Monday, June 3, 2019
81. උරුමය දිනෙක
ඉඹ ඉඹ මලක් නැති ගහ කොළ නටුද තද
පියඹන දසත පොඩි අත්තටු සඟල විද
සමනළයෙක් දැකුම කලකට පසුව අද
දුකකින් සිහින් සුසුමක් පිට කළා හද
ඉස්සර වගේ වැඳ ගන්නට මුනි සිරිපා
සමනොළ ගිරට යන් නැතිවද දැන් පියඹා
රෑනින් රෑන සරමින් විසිතුරු හඟවා
ගියහැටි එදා තව ඇත මතකයෙ රඳවා
පෙරළී සොබාදම නොපිටට නිරන්තරෙන්
ඉදි වන කොන්කිරිට් ගණ මහ වනන්තරෙන්
ඉඩ දී තරඟයට පසු බැස සෙමෙන් සෙමෙන්
සියොතුන් වහං වී ඇත මනු සතුන් කෙරෙන්
එලියද අඳුර, අව්, වැසි කිසිවක් නොදැන
සීතල කාමරය තුල දවසම ගෙවෙන
මොහොතක ඉසිඹුවක් සිතකට හමු නොවන
ජීවිත යන්තරය අධි වේගෙන් දිවෙන
සුවිසල් ගොඩනැගිලි අහසට නැගෙන වගයි
මාවත් පුළුල් වී ජන ගඟ ගලන වගයි
සංවර්ධනය දැයි නෙත පැටලැවෙන වගයි
කවි සිත සුසුමකට නතු වී අහක බලයි
ඉදිකළ තාප්පය මායිම වටවෙන්න
සවිවුන ගේට්ටුව ඇතුලට කොටු වෙන්න
සැඟවී මැඳුරු තුල කාටත් නොපෙනෙන්න
මිනිසුන් රිසිය සිර කරුවන් ලෙස ඉන්න
අත් පත් කරන් ඇල දොළ ගහ කොළ මල්ද
තම රිසි නොරිසි කම් මත්තෙම ඉනු මන්ද
මිනිසුන් සතා සීපා වෙනසක් කොයිද
උරුමය දිනෙක මේ මහ පොළොවම නොවෙද
හිරුගේ එළිය මවගේ කිරි සැදූව ලොවේ
ඉතිරිව තිබේදැයි සැකයකි සිතෙහි සුවේ
හිතුවක්කාර ගමනක නිම, ගෙනෙන සොවේ
මතුවට අපට කපුටෙකු හෝ ඉතිරි නොවේ.
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.
කලකට පෙරදී තිබු යහගුණ මග හැරින
ReplyDeleteඅසල් වාසි අයවත් අමතක කෙරින
තාප්පයක් වෙනුවට මායිම රකින
පාලම් හදමු ඇති ඉඩකඩ යා කරන !
බොහොම ස්තුතියි ඔබතුමාට.
Delete++++++
ReplyDeleteබොහොම ස්තුතියි ඉයන්.
Delete