Saturday, January 20, 2024

261. පෙම්බර මධූ මගේ (ශනිදා රෑ 10ට)

මගේ කියා කිව්වාට මේ කියන මධූ මගේ නොවේ. ඇගේ අයිතිකාරයා අපේ තාත්තාය. අපේ තාත්තා අපට වඩා ආදරේ පූසන්ටය. තුඩ මාරු කරන පැන්සලක මෙන් එකෙකු ඕෆ්ලයින් යනවිට තවෙකෙකු ඔන්ලයින් පැමිණෙන පූසන් සිටි අප නිවසේ වරකට තුන හතර බැගින් ද පූසන් සිටි කාලයන් එමටය. ටිකී, කිටී, සිංදු, බිංදු, රෙඩී, සැන්ඩි, ටෆී, සීනු, රොකී, කවී ලෙස මගේ මතකයේ ඇති මෑත භාගයේ අප සමග සිටි පූසන්ගෙන් අන්තිම දෙදෙනා වූ රොකීත් කවීත් අසල නිවසේ වූ වෙසමුණි බව් තඩියා විසින් ඕෆ්ලයින් යවන ලදුව දෙදවසක් නොකා නොබී කඳුලින් ගතකල තාත්තාගේ සාංකාවත් සෝකයත් තුනී කිරීමේ වගකීම සිය පූස් කරට ගෙන අවසානයටම අප නිවසට ආවේ මධුකිය. එවකට මාස දෙක හමාරක දැරිවියක වූ ඇය කුස්සියේ දොරකඩ ළඟ සැඟවී සිට අම්මා කුස්සියට යන එන විට කකුලට පැනීමත් අම්මාගේ දිග සායෙන් ඇද එහි එල්ලීමත් නිසා 'මලවදේ දුවපන් කිව්වෙ' යනුවෙන් අම්මා නිතර මුමුණන වැකියේ මුල් අකුරු තුන ගෙන පොෂ් වීම සඳහා මැද අකුර මහප්‍රාණද කර ඇයට මධුකි ලෙස නම් තබන ලදී. නත්තල් සීයාගේ මෙන් සුදු පාට දිග රවුල් ගස් ඇති තම පූසාට ඉතාම ලස්සන පොෂ් නමක් ලැබීම ගැන ඉමහත් ප්‍රීතියෙන් සිටි තාත්තා ‘මධුකියෝ...’ යැයි ඇද පැද කතා කරන විට සිනහ යන්නට ආවත් තාත්තාගෙන් නමේ තේරුම සඟවා ගැනීමට අප සියලු දෙනාම වග බලා ගත්තේ අපේ ජීවිතාරක්ෂාව පතාය.  









දවසේ වැඩි හරියක් කොහේ හෝ පුටුවකට පත බෑ වී කුල් හතරම උඩ දමා ගෙන නිදා සිටීමත් අවදියෙන් ඉන්නා ටික වෙලාව රිලවියක සේ ගස් නැගීමත් ආ දා සිට මධුකි ගේ පිළිවෙලය. කලින් පූසන් මෙන් යන යන තැනට පස්සෙන් පැමිණ මල වදයක් වී බැණුම් අසනවාට වඩා සියල්ලට ඉහලින් සියල්ල දකින හිරු මෙන් ගහක් උඩට වී අවට නිරීක්ෂණයත් කොස් මල්ලිලා ගේ වැඩ අධීක්ෂයනයත් මධුකි තෝරා ගෙන තිබුණේ අපෙන් නොඅසාමය. සිය විමානයට බලහත්කාරයෙන් කඩා පිනූ මේ අමුතු බිළාල අවතාරය කවුරුන්දැයි මුලින් මුලින් නොරිස්සුම්ව සිටි කොස් මල්ලි වහා කිපී වෙරළු ගස උඩ වැඩ වසන මධුවන්තිය බිමට එලවා දැමුවත් පසුව එය අතහැර දමා ඒ වෙනුවට ගහ මුදුනේ සිටින මධුවන්තියට වෙරළු ගැට වලින් ගැසීමත්, කොහේ හෝ ඈතක සිට මධුකි සිටින අත්තට පැන අත්ත හොලවා මධුකිව බිමට පත බෑවීමත්, සිය පොඩි එකෙකු මධුකි වෙතට එවා දෙදෙනා පැටලෙන්නට හැර වලිය නැගගෙන එන විට කටින් අමුතු ශබ්දයක් නගමින් හුරේ දැමීමටත් පුරුදු වීම නිසා මධුකිගේ පණ කෙන්ද බේරුණද ඉදුණු වැල ගෙඩියක් සේ ගස් මුදුන් වල සිට චොස් ගා බිමට පතිත වන වේගයට අතක් පයක් නොබිදී තිබීම අපට නම් ලෝක පුදුමයකි. මේ හැමටම වඩා හාස්‍ය ගෙනදෙන්න නම් නිවසේ කවුරු ‘මධුකී...’ කියා කතා කලත් මේ උඩැක්කිය එක් වනම දිව යන්නේ තාත්තාගේ ලඟට වීමයි.  කතා කල මනුස්සයා පැත්තක සිටියදී කොහෙවත් සිටින තාත්තා වෙත වෙත කරන මේ දිවයාම කුමක්දැයි තේරුම් ගත නොහැකිව මුලින් අන්දමන්දව සිට පසුව අප තේරුම් ගත කාරණය නම් මේ හොල්මන සිතා සිටින්නේ මධුකි යනු අපේ තාත්තාගේ නම බවත් අප මධුකි කියා අමතන්නේ එයාට නොව තාත්තාට බවත්ය. ලඟට දිව ගොස් හැකි තරම් වොලියුම් වැඩි කර මෑව් මෑව් කියමින් මුහුණ බලමින් මඳ වෙලාවක් වටේ කැරකෙන විට සිට 'කෝ යමු බලන්න..' යයි පවසමින් තාත්තා පැමිණෙන විට ඊට ඉස්සර වී පාර කියන තාරකාව මෙන් අදාළ ස්ථානයට රැගෙන ඒම මධුකි විසින් ටක්කෙටම සිදු කරයි. මේ නිසා තාත්තාට තේ බොන්නට හෝ බත් කන්නට හෝ කඩේට යන්නට හෝ වෙන යම් කිසි වැඩකට කතා කරන්නට ඕනෑ වූ විට අප කරන්නේ ඉන්නා තැනකට ඇසෙන්නට  'තාත්තේ...' කියා බෙරිහන් දෙනු වෙනුවට 'මධුකී ...' කියා බෙරිහන් දීමයි. එවිට නැට්ට උඩ තියාගෙන ඉගිලෙන තාත්තාගේ පෙම්බර මධූ ඉන්නා තැනකට දිව ගොස් තාත්තා කැටුව ඒම දේව කාරියක් සේ සලකා ඉටු කරනු ලබයි.

කොතරම් ඉස්තරම් ලෙස කන්නට දුන්නත් කටුස්සියක සේ ඉතාමත් කෘශ ශරීරයකට උරුමකම් කියන මධුකි ගේ විරූපී දේහ විලාසය ගැන විටෙක අපට ඇති වන්නේ මහත් විලි ලැජ්ජාවකි. දඩාවතේ යනගමන් ඉඳහිට නිවසට කඩා වදින පැස්බරුන් වැනි පූස් තඩියන් මැද මේ අවලස්සන කටුස්සිය නිවසේ සිටීම අපටද අවනම්බුවක් වුවත් ඒ සියල්ල පරයන්නේ දඩයම් කිරීමෙන් මධුකිව පරද්දන්නට මේ කිසිවකටත් බැරි නිසාය. දිනක් හිටි වනම එක කටට බට්ටිච්චන් දෙදෙනෙකු ඩැහැගෙන එද්දී ඒ දුටු අම්මා වැරෙන් පරහවල් දෙක තුනක් දෙන විට බුරුල් වූ කටින් ගැලවී එක් බට්ටියෙකු යන්තම් ඉගිලී ගියත් කොතරම් පහර කා ගෙන වුවද අනෙකා දිගටම කටේ රුවාගත්  මධුකි නොසෙල් වී සිටියේ මැරුණත් මෙය නම් අත් නොහරිමි යන ඒකායන අරමුණෙනි. පසුව වතුර බාල්දියක්ද ගසා අසරණ බට්ටිච්චා බේරා ගත්තද වතුර බින්දු තුන හතරක් පමණක් බී පියාපත් සෙල වූ ඔහු මඳ වෙලාවකින් මිය ගියේ අම්මාගේ ඇස් අග කඳුළක් ඉතිරි කරමිනි. මෙයින් කෝපයට පත් අම්මා මධුකිට ඒ මොහොතේ සිට කෑම බීම දීම නවතා දමන බවටද ගෙය හා කුස්සිය අවට තහනම් කලාපයක් ලෙස නම් කරන බවටද එක හඬින් නිවේදනය කළේ එසේ නොවුවහොත් නිසල අරණට යන්නට වන බවට අනතුරු අඟවමිනි. එයින් නොනැවතුණු අම්මා වහාම හදිසි පනතක් ගෙන අවුත් තනි මනාපයෙන් එය සම්මත කරගෙන මධුකි යන නමද මරුකි ලෙස නැවත සංශෝදනය කර දෙනු ලැබුවාය. 

කෙමෙන් යොවුන් වියට පැමිණෙන හැඩ නැති වුවත් වැඩ හැකි මේ පැණි කැවුම ගැන ඉව වැටී ඉහළ පැලැන්තියේ හැඩකාර නිවුන් පූසන් දෙදෙනෙකු මෑතක සිට අප නිවෙසට ගාටන්නට වුයේ කෙසේ හෝ ඇය තම ඇබේණිය කර ගැනීමේ පිවිතුරු සිතිනි. වර්ණ සංකලනයෙන් එක සමානම වුවත් අපේ කැවුම් මධුකිය ගෙන් වෙනස් වූ බලන්නට ලස්සන පෙනුමත් කනට නොඇසෙන මියෑව්වත් විනීත සුවිනීත හැදියාවත් ඇනලයිස් කර බැලු විට මෙවුන් දෙදෙනා කොහේ හෝ ගෙදරක රජ සැප මැද ඇති දැඩිවන පූස් නාම්බන් දෙදෙනෙකු බව කිව හැකි වුවත් ඒ කිසිවක් පිච්චියකට මායිම් කරන්නේ මධුකි නොවේ. අදවත් මලක් කැඩීමට හැකි වේයැයි සිතා සුබ මුහුර්තියකින් ගෙදරට වැඩම කොට ගස මුලට යන මේ පූස් නාම්බන් දෙදෙනා එහි මුදුනේ සිටිනා මධුකි දෙස කෙල හලමින් පැය ගණන් උඩ බලමින් සිටින්නේ හන්තානට පායන හඳ කොතරම් ලස්සනදැයි මේ සිගිරි අප්සරාවිය ගෙන් අසා ගැනීමට වුවත් විමානයෙන් බිමට බට වහාම යක්සනියක් සේ ඔවුනට විලිස්සා ඉන්ද නොනැවතී මුහුණද පහුරු ගා දමන මධුකි නවතින්නේ ඔවුන්ගේ පෙම් කැකුළ සුනු විසුනු කර දමමිනි. මෙසේ සිය වේදිකා නාටකය අවසන් කර තවමත් පුම්බා ගත් වලිගයෙන් යුතුව තම අත පතා පැමිණි මනමාලයන්ට පිටුපා ලැසි ගමනින් තමා වෙත එන මධුකි දෙස ආඩම්බරයෙන් බලා සිටින තාත්තා පවසා සිටින්නේ කවදා හෝ තමා සොයා දෙන කෙනෙකු සමග මිස කොහේවත් යන වල් පූසෙකු සමග තම දියණිය දීග නොයන බවයි. නමුත් ඉහ නිකට පැසුණු තාත්තාට වඩා අද කාලේ කෙල්ලන්ගේ වැනෙන හිතත් සට කපට ගති ස්වභාවයත් ගැන පර තෙරට ස්ටඩි කර ඇති අපේ මලයා පවසා සිටින්නේ කප්පරක් වන සිය ජීවන අත්දැකීම් සමග ගත් කල එය එසේ සිදුවීම දවල් හීනයක් බවත් කෝකටත් කියා චන්ද්‍ර මණ්ඩලේ සිංදුව පාඩම් කරගෙන වෙනදේකට මුහුණ දෙන්නට හිත හදාගෙන සිටීම තාත්තාගේ ඇඟට ගුණ බවත්ය. 









මේ කිසිවකින් නොසැලී ඔවුනොවුන්ට පණසේ ආදරය කරගන්නා අපේ තාත්තාගේත් මධුකිගේත් මාපිය දූදරු සම්බන්ධතාවය අහල පහල අයටද දැන් අරුමයක් නොවේ. තාත්තා තනියෙන් සිටිනවා දුටුව විට කෝ දෝණි? යයිද  මධුකි තනිවම සිටිනු දුටු විට කෝ තාත්තා? යයිද අසන ඔවුන් සිය ගෙවතු වල වැවෙන කුප්පමේනියා බුරුතු පිටින් අපට ලබා දීමෙන් මේ පලහිලව්වට ආධාර කරයි. සිය සුරතලියට තබා තිබු නමේ තේරුම දැනගත්දා මහත් වූ සංවේගයෙන් කම්පා වී අපට බැණ වැදුණු තාත්තා තකහනියේ පොත පත් පෙරලමින් ගණ පිහිටුවා එය නිදුකි ලෙස වෙනස් කර ගැනීමට ක්‍රියා කල අතර අලුත් නම හැර පරණ නම් කිසිවක් භාවිතය තහනම් කරන ලදී. ඉතින් මිතුරනි මිතුරියනි. කවදා හෝ දිනෙක ඔබ අපේ නිවසට පැමිණෙන්නේ නම් මෙය මතක තබා ගන්න. අපට කිසිවක් නොගෙනෙන්න. එනමුත් මේ මධූට කෑමට ක්‍රීම් ක්‍රැකර් හෝ මාරි බිස්කට් එකක් රැගෙන ඒමට කාරුණික වන්න. මා එසේ කියන්නේ ගෙදරට කවුරු ආවත් සැනෙකින් ගෙනෙන පාර්සලය දිගහරිමින් මධුකිට කන්නට දෙයක් ගෙනත් තිබේදැයි පිරික්සන තාත්තගේ මුහුණ එසේ තිබුණහොත් මලක් මෙන් පිපී එන්නටත් එසේ නොවුවහොත් වසා දැමූ බේකරියක් මෙන් හැකිලෙන්නටත් පටන් ගන්නා බැවිනි. එපමණකින් නොනැවතී ඔබත් පූසන්ට පක්ෂපාතී බව අඟවන්නට ඔබට හැකි නම් එවිට අපේ තාත්තාගේ නොමඳ ආදරයත් සැලකිල්ලත් වහ වහා ඔබට හිමි වනු ඇති අතර ඔබට ඉතා ඉහල ප්‍රශස්ති වර්ණනාවක්ද ලැබෙනු ඇති.


5 comments:

  1. සත්තු වත්තක් වගේනේ! ටික කාලයයිනේ ඉන්නේ. නැතිවෙන කොට තමයි අමාරු.

    ReplyDelete
  2. අපේ ලඟදි නැතිවුන පූෂිත් මේ වර්ණ සංයෝජනේමයි. අවුරැදු 10කට වැඩිය හිටිය අපි එක්ක 💔

    ReplyDelete
  3. හි හී පූසන්ට ආස නැති මටත් උන්ට ආස වෙන්න හිතුනා මේක කියවලා.

    ReplyDelete
  4. හැමදාම වගේ අපූරු ලිපියක්. ලස්සනට ලියලා.👌

    ReplyDelete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.