Saturday, May 4, 2019

70. අවුරුදු සිරි



පැතිරේ කොවුල් නද දසතෙහි ඉමිහිරිය
සුපිපේ දොරින් දොර බක්මහ සුහදිනිය
මිහිරේ කුමාරිය නැවතත් සපැමිණිය
ඉතිරේ ගමේ බක්මහ අවුරුදු සිරිය

සුළඟින් හමන එරබදු මල කිනිති සැලේ
පුහුලන් පුරෝගෙන කජු අතු නැමෙන වෙලේ
සුවදින් කැවුම් අතිරස මුං බැදෙන තෙලේ
සතුටින් ලොකු කුඩා හැම හදවතම වෙලේ

එක්කර ළමා ළපටින් මහ සෙනග මැද
පන්සල් ගොසින් නොනගතයෙහි මුනිඳු වැඳ
පින්පෙත් සදා කරමින් ගන්ටාර නද
එක්වේ සැවොම නව අවුරුදු ලබන සඳ

එකවිට මොලවලා ලිප ගිනි සුබ නැකතින්
එකවිට උතුරුවා කිරි, කිරි බත පිසිමින්
එකවිට අල්ලලා වැඩ ගනුදෙනු කරමින්
එකවිට සැවොම සමරති අවුරුදු මැනවින්

විග්‍රහ කරන එක එක අයුරින් දකින
නිග්‍රහ කරත් සමහරු මෙසිරිත් නිතින
මේ සා සොඳුරු දිනයක් හමු වෙද කොතැන
මැඳුරට පැලට එකවිට සිරිදුව වඩින

සැරසේ කැවුම් අතිරස මුං සහ පිරිස
කිරිබත් කෙසෙල් මේසෙට එක්වනු පිනිස
උම්බලකඩ පවා නොයෙදුව ලුණු මිරිස
පුරවයි අහිංසක සිතුවිල්ලෙන් මනස

සතෙකුට කිසිම අබමල් රේණුවක තරම්
හිංසා නොකර මෙත් සිත පෙරදැරිව උතුම්
අවුරුදු කෑම මේසය ගම සැදුව නැවුම්
පුරවයි සිතේ මිහිරිම මතකයක හැඟුම්

දූ දරු පිරිස තැන් තැන් වල විසිර ගිය
පැමිණෙති දකිති මව් පිය නෑ පිරිස සිය
නමමින් දෙදණ නමදින පා කමල පිය
දසුනකි සොඳුරු මඳකට හද තෙතව ගිය

කරනට බොහොම අපහසු ගම එක්කාසූ
අවුරුදු දිනෙහි එක්වෙයි නැත ඉස්පාසූ
සරදම් සිනා මෙතුවක් කලෙකට නෑසූ
බෝවී තුඩින් තුඩ සැණකෙළියකි සෑදූ

වල කජු, පංච, පොර පොල්, අඹ කොට්ටන්ය
කඹ’දිලි, ග්‍රීස් ගහ, කොට්ටා පොරයන්ය
චක්‍ ගුඩු , එල්ලෙ, ජන කවි, ඔන්චිල්ලන්ය
වත්මන් මෙඅප නොම අර ගත් වත්කම්ය

ටික ටික නාගරීකරණය වෙන්න ඇවිත්
දැන් දැන් සුන්දරත්වය දියවෙන්නෙ ගමෙත්
නටඹුන් වෙලා ඉතිරිව නොම යයිද කිසිත්
සැක සංකා සිතේ සක්මන් කරයි යලිත්

ඉර හඳ පරිසරය සහ ගහ කොළට ලැදී
කෙලි සෙල්ලම් නොහිම් ප්‍රීතිය සිතට සැදී
ගැමි ජීවන සුවඳ අවුරුදු සඳෙහි විඳී
මියෙනා තුරු තියෙනු ඇත සිත පතුලෙ රැඳී.

4 comments:

  1. ඔබ මාව මගේ අම්මලාගේ ගමට ගෙනගියා . අවුරුදු 35-40 කට කලින් මම දැකපු ගමේ කජු පුහුලන් , මහ නියරෙන් යන ගමේ පන්සල වගේම එදා අවුරුදු උත්සවය , කිරි අම්මා කැවිලි හදපු හැටි . හරිම අපුරුයි . මගේ පෞද්ගලික අදහස කවි පන්තියක් කොටස් 5 කට වැඩි වෙන්න හොද නැහැ කියල . ඒ කියවන්නාගේ අවධානය ගිලිහෙන හින්ද . ඔබටම කපල කොටලා ඒක හදාගන්න පුළුවන් . මම කලින් මේ බ්ලොග් එක දැකල තිබුණෙ නැහැ . ඉදිරියේදී සවන ගුවන් විදුලියට කවි මිණි ආර කියල කවි වැඩසටහනක් කරන්න සුදානම් වෙනවා . හරියට දින වකවානු කියන්න නම් බැහැ . අවසර දෙනවා නම් ඔබේ කවි ගන්න පුළුවන් . මගේ විද්යුත් ලිපිනය anuruddhawe@yahoo.com

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අනුරුද්ධ. කවි පන්ති දිග වැඩියි කියන ප්‍රතිචාරය මට මීට පෙරත් ලැබී තිබෙනවා මගේ මුතුරු මිතුරියන් වෙතින්. ඇත්තටම දිගට ලියවෙන එක මට තියෙන පොඩි ලෙඩක්. ලිව්වට පස්සේ ආපහු කපන්න කොටන්න හිතෙන්නේ නැහැ. ඉදිරියේදී මේ අඩුපාඩුව හදාගන්න බලන්නම්.කවි මිණි ආර සඳහා ඔබ කැමති කවියක් ගන්න. අවසර ලැබෙනවා උඩින්ම.

      Delete
  2. ලස්සනයි. අර උඩ පින්තුරයේ ඔන්චිලි පදින්නේ ඔයාද.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චතු. අනේ නෑ ඒකෙ ඉන්නේ මම නෙමෙයි. අන්තර්ජාලයෙන් හම්බ උනේ.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.