Saturday, November 11, 2023

254. හඳ එළිය මගහැරී (ශනිදා රෑ 10ට)

 

 රාත්‍රිය කොයි තරම් සුන්දරව තිබුනත් 
 එහි ඇතැයි හැඟෙනවා කාගේ හෝ කඳුලක් 
 දහවලේ කළුවෙලා නොලබමින් හෙවනක් 
 වැතිරිලා හති අරී දිගම දිග හුස්මක් 

 නහවමින් අතු රිකිළි හඳ එළිය අහුරක් 
 ගලද්දීත් නොලියවී තියේ යම් කවියක් 
 නොපෙනුණත් හදවතේ කළුවරක ලකුණක් 
 තිබිය හැක හඳ එළිය මග හැරුණු පෙදෙසක් 

 අතීතෙන් හමා එන කුමක්දෝ සුවදක් 
 උරා බී සන්සුන්ව මිදී යයි සුසුමක් 
 ඉරුණු තැන් වල යොදා පැලැස්තර මැහුමක් 
 පෙතිඅරී  හෙට උදෙත් පිපෙන්නට පැතුමක්! 

 (පින්තුරය අන්තර්ජාලයෙනි.)

ප. ලි. 
සති තුනක් නිකන්ම වාෂ්ප වී ගිය නිසාත් අද නම් එක වචනයක් හරි පොස්ට් නොකර  නැගිට්ටොත් බලාගමුයි කියා මටම තර්ජනය කරගත් නිසාත් රෑ 9 සිට ලිය ලියා මක මකා  යාන්තන් මේක අමුණගත් බව සලකන්න.



16 comments:

  1. ආව්ස් මෙන්න මෙයත් ඇවිත් සතුටුයි..සතුටුයි ❤️

    ReplyDelete
  2. මිදුල දිගේ ගලා ගියද පිපෙනා මල් සුවඳක්
    වදුල පුරා වද දෙනවා මා වවුලන් පොකුරක්
    සඳළු තලයෙ හිටියත් හඳ නොදකින දුක් සුසුමක්
    කදුළ එක්ක රෑ පුරාම විඳවයි නැත රහසක්....

    ලස්සනයි නිර්මාණය. නිවාඩු වෙලාවක මගෙ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් බලන්න.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ටැංකිව් දුමී. දුමීගේ කවියත් හැඩයි. මම ගියා බ්ලොග් එක පැත්තෙ. බන්ධනය වෙන්න කලින් ඉක්මනට ආවා. පස්සෙ හිමීට කියවන්න එන්නං.

      Delete
  3. //තිබිය හැක හඳ එළිය මග හැරුණු පෙදෙසක් // හ්ම්. ඇහැකි ඇහැකි!

    ReplyDelete
  4. ඔයා ලස්සනට ඒ සිතිවිල්ල අකුරු කරලා.

    ReplyDelete
  5. ඔයාට මම දැම්ම කමෙන්ට් එකට මොකද්ද උනේ?

    ReplyDelete
    Replies
    1. අනේ සොරි තට්ට තුමෝ. මම ඒක දැක්කා.ඒ උනාට මක්කාවත් ලියාගන්න බැරි උනානෙ සති තුනක්ම පහුවෙනකන්. ලබන සතියට කවි නැතුව වෙන මොකක්හරි වත් ලියන්න බලන්න ඕන. බොහොම ටැංකිව් හොඳේ මටත් ඉන්වයිට් කරාට සහ අද මේ පැත්තෙ ආවාට තරහ නොවී.

      Delete
  6. පැතුමත් උදේ පිපෙන මලක් වගේ නේද? රෑ වෙනකොට ආයෙත් සුසුමක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවා රෑ වෙනකොට අපේ පැතුම් සුසුම් තමා. ටැංකිව් වේවා.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.