Tuesday, September 29, 2015

4. කවි අහස


ගින්දර ගෙනෙන දහවල නිම වෙද්දි ගෙවී
අත්හැර වෙහෙස ගත සිත යන සෙයකි නිවී
එක්කර මනස සිතුවිලි එන විටදී මැවී
සුන්දර රැයේ පොඩි පැංචිට ලියමි කවී

පෙළකට පුළුන් ගොඩවල් ඇතිරුව විලස
පාවී යාවි ගමනක් ඉඳලම සවස
දන් නෑ වලාකුළු පවසන ඒ රහස
අද හරි ලස්සනයි දැක්කද දු අහස

තැන තැන හිනැහී හිනැහී ඒ අහස පුරා
පැංචන් පැංචියන් තරු නෙක එලිය කරා
නොනිදා ඇහැරගෙන තවමත් වෙහෙස දරා
ඉන්නේ බලාගෙන අපි අත වන්න තුරා

රන් තැටියකට කිරි පැණි බොහොමයි පුරවන්
පාවෙන වලාකුළු අතරෙහි හිඳ දිලෙමින්
කෝ අපෙ පොඩිත්තී නිදි නැතිදැයි අසමින්
එබි එබි බලයි අර හඳමාමා ඇවිදින්

යන යන තැනට අපි හා එනවා ඈත
සිනහා සලනවා අර බලමින් පාත
කිරි පැණි රසලු හඳමාමා දෙන සීත
ඉල්ලා ගමුද අපි දිගු කරලා දෝත

ඉස්සර ඉඳන් අහසේ තනියෙන් හිටියා
ලස්සන හඳේ සුරතල් සුදු හා පැටියා
දූ හා සෙල්ලමට හරි ආසා ඇතියා
එයිදෝ බිමට බැහැලා කාටත් නොකියා

සෙල්ලම් කරන්නට හඳ හාවත් එක්ක
බිව්වොත් කුක්කු හනිකට ලොකු විය හැක්ක
සුරතල් කතා කියමින් අම්මත් එක්ක
නැලවෙන් මැණික දුව මගෙ මල් සුටික්ක

ඉන්නේ හඳේ හාවා යයි කීවාට
හාවා නොවේ ඇත්තේ ඒ ආවාට
තේරෙයි දූට දවසක ලොකු වූ දාට
එතකොට බනීවිද දැන් නෑ අම්මාට

විදු ඇස කියා පැවත් තතු එලෙස ලොව
සඳ තරු අහස ගහ කොළ වල සොඳුරු බව
අත්විඳ බලන්නට හැකි කොයි තැනෙක වුව
කවි ඇස සොයා දේ සැනෙකින් සිතෙහි සුව

දන්නෙම නැතුව සිත යයි බොහො දුරට ඇදී
ඉන්නට හිතයි තව තව එළිමහනෙ රැදී
එනමුත් යන්න සිදුවෙයි ගෙය තුලට ඇදී
ගජමන් නෝනෙ මගෙ පොඩි හොඳටෝම නිදී !


No comments:

Post a Comment

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.