Friday, May 10, 2019

72. ඇවිදින් ලොකු නෝනා
















කරදර අපිට දහසක් එක පිට ගේනා
කාලය උදා වී ගෙන එන බව පේනා
මොනවා කරන්නද ඉවසීමයි ඕනා
ඇවිදින් ගමේ සිට කොළඹට ලොකු නෝනා

අරගෙන පේර කෝටුව දොරකඩෙහි ඉඳ
ගස්සයි නිතර පුප්පයි දෙයි අපට වද
අයිනක් ගහන් බුම්මාගෙන හිඳින සඳ
දන් නෑ කවුරුවත් අපෙ දුක තිබෙන හද

ගෙය ඇතුලත අපිට තහනම් කලාපෙකී
මිදුලත් ළඟදි අහිමිව යන විලාසෙකී
බොහොමයි වෙනස්කම් කෙනෙහිලි විමානෙකී
සිදුවී තිබෙන්නේ මහ ලොකු විනාසෙකී

එළවලු පාත්තියෙ දැක්කොත් ඇවිදිනවා
දුවගෙන ඇවිත් අපි අහකට එලවනවා
කූරෙක් සමනලෙක් හෙම බොරු අල්ලනවා
කල පව් මදිද අසමින් එය වළකනවා

ඇවිදින් ජනේලෙන් ගෙට එබුනොත් දුකට
සිදුවෙයි වතුර නාගෙන යන්නට හොඳට
බඩගිනි වෙලා ඉවසන් හිටියත් තදට
දෙන්නේ හරිම චුට්ටයි කන්නට අපට

මාලුයි බතුයි දාලා සුදු අතින් අනා
අමතා ආදරෙන් ළඟටම අපගෙ ගෙනා
පොඩි නෝනත් සමග එදවස මැව්ව සිනා
වාගේ සිහිනයක් අද සිත සතුට ගෙනා

හප්පේ මෙවුන්ගේ හැටි පැස්බරුන් වගේ
කාලා හොඳට තදකර බඩ නිදන රඟේ
දැක්කම නැතිව යනවනෙ ඉවසීම මගේ
කිය කිය දෙහි කපයි අපි හට දමයි තගේ

ඉන්නව මිසක් කොච්චරවත් මෙහිම තැප
බළලුන් හට මොකට දෙනවද මෙහෙම සැප
නරකද ගිහින් පන්සලකට කලොත් කැප
ගෙවිලා දෙකන් අහලා බණ නොමැත ඇප

මාරක අපල ගෙවමින් දවසක් ගානේ
මේ දුක විඳින්නට තව නම් බැරිවානේ
චුට්ටක් නිදහසේ ඉන්නට ඉඩ ඕනේ
කවදද ගෙදර යන්නේ අනෙ ලොකු නෝනේ

6 comments:

  1. කව්දෑ ඔය ලොකු නෝනා?

    ReplyDelete
    Replies
    1. ආ..එයා තමයි පොඩි නෝනාගේ මහත්තයාගේ අම්මා. එයාට පූසො අරහං.

      Delete
  2. දැන් එතකොට පොඩි නෝනා ගන්නේ කාගේ පැත්තද? නැන්දම්මාද? පූසෝද? 

    ReplyDelete
  3. අමාරුවේ වැටෙන ප්‍රශ්න ඔට්ටු නැතෝ. ස්තුතියි චතු අදහසට.

    ReplyDelete
  4. ලොකු නෝනා සිල් ගන්නවා නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් සිල් ගන්නවා. පෝයදාට පූසන්ට පොදු සමාව හම්බවෙනව ඒ නිසා. බොහොම ස්තුතියි පැමිණීමට සහ ප්‍රතිචාරයට.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.