මලක් පොපියන ලෙසින් දෙතොල්පෙති සැලීමයි
සිහින් අත් පා පුළුං සිනිඳුවට දැනීමයි
නැවුම් හිමිදිරිය සේ සිනාවන් මැවීමයි
මට පුදුම ඇය ගහක පිපි මලක් නොවීමයි
සිනිඳු හිසකේ ඇවිත් කොපුලතේ සිඹිමයි
මිහිරි සුවඳක් ඇගෙන් විසිරුවා හැමීමයි
සිනා තෙපුලෙන් පුරා සුරතලෙන් බැලීමයි
මට පුදුම ඇය සීත මඳනලක් නොවීමයි
පූසියක ලෙසින් ළඟ දැවටෙමින් සිටීමයි
දුක් සුසුම් සෝදමින් සිත පහන් කිරීමයි
හිටිගමන් හිත රිදී හෝ ගගා ඇඩීමයි
මට පුදුම ඇය මුහුදෙ රල පෙළක් නොවීමයි
කොයි වෙලෙත් රත්තරන් පාටින්ම පෙනීමයි
දිස්නෙ දෙන තරු ඇසින් මැජික් මතු කිරීමයි
බලාගෙන කොතෙක් සිටියත් මදියි සිතීමයි
මට පුදුම ඇය අහසෙ පුර හඳක් නොවීමයි
මල් වැලක් වගේ ළඟ සීරුවට එතීමයි
මේ තරම් සොඳුරුකම් කොහෙන්දැයි සිතීමයි
කවුරුනත් ඈ වෙතට වශි වී සිටීමයි
මට පුදුම ඇය සොඳුරු කවි පෙළක් නොවීමයි!
(පින්තූරය අන්තර්ජාලයෙනි.)
අපූරුයි. අපූරුයි!
ReplyDeleteමේ කවි මුහුණු පොතෙත් දානවද?. වැඩි දෙනෙක්ට රසවිඳින්න දානවනම් යෙහෙකැයි ☺
මුහුණු පොතටත් දැම්ම ඕන්. කියෝන කෙනෙක් තමා නැත්තෙ. ලින්ක් එක අන්න උඩම පොස්ට් එකේ තීනෝ. බෝම ඉෂ්ටුටියි එහෙනං ඈ.
Deleteගියා, දැක්ක 👍
Deleteකවි - නිසඳැස් FB සංසද වලට දැම්මොත්. කාලෙකට පහු... පේජ් එකටත් කියවන ඈයො ගොඩවැදෙයි නෙ