Thursday, January 21, 2021

151. වෙන්වුනත් අපි














මීදුමේ දියවී හිමින් බැස යන සිසිල් සියුමැලි සඳයි 
සීතලේ වැතිරෙන බිමේ රළු සුවඳ සේපාලික මලයි 
ප්‍රේමයේ ඉසියුම් සුසුම් ගෙන හමන සුදුමුදු මදනලයි
මා ඔබේ කියමින් මගේ හිත ඔබම වෙත අලවා තබයි 

ගාවමින් සොම්නස අනන්තෙට සිනාවන් ඉතිරුණු දවස් 
ගාටමින් අලසව ගෙවී ගිය ප්‍රීතිමත් වරුවල හවස් 
කාටවත් නොකියා අපේ වී අපේ හිත සැඟවුන රහස් 
ආදරෙන් අමතයි සිතුම් පොදි නවත්වා කරමින් හරස් 

බාර ගත් දිග ගමන ගොස් නිමවන්නටම ඕනෑ වට 
මාවතක් ගානේ යමින් ගෙන බැරි බරක් පොඩි හිසකට 
පීරමින් හෙව්වත් දුකින් ඇස් විහිදමින් උස් අහසට 
පාර කීමට තාරකාවක් හිටියෙ නෑ ඔබ හැර ට 

තුන්යාමේ ළඟ හිඳින ඔබ ගැන හැඟුම් ගෙන සෙනෙහෙන් වඩා 
පන්හිදේ අමුණමි පැතුම් නෙත් අගිස්සෙන් නොවැටෙන හඬා 
තුන්හිතේ කිසිවෙකු කෙරේ නෑ අමුත්තක් බිඳකුදු කුඩා 
වෙන්වුනේ අපි, බැඳෙන්නයි ආදරෙන් වෙනදාටත් වඩා.


සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.