Friday, May 17, 2019
79. කල මැන එතෙර
දුටු සඳ වුවන දෙනයන කඳුළින් පෙඟුනී
හදවත් මොහොතකට නවතින බව හැඟුනී
දුක හැර මෙ සසරින් එතෙරට යන රිසිනී
අබිනික්මන් කරන මගෙ පොඩි මලනුවනී
වදනක් දොඩන්නට එන්නට ලඟට ඉතින්
නුහුරක් දැනේ වෙන්වෙන මොහොතකට කලින්
තවමත් බලා ඉමි නෑවිත් ලඟට දුරින්
අවසර යයි කියමි කෙලෙසක සැලෙන හදින්
ඇස වැනි පුතණු සසුනට දන් දුනුව නියා
දැඩි බැව් සිතෙහි ඇතිකර ගන්නෙමැයි කියා
සිටිමුත් එසැම සිතුවිලි අද පසෙක තියා
වාවා ගනු බැරිව වැළපෙයි මෑණි පියා
පුරමින් පාරමී සසරෙහි පිය මැන්න
දකිමින් පෙර නිමිති සසරෙහි බිය ගැන්න
ඉසි කෝ මන් නොමැති පින් සිත සිඹිමින්න
ඔබ රුව ගුණ පෙනේ අද පුන් සඳ වැන්න
සැබවින් නිරාමිස සතුටක සුව රිසිනී
නික්මුණු සේය අතහැර ගිහි ගෙය තුටිනී
මෙතෙකැයි කියන්නට බැරි තරමට ඉතිනී
මගෙ මලණුවන් පින් කර ඇතිබැව් දැනුනී
ගනිමින් කමටහන් නොනිමෙන බව කතර
දරමින් කසාවත් බුදු හිමි ළඟ වැතිර
වඩමින් බවුන් සිඳ බිඳ දුකඳුර සසර
අපවත් කෙදිනකදී හෝ කල මැන එතෙර !
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.
++++++++++++++++
ReplyDeleteඅත්දැකීමක්ද?
බොහොම ස්තුතියි ඉයන්. ඔව් අත්දැකීමක් තමයි. සමීපතම යෙහෙළියකගේ බාල මලණුවන් පැවිදි දිවියට ඇතුලත් වූ දිනයේ පහල වූ සිතුවිලි වලින් බිඳක් මෙහි ඇතුලත්.
Delete