Saturday, December 30, 2023

260. දම්මි සුගත් (ශනිදා රෑ 10ට)

මඩේ ලගින තාරාවන් නාවන්නද මං කියා සිංදුවක් කියාගෙන එය සිංදුවට පමණක් සීමා කර පාඩුවේ හිටියේ ඉස්සරය. දැන් නම් එසේ කියනවිට ‘ඉතින් ඉක්මනට නාවනවකො වදේ’කියමින් ලඟට විත් දස වද දෙන දෙදෙනෙකු අපට සිටී. ඒ දම්මි සුගත්ය. කිරි පැණි මෙන් නිතරෝම එකට ඉන්නා නිසා දම්මි සුගත් කිව්වාට මේ අප දන්නා ගොළු හදවත නොව තනිකර එහි අනිත් පැත්තයි. හිතෙන හිතෙන කෝණවලට හොටත් හිසත් හරවමින් මන බඳනා හඬ පෞර්ෂයකින් නොනවත්වා දොඩවන මෙවුන් දෙදෙනා එක පැයකට ගොළු කර දිය හැකි කිසිවෙකු වේ නම් ඒ සැබෑ පින්වතෙකි. පාන්දර හයට පමණ මේ යුවල නිවසට එන විට ඉස්සරහ දොර වසා තිබුනොත් එදාට කන් දෙකටත් කකුල් දෙකටත් අත් වන්නේ කාලි මෑණි පිහිටය. ගේ වටේ රවුමක් ගසා කුස්සිය පැත්තෙන් මුට්ටිය දමා බලා අම්මා පේන්නට සිටින්නේ නම් හෙමිහිට පසුබෑමද අම්මා නැතිව තාත්තා හෝ වෙන කවුරුන් හෝ සිටින්නේ නම් අහුවෙන කකුලකට කොටමින් කෙලින්ම ටැප් එක ලඟට දක්කාගෙන යාමද දම්මි සුගත් සිරිතයි. බේසම් දෙකක් පුරවා දෙදෙනාට නාන්නට වතුරද නාන ගමන් දෙසා බාන්නට ඇති පදම් බත්ද දුනහොත් ටිකක් වෙලා ගතවන තුරු තත්වය සමනය වේ. (නරඹන්න)













දම්මි සුගත් වාසය කරන්නේ අපේ නිවසට වඩා නිවෙස් හතරක් පමණ ඉහළින් ඇති නිවෙසකය. එක්තරා තද වැසි දිනක ප්‍රීතිය දරා ගත නොහැකිව කූඩුව කඩාගෙන එලියට පැන ගම පුරා කරක් ගසා අන්තිමේ අපේ නිවසට සේන්දු වූ දා සිට අපේ නිවසේ නිත්‍ය ගනුදෙනුකාර භවතුන් වූ මේ දෙදෙනා දැන්නම් දුම්මල ගසාවත් එලවනවා බොරුය. මුල්ම වැසි දිනයේ ‘අනේ අපේ තාර පැටව් දෙන්නා නැතිවෙලා...’ යැයි කියමින් අඩා පොළොවේ හැපී ගම දෙවනත් කරමින් දම්මි සුගත් සෙවූ ඔවුනගෙ අයිතිකරුවන්ට දැන් ඒ ගැන වගේ වගක් වත් නැත්තේ දෙදෙනා කිසිම අතුරු අන්තරාවක් නොමැතිව කෙළින්ම පැමිණ රිපෝර්ට් කරන්නේ අපට නිසාත් අපේ නිවසේ ඒ ජාතියේම තවත් තාරාවියක් සිටින බව දන්නා නිසාත්ය. වැසි දිනක් නොවන්නේ නම් කූඩුව ඇර විනාඩි ගණනකින් ද වැසි දිනක් නම් කූඩුව ඇර පැය දෙක තුනකින් ද පැමිණෙන දම්මි සුගත් ගේ ප්‍රමාදයට හේතුව පාර දිගටම හමුවන මඩ වලවල් හැම එකකම පාහේ නෑමයි. සිය කොන්ද අමාරුවද පසෙකලා පාත්ති සදා දාඩිය මහන්සියෙන් හදා වඩා ගත් මිරිස් පාත්තියේ හැදී ගෙන එන කරල් ටිකත් පිපීගෙන එන මල් ටිකත් කාබාසිනියා කල දවසේ පටන් අම්මාට දම්මි සුගත් අරහං වුවත් එලවා දැමීමට නොහැකිව දත කමින් සිටින්නේ සීයාත් මිනිබිරියත් සිටින්නේ විරුද්ධ මතයේ නිසාය. කටට හසුවන ඕනෑම කොලයක්ද දෙනතාක් බත්ද පාන්ද ආප්පද බිස්කට් ද පොප් කෝන්ද පොරිද යන මෙකී නොකී සියල්ල කා දැමුවත් දම්මි සුගත් දෙදෙනාගේ ප්‍රියතම කෑම අම්මාගේ පාත්තියේ හැදෙන මිරිස් මල් හා කරල්ය. මේ නිසා මිණිබිරිය කොළඹ ගිය වහාම බැරිවුණු ඇරියස් සියල්ලම සීයාගෙන් අයකර ගෙන තිදෙනාම තරා ගෙදරට දක්කා සීල් තබන බවට වන දම්මි සුගත් ගේ ඉරණම දැනටම අම්මා විසින් තීරණය කර හමාරය.

නිවසේ ඇති බේසම් සියල්ලේ වතුර පුරවා දීමටත්, මිදුල පුරා ඇති සුදු පිහාටු අතු ගෑමටත් සැදී පැහැදී සිටින අප කාට වුව වෙලාවකට මළ පනින්නේ වතුර බේසම පුරවා තිබියදීත් ඊට නැග ගැනීමට බැරුව මේ යුවල ඒ අසල සිට කරන  බෙරිහන් දීමයි. කටින් කොතරම් චන්ඩින් වුවත් බේසමට නැග ගැනීම බැරුව දඟලා ඇද වැටෙන විට ගඩොල් කැටයක් ගෙනත් තබා ආධාර  කිරීමටත් වලිග දෙක මෙන් කොයි දීපංකරේක ගියද පස්සෙන් එන නමුත් උස් තැනකින් පහලට බැසීමට නොහැකිව දඟලන විට ලෑල්ලක් තබා ආධාර කිරීමටත් ගෙදර අටෝරාසියක් වැඩ අස්සේ අපට සිදු වී තිබේ. වෙලාවකට මොන ආධාරකය දුන්නත් ඒ ගැන නොසලකා බෙරිහන් දෙන මේ පල් මෝඩයින් දෙදෙනාගේ කරච්චලය නැවත්වීමට නම් එකෙකු උස්සා බේසම තුලට අත ඇරීමටත් අනෙකා පස්සෙන් තල්ලු කර බේසමට පෙරලීමටත් අපට සිදු වී තිබේ. ඒ සැප සත්කාර සියල්ල ඉවසා වුවද පසුගිය සතියේ  විදුලිය නැතිව ටැප් එක අරින සැණින් වතුර නොපැමිණීම ගැන උරණ වූ සුගත් මගේ කකුළට ඇනගෙන ඇනගෙන ගියේ කිසිම දුකක් නොදක්වාය. හොඳවයින් පා පහරක් දී එහි පලිය ගත් නමුත් එදා දවසම මගේ කකුල් රිදිල්ල තිබුණ බැවින් එක වතුර බේසමකින් සැනසීමට දෙදෙනාටම සිදු වූයේ කල දේ පල දෙන තියරියට අනුවය. අනිත් එපාවන කාරණය නම් දම්මි සුගත් කුඹුරට බැස්ස විට දෙන දස වදයයි . අහුලාගෙන කෑමට ඕනෑ තරම් කෑම තිබියදීත් පීනන්නට ලියදි පුරා වතුර තිබියදීත් කා බී සියල්ල අවසාන වන තුරු දෙදෙනාගේ තනි නොතනියට තාත්තා ළඟ සිටිය යුතු වීම ඊට හේතුවයි. පෙනෙන මානයේ තාත්තා නැත්නම් හැකි තරම් උච්ච ස්වරයෙන් පරාණ බයේ කෑ ගසන මේ යුවල ඔය තරම් බය වෙන්නේ කාටදැයි කුමටදැයි අපට නම් තේරෙන්නේ නැත. බැරිම තැන කෝටුවක් අතට ගෙන ගෙදර දිහාවට එලවා දැමුවත් කාන්දම් මෙන් යලි කුඹුරටම ඇදෙන දම්මි සුගත් කොතරම් වෙලාවක් ගෙන හෝ බඩවල් පිම්බෙන තරම් අහුලාගෙන කා ඉවර වන තෙක් සකල ලෝ සතුනට මෛයිත්‍රිය වඩමින් ලඟට වී සිටීමට තාත්තාට සිදුව තිබේ.














සුදු නම් පිවිතුරු බවේ සංකේතයයි. තමන්ට හිමි සුන්දර සුදු හැර වෙන කොයි පාටක සතෙක් දැක්කත් කේන්ති ගන්නා දම්මි සුගත්ට පෙන්නන්නම බැරි පාට රතුය. රතු පාටින් බැබලි බැබලි ටී ටයිම් එකට අපේ ගෙදරට වඩනා ගාවි කුකුල් තඩියා දුටු සැණින් රාස්සයන් මෙන් ආවේශ වී ඒකාගේ පස්සෙන් පන්නා කොටා කඩුල්ලෙන් එපිටට එලවා දැමීමට මේ යුවල  ක්‍රියා කරයි. (ගාවි යනු ගායන විශාරදය. සීතලේ හොඳ සනීපෙට නින්ද යන මේ දිනවල උදේ හතරට පහට ජනේලය අසලින්ම ඇසෙන ගාවිගේ සුගායනය ඇසුනේ නම් මේ කුකුලා මට වඩා හොඳට ගයන්නට ඉගන ගත්තේ කොහෙන්දැයි සිතා ගැනීමට බැරුව කොයි ගායන විශාරද වුවද කලන්තේ දැමීමට ඉඩ ඇති බැවින් එම නම තබන ලදී. ) සිය අවශ්‍යතාවය ඉටු කර ගැනීමට ඕනෑම ජාතියේ කෙරුම්කාරයෙකු සමග ගේම ඉල්ලන ගාවිද ටී ටයිම් එකේ තම ප්‍රියතම කෑම වන ඉඟුරු බිස්කට් කෑල්ලක් කෙසේ හෝ ගිල දමා මිස පසු බසිනා කෙනෙකු නොවේ. කවුරුන් හෝ මැදට පැන රණ්ඩුව නැවත්වීමට උත්සාහ කළහොත් ඉගිළී ශිල්ප දක්වන මේ යුවල ගේම අතහරින්නේ එක්කෝ ගාවි පස්ස නොබලා දිව්ව පසුය. නැත්නම් පිට හරහා රිදෙන්නට කොසු ඉදල් පරහක් ලැබුණු විටය. (නරඹන්න) තම නාන බේසම් වලින් වතුර බීමට එන පරෙවියන්ටද කොබෙයියන්ටද ගිරවුන්ටද ඒ සෙතේම අත් වුවත් හොර පාරෙන් විත් කුමක් හෝ මායමක් දක්වා දම්මි සුගත් ශේප් කරගෙන කෙසේ හෝ වතුර ටිකක් බී පලා යාමට කොස් මල්ලි දක්වන හැකියාව අපට පුදුමයකි. අපේ මලයාගේ අනුමානය නම් සිය පෙම්බරිය පණ මෙන් රක්ෂා කරන සුගත් ගේ ඇස් දෙකේ වැලි ගසා කොස් මල්ලි ළඟදීම දම්මිව ගහක් උඩට කැන්දන් ගොස් මගුළක් කනු ඇති බවයි.

දම්මි බා බා කියන විට කොහේ සිටියත් හැපි හැපී දුවගෙන ඒමත් සුගා ගෝ ගෝ කියන විට නැවතී බෙලි දික්කරමින් කරච්චල් කිරීමත් විටෙක සිනාවකුත් විටෙක අනුකම්පාවකුත් සිත තුල දනවයි. මේ සියල්ල මැද මට මහත් ආදරයක් මේ දෙදෙනා ගැන දැනෙන්නේ බඩ කට පිරී සියල්ල සාමකාමීව ඇති විටෙක ඒ ගැන ස්තුති පූර්වකව මෙන් මගේ වැඩ  මේසය අසල බිම තණකොළ ගොඩේ වැතිරී හොටවල් බිම තියාගෙන පැය ගණන් එදෙස බලා ඉන්නා විටය. එසේ ඉඳ ටික වෙලාවකින් හිස උරපතේ සඟවා නින්දට වැටෙන විටය. කොරෝනා සමයේ නිවෙස් වලට හිර වී නිකන්ම නිකන් ගෙවී යමින් තිබූ අපේ ජීවිතවල තිබූ හිස් අවකාශය පුරවන්නට සතුට ගෙන පැමිණි දම්මි සුගත් දෙදෙනා හමුවන තුරු තාරාවන් මේ තරම් මිනිසුන් සමග කුළුපග බව හෝ හෝ ක්‍රීඩාශීලී බව මා දැන නොසිටියෙමි. මීට පෙර දියත උයනට ගිය හැම වරකදීම මගේ තාරාවිය ඔන්චිල්ලා පදින තුරු ගඟේ පීනන තාරාවන් දෙස බලමින් ‘’අනේ පොඩ්ඩක් ළඟට එනවකෝ’ යයි කී මගේ කීම නැසූ කන්ව මට අස්ප ගණන් ඉස්සූ කොළඹ තාරාවන් මේ සුන්දර දම්මි සුගත් ගැන දන්නේ නම් ඉරිසියාවෙන් මුහුණු හකුලා ගනු ඇති. එබැවින් දිනපතා අප සොයාවිත් සිතට සතුට ගෙනදී අපට කරන උපකාරයට කරන ප්‍රති උපකාරයක් ලෙස ගෙදර සිටින සෑම සති අන්තයකම මා ඔවුනට තාරා ස්පෙෂල් කෑමක් සාදමි. අම්මා උදේ අවදි වීමට පෙර නැගිට පාත්තියෙන් උණු උණුවේ කඩා ගත් මිරිස් කරල්ද මිරිස් මල්ද තසිමක් සමග හොරෙන්ම ඔවුනට ගිල්ලවමි. ඔබට දැන් සතුටු නේ දැයි අසමි. හෙටත් උදයේම යලි එන ලෙස ඉල්ලමි.

කොරෝනා මැද සතුට ගෙනා මිතුරෝ IV
2021-03-10 

ප.ලි. 
කොරෝනා මැද සතුට ගෙනා මිතුරෝ පරණ ලිපි ද කියවන්න. 


16 comments:

  1. උපහාසාත්මක රචනයෙහි අපූරු හැකියාවක් තියනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වම ගැම්මක් තමයි ඉතින්. බෝම ස්තුතියි හොඳේ.

      Delete
  2. අනේ බලන් යනකොට ඔයාලගෙ ගෙදර පොඩි සත්තුවත්තක් වගේ ..මරුනේ..දම්මි සුගත්ට ආදරේ හිතුනා.ඔයාගේ ලිවීමේ හැකියාවත් මරු...ඒ අස්සෙ එක කතාවක් මිස් වෙලත් එක්ක.ඒකත් කියවන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඔව් සඳේ. පොඩි සත්තු වත්තක් වගේ තමා. ටැංකිව් හොඳේ හැමදාම ඇවිල්ලා මගේ පොස්ට් කියවනවට.

      Delete
  3. සුපුරුදු ලෙසම අපූරුවට ලියලා තියනවා. වීඩියෝ නිසා එය තවත් ඔපමට්ටම් වෙනවා. ස්තූතියි.👌🙏

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බසුතුමනි.

      Delete
  4. අදත් ආසාවෙන් කියෙව්වා
    ජයවේවා !!!

    ReplyDelete
  5. තාරවන් ඇති කරන අය ටිකක් විරලයි නේද....හදන්න අපහසු කමද - Mayya

    ReplyDelete
    Replies
    1. ඔව් මයියා. තාරාවෝ ඇති කරන අය විරලයි තමා. අපිටත් මේ තාරා ආශ්‍රය ලැබුනේ ජීවිතේ පලවෙනි වතාවට.

      Delete
  6. දෙයියනේ ඔයා ඉන්නේ සත්තු වත්තකද?

    ReplyDelete
    Replies
    1. ඔව් දෙවියනේ සත්තු වත්තක තමයි. බොහොම ස්තුතියි තට්ට මහත්මයා.

      Delete
  7. ෂූ එකක් දාගෙන වගෙ ❤!

    //එක පැයකට ගොළු කර දිය හැකි කිසිවෙකු වේ නම් ඒ සැබෑ පින්වතෙකි.// පිංවතෙක්ද කියලනං දන්නෙ නෑ. හොඳ මස් වැද්දෙක්ට දුන්නනං සදහටම සද්දෙ වහයි 😁🤭

    ReplyDelete
    Replies
    1. අපොයි කට විතරක්. මස් වැද්දන්ට දීල කොහොමද අපේ සූකිරි පැටවු ඩබල.ඉස්ටුටියි කියන්නවත් හිතෙන් නෑ ඕන් නමිෂ්ට.😁

      Delete
  8. ශා... මාරු අනේ.. දම්මි සුගත්ට තමා වැඩියෙන් හිත ගියේ.

    සමහර වෙලාවට මට ඔයාව හොයාගන්න අමාරුයි. එක නිසා මගේ පහසුව තකා මම ඔයාව මගේ පිටුවේ අලවා ගත්තා. එකට අමනාපනක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ මොකට අමනාම වෙනවද සතුටු වෙනවා මිසක්. වේලි වේලි තියෙන මගේ බ්ලොගේ කවුරු හරි කියවන එක කොච්චර දෙයක්ද. බෝම බෝම ටැංකිව් වේවා !!!.😁

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.