Thursday, March 31, 2022

226. ඉවසීම ?

















විමානෙට රෑ වෙලා එනකොට 
පළාතෙම ගණ අඳුර පමණය 
විඩාවට පත් වෙච්ච නගරය  
මලානික රූ සැවොම නිසලය  
අදත් දවසේ සාරාංශය 
කිසිත් වෙනසක් නොමැති අයුරය 
තවත් දවසක් අතීතය වෙත 
එකතු වී දැන් ගියා පමණය 

රෑට කළුවර අන්ධකාරෙට 
දෙනෙත් නෑ ඇත්තටම අන්ධය 
ඊට හරියන නිහැඬියාවද 
මවා පානා හැඟුම ගුප්තය 
හිතක් පපුවත් නැතත් සුළඟක් 
මලක් ඉඹලා ගියා පමණය 
කිසිත් පැතුමක් නොයිපදී හිත 
බංකොලොත් වුන අයුර පුදුමය  

කරන්ට් එක නැති තවත් දවසක් 
හෙටත් පායා ඒම නියතය 
සුසුම් රැල්ලෙන් සුළි කුණාටුව
තවත් හැඩි දැඩි වීම නිසැකය 
වහින්නට බැරියෙන් ගිගුම් දී 
අහස කරබා හිඳිනු පමණය 
විනිශ්චය තෙක් සියලු අවනඩු 
ඉවසනා එක අපට උරුමය...



1 comment:

  1. 'සුසුම් රැල්ලෙන් සුළි කුණාටුව' - මේම දිගටෝම ගියොත් ආරාබි වසන්තය වගේ එකක් මෙහෙත් එයි....

    ReplyDelete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.