Monday, August 31, 2020
133. හිත හදාගෙන අස්වැසෙන්නම්
කඳුළු බිඳුවක් ඇසින් වැටුනා පරණ මතකය සිහි වෙලා
කුරුළු දෙහදක ඇඳුණු ආදර සිහින සිතුවම බොඳ වෙලා
අඳුරු අහසට නොකිය සඳවත කොහෙද ඈතක සැඟවිලා
සිදුරු වුන මුළු හදම කකියයි ඉවර මුත් සැම සිදුවෙලා
පේවිලා පා දෝත සිටියත් වැළඳ ගන්නට ස්නේහයෙන්
ගෑවිලා අත ආයෙ නික්මෙයි රැල්ල දියඹට වේගයෙන්
පෑසිනා මුතු අහුර හදවත හොවා සෙනෙහෙක නාමයෙන්
සේදිලා ගොස් සයුරු රැල්ලට වෙරළ දැන් අසනීපයෙන්
ජීවිතේ එක තැනක නොරැදී ගලන විට කෙලවර බලා
මාවතේ ඔබ නික්ම ගිය මම හිඳිමි තාමත් තනිවෙලා
මාරුතේ ගිලිහිච්ච කුසුමක් අහුලගෙන අහකට නොලා
මා ඔබේ යැයි කිව්ව දින හසරැල්ල ගමි මතකෙට නෙලා
නොම හඬා බැරි මුත් රිදෙද්දී සිදුරු හද එක සීරුවෙන්
නපුරු දා තනිකම් විඳින්නයි මිදෙන සුසුමක වාරුවෙන්
ලැබු නිසා ආදරේ හිමිකම් මගෙ නොවූ ඔය නෙත් තුලින්
හිත හදාගෙන අස්වැසෙන්නම් දිනෙක මතුදා මා ඉතින්.
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.
ලස්සන කවියක්. මෙච්චර කවි ලියන්න පුලුවන් කියන්නේ ගෙදර කථා කරන්නෙත් කවි වලින්ද :)
ReplyDeleteබොහොම ස්තුතියි ඉයන්. :)
Delete