Tuesday, January 11, 2022

187. සමහරක් අය

 



















සිදුරු කරගෙන පොලෝ හදවත 
ඉතා ගැඹුරට කිඳා බැස්සේ ටිකෙන් 
ටික එසවෙමින් ඉහලට 
හෙමින් සාරය උරා ගත්තේ 
ඛාදනය වී ගිලන් වන හද 
ඒත් ඒ කිසිවෙකු නොදත්තේ 
මුදුන් මුල් නැති සමහරක් ගස් 
තමයි පොළොවක් වසා ගත්තේ 

හෝස් ගා ඉර එවන අව්වෙන් 
හැකි තරම් සැර උරා ගත්තේ 
කුඩා පත් දස දහස් ගණනින් 
හලා බිම තෙත රඳා ගත්තේ 
ඉරි තැලෙන්නට ඉඩ නොදී හිත
වසාගෙන හෙවණැල්ල මත්තේ 
මල් පිපෙන්නැති සමහරක් ගස් 
තමයි පොළොවක් බලා ගත්තේ

සියල්ලම මායාවකැයි කී 
ලොවෙත් යම් සත්‍යයන් ඇත්තේ
නැවතුමේ දිවි, ලැගුම් අහිමිය
සැරිසරන්නට පමණි හැක්කේ 
හිමි නොවූ සඳ අතහැරි යන 
වැඩිමනත් සිත් සතන් මැද්දේ 
හිමිකමක් ගැන නොම සිතූ අය 
තමයි ප්‍රේමය හොයා ගත්තේ!



7 comments:

  1. Replies
    1. මේ පැත්තට එන්ට
      https://frozenlazyowl.blogspot.com/2022/01/blog-post.html?showComment=1641882546012#c8732485911838012658

      Delete
    2. බොහොම ටැංකිව් නමී. අපේ ගෙදර එන පාර කියා දීල නේද. මම ගියා ඒ පැත්තට. මගෙ අම්මෝ මහ බරසාර කතා නේ තියෙන්නෙ. මට ඔක්කොම තේරුණ නිසා ඉතින් අදහසක් නොකියම ආපහු එන්න ආව. :)

      Delete
  2. නමිය පෙන්නපු පාර දිගේ ආවෙ. මට එතරම් කවි රස වින්දන හැකියාවක් නම් නෑ. ඒත් මෙහෙ හොඳ ලස්සන කවි තියනවා. කවි වලටම ගැලපෙන පිංතූර දාලත් තියනවා.🙏👌😊

    නමියගෙ ප්‍රමෝට් කිර්‍රිමත් අගය කරන්න ඕනෙ වැඩක්. ලියන අයගෙ අගේ තේරුනේ, බ්ලොග් ලෝකෙට වාරකං ආපු පහුගිය කාලෙදියි.🤔

    ReplyDelete
    Replies
    1. මේ ලොකු මහත්තැන් කෙනෙක් නේද ඇවිල්ල ඉන්නෙ. බොහොම ටැංකිව් වේවා ආවට. ඇත්තෙන්ම නමී ලොකු උදව්වක් කරලා තියෙන්නෙ. ආපහු ටැංකිව් මහත්තුරු දෙන්නටම.

      Delete
  3. මෙහාට පාර පෙන්නුවාට ස්තුතියි නමී.

    මල් පුබුදුවත් නැතත් ලස්සන
    නොදුන්නත් පල ඉතා රසබර
    ගහක් කරනා මහා මෙහෙවර
    කියන්නට වටිනවා කවි කර

    රඳවනා'තර පොළොවෙ තෙතමන
    උරා ගනිමින් හිරුගෙ කිරණද
    අම්ලකර නිපදවා ලන්නද
    ගහක් මෙලොවට බිහි වුණේ?

    ගහක සෙනෙහස නිමක් නොමැතියි
    කළත් පීඩා ගණන් නොගනියි
    කරන්නේ යහපතම පමණයි
    ඒක නොවෙදෝ ආදරේ!







    ReplyDelete
    Replies
    1. ඇවිල්ල කවියක් දුන්නට බොහොම ටැංකිව් නිදි තුමා. අඩු පාඩුවක් තියේ නම් පෙන්නල දෙන්න මටත්. මේ පැත්තේ ආව එකම කොච්චර දෙයක්ද. දෙන්නටම ස්තුතියි.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.