Wednesday, September 30, 2015

6. අපි දෙන්නා


එන්නේ බලාගෙන සිටි ඉමිහිරි මොහොතයි
යන්නේ මැවෙන්නට අපෙ පොඩි රජදහනයි
දෙන්නේ කිරට පැණි මුසු වී දෙන රසයයි
ඉන්නේ ගෙදර අද අපි දෙන්නා විතරයි

දාලා අපිට හැට හත්තෑවක් නීතී
ගොස් ඇත තාත්තා රෑ වෙනතුරු නේතී
එනිසා අම්ම එක්කල පැටියෝ ජෝතී
අපි හට ඕන හැටියට අපි වෙමු ප්‍රීතී

ඇරියම ජනෙල් ටික සුළඟයි ගෙට එන්නේ
රස්නය ඔහේ නැහැ කොයිබක දෝ යන්නේ
එනමුත් පරිස්සම අපි හට හොඳ වෙන්නේ
මදුරුවො ආවොතින් ගෙට වැඩ වරදින්නේ

හෙමිහිට ගහෙන් කාටත් රහසේ බැහැලා
සේපාලිකා මල් අර මිදුලේ පිරිලා
දෙන්නත් එක්ක අරගමු ඒ ටික අහුලා
ලස්සනදැයි බලමු ඉන් මල් වැල් ගොතලා

ලේනෙක් එනව ටින් ටින් ගාගෙන අන්න
දැක්කද අතින් බත් ගුලි හැකි ගෙන කන්න
තව චුට්ටකින් දෙමලිච්චන් එයි ඕන්න
නාලා තටු ගසයි අපි ඉමු නොපෙනෙන්න

වක අඹ ගසේ කාලෙක සිට දවසැරිය
දැකුමට නිතර සිත තුල ඇති කල පිරිය
කච බච මල්ල හිමිදිරියෙම දිග හැරිය
ඇහුණද මාල ගිරවුන්ගේ සැණකෙලිය

ඉන්දපු පුංචි පැළ රස්නෙට මැලවෙන්නේ
දැම්මොත් වතුර පණ ගහලා හිනැහෙන්නේ
ඉක්මන් කරමු දැන් දැන් දහවල් වෙන්නේ
ගසකට වුවද සැලකුම පින් සිදුවෙන්නේ

පොල්තෙල් ගොඩක් අරගෙන ඔලුවේ ගාමූ
අතගා හොඳට අපි ඇල් වතුරෙන් නාමූ
වතුරේ ඉඳන් සෙල්ලම් ටිකකුත් පාමූ
නාලා කාල අපි හොඳ නින්දක් දාමූ

සද්දෙට ඇහෙනවා සංගීතයක් ආන්
යනවා වෑන් එක පාරේ චූන් පාන්
අරගෙන ඇවිත් අපි ඒකෙන් රෝස් පාන්
හවසට බොමුද එක මේසේ ජෝඩු දාන්

සික්කා අන්න වැනි වැනි එයි මේ පැත්තේ
මක්කා හරිම කන්නයි ඉල්ලනු ඇත්තේ
තිබ්බා කුප්පමේනිය කුස්සිය පැත්තේ
ලොක්කා වගේ කයි උගුලා දිය යුත්තේ

කෝ ඉර ඔහේ නැහැ හැංගිල මේ ටිකට
වැස්සක් එන්න වගෙ කළුවර වී තදට
ආසද තෙමෙන්නට චුට්ටක් හිරි පොදට
තෙමිලා ටිකක් පිහිදාගමු අපි හොඳට

වැටිලා වතුර හොඳටම මිදුලේ පිරිලා
ඔරුවක් හදමු අපි කොළ අරගෙන නවලා
වතුරට දමා ඈතට පා කර යවලා
බලමුකො ගිහින් කොහෙ නවතීවිද කියලා

දැන්නම් වැස්ස හොඳටම වන සෙයකි තද
විදුලිය සමඟ ඇහෙනව ගෙරවිලිද මඳ
පරදා එ’හඬ දීලා අප දෙදෙන නද
පැනලා ඇඳට බයිලා අපි කියමු සොඳ

රැකලා නීතී අපි අකුරට වැඩ කෙරුවෝ
පැනලා එළියෙ දඟ වැඩ හෙම නොම කෙරුවෝ
දැන් එයි තාත්තා රෑ වේගෙන එනවෝ
අපි නිදි ඕන් දෙන්නම දැන් හොඳ දරුවෝ !!!


5. තව නැහැ පිළිතුරක් ...


නොපෙනෙන ලෙසට අඹ අතු කෙලවරෙක තැනී
සෙලවෙන සුළගෙ කූඩුවෙකිය කුරුළු පැණි
නැළවෙන තුටින එහි සිය මව් සෙනෙහෙ දැනී
පුංචිම කුරුළු පැටියෙකි මල් කැකුල වැනී

පෙන්වන අහිංසකකම මුදු මුහුණ සතූ
දිගු කර හොටය සුරතල් බස් පෙමින් යුතූ
මුමුණන අයුරු ගැන හද සෙනෙහසින් සිතූ
අම්මා කවයි සිප සනසයි බිලිඳු පුතූ

දැකලා කුරුළු මව පුතූ සනසන සැටියා
හැඟුනා මහිම මවු සෙනෙහෙක ඉම නැතියා
එ’අතර මසිත මොහොතක් නතරව සිටියා
සිහි වි මගේ සුරතල් පොඩි දූ පැටියා

බලලා මුහුණ පානා මදහස සිත්තම්
පෙන්වා සතුට අප ළඟ පාතක ඇත්නම්
පෙරලෙන ගමන් කල හැකි පොඩි පොඩි සෙල්ලම්
ලැබුවා මාස හතරට ඊයේ යන්තම්

පැටියා රකින එ’කුරුළු මව මෙන් රුවට
සනසාලිය නොහැක මගෙ බිළිඳිය මෙමට
පවරා ඇයව වයසක අම්මා වෙතට
තව ටික දවසකින් යා යුතු වේ වැඩට

ඉහලට නගින ජීවන වියදම ඉවසා
එක පඩියකින් මාසය ගතවෙනු කෙලෙසා
සිත දුක් ගනී බැලු විට ඒ ගැන විමසා
යා යුතු ඔපිස් තව දුර නොසිතා එනිසා

දුවගේ ලඟින් නික්මෙන කිරි සුවඳ හමයි
මුළු ගේ හැමතැනම විසිරී සුවඳ කරයි
සුදු මුදු මුවින් නික්මෙන කිරි සිනහ වැලයි
අම්මා ආස දුව ගාවින් ඉන්න තමයි

නින්දෙන් අවදි වූ විට මගෙ සඳ සාවි
අම්මා කොහේදැයි හඬමින් විමසාවී
අම්මා එයි පුතේ දැන් යයි පවසාවී
අත්තම්මා ඇවිල්ලා හිස අතගාවි

තනිවම තාත්තට දිවි බර ගෙනයන්න
නොහැකිය අම්මටත් සිදුවෙයි එක්වන්න
එතකොට දූට හැකිවනවා ඇති ඔන්න
ලස්සන ගෙයක සැපසේ සතුටින් ඉන්න

සැමදේ තිබුණ මුත් දුකමය ළඟට එන
මට මොන සැපද අම්මා ළඟ නොමැති තැන
ඇසුවොත් එහෙම දුව ගෙල මගෙ වැළඳගෙන
තව නැහැ පිළිතුරක් මා හට ඇයට දෙන


Tuesday, September 29, 2015

4. කවි අහස


ගින්දර ගෙනෙන දහවල නිම වෙද්දි ගෙවී
අත්හැර වෙහෙස ගත සිත යන සෙයකි නිවී
එක්කර මනස සිතුවිලි එන විටදී මැවී
සුන්දර රැයේ පොඩි පැංචිට ලියමි කවී

පෙළකට පුළුන් ගොඩවල් ඇතිරුව විලස
පාවී යාවි ගමනක් ඉඳලම සවස
දන් නෑ වලාකුළු පවසන ඒ රහස
අද හරි ලස්සනයි දැක්කද දු අහස

තැන තැන හිනැහී හිනැහී ඒ අහස පුරා
පැංචන් පැංචියන් තරු නෙක එලිය කරා
නොනිදා ඇහැරගෙන තවමත් වෙහෙස දරා
ඉන්නේ බලාගෙන අපි අත වන්න තුරා

රන් තැටියකට කිරි පැණි බොහොමයි පුරවන්
පාවෙන වලාකුළු අතරෙහි හිඳ දිලෙමින්
කෝ අපෙ පොඩිත්තී නිදි නැතිදැයි අසමින්
එබි එබි බලයි අර හඳමාමා ඇවිදින්

යන යන තැනට අපි හා එනවා ඈත
සිනහා සලනවා අර බලමින් පාත
කිරි පැණි රසලු හඳමාමා දෙන සීත
ඉල්ලා ගමුද අපි දිගු කරලා දෝත

ඉස්සර ඉඳන් අහසේ තනියෙන් හිටියා
ලස්සන හඳේ සුරතල් සුදු හා පැටියා
දූ හා සෙල්ලමට හරි ආසා ඇතියා
එයිදෝ බිමට බැහැලා කාටත් නොකියා

සෙල්ලම් කරන්නට හඳ හාවත් එක්ක
බිව්වොත් කුක්කු හනිකට ලොකු විය හැක්ක
සුරතල් කතා කියමින් අම්මත් එක්ක
නැලවෙන් මැණික දුව මගෙ මල් සුටික්ක

ඉන්නේ හඳේ හාවා යයි කීවාට
හාවා නොවේ ඇත්තේ ඒ ආවාට
තේරෙයි දූට දවසක ලොකු වූ දාට
එතකොට බනීවිද දැන් නෑ අම්මාට

විදු ඇස කියා පැවත් තතු එලෙස ලොව
සඳ තරු අහස ගහ කොළ වල සොඳුරු බව
අත්විඳ බලන්නට හැකි කොයි තැනෙක වුව
කවි ඇස සොයා දේ සැනෙකින් සිතෙහි සුව

දන්නෙම නැතුව සිත යයි බොහො දුරට ඇදී
ඉන්නට හිතයි තව තව එළිමහනෙ රැදී
එනමුත් යන්න සිදුවෙයි ගෙය තුලට ඇදී
ගජමන් නෝනෙ මගෙ පොඩි හොඳටෝම නිදී !


Monday, September 28, 2015

3. ඇඟිල්ල බිව්වොත් ...


ඇඟිල්ල බිව්වොත් දත් ටික ඉස්සෙයි
කැත වේවිලු කට පියස්ස වාගේ
ඇඩිල්ල බොරුවට ඒ බව කිව්වම
නොවේද වාට්ටු කලූ මෙමාගේ

නැටිල්ල බොරුවට අත පය විසිකර
වහල දිහා ඔහෙ බලන්න වාහේ
ගැහිල්ල කට ගුලි සුරුට්ටු බොන්නද
මහත්තයා කිරි කරත්ත බාගේ...

පහට අවදි වී උදේ පාන්දර
හිඳින්නෙ අමාරු ගණන් හදන්නද
හොඳට හිනා වි අම්මත් එක්කල
තනන්නෙ අර හොර වැඩේ කරන්නද

අදට මැදපු නැපි ඔක්කොම ඉවරයි
අලුත් ඒව වෙන කොහෙන් හොයන්නද
ඇඟට ඇලුනු ඔය ඇඳුම හැඩයි !!! ඉමු
ඔහොම ඉතින් වෙන මක්ක කරන්නද...

සුදූ ය කිව්වට සුදූ නොවෙයි කළු
අප්පච්චිගෙ නම කණපිට හැරිලා
බොනූ ය බෑ කිරි වැඩීම පුදුමයි
හුලන් බලෙන් ඇත පැන ගැට ගැහිලා

ඉනූ ය බෑ බඩ උලන් උඩ බලන්
වඩාන ඇවිදිය යුතුය හිනැහිලා
කිවූ ය කවියක් ඕන්න අම්මා
නිදාගන්න හැකි ඉතින් හිනැහිලා...


Monday, September 21, 2015

2. සුපුන් සඳ කෝ ..


සිතින් උතුරන සතුට නිම නැත
හදින් හද යා වෙයි
ඉතින් මේ කිරි සිහිනයේ මගෙ
පණ නලද සැඟවෙයි
අදින් පසු රෑ තරුද තනියෙන්
අහසෙ හැඩ බොඳ වෙයි
සුපුන් සඳ කෝ බිමට බැහැලා
මගේ දෝතේ දොයි ...

1.



රහසේ පැමිණ මල් පෙති මත හමාගිය
නලසේ සුවඳ මුසු සිසිලස ගලාගිය
රිසිසේ සිහින බල බල සිත පුරාගිය
සුවසේ නිදනවා මගේ දූ කුමාරිය

සිත සුව සදන කුසුමෙකි පිපි අරවින්දී
නෙත සුව සදන දසුනෙකි මුදු සෙව්වන්දී
සැමසිත සෙනෙහෙ ගඟුලක හිමිකම ලද්දී
දෙව්ලොව සිට පැමිණි දියණි ලු දෙව්ලින්දී

අහසක් වගේ සෙනෙහස සිත හොවාගෙන
මුහුදක් වගේ මදහස නෙත පුරාගෙන
අවේ සසර මග බොහො දුර ගෙවාගෙන
අම්මයි තාත්තයි දෙන්නා සොයාගෙන


පොපියන මුවෙන් කිරි සුවඳක් විඳගත්තා
හිනැහෙන වේලෙහි රූ සිරි සැම දැකගත්තා
සුදු මුව පොඩිය එක හුස්මට සිප ගත්තා
අම්මා හාද්දක් දුගෙන් අර ගත්තා


සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.