Saturday, November 5, 2022

241. තරහයි තරහයි

















  තරහයි තරහයි හොඳටම තරහයි 
  ඕනෙම නෑ කවුරුවත් මට 
  තනියෙන් ඉන්නෙක මේ වගෙ පාඩුවෙ 
  දහ දාහෙන් සම්පතයි මට 
  බොරු ආදරෙ මට පෙන්නන කට්ටිය 
  දැනගත්තා හරියටම අද 
  අරින්නෙ නෑ ලෙසියන් ඉන්නවකො 
  කරනවමයි මම වැඩක් හොඳ 

  චොක්ලට් ඩිංගයි ඉල්ලුවෙ ඒකත් 
  ආවෙන් නැහැයට සුවඳ දැනී 
  එහෙම නැතුව අර පූස් තඩිය වගෙ 
  පෙරේතකම් පිහිටලා නැතී 
  දෙන්නෙ නැතුව මට කාපු එකට කෙල 
  ලොරියක් මම දැන් ගිල්ල පුතී 
  හැදියන් බඩේ ලෙඩක් ඔක්කෝටම 
  දන් නෑ මේ බන්ටියගෙ හැටි...


Friday, September 2, 2022

240. සුදු මල්

 












    රැය හෙමි හෙමින් ඉකි ගසමින් හැඬු හින්දා 
    මල් පෙති මතට අලුයම පිණි වැසි වැස්සා 
    ලස්සන මිසක මුතු කැට බඳු සිරි රන්දා
    කඳුලක සිසිල ඉන් හැඟවෙනවද මන්දා 

    නොනිදා පහන් කර විඳවන ලිහුණු බැඳුම් 
    තනිවම මිසක ලොව දත යුතු නොවේ රිදුම් 
    අළුයම අස්වසා කඩතොළු හදෙහි පැළුම් 
    සුදු මල් ලෙස පිපුණෙ සිත තුල නැගුන සුසුම්! 


Wednesday, August 31, 2022

239. කලබල ඉතා කෙටි හමු වීම














    කරදිය සුළඟ ලුණු රස 
    වැඩි බව දැනේ 
    ආපසු හැරෙන්නැයි සිත 
    කොඳුරනු ඇසේ 

     පියවර හඬක් හෙමිහිට 
    පිටුපස නැගේ 
    සුලඟක පාව සිනහව
    සවනත හැපේ 

    කිෂිතිජය මතින් දිවයන 
    දෙනයන ඉමේ 
    සුපුරුදු පරිදි එම රුව  
    තවම මුණගැසේ 

    කලබල ඉතා කෙටි 
    හමු වීම කෙළවරේ 
    වෙරළට රැල්ල මුමුණන 
    කිසිවක් ඇසේ  

    බැසයනු පිණිස ඉරමල 
    දීලිසෙනු පෙනේ 
    අපමණ මතක තවමත් 
    සිත දිග හැරේ 

    රල පෙළ නගන රිද්මය 
    පැරදෙනු දැනේ 
    හඬමින් රුහුණු කුමරිය 
    දිව යනු ඇසේ...


Monday, August 29, 2022

238. කවි අතර දිගු සුසුම්

 

පතාගෙන පැමිණෙන්න 
බැරි වුණෙන් මගේ පෙම 
බොහෝ දුර ඉඳන් මට 
ඉවසන්න කියා දෙයි 

වෙළාගෙන තනිකමම 
ගෙවී යන ජීවිතේ 
සොයා ගිය ආදරය 
සුන්බුන්ව දිරා යයි 

මුවාකර තෙත සෙමින් 
මදස්මිතිය සමග
හැමෝටම වගේ නෙත් 
එක්වන්ව සිනා සෙයි 

මළානික හිත ගාව 
නමුත් ඉඳහිට රෑක 
කවි අතර දිගු සුසුම් 
සන්සුන්ව ගලා යයි

(පින්තූරය අන්තර්ජාලයෙනි.)

Sunday, August 14, 2022

237. පුදුමයක් මිස




















පා කරන මල් රේණු සුලඟක 
මල් පිපෙන ගස් වුනත් දවසක 
වැළපෙනව වෙන්න ඇති ඉඳහිට 
ලඟින් ඉඳ ගිය සුවඳ සිහි කර 

දුරින් දුරටම ගිහින් දිගටම 
අතු විදා ගෙන විසල් අහසට 
පල දරන විට කොහොම යන්නද 
ආව මග දිගේ යලි ගම්රට 

පාර මතකයෙ ඇතත් සදහට 
ගොළුව ඉමි ඒ මතක සිහිකර
සෝපහාසෙන් සිනා සෙන්නට 
කැමති කෙනෙකුට ඔහේ ඉඩහැර 

නොහෙල්ලී කොහොමහරි සුළඟට 
මේ ඉන්නෙකත් පුදුමයක් මිස 
අහස් ගව් සිඹින්නට කිසිදින 
නොපැමිණි යෙමිය නුහුරු සබයට

කකියනා හිතට තරවටු කොට 
ඉවසගමි සියලු දුක් නිහඬව 
බාන්වැල් ගැට ටිකක් මුහුකර 
තවන්නට හිත කෙනෙක් නැතිසඳ...

(පින්තූරය අන්තර්ජාලයෙනි.)


Friday, August 12, 2022

236. දැන් සමුගමි





















ඇහැළ අහස යට ඉඳගෙන 
ඇහැළ පිපුණු මල් පාරේ 
පිරෙන නෙතයි ලිහෙන හිතයි 
යලි කියවමි 
ඇයි නොදනිමි ... 

මල් පෙති මේ දිලිසි දිලිසි 
කහ පාටින් පැළඳ ඉන්නෙ 
අපි විසිරෙව් ආදරේද 
කියා සිතමි 
ඉන් සැනසෙමි ... 

පෙති ගිලිහි මිහිකත වන් 
මලක සුසුම් සුවඳ දැනේ 
සොබා දහම එය නොවේද 
සිතට ගනිමි 
ඉන් නවතිමි... 

එකම මගට හැරෙනු බැරිව 
අප නැවතුනු මෙ මංසලේ 
දළු නොදමන මතක ගසේ 
සෙවණ හරිමි 
දැන් සමුගමි...

(පින්තූරය අන්තර්ජාලයෙනි.)


Thursday, August 11, 2022

235. ඉනික්බිති












උයන් තෙර කෙළවරක නතරවෙමු 
සුසුම් මුසු සුළං රැල්ලක එතෙමු 
ඉනික්බිති සුපෙම්වත් 
දෑස් දෙස නොබලාම  
තනියෙන්ම ආයෙ යන්නට හැරෙමු  

බිම වැටුණු අරලියා ඇහිඳගමු 
දුකක් මුසු සිනා පෙති මත දකිමු 
ඉනික්බිති හැගුම්බර  
සුවඳ ඒ හා රැගෙන 
සුවඳවත් සිතින් යන ගමන යමු 

ඉඳ හිටෙක මතක පොත දිග අරිමු  
සැනසුමේ සිත සතපවා ගනිමු 
ඉනික්බිති සම සිතින්  
ලද නොලද දේ සමග 
අපි අපිට හිමි ලෝක වෙත ඇදෙමු 

ඒත් .... 

ආදරය තුරුළු කර ගෙන ඉදිමු 
සංසාරෙ තව තැනක මුණගැහෙමු 
ඉනික්බිති බිඳක් හෝ 
වෙන් නොවන බව අදම 
මේ දැන්ම අපි අපිට ගිවිස ගමු...



Wednesday, August 10, 2022

234. අපරිමිත

















වෙරල ගල්පර හමු නොවී නම්
පෙරළිලා රළ එන මගේ 
සද්දයක් නොනැගෙන්න තිබුනා 
අපරිමිත වූ සිඳු හදේ 

ඇද පළුදු නොසොයාම ඇවිදින් 
නොදිලුනා නම් තරු රැයේ 
ලස්සනක් නොපෙනෙන්න තිබුනා 
අපරිමිත වූ අම්බරේ 

සුළං රැල්ලට මුහුව යන 
ජීවිතේ අවසන් තත්පරේ 
තෙක්ම නොනැසී ඇසෙනවා ඇති 
ලියු ගී හදවත් පොතේ 

හමුවෙලා යලි හිමි වුනානම් 
සැබෑ වී පැතුමක් හිතේ 
මේ තරම් නොදැනෙන්න තිබුණා 
අපරිමිත වූ ආදරේ...

Tuesday, August 9, 2022

233. අන්තිමේදි


















    රැය දිගු වී අනන්තයට 
    පෙම ඇවිදින් සිත නතුකළ 
    ජීවිතයේ මල් වැස්සට 
    හීන් සීරුවේ තෙමුණා... 

    මලක් වෙලා ඒ සෙවණේ 
    රැඳෙන්න ඇත්නම් සදහට 
    මේ ලොව කොතරම් සොඳුරුද 
    කියා දහස් වර සිතුණා... 

    හීන දරාගෙන දෝතින් 
    හෙට දිනයට ඇඟිලි ගැන්න 
    දිවියේ සතුටින් ම ඉඳපු 
    අතීතයක් මට තිබුණා... 

    ගිලීගි ගිය සතුට රැගෙන 
    ආයෙම ඔබ පැමිණේ යැයි 
    බලා ඉද්දි දින සති වී 
    වසර ගණන් කල් ගෙවුණා...

    සාධාරණ නැතත් ලෝකෙ 
    මෙහෙමත් සොඳුරු යැයි සිතෙන 
    රිදි රිදි මල් පිපුණු හිතක් 
    අන්තිමේදි මට ලැබුණා...


Sunday, August 7, 2022

232. රිදවීම



  









 පොළොව ගැන කවියක් ලියා 
 අහස රිදවන්නට සිතා 
 ගතිපු වෑයම අතැර දැමුවෙමි 
 එයින් ම සිතම රිදි නිසා 

 ඉඩෝරයෙ රළු කම් ඉතා 
 දැනුනෙ ළඟ හිටි නැති නිසා 
 නිදහසට කාරණා නොකියමි 
 අකීකරු වුනෙ මම නිසා 

 සඳක් අහසෙහි මැව් ලතා 
 පුරුද්දට විඳවමි සදා 
 අමාවකටත් මට එපා තරු 
 අඳුරු මට දැන් හුරු නිසා...



සේපාලිකා මල් වෙත පැමිණි ඔබව සාදරෙන් පිලිගන්නවා. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්න. ඒ නැතත් පැමිණිමම සතුටක්. බොහෝ තුති.