Monday, July 22, 2019
93. සමනලුන් නිදන ගස
හිතින් ඉවකර බලා විසිරෙන සුවඳ රස රහසක් කියා
ඉතින් විසිකර හරිමි සිනහව බිඳෙන පිණි බිඳුවක ලියා
දුකක් ගන්නේ කුමට මේ හිත මලක් පිපුනේ නැත කියා
පැටව් සමනල නිදි කරන්නෙමි රෑට මගෙ තුරුලේ තියා
සුවය දී එය අවැසි අය වෙත නොවිමසා දෙවරක් හිත
සෙනෙහෙ දියවර නගන මුත් හද නිබඳ උතුරුවමින් තෙත
පිපුණු මල් පිරි සොඳුරු ගස් වෙත බන්දවනු මිස හිත නෙත
දුටුවෙ කවුරුද මලක් නැති කටු ගසක සුන්දර හදවත
නොදා වෙර පැසසුම් ලබන්නට දයාබර කම් නැති ලොවෙන්
සදා යුතුකම් කරමි සැනසෙමි පුරෝගෙන හිත සෙනෙහසින්
සිනා සරදම් ලැබෙන විට දුක් සුසුම් සඟවා ගෙන හොරෙන්
හදා ගෙන හිත සිනාසෙමි මම් අරන් මට හිමි දේ ලොවෙන්
ප.ලි.
අපේ වත්තේ තිබුණු නම නොදන්නා ගහක්, මලක්වත් ගෙඩියක්වත් හැදෙන්නේ නැති නිසා අප කීප විටක් කපා දැමීමට සිතුවා. පසුව අහම්බෙන් වගේ හැන්දෑවක තමයි දුටුවේ සමනලුන් මේ ගහට විත් එහි කොළ යට එල්ලී රැය පහන් කරන බව. අඳුර වැටීගෙන එනවාත් සමග මේ ගසේ කොලවල එල්ලුණු සමනලයෙක් දෙන්නෙක් නොහිටි දවසක් නැති තරම්. සමනලුන් නිදා ගන්නා නමුත් මලක් නොපිපෙන ඒ ආදරණීය ගසටයි මේ කවිය.
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.
:-)
ReplyDelete:-) බොහොම ස්තුතියි ලිඛිතා.
ReplyDeleteනොදා වෙර පැසසුම් ලබන්නට දයාබර කම් නැති ලොවෙන්
ReplyDeleteසදා යුතුකම් කරමි සැනසෙමි පුරෝගෙන හිත සෙනෙහසින්
සිනා සරදම් ලැබෙන විට දුක් සුසුම් සඟවා ගෙන හොරෙන්
හදා ගෙන හිත සිනාසෙමි මම් අරන් මට හිමි දේ ලොවෙන්
++++++
බොහොම ස්තුතියි සඳවතියේ.
Delete