Monday, May 13, 2019

74. දල්වන පහන් ගණනින් සිත් පහන් නොවේ













පින් සිතුවිලි දරා සිත ගත පහන් වන
පන්සල් බිමේ මෙත් සිසිලෙන් සිසිල් වුන
සැරසෙන බුදු පුදට තෙල් මල් පහන් ගෙන
පින්වත පින්වතිය මේ බව සිතනු මැන

ගලවා පාවහන් සැම නියමිත තැනෙහී
සන්සුන් ගමන් ලීලාවෙන් එන සඳෙහී
දෙව්රම් වෙහෙර මේ යැයි කරවන මෙනෙහී
සැනසුම් සුවය ගෙනදේ නිරතුරු සිතෙහී

සංවර කතා බහ මුවගෙහි රැඳෙන විට
බුදු ගුණ එකින් එක සිහියට නැගෙන විට
බැති බර හැඟුම් උපදී දුටු තැනෙහි සිට
සැරසී සුදු වතින් පන්සල් පැමිණි විට

පර මල් නියම තැන වෙත ගොස් දැමීමෙන්
තැන තැන ඉතිරි නැටි කොළ නොම හැලීමෙන්
පිරිසිදුකම රැකේ පිළිවෙල දැනීමෙන්
පුජාසනේ නිසි තැන මල් තැබීමෙන්

පහනුත් හඳුන් කූරුත් නිති දල්වන්නේ
නියමිත තැනෙහි පමණයි සිහියට ගන්නේ
තෙල් බිම හලා කිසි විටකදී නොමයන්නේ
පිසදා හොඳින් පිරිසිදු කල යුතු වන්නේ

සෙලවෙන විටදි බෝ පත් මෙත් සිසිල සලයි
දැල්වෙන පහන් බෝ මළුවම එලිය කරයි
නල මුසු මල් සුවඳ නිහඬව සිතට ගලයි
දහසක් දෙව් බඹුන් මෙහි සිය බැල්ම හෙලයි

තෙරුවන් වැඩ සිටින තෙද බල රැඳුන නොමින්
ගුණ නැණ බෙලෙන් යුතු මිනිසුන් තැනුව නිතින්
කවදත් සුදුසු පන්සල් බිම පමණි ඉතින්
ලද තැන ඉසිඹුවක් දිව එනු පිණිස සැණින්

පන්සල් බිමක බෝ සෙවනක දැනෙන සුවේ
ලද හැකි කමක් නැත අන් කිසි තැනක ලොවේ
මෙත් කරුණාව මිස ගෙන දෙන සිතෙහි සුවේ
දල්වන පහන් ගණනින් සිත් පහන් නොවේ !!!

3 comments:

  1. පන්සල පල්ලියද කෝවිල සැම තැනම
    හැසිරෙන විටදී ඇතිකර සංවර කමම
    වැඩිහිටියන් සමග පොදුවේ දරු කැලම
    සිටිතොත් එයයි යුතුකම අපගේ පරම

    ReplyDelete
    Replies
    1. මාත් සිටින්නේ එතැන. මේ කවි ටික ලිව්වේ මගේ යාලුවෙකුගේ ඉල්ලීමකට බොහෝ කලකට කලින්. ගෙදර ළඟ තියෙන තියෙන පන්සලට යන එන විට දකින අඩුපාඩු එයා මට කිව්වා. හැමදෙනාම වගේ බලන්නේ වැඩිම පහන් ගණනක් දල්වන්න. එහෙම කරනකොට තමුන් අතින් අපවිත්‍ර වුනු තෙල් සහිත බිම පිසින්න, රොඩු අස් කරන්න, අවට පොඩිත්තක් පිරිසිදු කරන්න වුවමනාවක් ගොඩක් දෙනාට නැහැ. ඉතින් අපි මේ කවි ටික ප්‍රින්ට් කරලා පන්සල් භුමියේ තැන තැන ප්‍රදර්ශනය කරා. ඉන්පසු තත්වය තරමක් යහපතු වුන බව තමයි මගේ යහළුවා පසුව මා සමග පැවසුවේ.

      ඔබට බොහොම ස්තුතියි මෙහි ආවාට.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.