Showing posts with label පරණ කවි. Show all posts
Showing posts with label පරණ කවි. Show all posts
Monday, June 3, 2019
81. උරුමය දිනෙක
ඉඹ ඉඹ මලක් නැති ගහ කොළ නටුද තද
පියඹන දසත පොඩි අත්තටු සඟල විද
සමනළයෙක් දැකුම කලකට පසුව අද
දුකකින් සිහින් සුසුමක් පිට කළා හද
ඉස්සර වගේ වැඳ ගන්නට මුනි සිරිපා
සමනොළ ගිරට යන් නැතිවද දැන් පියඹා
රෑනින් රෑන සරමින් විසිතුරු හඟවා
ගියහැටි එදා තව ඇත මතකයෙ රඳවා
පෙරළී සොබාදම නොපිටට නිරන්තරෙන්
ඉදි වන කොන්කිරිට් ගණ මහ වනන්තරෙන්
ඉඩ දී තරඟයට පසු බැස සෙමෙන් සෙමෙන්
සියොතුන් වහං වී ඇත මනු සතුන් කෙරෙන්
එලියද අඳුර, අව්, වැසි කිසිවක් නොදැන
සීතල කාමරය තුල දවසම ගෙවෙන
මොහොතක ඉසිඹුවක් සිතකට හමු නොවන
ජීවිත යන්තරය අධි වේගෙන් දිවෙන
සුවිසල් ගොඩනැගිලි අහසට නැගෙන වගයි
මාවත් පුළුල් වී ජන ගඟ ගලන වගයි
සංවර්ධනය දැයි නෙත පැටලැවෙන වගයි
කවි සිත සුසුමකට නතු වී අහක බලයි
ඉදිකළ තාප්පය මායිම වටවෙන්න
සවිවුන ගේට්ටුව ඇතුලට කොටු වෙන්න
සැඟවී මැඳුරු තුල කාටත් නොපෙනෙන්න
මිනිසුන් රිසිය සිර කරුවන් ලෙස ඉන්න
අත් පත් කරන් ඇල දොළ ගහ කොළ මල්ද
තම රිසි නොරිසි කම් මත්තෙම ඉනු මන්ද
මිනිසුන් සතා සීපා වෙනසක් කොයිද
උරුමය දිනෙක මේ මහ පොළොවම නොවෙද
හිරුගේ එළිය මවගේ කිරි සැදූව ලොවේ
ඉතිරිව තිබේදැයි සැකයකි සිතෙහි සුවේ
හිතුවක්කාර ගමනක නිම, ගෙනෙන සොවේ
මතුවට අපට කපුටෙකු හෝ ඉතිරි නොවේ.
Monday, May 27, 2019
80. ගෙදර එනතුරු
රෑවී ළඟ ලඟම අඳුරද මතු වෙන්නා
බෑවී ඉවසීම මක, තරහක් එන්නා
ආවී නැහැ ගෙදර තාමත් අර දෙන්නා
ගිය පසු උදේ නැගිටල දඩි බිඩි ගාලා
අපි මෙහෙ තට්ට තනියම අත හැර දාලා
රෑ බෝ වෙලත් ගෙදරක් ගැන නොහිතාලා
මක් කරනවද දන් නැහැ මෙච්චර වේලා
ඉන්නට තැනක් තිබු පමණින් අපිට සුව
කන්නට යමක් දුන් පමණින් ළඟට තව
පූසන් ටත් හිතක් පපුවක් තියෙන බව
තේරුන්නැති එකයි දෙන්නට, අපගෙ පව
යන්තම් ශේප් වි උදයේ දුන් කෑමෙන්
ඉවසන් ඉන්නෙ අපි තුන් කට්ටුව සෝකෙන්
දුවගෙන ගොස් මගට කකුලට පැන වේගෙන්
අඟවන්නෝන කෝපය බෙරිහන් දීමෙන්
එල්ලෙන විට මිරිස් පොඩි ගස්වල රුවට
ඉන්නම බැරුව කඩලා දැම්මනෙ බිමට
කොළ ටික රම්පෙ පඳුරෙහි ඉරමින් හොඳට
වැනසුව පලාතම අරගෙන අපෙ අතට
දඟ වැඩ පොඩි උන්ට කැප බව දත් හින්දා
පෙරලල බිමට මල් පැළ ඔක්කොම බින්දා
බඩු ඇද හොඳම සන්තෝසමකුත් වින්දා
මදි මුත් හිතට වෙන මක් කරමුද මන්දා
නැගගෙන දර කොටයකට පුප්පගෙන බලන්
දිරි ගෙන හිතට කල යුතු දෙය මෙනෙහි කරන්
ඉන්නේ ඔරවගෙන පාරට දෙනෙත යොමන්
ගෙදරට කොයි වෙලේ දෙන්නා එයිද බලන්
ආදෙන් අද ගෙදර ඉවසුම් නෑ හිතට
රෑ කෑ ගහල වද දෙනවාමයි තදට
පොඩි හරි සමාවක් දිය හැකි වෙයි අදට
යෝගට් වත් අරන් ආවෝතින් අපට.
Friday, May 17, 2019
79. කල මැන එතෙර
දුටු සඳ වුවන දෙනයන කඳුළින් පෙඟුනී
හදවත් මොහොතකට නවතින බව හැඟුනී
දුක හැර මෙ සසරින් එතෙරට යන රිසිනී
අබිනික්මන් කරන මගෙ පොඩි මලනුවනී
වදනක් දොඩන්නට එන්නට ලඟට ඉතින්
නුහුරක් දැනේ වෙන්වෙන මොහොතකට කලින්
තවමත් බලා ඉමි නෑවිත් ලඟට දුරින්
අවසර යයි කියමි කෙලෙසක සැලෙන හදින්
ඇස වැනි පුතණු සසුනට දන් දුනුව නියා
දැඩි බැව් සිතෙහි ඇතිකර ගන්නෙමැයි කියා
සිටිමුත් එසැම සිතුවිලි අද පසෙක තියා
වාවා ගනු බැරිව වැළපෙයි මෑණි පියා
පුරමින් පාරමී සසරෙහි පිය මැන්න
දකිමින් පෙර නිමිති සසරෙහි බිය ගැන්න
ඉසි කෝ මන් නොමැති පින් සිත සිඹිමින්න
ඔබ රුව ගුණ පෙනේ අද පුන් සඳ වැන්න
සැබවින් නිරාමිස සතුටක සුව රිසිනී
නික්මුණු සේය අතහැර ගිහි ගෙය තුටිනී
මෙතෙකැයි කියන්නට බැරි තරමට ඉතිනී
මගෙ මලණුවන් පින් කර ඇතිබැව් දැනුනී
ගනිමින් කමටහන් නොනිමෙන බව කතර
දරමින් කසාවත් බුදු හිමි ළඟ වැතිර
වඩමින් බවුන් සිඳ බිඳ දුකඳුර සසර
අපවත් කෙදිනකදී හෝ කල මැන එතෙර !
Monday, May 13, 2019
74. දල්වන පහන් ගණනින් සිත් පහන් නොවේ
පින් සිතුවිලි දරා සිත ගත පහන් වන
පන්සල් බිමේ මෙත් සිසිලෙන් සිසිල් වුන
සැරසෙන බුදු පුදට තෙල් මල් පහන් ගෙන
පින්වත පින්වතිය මේ බව සිතනු මැන
ගලවා පාවහන් සැම නියමිත තැනෙහී
සන්සුන් ගමන් ලීලාවෙන් එන සඳෙහී
දෙව්රම් වෙහෙර මේ යැයි කරවන මෙනෙහී
සැනසුම් සුවය ගෙනදේ නිරතුරු සිතෙහී
සංවර කතා බහ මුවගෙහි රැඳෙන විට
බුදු ගුණ එකින් එක සිහියට නැගෙන විට
බැති බර හැඟුම් උපදී දුටු තැනෙහි සිට
සැරසී සුදු වතින් පන්සල් පැමිණි විට
පර මල් නියම තැන වෙත ගොස් දැමීමෙන්
තැන තැන ඉතිරි නැටි කොළ නොම හැලීමෙන්
පිරිසිදුකම රැකේ පිළිවෙල දැනීමෙන්
පුජාසනේ නිසි තැන මල් තැබීමෙන්
පහනුත් හඳුන් කූරුත් නිති දල්වන්නේ
නියමිත තැනෙහි පමණයි සිහියට ගන්නේ
තෙල් බිම හලා කිසි විටකදී නොමයන්නේ
පිසදා හොඳින් පිරිසිදු කල යුතු වන්නේ
සෙලවෙන විටදි බෝ පත් මෙත් සිසිල සලයි
දැල්වෙන පහන් බෝ මළුවම එලිය කරයි
නල මුසු මල් සුවඳ නිහඬව සිතට ගලයි
දහසක් දෙව් බඹුන් මෙහි සිය බැල්ම හෙලයි
තෙරුවන් වැඩ සිටින තෙද බල රැඳුන නොමින්
ගුණ නැණ බෙලෙන් යුතු මිනිසුන් තැනුව නිතින්
කවදත් සුදුසු පන්සල් බිම පමණි ඉතින්
ලද තැන ඉසිඹුවක් දිව එනු පිණිස සැණින්
පන්සල් බිමක බෝ සෙවනක දැනෙන සුවේ
ලද හැකි කමක් නැත අන් කිසි තැනක ලොවේ
මෙත් කරුණාව මිස ගෙන දෙන සිතෙහි සුවේ
දල්වන පහන් ගණනින් සිත් පහන් නොවේ !!!
Friday, May 10, 2019
72. ඇවිදින් ලොකු නෝනා
කරදර අපිට දහසක් එක පිට ගේනා
කාලය උදා වී ගෙන එන බව පේනා
මොනවා කරන්නද ඉවසීමයි ඕනා
ඇවිදින් ගමේ සිට කොළඹට ලොකු නෝනා
අරගෙන පේර කෝටුව දොරකඩෙහි ඉඳ
ගස්සයි නිතර පුප්පයි දෙයි අපට වද
අයිනක් ගහන් බුම්මාගෙන හිඳින සඳ
දන් නෑ කවුරුවත් අපෙ දුක තිබෙන හද
ගෙය ඇතුලත අපිට තහනම් කලාපෙකී
මිදුලත් ළඟදි අහිමිව යන විලාසෙකී
බොහොමයි වෙනස්කම් කෙනෙහිලි විමානෙකී
සිදුවී තිබෙන්නේ මහ ලොකු විනාසෙකී
එළවලු පාත්තියෙ දැක්කොත් ඇවිදිනවා
දුවගෙන ඇවිත් අපි අහකට එලවනවා
කූරෙක් සමනලෙක් හෙම බොරු අල්ලනවා
කල පව් මදිද අසමින් එය වළකනවා
ඇවිදින් ජනේලෙන් ගෙට එබුනොත් දුකට
සිදුවෙයි වතුර නාගෙන යන්නට හොඳට
බඩගිනි වෙලා ඉවසන් හිටියත් තදට
දෙන්නේ හරිම චුට්ටයි කන්නට අපට
මාලුයි බතුයි දාලා සුදු අතින් අනා
අමතා ආදරෙන් ළඟටම අපගෙ ගෙනා
පොඩි නෝනත් සමග එදවස මැව්ව සිනා
වාගේ සිහිනයක් අද සිත සතුට ගෙනා
හප්පේ මෙවුන්ගේ හැටි පැස්බරුන් වගේ
කාලා හොඳට තදකර බඩ නිදන රඟේ
දැක්කම නැතිව යනවනෙ ඉවසීම මගේ
කිය කිය දෙහි කපයි අපි හට දමයි තගේ
ඉන්නව මිසක් කොච්චරවත් මෙහිම තැප
බළලුන් හට මොකට දෙනවද මෙහෙම සැප
නරකද ගිහින් පන්සලකට කලොත් කැප
ගෙවිලා දෙකන් අහලා බණ නොමැත ඇප
මාරක අපල ගෙවමින් දවසක් ගානේ
මේ දුක විඳින්නට තව නම් බැරිවානේ
චුට්ටක් නිදහසේ ඉන්නට ඉඩ ඕනේ
කවදද ගෙදර යන්නේ අනෙ ලොකු නෝනේ
Tuesday, May 7, 2019
71. අම්මේ ලබන පෝයට එනවා ගෙදර
කෙණෙහිලි කරන සුළඟට විත් හතර වටින්
බිමටම හැලෙන පොඩි පොඩි මල් බුරුතු පිටින්
මිදුලේ වෙරළු ගහ යට සුව හෙවන යටින්
කවුරුත් නැතිව ගල් බැංකුව හිඳී දුකින්
උණ ලී කඩුල්ලේ ලී ටික හැර දාලා
පාරට වැවුන පොඩි තණකොළ ගලවාලා
පොල් අත්තේ රටාවට හැඩ වැඩ දාලා
ගෙදරම ලස්සනයි සුදු වැලි අතු ගාලා
දෙහි ගහ යට ලෑල්ලේ අත්තටු සලමින්
එක එක තාලෙනී උන් උන් හා දොඩමින්
ලේනුන් ගිරවු මයිනන් රොත්තක් යහමින්
බත් කන අයුරු සිතුවම් කර ගමි මනසින්
රෝසද සුදුද තරඟෙට පොකුරට පිපිලා
බංගලි රෝස පඳුරෙහි ඇති මල් පිරිලා
ලිඳ ළඟ සිසිල් දිය සීරාවට එතිලා
නිවිතිය වැලේ ඇති කොළ ලොකුවට හැදිලා
ඒවිද කියා නිතරම පෙර මග බලන
තාමත් කෙට්ටු යැයි නිති මැසිවිලි කියන
මට බත් බෙදන්නට හනිකට ගෙට දුවන
අම්මේ දකින්නට ආසයි නුඹෙ මුහුණ
ආවද පුතේ කියමින් හිස අතගාන
දාඩිය බිංදු මගෙ නළලේ පිසදාන
සුවපත් කරන තුන් සිත දුක් සඟවාන
ආදර තාත්තා නුඹ මගෙ සමප්‍රාණ
සමගින් කොලු කුරුට්ටන් ගම කරක් ගසයි
මලයා පණ්ඩිතයි ගෙදරම ඉතින් යටයි
අද නම් නින්ද යයි කොළඹට අනේ යසයි
එකටෙක කියන විට ගුටියක් දෙන්න හිතයි
පොඩි බත් කූරන්ට කුරුමානම අල්ලා
මුනිවත රකින ඉඳහිට වලිගය හොල්ලා
ඉන්නා සීනු හැංගී ගෙන හොර ගුල්ලා
පොල් ගානකොට එනවා ඇති පොල් ඉල්ලා;
තරගෙට සින්දු කියමින් නලියන නටන
පොල් කටු අරන් සද්දෙට තාලම ගහන
දෝණිල චූටි ලා බිම වැලි බත් උයන
ආසයි බලන්නට සෙල්ලම් ගෙය හදන
හැල්මේ දුවන ලොව හා මුහු වෙන අතර
පිම්මේ දුවයි සිත නම් ගෙදරට නිතර
ගෙව්වේ මසක් දිගු වුන කල්පය විතර
අම්මේ ලබන පෝයට එනවා ගෙදර !
Saturday, May 4, 2019
70. අවුරුදු සිරි

පැතිරේ කොවුල් නද දසතෙහි ඉමිහිරිය
සුපිපේ දොරින් දොර බක්මහ සුහදිනිය
මිහිරේ කුමාරිය නැවතත් සපැමිණිය
ඉතිරේ ගමේ බක්මහ අවුරුදු සිරිය
සුළඟින් හමන එරබදු මල කිනිති සැලේ
පුහුලන් පුරෝගෙන කජු අතු නැමෙන වෙලේ
සුවදින් කැවුම් අතිරස මුං බැදෙන තෙලේ
සතුටින් ලොකු කුඩා හැම හදවතම වෙලේ
එක්කර ළමා ළපටින් මහ සෙනග මැද
පන්සල් ගොසින් නොනගතයෙහි මුනිඳු වැඳ
පින්පෙත් සදා කරමින් ගන්ටාර නද
එක්වේ සැවොම නව අවුරුදු ලබන සඳ
එකවිට මොලවලා ලිප ගිනි සුබ නැකතින්
එකවිට උතුරුවා කිරි, කිරි බත පිසිමින්
එකවිට අල්ලලා වැඩ ගනුදෙනු කරමින්
එකවිට සැවොම සමරති අවුරුදු මැනවින්
විග්‍රහ කරන එක එක අයුරින් දකින
නිග්‍රහ කරත් සමහරු මෙසිරිත් නිතින
මේ සා සොඳුරු දිනයක් හමු වෙද කොතැන
මැඳුරට පැලට එකවිට සිරිදුව වඩින
සැරසේ කැවුම් අතිරස මුං සහ පිරිස
කිරිබත් කෙසෙල් මේසෙට එක්වනු පිනිස
උම්බලකඩ පවා නොයෙදුව ලුණු මිරිස
පුරවයි අහිංසක සිතුවිල්ලෙන් මනස
සතෙකුට කිසිම අබමල් රේණුවක තරම්
හිංසා නොකර මෙත් සිත පෙරදැරිව උතුම්
අවුරුදු කෑම මේසය ගම සැදුව නැවුම්
පුරවයි සිතේ මිහිරිම මතකයක හැඟුම්
දූ දරු පිරිස තැන් තැන් වල විසිර ගිය
පැමිණෙති දකිති මව් පිය නෑ පිරිස සිය
නමමින් දෙදණ නමදින පා කමල පිය
දසුනකි සොඳුරු මඳකට හද තෙතව ගිය
කරනට බොහොම අපහසු ගම එක්කාසූ
අවුරුදු දිනෙහි එක්වෙයි නැත ඉස්පාසූ
සරදම් සිනා මෙතුවක් කලෙකට නෑසූ
බෝවී තුඩින් තුඩ සැණකෙළියකි සෑදූ
වල කජු, පංච, පොර පොල්, අඹ කොට්ටන්ය
කඹ’දිලි, ග්‍රීස් ගහ, කොට්ටා පොරයන්ය
චක් ගුඩු , එල්ලෙ, ජන කවි, ඔන්චිල්ලන්ය
වත්මන් මෙඅප නොම අර ගත් වත්කම්ය
ටික ටික නාගරීකරණය වෙන්න ඇවිත්
දැන් දැන් සුන්දරත්වය දියවෙන්නෙ ගමෙත්
නටඹුන් වෙලා ඉතිරිව නොම යයිද කිසිත්
සැක සංකා සිතේ සක්මන් කරයි යලිත්
ඉර හඳ පරිසරය සහ ගහ කොළට ලැදී
කෙලි සෙල්ලම් නොහිම් ප්‍රීතිය සිතට සැදී
ගැමි ජීවන සුවඳ අවුරුදු සඳෙහි විඳී
මියෙනා තුරු තියෙනු ඇත සිත පතුලෙ රැඳී.
Thursday, May 2, 2019
69. සැනසුම කොහිද
ලා රතු පාට අහසේ ඉර නිවෙන ගමන්
ගෙවිලා තවත් දිනයක් නිම වේය හෙමින්
කළුවර ඇවිත් බොඳ කර ලන තුරුම නුවන්
තනිවම බලා ඉමි ඈතක දෑස යොමන්
ඉඳහිට ඇසෙන පළගැටියන්ගේ රාවේ
සුව දෙන සුමුදු මද නල දසතින් පාවේ
සුදු මුදු රැසින් විසිතුරු ගෙන හැර පෑවේ
කිම අද පමා සඳ ඇයි තවමත් නාවේ
එක්තැන් නොවන සිතුවිලි රැස නැති මෙල්ල
අත් හැර නොයන වෙහෙසෙනි සිත කැළඹිල්ල
හමුවන රිසින් සසරෙහි වෙරළත වැල්ල
නිහඬව ගලා ගෙන යයි ජීවන රැල්ල
දිවි බර සිතෙහි අහලකවත් නැතිව ගෙවූ
ඉතිරුණ සැහැල්ලුව සිනහව දෝර ගැලූ
පාවෙන වළා රොදකට සිත දෙවෙනි නොවූ
සමනල වයස සුන්දර සිහිනෙකි ගෙවූ
යුතුකම් වගකීම් මත්තෙම හිස රැඳිලා
වියදම් පැත්ත නොදනිම අහසට නැගිලා
කලවම් වෙච්ච ලෝකෙක ගුණ දොස එතිලා
මිනිසත් කමේ පැහැපත් බව ඇත මැකිලා
සතුටින් සිටින අය දුටු විට අප දුකිනී
දුකකින් සිටින අය දුටු විට අප තුටිනී
සිතෙනා අයුරු සැසඳී නොදැනිම ඉතිනී
විමසමි සිතෙහි රූපය සිතුවිලි මතිනී
දින දින ශේෂ වී යන ජීවිත ගමනෙන්
අරුතක් සොයා ගනු වෙනුවට ලෝ දහමෙන්
දිව යති සැවොම එළියට යන මෙරු විලසින්
සැප යයි කියා ගත් මිරිඟුව පසු පස්සෙන්
පිපෙනා මලක මල් පෙත්තක සිරියාව
කුමටද විඳිනු බැරි දෙනෙතක හැකියාව
ගහ කොළ පරිසරය හා සංහිඳියාව
නැති තැන සැඟව යනු නිසැකය හැදියාව
දුවනා ලොවට එක් වී දිව යාම මිසක්
නැවතීමක් සොයා යන්නට නොහැකි කමක්
ඇති බව දැනෙයි නොදනිමි කල යුතුද කුමක්
නොපෙනේ පෙනෙන තෙක් මානේ ඊට මගක්
දරමින් දුකද සැප දෛවෙන් ලැබිය යුතූ
කුහුලින් යුතුව නොපැමිණි හෙට ගැනම සිතූ
ගෙවෙනා ජීවිතේ ඇති නැති රසින් යුතූ
සැනසුම කොතනදැයි තනිවම සිතිය යුතූ..?
ගෙවිලා තවත් දිනයක් නිම වේය හෙමින්
කළුවර ඇවිත් බොඳ කර ලන තුරුම නුවන්
තනිවම බලා ඉමි ඈතක දෑස යොමන්
ඉඳහිට ඇසෙන පළගැටියන්ගේ රාවේ
සුව දෙන සුමුදු මද නල දසතින් පාවේ
සුදු මුදු රැසින් විසිතුරු ගෙන හැර පෑවේ
කිම අද පමා සඳ ඇයි තවමත් නාවේ
එක්තැන් නොවන සිතුවිලි රැස නැති මෙල්ල
අත් හැර නොයන වෙහෙසෙනි සිත කැළඹිල්ල
හමුවන රිසින් සසරෙහි වෙරළත වැල්ල
නිහඬව ගලා ගෙන යයි ජීවන රැල්ල
දිවි බර සිතෙහි අහලකවත් නැතිව ගෙවූ
ඉතිරුණ සැහැල්ලුව සිනහව දෝර ගැලූ
පාවෙන වළා රොදකට සිත දෙවෙනි නොවූ
සමනල වයස සුන්දර සිහිනෙකි ගෙවූ
යුතුකම් වගකීම් මත්තෙම හිස රැඳිලා
වියදම් පැත්ත නොදනිම අහසට නැගිලා
කලවම් වෙච්ච ලෝකෙක ගුණ දොස එතිලා
මිනිසත් කමේ පැහැපත් බව ඇත මැකිලා
සතුටින් සිටින අය දුටු විට අප දුකිනී
දුකකින් සිටින අය දුටු විට අප තුටිනී
සිතෙනා අයුරු සැසඳී නොදැනිම ඉතිනී
විමසමි සිතෙහි රූපය සිතුවිලි මතිනී
දින දින ශේෂ වී යන ජීවිත ගමනෙන්
අරුතක් සොයා ගනු වෙනුවට ලෝ දහමෙන්
දිව යති සැවොම එළියට යන මෙරු විලසින්
සැප යයි කියා ගත් මිරිඟුව පසු පස්සෙන්
පිපෙනා මලක මල් පෙත්තක සිරියාව
කුමටද විඳිනු බැරි දෙනෙතක හැකියාව
ගහ කොළ පරිසරය හා සංහිඳියාව
නැති තැන සැඟව යනු නිසැකය හැදියාව
දුවනා ලොවට එක් වී දිව යාම මිසක්
නැවතීමක් සොයා යන්නට නොහැකි කමක්
ඇති බව දැනෙයි නොදනිමි කල යුතුද කුමක්
නොපෙනේ පෙනෙන තෙක් මානේ ඊට මගක්
දරමින් දුකද සැප දෛවෙන් ලැබිය යුතූ
කුහුලින් යුතුව නොපැමිණි හෙට ගැනම සිතූ
ගෙවෙනා ජීවිතේ ඇති නැති රසින් යුතූ
සැනසුම කොතනදැයි තනිවම සිතිය යුතූ..?
Friday, April 26, 2019
67. ජාදූ
දැඟලිය හැකිය ගමකට සුරතල ඈදූ
සැනසිය හැකිය දැකුමද නෙත සුව සෑදූ
ඔපවිය ගෙදර සතුටට නිති මග පෑදූ
දැරිවිය පූස්, සුරතල් නම විය ජාදූ
වලිගය කොඩිය වගෙ උස්සා ගෙන උඩට
උඩ පැන දුවන් ඒ නම කිව්වම ළඟට
පුරු පුරු ගගා සුරතල් වීමට අතට
ඇවිදින් නිදයි හිස පිරිමැදි විට සැපට
පිට මැද ලේන ඉරි තුන එලෙසම පිහිටී
සුදු මුව පොඩිය බඩ අත් පා නොම කිලිටි
පොඩි ඇස්, වැඩුන ඉව ගස් මොනවට දිගැටි
රෝසයි නාහෙ නිතරම තෙත හුරු බුහුටී
නැගිටින්නට මඳක් උදයෙහි පසු වුනොතින්
නැගගෙන ඇඳ මතට බෙරිහන් දේ තරහින්
විගහට හාල්මැස්සෙක් දුන්නැති වුනොතින්
ඉන්නට නොවේ නොපියයි කට කිසි ලෙසකින්
ලේනුන් එන විටදි පැන පැන බත් කන්න
ඇය හට කිසිම ලෙසකින් බැහැ ඉවසන්න
රැක සිට ඉලක්කය ගෙන උන් අල්ලන්න
පනිනව පැනිල්ලක් ලෝකෙම පෙරලන්න
අප බිම ඉඳී නම් ඇය පුටුවට නගිතී
පුටුවල නම් මෙ අප ඇය මේසෙට පනිතී
නිතරම අපට ඉහළින් ඉන්නට කැමතී
මෙතරම් ලොකුකමක් මින්පෙර දැක නොමැතී
ගෙදරට රැජිණි වගෙ හිටියට බව්වන්ට
බියවී පටන් ගයි වලිගය පිම්බෙන්ට
බල්ලෙකු එන සෙයක් ඇත්නම් දැනගන්ට
සිහි නැහැ දුව ගිහින් ගෙතුලට පැනගන්ට
පොඩි පොඩි කුරුල්ලන් වත්තට එන ඉගිළි
පෙන්නන්නට බැරිව දාගෙන මුර කෙරිලී
පස්සෙන් ගියත් අල්ලන්නට කර පෙරලී
ළඟටම ආව විට උන් යනවනෙ ඉගිළි
පොල් ගස් පේර ගස් බාගෙට නැගිය හැක
වහලය උඩින් වුව පහලට පැනිය හැක
රිංගා ජනෙල් දැල් අතරින් දිවිය හැක
ගෙදරම ඉඳන් සර්කස් දැන් බැලිය හැක
පවරා ඇයව අල්ලපු නිවසෙහි අයට
අවුරුද්දට ගමේ යන්නට විය අපට
සතියක් අවෑමෙන් අප යළි එන කලට
පූසිය ගැබිනියකි පැමිණිය පෙර මගට
තාමත් පුංචි කෙල්ලට සය මස් වියෙහී
සිදු වුනෙ කුමක් දැයි සිතමින් සිටි වෙලෙහී
පූසන් දෙතුන් දෙනෙකුම අප ගෙය වටෙහී
කැරකෙනු දුටු විටදි පහ විය සැක සිතෙහී
අප නැති අතර තුර අප නිවසට වැඩිය
කෙල්ලගෙ හිතද නැම්මුව අරගෙන දිරිය
මනමාලයා කවුරුද මෙහි රැක සිටිය
පැටවුන් ලැබුණු පසු හඳුනා ගත හැකිය
වෙනදා මෙන් දෙතුන් ගුණයක වගෙ කෑම
ඕනෑ කර තිබෙනවා දැන් හැම දාම
එනමුත් කුලප්පුව සමගින් දඟ පෑම
අඩු වෙන බවක් නම් නැහැ පෙනුනේ තාම
බන්ඩිය ලොකුයි පැද්දෙයි ඇවිදින විටදී
සැලකුම් වැඩියි ඇය වෙත ඇත මුල් තැනදී
සුරතල් පූස් පැටියන් නලවන සුවදී
අත්තම්මා කෙනෙකු විය හැක මට ලඟදී.
Subscribe to:
Posts (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.






