාත්‍රී නින්ද අතරවාරයේදීද සේපාලිකා ගස වෙත ගොස් ඔවුන් දැක ගැනීමට කිහිපවරක් දියණියට අවශ්‍ය වුවද මේ වන විටත් ඔවුන්ගේ සුව නින්දට බාධා කර තිබූ අප මේවර අපේ විනෝදාස්වාදය වෙනුවෙන් ඔවුන්ගේ නිදහස පැහැර ගන්නට තරම් අකාරුණික නොවීමු. නමුත් රාත්‍රී නතර කරගත් සිත අලුයම පහට පමණ අපටත් හොරෙන් සයනයෙන් බැස බට්ටිච්චන් බලන්නට දුව යන විටත් ඔවුන් සුවසේ පෙර සිටි ඉරියව්වෙන්ම නිදා සිටි අන්දම දැකීමෙන් අපට ඇති වූයේ මහත් සහනයකි. අලුයම හයට පමණ අප නැවත වතාවක් ඔවුන් දැක ගැනීමට ගියද ඒ වන විට නම් ඔවුන් නින්දෙන් නැගිට දවසේ මෙහෙවර සඳහා ගොස් තිබුණි.

දහවල් කාලයේ කිහිප විටක්ම සේපාලිකා ගසේත් ඒ අසල වෙරළු ගසේත් අවට ගස් ගොන්න අතරත් ඇසුණ කිචිබිචිය මැද බට්ටිච්චන් යුගල කිහිපයක් දුටුවද ඒ අතරින් පෙරදින රැයේ පැමිණි කුඩා මිතුරන් තිදෙනා අපට සොයා ගන්නට නොහැකි විය. යුගල ලෙස පැමිණෙන ඔවුන් නිතරම එකිනෙකා පෙනෙන දුරින් හිඳීමට වගබලා ගත අතර ඉන් එක් යුගලයක් පුවක් ගසේ වේලුනු අත්තකට කොටමින් සිහින් කෙඳි රැගෙන මඳක් ඈත පිහිටි ගසකට රැගෙන යනු අප දුටු නමුත් රාත්‍රියේ දුටු තරම් අලංකාරයක් හෝ හුරුබුහුටි මනබඳිනා බවක් දහවලේ අප ඔවුන් වෙතින් නොදුටුවෙමු. එදින රෑ වනතුරු මහත් නොයිවසිල්ලෙන් සිට අඳුරු වැටුණ මොහොතේ පටන් සේපාලිකා ගසේද ඒ අවට වෙනත් තුරු මතද රාත්‍රී කාලයේ බොහෝ වෙලාවක් නිරීක්ෂණය කලද ඔවුන් නැවත වතාවක් දැක ගැනීමට අපට හැකි වූයේ නැත. සමහර විට එදා වැසි දිනයක් වූ බැවින් ඔවුන්ට පුරුදු නවාතැන සොයා ගන්නට පමා වීම නිසා වැඩි දුරක නොවූ අපේ සේපාලිකා ගසට පැමිණියා විය හැකියි. නැතිනම් බළලුන් වැනි විලෝපීයයන් බහුලව වෙසෙන මිදුල අවට සේපාලිකා ගස රාත්‍රී ඔවුන්ගේ වාසස්ථානය ලෙස යොදා ගැනීම කිසිසේත්ම නුවනට හුරු නොවන බව හැඟෙන්නට ඇති. එසේත් නැතිනම් අප කල අනවශ්‍ය මැදිහත් වීමෙන් ඔවුන් අප සමග අමනාප වූවා විය හැකියි. මෙවැනි සිතුවිලි සමග හැපෙමින් කෙමෙන් කෙමෙන් ඔවුන් නැවත දැක ගැනීමේ සියලු බලාපොරොත්තු සිතෙන් තුරන් වෙමින් සිටියදී හදිසියේම යලිත් ඉන් එක් කුඩා ප්‍රාණියෙකු අප සිහි වී නැවත පැමිණ තිබුනේ අපේ සිත් අමන්දානන්දයට පත් කරමිනි. කලින් දුටු දිනයේ මෙන්ම මෙදිනද ඔහු නිදා සිටියේ එකම අත්තක වීම එකම තැනක එකම පැත්තක් බලාගෙන වීම තවමත් අපට පුදුමයකි. 







පෙර වැරදි මතක තිබු නිසාම මෙවර අප ඔහුගේ පින්තුරයක් ගනු ලැබුවේ ලැබුවේ සීයට දෙසීයක් පරිස්සම් වීමෙන් පසුවයි. වැරදීමකින් හෝ අනිත් සගයින් දෙදෙනාද පැමිණ කොහේ හෝ සැඟවී නිදනු ඇති බවට වූ සැකය නිසාම කොලයක් කොලයක් ගානේ ඉතා සැලකිල්ලෙන් බැලුවද අනිත් දෙදෙනා දැක ගැනීමට නොහැකි වූයේ සිතට කිසියම් දුකක්ද ඇති කරමිනි. 

නමුත් පස්වනක් ප්‍රීති ප්‍රමෝදයෙන් අපව මුසපත් කරමින් එදා සිට උදා වූ සෑම දිනකම පාහේ නොකඩවාම එක් අයෙකු හෝ දෙදෙනෙකු ලෙස දොයියන්නට අපේ සේපාලිකා ගසට ඔවුන් පැමිණෙන්නට වූයේ කිසිසේත් අපේක්ෂා නොකළ පරිද්දෙනි. එතැන් සිට මල් සුවඳ මැද කුඩා අතු රිකිල්ලක පිහාටු පුම්බා සිහින ලොවේ සැතපෙන ඔවුන් දැකගැනීමත් එනයින් වඩාත් සුන්දරව හා ආදරණියව දිනය අවසන් කිරීමට ලැබීමත් අප ලද මහගු භාග්‍යයක් විය. එතනින් නොනැවතී මනස්කාන්ත රාත්‍රී සංචාරය මිදුල වටේටමත් පාර දිගේ කඩුල්ල දක්වාත් පුළුල් කරමින් කුරුළු නිරීක්ෂණයේ යෙදුණු අපට සේපාලිකා ගසේ නිදා සිටි කුඩා බට්ටිච්චන්ට අමතරව ගාඩ්නියා මල් ගසේ අතුවල මඳක් විශාල සුදු බෝල ලෙස නිදා සිටි බැම සුදු කොණ්ඩ කුරුල්ලන් කීප දෙනෙකුද, ඊට ආසන්න දිනයකදී සේපාලිකා ගසටම ආසන්නයේ මදාරා ගසේ නිදා සිටි කහ පාට සූටික්කන් දෙදෙනෙකුද දැකගත හැකි වූයේ ඒගැන වූ අපේ උනන්දුව දෙගුණ තෙගුණ කරමිනි. නමුත් එහි උච්චතම අවස්ථාව වූයේ මෑත දිනයක බට්ටිච්චන් සමග එකම සේපාලිකා ගසේ අතු දෙකක මුහුණට මුහුණ බලා නිදා සිටි පිලිහුඩු පැටියෙකුද දැකගන්නට හැකි වීමයි. බය හිතෙන දිගු හොට සහිතව පිළී ගඳ ඇති තිත්ත පැටවුන් බිලී බා ගන්නා පිලිහුඩු පැටියාගේත් මල් වැනි අහිංසක බට්ටිචන්ගේත් සම්බන්දය හෝ මිත්‍රත්වය ගැන අපට සිතා ගැනීමට නොහැකි වූ නමුත් සැමදා එකම ලෙස මුහුණින් මුහුණ බලා නිදියන ඔවුන් දැකීම අපට මහත් සතුටක් වූ බව නොකියාම බැරිය. ඔවුන් නොදුටු රාත්‍රියට අපට හද කකියවන පාලුවක්ද දුකක්ද දැනුනු අතර ඔවුන් යළි නොපමිනේය යන බියද අප සිත් තුල හොල්මන් කරන සිතුවිල්ල අප සිතෙන් පහව ගියේ පසු දින රාත්‍රියේ නැවත ඔවුන් දැකගනිමෙන් පසුව පමණි.නමුත් පිලිහුඩු පැටියාගේ ආගමනයත් සමගම පින්තුර ගැනිල්ලට තිත තැබීමට සිදු වූයේ අනිත් කුම්බකර්ණයන් මෙන් නොව ඔහු කුඩා සෙලවීමකදී වුව අවදි වී ඇස් ඇර ඉතා දුක්මුසු අනිමිස ලෝචනයෙන් අප දිහා බලා සිටීම නිසයි.


ඉතින් මේ සටහන අවසාන කිරීමට මත්තෙන් අප ආදරණිය කුරුළු මිතුරන් හට කීමට ඇත්තේ අවට ඇති සිය දහස් ගණන් තුරු වදුළු අතරින් අපේ සේපාලිකා ගස ප්‍රමුඛ යහළු මිත්රයින්ම රැයේ යහන් ගත වීමට තෝරා ගැනීමෙන් අපට දෙන/දුන් සතුටටත් ගවුරවයටත් ඔබට බොහෝ පින් බවයි. ගමේ ගොස් යලි කොළඹ එන සෑම දිනකදීම දමා එන්නට බැරි යැයි හැඟෙන අයවලුන් අතරට දැන් ඔබද එක්‌ වී තිබෙන බවත් අප යලි එනතුරු ඉතාමත් පරිස්සමින් ඉන්නා ලෙසත් ඔබට දන්වනු කැමැත්තෙමි.එතෙක් ඔබ ගැන සුවඳ මතකය නැවුම්ව තබා ගැනීමට කොළඹ 8 මහල් නිවාස බැල්කනියේ පෝච්චියක වැඩෙන අපේ කුඩා සේපාලිකා ගසේ පිපෙන මල් තුන හතර අපට මහත් සේ උපකාරී වනු ඇති. ගමේ විසල් සේපාලිකා ගසින් නැග එන සුවඳ තරම්ම නොවුනත් ඒ සන්සුන් මිහිරියාවෙන්ම සිත පුරවන මේ සේපාලිකා මල් කිහිපයේ සුවඳ දැනෙන හැම මොහොතකදීම කවදාක හෝ ඔබෙන් කෙනෙකු මෙහිද එනු ඇති බවට සිත තුල වන අහිංසක බලාපොරොත්තුවද උණුසුම් වන බව වැඩි දුරටත් සඳහන් කරමි.

මගේ පුංචි නවාතැනේ 
ඇවිදින් සැරි සරනවනම්... 
ආසයි මං කවුළු පියන් 
ඇරලා තියන්න... 
තරහක් නැහැ නෑවිත් ඉන්න... 

2021-02-07
කොරෝනා මැද සතුට ගෙනා මිතුරෝ III


ප.ලි. 
කොරෝනා මැද සතුට ගෙනා මිතුරෝ පරණ ලිපි ද කියවන්න. 

 1. කොස් මල්ලි - කොරෝනා මැද සතුට ගෙනා මිතුරෝ I 

 2. හිච්චි සහ චූටි - කොරෝනා මැද සතුට ගෙනා මිතුරෝ II



15 comments:

  1. මේ බ්ලොග් එකට පාර අහගෙන ආවෙ ඉයන්ගෙ පෝස්ට් එකෙන්. ඒත් මට කොස් මල්ලි,හිච්චි සහ චූටි මිස් වෙලා. නත්තලට කඩ වහන්න ඉස්සෙල්ලා ගිහින් ඇවිත් ඔක්කොම කියවන්න ඕනෙ. ඔහොම යං. ජයවේවා!👌🙏😊

    ReplyDelete
    Replies
    1. අනේ සතුටුයි. කඩේ ගිහින් ඇවිත් ඔක්කොම කියවන්න එහෙනම්.බොහොම ස්තුතියි. 🙏😊

      Delete
  2. බට්ටිච්චො හවස් වෙද්දි ගැවසෙන ගස්වලම බොහෝවිට රැය ගත කරනවා කියලයි මම අහල තියෙන්නෙ. ඒ වගෙම මම ත් දැකලා තියෙනවා අපේ ලිඳ ලග කෝපි ගහටත් ඔය වගේම බට්ටිච්චො රෑට නිදාගන්න එනවා. ලස්සනයි එයාලා. රෑට එයාලා ඇහැරුනත් එතනින් යන්නෙ නැහැ.

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. කිව්වම මතක් උනේ අපේ ගෙදරත් කෝපි ගස් තියෙනවා. ඒවයෙත් හොයලා බලන්න ඕන රෑට. ස්තුතියි දුමී.🙏😊

      Delete
  3. දහවල් කාලයට දකින්නට නොලැබෙන ස්වභාව සෞන්දර් යයේ සහ සත්ත්ව ලෝකයේ ඉමිහිරි ආශ්වාදය ගෙන දෙන දසුන් රාත්‍රි කාලයේදී බොහෝයි. මේවා ඡායාරූප ගත කර ඇති ආකාරය මෙන්ම කර ඇති විස්තරයත් අගෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සර් මේ පැත්තේ ආවාට සහ ප්‍රතිචාර දැක්වූවාට.🙏😊

      Delete
  4. කුරුල්ලන් නිදා ගන්න විදිහ මේ විදිහට කවදාවත් දැකලා තිබ්බේනෑ....සැලකිල්ලෙන් බැලුවොත් සොබාදහම මේ වගේ රහස් කොච්චර අපට හම්බ වෙයිද MAYYA

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්. සොබා දහම හරි පුදුමයි. බොහොම ස්තුතියි මයියා.🙏😊

      Delete
  5. කවි වගේම ලියන්නත් පුළුවන්නේ. බ්ලොග් එකේ නම සේපාලිකා මල් කියල මාරු වුන හේතුව මේකයි එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉයන්. හේතුව ඒක තමයි. බොහොම ස්තුතියි හැමදාම දෙන ප්‍රතිචාරයට. 🙏😊

      Delete
  6. හරිම අපූරුයි කතාව..පින්තූර සේරම ❤️

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳේ.❤️🙏😊

      Delete
  7. උන් කූඩු හදනකොට ඒ සමීපයට මිනිසුන් ආවොත් එතැන අතහැර වෙනත් තැනකට යනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කාරණාව ඇත්ත.බොහොම ස්තුතියි Litseeker.🙏😊

      Delete
  8. මරැ. සටහන අගෙයි වෙනදා වගේම!

    ReplyDelete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.