Monday, July 29, 2019

94. දේදුනු කුමාරි












උදේ ඉඳලම අහුලමින් මල් වසන ගෙල මල් මාලෙකින්
අගේ කර කර කියන සුරතල් කතා ඉමිහිරි තාලෙකින්
හදේ ජීවන ගීය මුමුනා සිඹින සිත මුදු ආලෙකින්
මගේ දේදුනු කුමාරිට නෑ ලිව්වෙ කවියක් කාලෙකින්

රතු තැඹිලි කඩනා කොලූ නිල් ඉරක් දකිනවා යැයි ගයා
පාට දේදුන්නේ හැදෙන්නේ මෙලෙස යයි දුන්නත් කියා
හිටි ගමන් මුහුණම දෙකක් කර අම්ම හරි නෝටියි ඔයා
ගතු කියයි දේදුන්නෙ පාටට රෝස දැම්මේ නෑ කියා

උඩ අඳින්නට යා කරන්නට රූප සොයමින් එක වගේ
සිය ගණන් මට ඇක්ටිවිටි දෙන පුංචි ගුරුතුමියයි මගේ
හැඩි කරයි ගෙය කුරුටු බලි ඇඳ කලා භවනක් කර අගේ
බැරි වුනොත් ඇති පොඩ්ඩ ඇමිණී එන්න කටු අත්තක් වගේ

දහය වනතුරු සෙනසුරාදට නිදාගත් දින සැප අරන්
ඇරියසුත් එක්කම ඉතින් දැන් ගෙවා දමනෙමි දුක දරන්
කිමුහුමක් මුත් ගියොත් ඉවරයි නැගිටගන්නට උඩ පැනන්
හොඳවයින් අමතමි දෙකක් ඇසෙතැයි බියෙන් කට තද කරන්

මොන සැපක් තිබුනත් ඉතින් මේ ජීවිතෙන් ක්ෂය වී යන
රස විතක් දකිනෙම් කෙසේ පොඩි පැංචියෙකු ගෙයි නැති තැන
පෙති විදා සුවඳම මලක් වී සිනාවක් දෝතින් ගෙන
එන තුරා හෙට දින පිපී මග බලා ඉන්නෙමි දින ගැන.

Monday, July 22, 2019

93. සමනලුන් නිදන ගස












හිතින් ඉවකර බලා විසිරෙන සුවඳ රස රහසක් කියා
ඉතින් විසිකර හරිමි සිනහව බිඳෙන පිණි බිඳුවක ලියා
දුකක් ගන්නේ කුමට මේ හිත මලක් පිපුනේ නැත කියා
පැටව් සමනල නිදි කරන්නෙමි රෑට මගෙ තුරුලේ තියා

සුවය දී එය අවැසි අය වෙත නොවිමසා දෙවරක් හිත
සෙනෙහෙ දියවර නගන මුත් හද නිබඳ උතුරුවමින් තෙත
පිපුණු මල් පිරි සොඳුරු ගස් වෙත බන්දවනු මිස හිත නෙත
දුටුවෙ කවුරුද මලක් නැති කටු ගසක සුන්දර හදවත

නොදා වෙර පැසසුම් ලබන්නට දයාබර කම් නැති ලොවෙන්
සදා යුතුකම් කරමි සැනසෙමි පුරෝගෙන හිත සෙනෙහසින්
සිනා සරදම් ලැබෙන විට දුක් සුසුම් සඟවා ගෙන හොරෙන්
හදා ගෙන හිත සිනාසෙමි මම් අරන් මට හිමි දේ ලොවෙන්

ප.ලි.
අපේ වත්තේ තිබුණු නම නොදන්නා ගහක්, මලක්වත් ගෙඩියක්වත් හැදෙන්නේ නැති නිසා අප කීප විටක් කපා දැමීමට සිතුවා. පසුව අහම්බෙන් වගේ හැන්දෑවක තමයි දුටුවේ සමනලුන් මේ ගහට විත් එහි කොළ යට එල්ලී රැය පහන් කරන බව. අඳුර වැටීගෙන එනවාත් සමග මේ ගසේ කොලවල එල්ලුණු සමනලයෙක් දෙන්නෙක් නොහිටි දවසක් නැති තරම්. සමනලුන් නිදා ගන්නා නමුත් මලක් නොපිපෙන ඒ ආදරණීය ගසටයි මේ කවිය.

Sunday, July 21, 2019

92. ආදරෙයි මං අම්මේ



















නිදන්නට මහ මූදු පතුලෙහි ඉරත් අහසින් දුරස් වෙනවා
හිතන්නට බැරි හදිස්සියකින් තවත් සතියක් ඉකුත් වෙනවා
තෙහෙට්ටුව හිත රිදුම් දෙනකොට සෙනේ ගඟ නුඹෙ පසක් වෙනවා
දකින්නත් බැරි වුනා කලකින් අම්මෙ නුඹ මට මතක් වෙනවා

අහස සේ දුක් ගත්ත නුඹෙ හිත රෑ දවල් අප රකිනු වෙනුවෙන්
නපුරු වී වයසටත් වැඩියෙන් තව දුරක් නුඹ රැගෙන ගෙනිහින්
වගක් නෑ කිසි ගහට ගහ ගැන මල්ම මිස වෙන ලොවක් කොයිබින්
සිහිව මේ හිත කීරි ගැහෙනව හීනි නෙත් දිය පිරෙන සැනෙකින්

නටා ගයනා බටිති මාලති කුරුළු ගී පද ඇසුව තාලේ
සතා සීපා මිනිස් නොමිනිස් සැමට එකලෙස කරන ආලේ
කලා භවනක් වැනිවූ සිතකින් අපව සිතුවම් කරපු බාලේ
වහා සිහිනෙන් මතක් කරගමි අදත් රෑ නෙත් පියෙන වේලේ

පෙන්න පෙන්නා අහස, කට කට කැව්ව මුත් බත් අපට නිරතුරු
අල්ලාගන්නට නොකිව් හැටි නුඹ කවමදාවත් අපිට හඳ තරු
ඉල්ලගත්තේ නුඹේ හිත අපි සිහිල දෙන මුහුදවන් වෙසතුරු
ගන්න නොව විහිදන්න ලෝකෙට සුවද හැකි පමණකින් පිවිතුරු

කසාවත් පොරවන්න දිනෙකදි හිතේ මහ හීනයක් තිබුනා
අනේ අපි හින්දාම ඒ හිත කල් ඉකුත් වී සෙමින් මැරුණා
දයාවෙන් පිරි නුඹේ සුවඳෙත් නිවන් පුරයක් අපිට මැවුණා
මගේ අම්මේ ආදරෙයි මං මතක් වී මට ගොඩක් ඇඬුනා.

Friday, July 19, 2019

91. අරලිය













අරන් යන්නට සුසුම් පා කර සුළං සිහිලැල්ලක් අග
හිතින් මතකය අවුස්සමි නැවතිච්ච කවි සොයමින් මග
බලන් හිටියට ආයෙ එන්නැති කෙනෙක් ගැන සුවඳකි හුඟ
ගිලන් හිත ගොස් නතර කරගමි අදත් අරලිය මල් ළඟ

දුකක් මුසු මුදු සුවඳ විහිදන දැහැනකට දුර සමවැද
අනන් තෙට හිත අරන් නික්මෙයි සෙනෙහෙ බිඳකින් පිරිමැද
ගොඩක් පින් මේ සුවඳ දෙනවට නුඹයි මගෙ මල දිනුහද
එයත් ආසම සුවඳ අරලිය නොදන්නෙමි තව එහෙමද

පහක් සුදු පෙති මැදින් ලා කහ පාට සායම් නැලවුනූ
අහක් කරගන්නටම බෑ හිත දුටුව තැන නුඹ ඇලවුනූ
බිඳක් ගෙන හිත නිවා ගන්නට තරම් සුවදක් හිමිවුනූ
මතක් කර දේ නොනිමි සසරෙහි අතරමග අපි නැවතුනූ

කැඩී පත් බිම වැටෙන විට මුදු සිනිඳු හිත හිරි වැටුනනම්
බිදී ගොස් දුක දැනී හොඳටම කඳුළු කිරි ගඟ ගැලුවනම්
නැගී යලි හිනැහෙන්න බැරි බව සියක් වර මුත් සිතුනනම්
හිතේ ලස්සන අරන් කොහොමද පිපුනෙ සුදු මල් ඔයතරම්

වලක්වන්නට නොහැකි සුළඟින් කැඩුණු හිත යලි ඇහිදින
නවතන්නෙම නැතිව සුසුවද ලොවට සෙනෙහෙන් විසුරන
එකක් වත් කොළ නැතිවූ දිනටත් මලක් අතු අග පුබුදන
නුඹත් මේ හිත වගෙයි හරියට හිනාවෙන් දුක උහුලන.


ප.ලි. අරලිය ගැන නොලියා වෙන දෙයක් ලිවීමට නොහැකි අයුරින් අරලිය මතක යලි අවදි කල කිඹුලියට ස්තුතියි.

Thursday, July 11, 2019

90. ඇහැළ මල්













සතුට හල හල හමන සුළඟට ආයෙ මල් වැහි වහිනවා
බිමට ගිලිහී රෝස වෙනුවට කහම කහ පෙති වැටෙනවා
හිතට කකියන පුරුදු සුවඳක මතක පිටු දිග හැරෙනවා
ඔබට සකුරා පිපෙන කාලෙට ඇහැළ මල් මට පිපෙනවා

හිනා වීගෙන ඇහැළ ගහ වගෙ අරන් මල් පොකුරක් අතේ
හැබෑ ලෝකෙට ඔබේ වෙන්නට හීනයක් තිබුණා හිතේ
හඹා ගොස් ලොව දිනාගෙන මම හනික එමි යැයි ජීවිතේ
කියා ගිය නුඹ ආවෙ නැතුවට තාම තරහක් නෑ හිතේ

සුවඳ සකුරා නුඹගෙ අයිතිය අහිමි බව මට හැඟෙනවා
සඳට ඉකිබිඳ හඬනු කුමටද පොළොවෙ සිහිලස දැනෙනවා
දැනුනු දවසක පුරුදු සුවඳක් කාට මුත් ඇහැ ඇරෙනවා
ඇහැළ මල් වැහි දකින්නට ඔබ එතැයි නිකමට හිතෙනවා.

Friday, July 5, 2019

89. පැනය












පාට පුරවන් ආයෙ පිපිලා යාය දිගටම අලුත් මල්
ආස සුවඳක් හිතට එබෙනව නාව මිහිරක මෙතෙක් කල්
දාල අහසම බිමට බැහැගෙන එන්න හිතුනත් හුඟක් කල්
ආයෙ පහලට එන්නෙ කොහොමද නූල කැඩුනම සරුංගල්

ඉතුරු කරගෙන හීන හෙටටත් බිඳී නොගොසින් පැනයක
නතර කර හිත සඟව ගන්නෙමි පාට සේදුනු සිහිනෙක
මිතුරු සුළඟට කියා සිහිලක් රැගෙන එන මෙන් දිනයෙක
අකුරු ලස්සන කරමි තනියෙන් තාලෙ ගිලිහුණ කවියක.
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.