Tuesday, May 7, 2019

71. අම්මේ ලබන පෝයට එනවා ගෙදර













කෙණෙහිලි කරන සුළඟට විත් හතර වටින්
බිමටම හැලෙන පොඩි පොඩි මල් බුරුතු පිටින්
මිදුලේ වෙරළු ගහ යට සුව හෙවන යටින්
කවුරුත් නැතිව ගල් බැංකුව හිඳී දුකින්

උණ ලී කඩුල්ලේ ලී ටික හැර දාලා
පාරට වැවුන පොඩි තණකොළ ගලවාලා
පොල් අත්තේ රටාවට හැඩ වැඩ දාලා
ගෙදරම ලස්සනයි සුදු වැලි අතු ගාලා

දෙහි ගහ යට ලෑල්ලේ අත්තටු සලමින්
එක එක තාලෙනී උන් උන් හා දොඩමින්
ලේනුන් ගිරවු මයිනන් රොත්තක් යහමින්
බත් කන අයුරු සිතුවම් කර ගමි මනසින්

රෝසද සුදුද තරඟෙට පොකුරට පිපිලා
බංගලි රෝස පඳුරෙහි ඇති මල් පිරිලා
ලිඳ ළඟ සිසිල් දිය සීරාවට එතිලා
නිවිතිය වැලේ ඇති කොළ ලොකුවට හැදිලා

ඒවිද කියා නිතරම පෙර මග බලන
තාමත් කෙට්ටු යැයි නිති මැසිවිලි කියන
මට බත් බෙදන්නට හනිකට ගෙට දුවන
අම්මේ දකින්නට ආසයි නුඹෙ මුහුණ

ආවද පුතේ කියමින් හිස අතගාන
දාඩිය බිංදු මගෙ නළලේ පිසදාන
සුවපත් කරන තුන් සිත දුක් සඟවාන
ආදර තාත්තා නුඹ මගෙ සමප්‍රාණ

සමගින් කොලු කුරුට්ටන් ගම කරක් ගසයි
මලයා පණ්ඩිතයි ගෙදරම ඉතින් යටයි
අද නම් නින්ද යයි කොළඹට අනේ යසයි
එකටෙක කියන විට ගුටියක්‌ දෙන්න හිතයි

පොඩි බත් කූරන්ට කුරුමානම අල්ලා
මුනිවත රකින ඉඳහිට වලිගය හොල්ලා
ඉන්නා සීනු හැංගී ගෙන හොර ගුල්ලා
පොල් ගානකොට එනවා ඇති පොල් ඉල්ලා;

තරගෙට සින්දු කියමින් නලියන නටන
පොල් කටු අරන් සද්දෙට තාලම ගහන
දෝණිල චූටි ලා බිම වැලි බත් උයන
ආසයි බලන්නට සෙල්ලම් ගෙය හදන

හැල්මේ දුවන ලොව හා මුහු වෙන අතර
පිම්මේ දුවයි සිත නම් ගෙදරට නිතර
ගෙව්වේ මසක් දිගු වුන කල්පය විතර
අම්මේ ලබන පෝයට එනවා ගෙදර !

4 comments:

  1. මට ගෙදර මතක් උනා මේක කියවලා. ලස්සනට ලියල තියෙනවා. සීනු කියන්නේ පුසෙක් ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට. ඔව් සීනු කියන්නේ පූස් තඩියෙක්. එයා පොඩි කාලේ කෑ ගහනකොට සීනුව ගහනවා වගේ. ඉවරයක් නෑ. ඒක හින්ද සීනු කියල නම දාල තිබුනේ අපි.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.