Tuesday, December 10, 2019

119. දුකම කවියක්















අමුනලා මොහොතකට කලියෙන් මදහසක් මුව පැහැසර
සැනසිලා ඉන්නෙමි කියූවත් ඉවසලා හිත කළුවර
නැවතිලා මතකයක ඉස්සර සුවඳකට හිත හිරකර 
ගොළු වෙලා නිහඬවම වහිනව කදුළු වරුසාවක් බර    

පහුකරන් දුක සතුට ඇවිදන් ආ මගෙහි අත් පටලලා
අප නැතත් වෙන අය හිදී සෙනෙහස දිදී එහි මත්වෙලා
සැඟවුනත් අපි අප වෙතින් ලෝකෙට පෙනෙන්නට මියැදිලා
විදුලියක් වැදුනා දැනුත් ඔය නෙත් කැලුම් සිහිපත් වෙලා  

මුහුණ පෙනෙනව තාම ඉස්සර වගේ අහසම පිරෙනකන්
සුවඳ දැනෙනව තාම එහෙමම සුලගෙනුත්  හිත පිරෙනකන්
හැබෑ ලෝකයෙ කවමදාවත් නොවන බව හිමි හැඟෙනකන්  
දුකම කවියක් ලියල මකනව නැතිව නිදි රැය ගෙවෙනකන්
(පින්තූරය අන්තර්ජාලයෙනි)


Tuesday, November 26, 2019

118. ආයෙමත් හෙට දකිනකන්
















වෙලා ගෙන මහ පාළුවක් මගෙ ලෝකයම හරි කළුවරයි
ගිලා බැස ගෙන දියවෙලා හද දුකින් මියයන්නට හදයි
බලා ගෙන හුඟ වෙලාවක් මග ඇසුත් පියවෙන්නට ලඟයි
ඔයා අද එන එකක් නෑ වගෙ හිතෙද්දිත් මට හරි බයයි

ඈත අහසක ඉඳන් හිමිහිට ආව වැහි බිඳුවක් වගේ
පෑව මදහස අහිංසක ලෙස තාම හිත හිර වෙයි මගේ
පාට දුවිලි එතී අවපැහැ වේද නපුරක් සිත නැගේ
පාත පොළොවට වැටෙන්නට පෙර අල්ලගෙන කරගමි මගේ

බලන් එන යන තාරකා එළි දිහාවෙම රැය මියෙනකන්
ගනන් කරමින් සීරුවට හරි දිගම තත්පර ගෙවෙනකන්
නවත්තන්නට නොහැකි තරමට බරට සුසුමන් මිදෙනකන්
කියන් මට මම කොහොම ඉන්නද ආයෙමත් හෙට දකිනකන්
(පින්තූරය අන්තර්ජාලයෙනි)

Wednesday, November 13, 2019

117. හිටියා ඔබ..
















දවස අරඹන පොකුරු පිණි වැහි වහින නොනැවති දිගටම
පිපෙන පෙති හැර ළබැඳි සුවඳක් අවට ඉසිමින් අලුයම
සුමුදු සුසිනිඳු රෝස පෙත්තක නතරවී ගෙන තනියම
හිටියා ඔබ මට පෙනුනා සත්තයි හිනා වීගෙන හොඳටම

දැවෙන සිත ගිනියම් දවාලක දුවන ලෝකය හමුවෙහී
ඉසිඹු ලන්නට නතර වුන විට මහ නුගේ යට හෙවනෙහී
පෙනෙන නොපෙනෙන ලෙසට සැඟවී අඳුරු ලියවැල් අතරෙහී
හිටියා ඔබ මට පෙනුනා සත්තයි එබීගෙන මගෙ දෙනෙතෙහී

හවස ඉර බැස යන වෙලාවට අහස් වියනෙන් සමු අරන්
අඳින සිතුවම් දෙස බලාගෙන වලා කැකුළක් බිම බලන්
සිහිල ගෙන මේ හිත පිරෙන්නට හමන සිහිලැල්ලක පවන්
හිටියා ඔබ මට දැනුනා සත්තයි මගේ හිතටම දී සවන්

දිලෙන විට තරු රැයේ එක දෙක ගගන පායා සෙනෙහසින්
නිදන විට ලොව ඇහැරගෙන ඉඳ ඔබේ සිනහව අයදිමින්
උනන කඳුලක උණුහුමට වැද වැළඳ ගෙන මා හද තදින්
හිටියා ඔබ මට දැනුනා සත්තයි පලා නොගොසින් මා නමින්.
(පින්තූරය අන්තර්ජාලයෙනි)

Monday, November 11, 2019

116. පරිස්සමින් ගිහින් එන්න















කඳුළු මුවා කර දෙනෙතින්
එකම හිනාවක් මුදන්න
ඒ ඇති මට ආදරයෙන්
ඔබ එනකන් හුස්ම ගන්න
නොආවාට මං මගෙ හිත
ඔබත් එක්ක ඒවි යන්න
මගේ හුස්ම පොද එහෙනම්
පරිස්සමින් ගිහින් එන්න...

පිපුණු මලක් මත නැවතී විහඟ හිතක් කවි ලිව්වා
පොකුරු පිටින් තරු ඇවිදින් අහසෙ රටාවන් මැව්වා
සසර පුරුදු කල සුවඳක් දෙසිත් වසඟයට වන්දා
නතර වෙලා අපි අපි ළඟ සෙනේහයෙන් සිත් බන්දා ...

ලසෝ තැවුල් නෑ සැමදා හමා ඈත යනවාමයි
පමා වුනත් පෝය හඳක් අහසෙ සිනාසෙනවාමයි
එපා දුකින් ඉන්න සතුට අපව සොයා එනවාමයි
අපේ අහිංසක සිහිනේ දිනෙක සැබෑ වෙනවාමයි ...

(පින්තුරය අන්තර්ජාලයෙනි.)

Thursday, October 31, 2019

115. තාම සුවඳයි













රෑ පුරාවට දුක කියාගෙන ආයෙමත් වැස්සා තදින්
ඒ දිහා වරුවක් බලාගෙන මා ඉතින් උන්නා දුකින්
හා පුරා පිපි සිත් මලේ පෙති සීරුවට රිදුනත් ඉතින්
මේ බලන්නකො තාම සුවඳයි, සුවඳ සේදී නෑ ගිහින්

පේලියට හිටි අරලියා වැට මායිමේ නැති කවුරුවත්
වාඩි වී එක ලඟින් අපි කී ඒ කතා සුවඳයි අදත්
තාම ඇහෙනව වගේ වෙනකොට මාව නැති වෙනවා තවත්
චූටියට හරි මතක් වෙනවද ඔයාටත් මොහොතකට වත්

දන්නෙ නෑ කවදා තියන්නද සෝ සුසුම් කන්දට තිත
වෙන්නෙ නෑ ආපහු දකින්නට ආයෙමත් ඒ මී විත
හැංගිලා මුළු ලෝකයෙන් සැතපෙනු මිසක් සුසුමක් මත
අයිති නෑ වෙන කාටවත් මේ ආදරෙන් වැලපෙන හිත.
(පින්තූරය අන්තර්ජාලයෙනි)

Tuesday, October 29, 2019

114. ඔබ ගියාම දුක මටදී












තවත් කඳුලක් හුඟක් හීතල නෙතේ අග්ගිස්සෙහි තියා
කිසිත් නොකියම දුටුව පමණින් නික්ම නිහඬව ඔබ ගියා
නවත් වන්නෙම නැතුව වදවෙන හිතට එගැනම ගතු කියා
අදත් තනිවෙමි අපේ මතකයෙ බිඳුණු හීනෙක ඇස් පියා

දුරින් හුස්මක් තරම් ඈතට වත් නොයන්නැයි මුමුණමින්
හිතින් මොහොතක් වෙන් නොවී ළඟ හිටිය අන්දම සෙනෙහසින්
ඉතින් දැන් නම් හුඟක් ඈතයි කැඩුණු හිත ඇත විසිරෙමින්
කමක් නෑ ඔබ ඉන්නවා නම් ඔබේ සිහිනෙට ලං වෙමින්

නිමක් නැති සිතුවිලි අනන්තෙක තනිව ඔහෙ සැරිසරනවා
ඇවිත් යන්නට මොහොතකට හරි ආයෙ ඒ යයි හිතනවා
තවත් උපදින හිතේ සෙනෙහස කොහේ තිබුණිද හොයනවා
නැතත් ඉස්සර වගේ ඇගයුම් තාම මං කවි ලියනවා
(පින්තූරය අන්තර්ජාලයෙනි)

Friday, October 25, 2019

113. සුවෙන් ඔබ නිදියනකොට












ඉල්ල ගන්නට එකම සුසුමක් ඉනුව හදවත පත්ලෙම
ඉන්න මල් ඉති බිම බලාගෙන නැවීගෙන මල් එක්කම
ගන්න අරගෙන යන්න නොනැවති මගේ සතුටත් එක්කම
ඉන්න අඳුරෙහි සැඟවිලා ගොස් මටත් හැකි ඒ එක්කම

නෙලා ගෙන සේපාලිකාවක් සුවඳ එහි ඉව කරනවා
තබා ගෙන ඔය රුව ඇබින්දක් හිතේ මැද ඉකි බිඳිනවා
බලා ගෙන බිම අහසෙ තනියෙන් රෑ පුරාවට හිඳිනවා
කතා නොකරන තාරකාවට නිතර අපි ගැන කියනවා

මලානික හඳ කඳු වළල්ලෙන් ඈත ඇවිදන් යනකොට
අඬාගෙන හිත හැබෑ නොවෙනා හීනයක තනි වෙනකොට
හොයාගෙන හැමදාම එමි ආදරේ සුසුමක දියකොට
පියාගෙන නෙත් රැයේ මැදියම් සුවෙන් ඔබ නිදියනකොට.
(පින්තූරය අන්තර්ජාලයෙනි)

Tuesday, October 22, 2019

112. අනේ අද මහ පුදුම දවසක්













හිතේ බල බිඳ නැගෙන සුසුමක තෙතක් සුළඟට මුහු වුනා
නෙතේ කෙලවර කඳුළු අතරින් පැමිණ ඔබෙ රුව බොඳවුනා
අතේ ගුලි කල මලක සුවඳක අපේ මතකය සැඟවුනා
අනේ අද මහ පුදුම දවසක් ඔබව දිගටම සිහි වුනා

පිටව යන්නට නොදී පාවෙන හිතට ආපහු හැරෙව්ව
අපව අප හට අහිමි වනවග බලෙන් මුත් යලි හිතෙව්ව
රිදව ගන්නට හිතත් දෙනෙතත් හදෙහි පතුලෙහි රැඳෙව්ව
මතක එක එක අරන් වැලපෙමි සිතින් සිරගත කෙරෙව්ව

බලන්නට මට ඔබේ සිනහව අරන් තව මල් පිපෙනවා
විඳින්නට මට ඔබේ සුවඳම අරන් මදනල හමනවා
වැටෙන්නට එන කඳුළු වියලා එයින් සිනහව මවනවා
නොඑන්නට යලි බලෙන් මතකය හිතෙන් පිටමන් කරනවා.
(පින්තූරය අන්තර්ජාලයෙනි)

Thursday, October 17, 2019

111. මට ඒ ඇතී












සිනා වරුසා නෙතින් වස්සා
කොහේ හෝ නුඹ පිපේ නම්
දිදී සැනසුම් සුවෙන් සතුටින්
කොහේ හෝ නුඹ රැඳේ නම්
මට ඒ ඇතී - සැනසිය හැකී
දිවි ඇති තුරා - මට ඒ ඇතී ...

දුරින් ගව් ගානක් හැබෑවට
ඈත හිටියත් නෑ වගක්
එකට එක ළඟ ඉඳ සිනාසේ
ආකහේ අර තරු දෙකක්
ඒ තරු අපේ - සිත් යයි හැගේ
පෙරටත් වඩා - සෙනෙහස දැනේ ...

හිටිය තැන නැවතී හදේ ඔබ
එන්න එන්නම උණුහුමයි
ජීවිතේ හරි පාර කී ඇස්
වලට හැමදා මං ණයයි
සුළගේ පවා - සිහිලක් දැනේ
ඒ ආදරේ - සුවඳයි හදේ ...

Inspired by:
"Stars are seen together,
yet they are so far apart,
true friends may not meet or speak every day,
but they are always linked heart to heart."
(True friendship quotes)

Wednesday, October 9, 2019

110. මම දන්නවා















පුළුන් පිට අත ගගා දවසෙම ඔහේ මගෙ ළඟ ඉන්නවා
කලින් වගෙ දිලිසෙන්නෙ නෑ ඇස් අමුත්තක් මහ පෙනෙනවා
අයිස් වගෙ හීතලයි අත් දෙක මටත් සීතල දැනෙනවා
ඉතින් හිටියට මෙතන හිත වෙන දුරක බව මම දන්නවා

අරන් එනකොට කෙනෙක් හිතකට දයාබරකම් උතුරන
හිතන් නැතුවම හීන ලෝකෙක ගිහිල්ලා අපි තනිවෙන
ගිලන් වුවහොත් පැතුම් විසිරී ඇසිල්ලෙන් හද දියවෙන
සතුන් මිනිසුන් කියා වෙනසක් නොමැති බව මට වැටහෙන

කතා කර අස්වසා ලන්නට නොහැකි බව ඇත්තයි හුඟක්
අසා ගෙන ඉන්නට එහෙත් හැකි කියනවානම් මට දුකක්
පතා ගෙන ආ විදියටයි සිදු වෙන්නෙ දේවල් නැහැ සැකක්
හිනා වෙන්නකො අනේ පොඩ්ඩක් නැතොත් මගෙ හිතටත් බරක්!
(පින්තූරය අන්තර්ජාලයෙනි)

Tuesday, October 8, 2019

109. මලක් වැටුනා












අහන විස්තර හමන සුළඟත් නතර කරගෙන ඔබ ගැන
ලිහන හිත ඔබ ගාව නැවතුන සොඳුරු තත්පර ගැන ගැන
ඉවස ගන්නට බැරුව මොහොතක් නොදැක ඔබ රුව සොයමින
දුවන ඇස් දෙක වෙනද එහෙ මෙහෙ අසරණව අද එකතැන

හුඟක් දවසක් මග බලාගෙන නොයිවසිල්ලෙන් ගත වුනත්
ඇවිත් යන්නට කරුණු නොයෙදුනි දුකම පමණක් මට ගෙනත්
නවත් වන්නට නොහැකි අයුරින් ඔබම සිහි වනවිට තවත්
මලක් වැටුනා ගසින් ගිලිහී ඇහිඳ ගන්නට මට අදත්

පටන් අරගෙන අඩක් ලිව් කවි තවම එහෙමම එකතැනයි
මතක් වෙනකොට හිතම කකියයි මිදෙන සුසුමද හරි බරයි
අරන් සුසුවඳ මෙතෙක් ළඟ හිටි මලත් පරවෙන්නට හදයි
තවත් දවසක් ඉතින් ගෙවුනා..මාත් මියැදෙන්නට ළඟයි.
(පින්තූරය අන්තර්ජාලයෙනි)


Monday, October 7, 2019

108. හිනා වෙනකොට ඔහොම...
















වෙලාගෙන සිහිලැල්ල ඇවිදින් සුළග මල් පෙති මත්තෙමයි
කලා තුරකින් උදෙත් තරුවක් ඇවිත් අහසට ඇත්තමයි
බලා ඉමි එක දිගට නැවතී නොලා ඇසිපිය සත්තමයි
හිනා වෙනකොට ඔහොම හොඳටම, අනේ ඔබ හරි ලස්සනයි

අදින් අවුරුදු දෙකක් එපිටදි සිහිලතම දවසක මෙවන්
අතින් අතගෙන හිතින් හිතගෙන අනන්තයටම නෙත් යොමන්
ලඟින් ඉඳ මල් සුවඳ රැඳි කම්මුලේ සීතල අත් තියන්
ඉතින් මතකද එකක් දෙන්නැයි හිනාවක් ඉල්ලුව මගෙන්

හිනාවක් පමණක් නොවේ දී ජීවිතේ හුස්මත් තුටින්
සදාකල් පා මුල රැඳෙන්නට පාරමී පිරුවත් නිතින්
ඉතාමත් විස නපුරු හීනෙක හොවා සිරකරමින් දුකින්
පලාගොස් ඔබ සැඟවුනාදෝ තියා කඳුළුම මා නමින්

මුදා හැර සිහිලැල්ල දෙනෙතින් සිනාසෙන හැම මොහොතෙම
හදා ගන්නට බැරුව දියවෙමි තබා හිත ඔය මත්තෙම
බදා ගන්නට තරම් සැමදා අහිමි ඒ ඒක සිහිනෙම
එදා වගෙමයි උමතුවෙන් මෙන් ආදරෙයි තාමත් මම!
(පින්තුරය අන්තර්ජාලයෙනි)

Wednesday, October 2, 2019

107. ඔබට ඔබ විය හැකිය
















අතට ගෙන පිරිමදිමි සැනසෙමි සිඹිමි දහසක් වර සිතින්
හිතට එන දහසකුත් සිතුවිලි අතර සසලව නැවතෙමින්
පවට පින නම් කෙලෙස දෙන්නද ඉවසගමි බර සුසුමකින්
මටම දුන් ඔය සොඳුරු සිනහව කොහිද අද කොහිදෝ ගිහින්

නොදැන වුව යන අතක් අහසෙහි වලාවක් ඔහෙ ඇදෙනවා
නොමැති දිනයක වුවද සුළඟක් මලක පෙති බිම වැටෙනවා
නොකිය කිය කිය දුකම කවියක් අනන්තෙට හිත ඇදෙනවා
නොදැක ඉන්නට බැහැයි කිව් ඇස් නිතර දැන් මග ඇරෙනවා

මිදෙන්නට බැරි බව නම් සැබෑවකි දවන හිත මේ මිරිඟුවෙන්
රැඳෙන්නෙමි දුර ඈත ලෝකෙක මගෙම සිහිනෙක දැවටෙමින්
හිතන්නට මොහොතක් තරම් වත් වෙලා නොගෙනම මා නමින්
රිදෙන්නට තව දෙයක් නෑ හිත, ඔබට ඔබ විය හැකි ඉතින්
(පින්තුරය අන්තර්ජාලයෙනි)

Tuesday, October 1, 2019

106. දෙන්න මට යළි
















දුරට වෙන්නට හදන හැමවිට ලඟට නොදනිම එන තවත්
දුකම ගෙන ආදරේ බිඳුවක් යදින උමතුවකින් මහත්
මලට අමතක වෙලා යනකොට මලේ සුවඳම දැන දැනත්
ඔබට පමණක් නොවේ වදයක් මගේ හිත දැන්නම් මටත්

ඇදිල යන ඉදිකටුව පසුපස නූල වගෙ හැමතිස්සෙම
රවල ගොරවල එලව ගත්තත් හැරීමක් යළි නැත්තෙම
කැඩිල යන්නට හෙටම නියමිත වගක් නෑ එහි ඇත්තෙම
දැවිල පිච්චිලා මටම පුදුමයි නැහෙන හැටි ඔය මත්තෙම

සසල වන මහ මෙරක් තරමට එකම එක ඔය දසුනකින්
අකුල ගෙන පැත්තකට වෙන්නට තරම් වන රළු වදනකින්
ඉහළ ගෙන රැළි වැස්ස හිනැහෙන මුහුද වගෙ හරි සන්තොසින්
නිසල ඒ හිත තිබුණු මගෙ ළඟ දෙන්න මට ආපහු ඉතින්
(පින්තුරය අන්තර්ජාලයෙනි)

Friday, September 27, 2019

105 .මටත් ආසයි












හෙටත් අද වාගේම වනු ඇති බවට සලකුණු පෙනෙනවා
ඉහත් තාවෙන් තාම ආකහෙ අඳුරු හෙවනැලි ඇදෙනවා
තවත් පාරක් පෑරුනා හිත, කමක් නෑ ඔහෙ ඉන්නවා
ගියත් මගහැර නොදුටුවා සේ දුටුව බව මං දන්නවා

දුවන්නට ගව් ගානකට දුර යලිත් කලබල වෙනකොට
හිතන්නට ඔබ තාම හරිබව හිතක් දිගටම එනකොට
සදන්නට පෙර සුවඳ මතකය බිඳින් බිඳ කැලතෙන කොට
ගෙවන්නට සති අන්තයම දිග මේත් හොඳටම ඇති මට

පිටත් කර දුක් සුසුම් ඈතක සුළං සිහිලැල්ලක් දිගේ
පවත්වයි සංවාද පිණි මුතු සිනිඳු මල් පෙත්තක අගේ
නවත්තන්නට ඔයා එනකන් සුවඳ මල් මාවත දිගේ
මටත් ආසයි හිනා වෙන්නට ආයෙමත් ඉස්සර වගේ.
(පින්තුරය අන්තර්ජාලයෙනි)

104. ඔයා ගිය දවසේ ඉඳන්














දවස් ලබනව දවස් ගෙවෙනව වැහිත් වහිනව පැල් බැඳන්
මතක් වෙන වාරයක් ගානට දැවී යයි හිත නෙත් තෙමන්
හුඟක් දවසට කඩන් වැටෙනව අතීතය ළඟ ඇස් පියන්
හිතත් අරගෙන මගෙන් සමුගෙන ඔයා ගිය දවසේ ඉඳන්

ඉස්සරම ඒ දවස් වල ආදරේ ඉතිරුණ හිත් වලින්
ඇත්තටම හොයා හොයා අපි අප හිටිය අන්දම මත් වෙමින්
ලස්සනම මතකයකි තව හිත බිඳින සුසුමක ගින්දරින්
වැස්ස මැදදෙත් හිටියා සමනලයෙක් නොයා සිත් ගත් මලින්

ආයෙමත් ඉගිලෙන්න අහසට දකින දා සිහිනෙක නිමී
කෝමවත් හිත දෙන්නෙ නෑ මගෙ මතකයේ මම නවතිමී
කාවවත් අපි වැරදි නෑ මේ දෛවයයි පිළිගෙන ඉමී
ආදරෙත් පවතින්නෙ කවදත් නොවන විදියටමයි හිමී.
(පින්තුරය අන්තර්ජාලයෙනි)

Tuesday, September 24, 2019

103. ඔබට අමතක වීද



















දවස පැමිණෙන්නටත් කලියෙන් අතින් අල්ලාගෙන බලෙන්
ගිවිස ගත් හිත බිදී දියවී සුසුම් දුක් කන්දක් මතින්
ඉවස ගන්නට බැරුව තනි වී අඳුරු ආගාධෙක හිතින්
අහස අඬනව ඔයත් දැක්කද කඳුළු ඉල්ලා ගෙන මගෙන්

හිනා වී පෙම් බැන්ද දා සිට පොලෝ තලයට මේ හිත
ගෙනා සතුටට හිලව් වෙන්නට දුකම හිමි වූවා නෙත
පිපී මල් හිනැහෙද්දි විසිරුන අනන්තයටම මී විත
කොහේ සැඟවී ගියාදෝ අද නොදන්නෙමි මා කොයි අත

ලඟට එන්නට බැරිම නම් දුර ඉඳල හරි සැරයක් දෙකක්
සතුට දී හිනැහෙන්න බැරි හැටි අනේ බොරුවට හරි බිඳක්
මටම දුක පවරලා හරි සැනසිල්ලකින් ඉන්නව මිසක්
ඔබට අමතක වීද හොඳටම මේත් ඔය වාගෙම හිතක්.
(පින්තුරය අන්තර්ජාලයෙනි)

Monday, September 23, 2019

102. ඉතින් පුදුමයි
















මදහසක් මුව පිපි ගමන් හිත ඈත ලෝකෙක ඇදෙනවා
වදනකින් තෙපලන යමක් හිත මහ ගොඩක් දුර නිවනවා
දකිනකන් සිතුවිලි ගඟක් තුළ කිමිදෙමින් සැරි සරනවා
සමහරක් අය දන්නෙ නැතුවම ගොඩක් පින් කර ගන්නවා

එළිය පුංචිම පුංචි තරුවක වැහි බරින් පිරි හවසක
තනිය දිය කර සෙනේ හිත ළඟ හීදී අවපස අහසක
උහුල ගනු බැරි වේදනා දෙන හිතම සසැලෙන මොහොතක
දසුන ඔබෙ මට ලෝකයම බව ලියමි සෙනෙහෙන් කවියක

එකින් එක සීරුවෙන් ගලපා සියුම් ඉරියව් පිරිමැද
මඳින් මද ආදරේ අතුරා දැහනකට සුව සමවැද
යලිත් කිසිදා නොයන්නට ආ වගම මවෙතට පිරිසිඳ
ඉතින් පුදුමයි තාම ඔබ නැවතුනා මගෙ හිත හරිමැද.
(පින්තුරය අන්තර්ජාලයෙනි.)

Friday, September 20, 2019

101. දුරින් නොව ළඟින්.












බලන් ඉන්නට බැරිම තැනකදි අහක බැලුවට හෙමි හෙමින්
දුවන් විත් කලබලෙන් මගෙ නෙත් නිරන්තර නුඹ පිටුපසින්
බිදන් හද ඉම ඉවුරු උතුරන නිමක් නැති සෙනෙහස ගඟින්
මටත් මා දැන් අහිමි වී බව පසක් කරදෙනවා දුකින්

වගක් නැතුවම බැහැල අහසින් මූදටම යනකොට ඉර
අහක් කර නෙත් මායිමෙන් රුව නුඹත් පිය මැන්නා දුර
සඳක් ආවත් හිනා වීගෙන විලෙන් නිල් දිය ඉඳුවර
නිවෙන් නේ කවදාද නොදනිමි හිතේ මේ මහ කළුවර

ලැබුන් නැතිවට කමක් නෑ මට දුරින් හෝ හිඳ පෙනේ නම්
පිළිස්සෙන හිත මොහොතකට හෝ එයින් බිඳුවක් නිවේ නම්
අගිස්සෙත් අතු නුඹේ සිනහව අරන් හෙට මල් පිපේනම්
දුරස් නෑ මේ මගේ ළඟමයි නොවෙද නුඹ මගෙ හිතේ නම්.
(පින්තුරය අන්තර්ජාලයෙනි.)

Wednesday, September 18, 2019

100. වෙන් වීම












තවත් හරි පොඩි දවස් ගානයි මෙහෙම ඉන්නට තියෙන්නේ
අදත් මතකයි හමුව පළවෙනි සිනාවක් නෙත රැදෙන්නේ
නවත් තන්නට නොහැක නොදැනිම සුසුම් පමණකි නැගෙන්නේ
මලක් අත්හැර ගන්න බැරුවද හිතට මේ දුක හිතෙන්නේ

සිතින් මත් වී සුවඳ ඉවකර දොරටු හද ඉම හැර තියා
ගසින් නික්මී බිමට ගිලිහී වැටුණු මල් ඇත්දැයි සොයා
වටින් එන සරදම් සිනාවන් සමග පැටලෙන්නට නොයා
ඉතින් මතකද ආව හැටි මම හිමින් බර අඩි තිය තියා

හිතුනු විටකදී සුවඳ ගන්නට මේසෙ මත ළඟ පාතකින්
හිටපු හැටි මල් මතක් වෙනකොට ගැහේ හිත හරි වේගෙකින්
දැනුනු විට දුක බෙදාගන්නට බලා එදෙසම සෝකෙකින්
පිපුණු පරවුණු එහැම මලටම තාම මං හරි ආදරෙන්

වසර දොළහක සොඳුරු මතකය දසත හැමතැන විසුරලා
නතර වෙන්නට හිතෙන තරමට හිතට තනිකම එක්කලා
අතර මග හිමි අහිමි සේරම අතීතය වෙත පවරලා
සසර අනියත දහම පිළිගෙන දිනෙක යමු අපි වෙන් වෙලා

Monday, September 16, 2019

99. මගේ පව්



අනන්තයකට අරන් ගිය හිත හීන ලුහු බැඳගෙන තදින්
අහස් තලයද කඳුළු වගුරයි රිදුම් පිරිමදිමින් හෙමින්
හිතන්නත් බැරි හදිස්සියකින් ගෙවී ගොස් තත්පර සැණින්
ඇවිත් තව සතියකුත් ආපහු මටම විඳවන්නට ඉතින්

කතා නොකරන හදවතක් තුල සදා සිරගත වී ඉඳ
බදා ගෙන දුක හඬා වැලපෙන මගේ සන්තානයෙ හද
පුරා දැල්වෙන මහා ගින්නක එකදු ලකුණක් හෝ මඳ
නෙතේ කැල්මක දකීදෝ නුඹ නිහඬ වන්නෙමි බිය වැද

හිතේ සැනසුම පිරී ඉතිරුණ පියවි සිහියට හරි ළඟින්
අගේ ඇති දිග දවස් තිබුනා මටත් කාලයකට කලින්
සඳේ එළියත් අහිමි වී තනි වෙද්දි අහසක් කළුවරින්
මගේ පව් මට තනිව ගෙව් හැකි උදව්වක් නැතුවම නුඹෙන්
(පින්තුරය අන්තර්ජාලයෙනි.)
.

Tuesday, September 3, 2019

98. රාහුල පොඩි පුතා
















හතයි අවුරුදු නමුත් කල්පෙක පමණ දිගු කල් ඉක්මින
දුකයි හරියට උපන් දවසෙම අතැර විය අබිනික්මන
හුඟයි අද සිරි සඳළු තලයේ නොයිවසිල්ලකි අපමණ
බලයි මග පොඩි පුතා රාහුල පියා දකිනට සිතමින

නෙළුම් මල් පෙති වගේ සිරිපා හිමින් පොළොවෙහි තිය තියා
දිළුම් දෙන ඈතටත් බැබළී වඩින අන්දම බුදු පියා
හැඬුම් එන හිත මුවා කල මව් තුරුල්ලෙහි හිඳ නෙත් අයා
නොහිම් සෙනෙහෙන් බලා සිටියා පියා මගෙ මේ යැයි කියා

පපා සිනහා අතේ එල්ලී, තෑගි ගන්නට සිතමින
තෙමා දමමින් බලා සිටි නෙත් සුසුම් සෝ දුක් කඳුළින
අතා රින්නෙම නැතුව වෙහෙරට යන තුරාවට සතුටින
ඉතා සුරතල් කතා කියමින් ගියා පියතුම සමගින

අරන් දෝතක් තරම් වැලිකැට සෑම දාමත් උදයෙහී
ඉතින් මෙතරම් ඔවා මාහට ලැබෙන්නැයි අද දිනයෙහී
නිතින් කීකරු වෙමින් සැමටම පිහිටියෙන් දම් ගුණයෙහී
රහත් විය දුක් නසා පොඩි පුතු රහල් හිමි පිය සෙවණෙහී
(පින්තුරය අන්තර්ජාලයෙනි.)

Friday, August 23, 2019

97. හිනාවෙමු අපි














කඳු වළල්ලට උඩින් ඇවිදින් හීනි සඳ පාළුවක් එබී
මුදු සිසිල් රැස් විසුරුවා මල් පෙති එකින් එක ගෙන සිඹී
හුඟ දෙනෙක් නොම දුටුව සතුටක් හමුවෙලා ඒ තුල තිබී
මද හසින් පවනැල් කිණිත්තක් පැමිණ හද ගැඹුරට පිඹී

හිතු මතේ පාවෙන ගුවන් ගැබ සුදු වලා කැකුලක් ලෙසේ
හද වතේ දහසක් පැතුම් පොදි විකසිතයි නවතනු කෙසේ
නිද හසේ තනිවී කොදෙව්වක විඳින විට කවියක රසේ
සුදු මුවේ උතුරන ඉතා සුරතල් සිනාවක හඬ ඇසේ

මඩ කලල් දියෙහිත් පිපේනම් සුවඳ විහිදන සියපතක්
ගිනි සිලක් බඳු කතරකත් මතුවන දිනේ දිය උල්පතක්
බොඳ වුනත් නොහිතපු වෙලාවක හිතට ළඟ පැතුමක් දෙකක්
අප වෙතත් පැමිණේවි දිනෙකදි අඳුර බිඳ රන්වන් ඉරක්

සත් මහල් පුරවන්න තිබුනත් බරණ මිනි මුතු රන් රුවන්
මක් කරන්නද නින්දෙදිත් අසරණව සැක බිය ළඟ තියන්
සන් තොසින් නුඹ ආව හන්දා පැල්පතක ඇති සුව සොයන්
මත් කරන්නම් ලස්සනම කවියකින් හිත තුරුලෙහි හොවන්

අතට එන සුළු දෙයින් සැනසී ලෝකෙටත් දීගෙන යමක්
ලඟට එන දුක සුසුම පා කර යවමු ඈතට මහ ගොඩක්
දකින් නට ගහ කොලේ ලස්සන ලැබී ඇතියෙන් මුදු හිතක්
ඉතින් පැංචියෙ හිනාවෙමු අපි අදට වැඩියෙන් හෙට ටිකක්.

(පින්තූරය අන්තර්ජාලයෙනි.)

Friday, August 16, 2019

96. ඇගේ කතාව

ඉහල ගොඩටත් ඇහුණා අළුයම් වෙලේ සිට ඝන්ටාරෙ රාවේ
එවෙලෙ ඉඳලම නින්ද ගියෙ නෑ හිතම මගෙ දුක සාංකාවේ
ඇහැළ පොයෙත් එන්න හිටියා හැදුන උණ ඒ නිසයි නාවේ
බෙදල දං හැන්දක් දුවන්නට හිතන් මං මේ හනික ආවේ

ඉන්න ගේ පැල ලිව්වෙ කොල්ලට ලේලි එක්කල ඉන්න සතුටෙන්
යන්න වෙනබව නොදැන හෙම නොව උන්ගෙ කිරි සප්පයා වෙනුවෙන්
හයිය නෑ දැන් කුලියකටවත් එන්නෙ වැඩ පළ හරිම අඩුවෙන්
ගෙව්ව පව් නම් ඉවරයක් නෑ තාම නොනැවති එනව පස්සෙන්

පුදා අට පිරිකරක් ඇති හැකි ලෙසට මහා සඟ රුවන වෙනුවෙන්
හිතා ඉන්නව දනක් දෙන්නට කලක ඉඳලම හිතේ සැදැහෙන්
තබා පඬුරක් අදත් බෝධිය ගාව ගිලිහුණු නෙතේ කඳුලෙන්
හැබෑ වෙන්නට පැතුව හීනය මගේ ඇස් පියවෙන්න කලියෙන්

හිටියෙ අම්මා වෙලා එකතැන් මාස හත අටකටම වැඩියෙන්
මියෙන තෙක් අත ගගා කැත කුණු ඈට සැලකුව දයා සෙනෙහෙන්
බුදුන් දැක උඹ නිවන් පලයන් පුතේ කියමින් ඇවිත් හීනෙන්
කියයි ඈ තව, ඉතින් බය නෑ යන්න මරු හා නික්ම මෙලොවින්

වැඳන් හිටියම බුද්ධ රූපෙට මගේ හිත මහ ගොඩක් නිවෙනව
හිමින් බෝ පත් සැලෙන මළුවේදි මහා සැනසීමකුත් දැනෙනව
ඉඩක් ඇත්නම් හතර පෝයෙම ඇවිත් සිල් අරගන්න හිතෙනව
ඉතින් දුවෙ මේ සසර මඟ මගෙ බොහෝ දුර බව මටම හැඟෙනව.

ප.ලි. නිකිණි පොහෝ දින පන්සලේ දී අහම්බෙන් හමුවූ මහළු අම්මාගේ කතාව. (පින්තූරය අන්තර්ජාලයෙනි.)

Thursday, August 8, 2019

95. වැස්ස










තවත් හීනෙක බැඳෙනු නොහැකිව පුරුදු මතකෙට ගුලිවෙලා
හිතත් එක්කම ඔට්ටු වීගෙන ඉඳල ඉඳලම ඇතිවෙලා
කිසිත් නොකියම අඳුර තුරුලට අරන් වරුවම තනිවෙලා
අදත් වහිනව මහා වැස්සක් අහස මගෙ හිත කියවලා

සිහින් සර සර හඬින් අතු මත වැටෙන වැහි බිඳු ඇහිඳලා
සිතින් පිරිමැද සෙනෙහෙ සුසුමක සුවඳ ඒ මත අතුරලා
දුකින් ආතුර හිතේ පතුලට ගිහින් ගැඹුරට කිමිදිලා
හෙමින් තුරුපත් කියයි කවියක් මගේ කවි හිත අහුලලා

Monday, July 29, 2019

94. දේදුනු කුමාරි












උදේ ඉඳලම අහුලමින් මල් වසන ගෙල මල් මාලෙකින්
අගේ කර කර කියන සුරතල් කතා ඉමිහිරි තාලෙකින්
හදේ ජීවන ගීය මුමුනා සිඹින සිත මුදු ආලෙකින්
මගේ දේදුනු කුමාරිට නෑ ලිව්වෙ කවියක් කාලෙකින්

රතු තැඹිලි කඩනා කොලූ නිල් ඉරක් දකිනවා යැයි ගයා
පාට දේදුන්නේ හැදෙන්නේ මෙලෙස යයි දුන්නත් කියා
හිටි ගමන් මුහුණම දෙකක් කර අම්ම හරි නෝටියි ඔයා
ගතු කියයි දේදුන්නෙ පාටට රෝස දැම්මේ නෑ කියා

උඩ අඳින්නට යා කරන්නට රූප සොයමින් එක වගේ
සිය ගණන් මට ඇක්ටිවිටි දෙන පුංචි ගුරුතුමියයි මගේ
හැඩි කරයි ගෙය කුරුටු බලි ඇඳ කලා භවනක් කර අගේ
බැරි වුනොත් ඇති පොඩ්ඩ ඇමිණී එන්න කටු අත්තක් වගේ

දහය වනතුරු සෙනසුරාදට නිදාගත් දින සැප අරන්
ඇරියසුත් එක්කම ඉතින් දැන් ගෙවා දමනෙමි දුක දරන්
කිමුහුමක් මුත් ගියොත් ඉවරයි නැගිටගන්නට උඩ පැනන්
හොඳවයින් අමතමි දෙකක් ඇසෙතැයි බියෙන් කට තද කරන්

මොන සැපක් තිබුනත් ඉතින් මේ ජීවිතෙන් ක්ෂය වී යන
රස විතක් දකිනෙම් කෙසේ පොඩි පැංචියෙකු ගෙයි නැති තැන
පෙති විදා සුවඳම මලක් වී සිනාවක් දෝතින් ගෙන
එන තුරා හෙට දින පිපී මග බලා ඉන්නෙමි දින ගැන.

Monday, July 22, 2019

93. සමනලුන් නිදන ගස












හිතින් ඉවකර බලා විසිරෙන සුවඳ රස රහසක් කියා
ඉතින් විසිකර හරිමි සිනහව බිඳෙන පිණි බිඳුවක ලියා
දුකක් ගන්නේ කුමට මේ හිත මලක් පිපුනේ නැත කියා
පැටව් සමනල නිදි කරන්නෙමි රෑට මගෙ තුරුලේ තියා

සුවය දී එය අවැසි අය වෙත නොවිමසා දෙවරක් හිත
සෙනෙහෙ දියවර නගන මුත් හද නිබඳ උතුරුවමින් තෙත
පිපුණු මල් පිරි සොඳුරු ගස් වෙත බන්දවනු මිස හිත නෙත
දුටුවෙ කවුරුද මලක් නැති කටු ගසක සුන්දර හදවත

නොදා වෙර පැසසුම් ලබන්නට දයාබර කම් නැති ලොවෙන්
සදා යුතුකම් කරමි සැනසෙමි පුරෝගෙන හිත සෙනෙහසින්
සිනා සරදම් ලැබෙන විට දුක් සුසුම් සඟවා ගෙන හොරෙන්
හදා ගෙන හිත සිනාසෙමි මම් අරන් මට හිමි දේ ලොවෙන්

ප.ලි.
අපේ වත්තේ තිබුණු නම නොදන්නා ගහක්, මලක්වත් ගෙඩියක්වත් හැදෙන්නේ නැති නිසා අප කීප විටක් කපා දැමීමට සිතුවා. පසුව අහම්බෙන් වගේ හැන්දෑවක තමයි දුටුවේ සමනලුන් මේ ගහට විත් එහි කොළ යට එල්ලී රැය පහන් කරන බව. අඳුර වැටීගෙන එනවාත් සමග මේ ගසේ කොලවල එල්ලුණු සමනලයෙක් දෙන්නෙක් නොහිටි දවසක් නැති තරම්. සමනලුන් නිදා ගන්නා නමුත් මලක් නොපිපෙන ඒ ආදරණීය ගසටයි මේ කවිය.

Sunday, July 21, 2019

92. ආදරෙයි මං අම්මේ



















නිදන්නට මහ මූදු පතුලෙහි ඉරත් අහසින් දුරස් වෙනවා
හිතන්නට බැරි හදිස්සියකින් තවත් සතියක් ඉකුත් වෙනවා
තෙහෙට්ටුව හිත රිදුම් දෙනකොට සෙනේ ගඟ නුඹෙ පසක් වෙනවා
දකින්නත් බැරි වුනා කලකින් අම්මෙ නුඹ මට මතක් වෙනවා

අහස සේ දුක් ගත්ත නුඹෙ හිත රෑ දවල් අප රකිනු වෙනුවෙන්
නපුරු වී වයසටත් වැඩියෙන් තව දුරක් නුඹ රැගෙන ගෙනිහින්
වගක් නෑ කිසි ගහට ගහ ගැන මල්ම මිස වෙන ලොවක් කොයිබින්
සිහිව මේ හිත කීරි ගැහෙනව හීනි නෙත් දිය පිරෙන සැනෙකින්

නටා ගයනා බටිති මාලති කුරුළු ගී පද ඇසුව තාලේ
සතා සීපා මිනිස් නොමිනිස් සැමට එකලෙස කරන ආලේ
කලා භවනක් වැනිවූ සිතකින් අපව සිතුවම් කරපු බාලේ
වහා සිහිනෙන් මතක් කරගමි අදත් රෑ නෙත් පියෙන වේලේ

පෙන්න පෙන්නා අහස, කට කට කැව්ව මුත් බත් අපට නිරතුරු
අල්ලාගන්නට නොකිව් හැටි නුඹ කවමදාවත් අපිට හඳ තරු
ඉල්ලගත්තේ නුඹේ හිත අපි සිහිල දෙන මුහුදවන් වෙසතුරු
ගන්න නොව විහිදන්න ලෝකෙට සුවද හැකි පමණකින් පිවිතුරු

කසාවත් පොරවන්න දිනෙකදි හිතේ මහ හීනයක් තිබුනා
අනේ අපි හින්දාම ඒ හිත කල් ඉකුත් වී සෙමින් මැරුණා
දයාවෙන් පිරි නුඹේ සුවඳෙත් නිවන් පුරයක් අපිට මැවුණා
මගේ අම්මේ ආදරෙයි මං මතක් වී මට ගොඩක් ඇඬුනා.

Friday, July 19, 2019

91. අරලිය













අරන් යන්නට සුසුම් පා කර සුළං සිහිලැල්ලක් අග
හිතින් මතකය අවුස්සමි නැවතිච්ච කවි සොයමින් මග
බලන් හිටියට ආයෙ එන්නැති කෙනෙක් ගැන සුවඳකි හුඟ
ගිලන් හිත ගොස් නතර කරගමි අදත් අරලිය මල් ළඟ

දුකක් මුසු මුදු සුවඳ විහිදන දැහැනකට දුර සමවැද
අනන් තෙට හිත අරන් නික්මෙයි සෙනෙහෙ බිඳකින් පිරිමැද
ගොඩක් පින් මේ සුවඳ දෙනවට නුඹයි මගෙ මල දිනුහද
එයත් ආසම සුවඳ අරලිය නොදන්නෙමි තව එහෙමද

පහක් සුදු පෙති මැදින් ලා කහ පාට සායම් නැලවුනූ
අහක් කරගන්නටම බෑ හිත දුටුව තැන නුඹ ඇලවුනූ
බිඳක් ගෙන හිත නිවා ගන්නට තරම් සුවදක් හිමිවුනූ
මතක් කර දේ නොනිමි සසරෙහි අතරමග අපි නැවතුනූ

කැඩී පත් බිම වැටෙන විට මුදු සිනිඳු හිත හිරි වැටුනනම්
බිදී ගොස් දුක දැනී හොඳටම කඳුළු කිරි ගඟ ගැලුවනම්
නැගී යලි හිනැහෙන්න බැරි බව සියක් වර මුත් සිතුනනම්
හිතේ ලස්සන අරන් කොහොමද පිපුනෙ සුදු මල් ඔයතරම්

වලක්වන්නට නොහැකි සුළඟින් කැඩුණු හිත යලි ඇහිදින
නවතන්නෙම නැතිව සුසුවද ලොවට සෙනෙහෙන් විසුරන
එකක් වත් කොළ නැතිවූ දිනටත් මලක් අතු අග පුබුදන
නුඹත් මේ හිත වගෙයි හරියට හිනාවෙන් දුක උහුලන.


ප.ලි. අරලිය ගැන නොලියා වෙන දෙයක් ලිවීමට නොහැකි අයුරින් අරලිය මතක යලි අවදි කල කිඹුලියට ස්තුතියි.

Thursday, July 11, 2019

90. ඇහැළ මල්













සතුට හල හල හමන සුළඟට ආයෙ මල් වැහි වහිනවා
බිමට ගිලිහී රෝස වෙනුවට කහම කහ පෙති වැටෙනවා
හිතට කකියන පුරුදු සුවඳක මතක පිටු දිග හැරෙනවා
ඔබට සකුරා පිපෙන කාලෙට ඇහැළ මල් මට පිපෙනවා

හිනා වීගෙන ඇහැළ ගහ වගෙ අරන් මල් පොකුරක් අතේ
හැබෑ ලෝකෙට ඔබේ වෙන්නට හීනයක් තිබුණා හිතේ
හඹා ගොස් ලොව දිනාගෙන මම හනික එමි යැයි ජීවිතේ
කියා ගිය නුඹ ආවෙ නැතුවට තාම තරහක් නෑ හිතේ

සුවඳ සකුරා නුඹගෙ අයිතිය අහිමි බව මට හැඟෙනවා
සඳට ඉකිබිඳ හඬනු කුමටද පොළොවෙ සිහිලස දැනෙනවා
දැනුනු දවසක පුරුදු සුවඳක් කාට මුත් ඇහැ ඇරෙනවා
ඇහැළ මල් වැහි දකින්නට ඔබ එතැයි නිකමට හිතෙනවා.

Friday, July 5, 2019

89. පැනය












පාට පුරවන් ආයෙ පිපිලා යාය දිගටම අලුත් මල්
ආස සුවඳක් හිතට එබෙනව නාව මිහිරක මෙතෙක් කල්
දාල අහසම බිමට බැහැගෙන එන්න හිතුනත් හුඟක් කල්
ආයෙ පහලට එන්නෙ කොහොමද නූල කැඩුනම සරුංගල්

ඉතුරු කරගෙන හීන හෙටටත් බිඳී නොගොසින් පැනයක
නතර කර හිත සඟව ගන්නෙමි පාට සේදුනු සිහිනෙක
මිතුරු සුළඟට කියා සිහිලක් රැගෙන එන මෙන් දිනයෙක
අකුරු ලස්සන කරමි තනියෙන් තාලෙ ගිලිහුණ කවියක.

Friday, June 28, 2019

88. හීන් සුවඳ












වැසී කාලයෙ වැලි තලාවෙන් එදා පිපි මල් පරවෙලා
හැපී සුසුමක අතරමග සුනු විසුණු පැතුමක් නැවතිලා
කඩා නොවැටී මහමෙරක් දුක ඉවසාගත් හැටි ගොළුවෙලා
හැබෑ නොවුනත් අපේ හීනය අපට නැත මග වැරදිලා

ලැබී අත්තටු වියේ සමනල් හීන අපවෙත ලං වෙලා
දැනී මිහිරක් නුහුරු හැඟුමක අපේ හිත් මන්මත් කළා
හිනා වීගෙන කඳුළු බිඳු අපි එකින් එක එක්කහු කළා
නොතේරුම්කම කැකුළු හිත්වල අපිව අහසට විසි කළා

තාත්තෙක් අද උන්ගෙ ලෝකෙට නුඹට කිරුළක් හිමිවෙලා
මාත් අම්මෙක් රෝස මලකට සිනා සුරතල් හමුවෙලා
පාන්දර පිණි වැස්ස ළඟ ඉඳහිටෙක මතකය ඇවිලිලා
හීන් සුවඳක් ගෙනාවට එහි තියෙද වරදක් මුහුවෙලා?

Thursday, June 20, 2019

86. ශෝකයේ ගස











වැඩිය හැඩ නැති කෙසඟ සිරුරකි බරට හුස්මන් වැටෙනවා
සුමුදු බව නැති කසන කොළ මත මිහිරි දේ නොම රඳනවා
නොලැබ ආදර බැළුම් සමනල විහඟ නෙත මග හරිනවා
කිමද අරුමය බිඳුණු හදවත හමන සුළඟෙන් අහනවා

නැවෙන පොඩි අතු අගිස්ස්සේ හරි රවුම් ගුල් ගුල් හැදෙනවා
සෙමෙන පිරිමැද එ'මත ආදර බරම තොත්තුම තියනවා
පිපෙන දේදුණු තැඹිලි පාටින් නටුවෙ සිත්තම් ඇඳෙනවා
මිදෙන හිම වගෙ සුදුම සුදු පෙති අරන් මල් ඇස් අරිනවා

බලාගෙන රෑ අහස දෙස රැය පුරාවට නිදි වරනවා
හමායන මදනලේ හිමිහිට හිතේ තනිකම තියනවා
මුදාහැර හද විමන් දොර ආදරේ සුවඳම එවනවා
බදාගෙන ඒ සුවඳ කොහෙදෝ ඈතකට හිත දුවනවා

නොයා ඉන්නට හිතයි රෑකට ඒත් සීමා තියනවා
හදාගෙන හිත ලැබෙන දේකට හිතේ බර බිම තියනවා
පුරෝගෙන හද උපන් සෙනෙහස අතීතය අත අරිනවා
හිනා වීගෙන උදේ වෙනකොට ගහේ පාමුල වැටෙනවා.

Wednesday, June 19, 2019

85. වැස්ස










ඉස්සරම හුරු පුරුදු හීනෙක සුවඳ හිත මත්තෙහි දරන්
සුන්දරම හිත නිවන හැඟුමක නතර වී හුස්මක් අරන්
අස්සටම හද තුරුළු කරගෙන හාදුවක් පෙති මත තියන්
වැස්සටත් කවි කියන්නට හැකි මලක් ඉන්නවනම් අහන්

පාත් කර හිස බිම බලාගෙන සිනා සුළඟට මුදන්න
මාත් ආසයි මේ වසන්තෙට කියා පෙම්බස් දොඩන්න
කාන්දම් නෙත් පහන් දල්වා හිතට අකුණක් එවන්න
තාත්තෙක් වන් ගසකටත් හැකි වැස්ස ළඟ හිත ලිහන්න

Friday, June 14, 2019

84. කවිය











නුගේ මුදුනින් හිනා වී ගෙන පොසොන් සඳවත පිපෙනවා
අගේ කර කර කැකුළු තරු නවී නිවී සෙනෙහෙන් දිලෙනවා
වගේ හීනෙන් අමුතු මිහිරක් හිතේ එහෙ මෙහෙ දුවනවා
මගේ උර මත මෙලොව සොඳුරුම කවිය සුවසේ නිදනවා.


Wednesday, June 12, 2019

83. නුඹ දෝතට වැඩියා













මුතු පිණිදිය ගලා හැලුන
සොඳුරු නිසල රෑ යාමෙක
පසළොස්වක සඳක් වගේ
නුඹ දෝතට වැඩියා
තරු කැටයක් එතැයි සිතා
බලන් හිටිය හිතට එදා
හඳක් වෙලා ආව නුඹව
හරිම බරට දැනුනා...

කඳුළු සුසුම් හසරැලි වී
උණුසුම් වූ සෙනෙහස ළඟ
ලියවෙන හැම කවි පදයම
නුඹේ නමට ගෙතුනා
නතර වෙලා ඉඳල ආයෙ
හිමින් හුස්ම ගත්ත හදේ
පිපී බිඳෙන පිනි කැටයත්
මිහිරි හැඟුම් මැව්වා...

දිලිසෙන නිල් ඇස් දල්වා
මදෙස බලා නුඹ සිටියා
මුළු ලෝකෙම මගේ නේද
කියා සිතට දැනුනා
හදට තුරුළු කර සැමදා
මලක් වගේ බලාගන්න
සන්සුන් නැති ගැහෙන හදින්
පොරොන්දුවක් දුන්නා...


Monday, June 10, 2019

82.ජීවිතේ තනියෙන්ම මුමුණන කවක් වගෙ යැයි සිතෙනවා












අරන් වැහි කෝඩයක් තුරලට මුහුණ කළු කර ගෙන ඉදී
හඬන්නට හරි ඉක්මනින් අද අහස තනියම අර අදී
බලන් ඉන්නට බැරිම තැන යළි හැරෙන විට දැහැනින් මිදී
ගිලන් හදවත නවාතැන වෙත සුසුම් ගොන්නක් ගොඩ වදී

දුලා සත් පැහැ සොඳුරු දේදුණු පිපෙන්නට නම් ආදරෙන්
හිනා පොකුරට කඳුළු ටිකකුත් ලැබිය යුතු වේ ආකහෙන්
කියා කීවද කඳුළු පමණයි හිනාවක් නෑ කාලෙකින්
පළා නොගොසින් ඇවිද යමි දෛවයේ සරදම් මාවතින්

පාළුවේ හිමි නොවූ හීනෙක සුවඳ ඉවකර බලනවා
මාවතේ කප්පරක් බර හිස දරන් තනිවම යනෙනවා
ආදරේ ළඟ වැරදි වැරදී ආයෙ ආයෙම ලියනවා
ජීවිතේ තනියෙන්ම මුමුණන කවක් වගෙ යැයි සිතෙනවා


Monday, June 3, 2019

81. උරුමය දිනෙක











ඉඹ ඉඹ මලක් නැති ගහ කොළ නටුද තද
පියඹන දසත පොඩි අත්තටු සඟල විද
සමනළයෙක් දැකුම කලකට පසුව අද
දුකකින් සිහින් සුසුමක් පිට කළා හද

ඉස්සර වගේ වැඳ ගන්නට මුනි සිරිපා
සමනොළ ගිරට යන් නැතිවද දැන් පියඹා
රෑනින් රෑන සරමින් විසිතුරු හඟවා
ගියහැටි එදා තව ඇත මතකයෙ රඳවා

පෙරළී සොබාදම නොපිටට නිරන්තරෙන්
ඉදි වන කොන්කිරිට් ගණ මහ වනන්තරෙන්
ඉඩ දී තරඟයට පසු බැස සෙමෙන් සෙමෙන්
සියොතුන් වහං වී ඇත මනු සතුන් කෙරෙන්

එලියද අඳුර, අව්, වැසි කිසිවක් නොදැන
සීතල කාමරය තුල දවසම ගෙවෙන
මොහොතක ඉසිඹුවක් සිතකට හමු නොවන
ජීවිත යන්තරය අධි වේගෙන් දිවෙන

සුවිසල් ගොඩනැගිලි අහසට නැගෙන වගයි
මාවත් පුළුල් වී ජන ගඟ ගලන වගයි
සංවර්ධනය දැයි නෙත පැටලැවෙන වගයි
කවි සිත සුසුමකට නතු වී අහක බලයි

ඉදිකළ තාප්පය මායිම වටවෙන්න
සවිවුන ගේට්ටුව ඇතුලට කොටු වෙන්න
සැඟවී මැඳුරු තුල කාටත් නොපෙනෙන්න
මිනිසුන් රිසිය සිර කරුවන් ලෙස ඉන්න

අත් පත් කරන් ඇල දොළ ගහ කොළ මල්ද
තම රිසි නොරිසි කම් මත්තෙම ඉනු මන්ද
මිනිසුන් සතා සීපා වෙනසක් කොයිද
උරුමය දිනෙක මේ මහ පොළොවම නොවෙද

හිරුගේ එළිය මවගේ කිරි සැදූව ලොවේ
ඉතිරිව තිබේදැයි සැකයකි සිතෙහි සුවේ
හිතුවක්කාර ගමනක නිම, ගෙනෙන සොවේ
මතුවට අපට කපුටෙකු හෝ ඉතිරි නොවේ.

Monday, May 27, 2019

80. ගෙදර එනතුරු


පාවී දුරක සිට ඉර අවරට යන්නා
රෑවී ළඟ ලඟම අඳුරද මතු වෙන්නා
බෑවී ඉවසීම මක, තරහක් එන්නා
ආවී නැහැ ගෙදර තාමත් අර දෙන්නා

ගිය පසු උදේ නැගිටල දඩි බිඩි ගාලා
අපි මෙහෙ තට්ට තනියම අත හැර දාලා
රෑ බෝ වෙලත් ගෙදරක් ගැන නොහිතාලා
මක් කරනවද දන් නැහැ මෙච්චර වේලා

ඉන්නට තැනක් තිබු පමණින් අපිට සුව
කන්නට යමක් දුන් පමණින් ළඟට තව
පූසන් ටත් හිතක් පපුවක් තියෙන බව
තේරුන්නැති එකයි දෙන්නට, අපගෙ පව

යන්තම් ශේප් වි උදයේ දුන් කෑමෙන්
ඉවසන් ඉන්නෙ අපි තුන් කට්ටුව සෝකෙන්
දුවගෙන ගොස් මගට කකුලට පැන වේගෙන්
අඟවන්නෝන කෝපය බෙරිහන් දීමෙන්

එල්ලෙන විට මිරිස් පොඩි ගස්වල රුවට
ඉන්නම බැරුව කඩලා දැම්මනෙ බිමට
කොළ ටික රම්පෙ පඳුරෙහි ඉරමින් හොඳට
වැනසුව පලාතම අරගෙන අපෙ අතට

දඟ වැඩ පොඩි උන්ට කැප බව දත් හින්දා
පෙරලල බිමට මල් පැළ ඔක්කොම බින්දා
බඩු ඇද හොඳම සන්තෝසමකුත් වින්දා
මදි මුත් හිතට වෙන මක් කරමුද මන්දා

නැගගෙන දර කොටයකට පුප්පගෙන බලන්
දිරි ගෙන හිතට කල යුතු දෙය මෙනෙහි කරන්
ඉන්නේ ඔරවගෙන පාරට දෙනෙත යොමන්
ගෙදරට කොයි වෙලේ දෙන්නා එයිද බලන්

ආදෙන් අද ගෙදර ඉවසුම් නෑ හිතට
රෑ කෑ ගහල වද දෙනවාමයි තදට
පොඩි හරි සමාවක් දිය හැකි වෙයි අදට
යෝගට් වත් අරන් ආවෝතින් අපට.

Friday, May 17, 2019

79. කල මැන එතෙර













දුටු සඳ වුවන දෙනයන කඳුළින් පෙඟුනී
හදවත් මොහොතකට නවතින බව හැඟුනී
දුක හැර මෙ සසරින් එතෙරට යන රිසිනී
අබිනික්මන් කරන මගෙ පොඩි මලනුවනී

වදනක් දොඩන්නට එන්නට ලඟට ඉතින්
නුහුරක් දැනේ වෙන්වෙන මොහොතකට කලින්
තවමත් බලා ඉමි නෑවිත් ලඟට දුරින්
අවසර යයි කියමි කෙලෙසක සැලෙන හදින්

ඇස වැනි පුතණු සසුනට දන් දුනුව නියා
දැඩි බැව් සිතෙහි ඇතිකර ගන්නෙමැයි කියා
සිටිමුත් එසැම සිතුවිලි අද පසෙක තියා
වාවා ගනු බැරිව වැළපෙයි මෑණි පියා

පුරමින් පාරමී සසරෙහි පිය මැන්න
දකිමින් පෙර නිමිති සසරෙහි බිය ගැන්න
ඉසි කෝ මන් නොමැති පින් සිත සිඹිමින්න
ඔබ රුව ගුණ පෙනේ අද පුන් සඳ වැන්න

සැබවින් නිරාමිස සතුටක සුව රිසිනී
නික්මුණු සේය අතහැර ගිහි ගෙය තුටිනී
මෙතෙකැයි කියන්නට බැරි තරමට ඉතිනී
මගෙ මලණුවන් පින් කර ඇතිබැව් දැනුනී

ගනිමින් කමටහන් නොනිමෙන බව කතර
දරමින් කසාවත් බුදු හිමි ළඟ වැතිර
වඩමින් බවුන් සිඳ බිඳ දුකඳුර සසර
අපවත් කෙදිනකදී හෝ කල මැන එතෙර !

78. ජීවිතය














ජීවත් කරවීමට නම්
ඉදිරියට
සිතිය යුතු
අවබෝධ කර ගන්නට නම්
පසුපසට
සිතිය යුතු.

Thursday, May 16, 2019

77. පිනි බිංදු










සත් රුවන් දෙමි කියූ
සයුරු දිය මත වැටී
සැඟව යන පිනි බිංදු
බියෙන් මෙන් හැකිලිලා
කිසිත් මට නැත කියූ
නෙළුම් පත මත නැගී
සිනාසෙන අපූරුව
මුතු වන්ව බැබළිලා.

Wednesday, May 15, 2019

76. තිතකි සඳ
















සඳට ගොස් ආ හැකිය මට
නොම දැනේ බිඳුවක් එමග දුර
අප සෙනෙහෙ අභිමුව තබන සඳ
එය තිතකි සැනෙකින් බොඳව යන.

75. පිපුණු පුර හඳ














ඉහල අහස් ගැබක මෙන්ම
පහළ නිසල විල් දියකද
එකසේ සිනා සැළුව හැකි
පිපුණු පුර හඳකට.

Monday, May 13, 2019

74. දල්වන පහන් ගණනින් සිත් පහන් නොවේ













පින් සිතුවිලි දරා සිත ගත පහන් වන
පන්සල් බිමේ මෙත් සිසිලෙන් සිසිල් වුන
සැරසෙන බුදු පුදට තෙල් මල් පහන් ගෙන
පින්වත පින්වතිය මේ බව සිතනු මැන

ගලවා පාවහන් සැම නියමිත තැනෙහී
සන්සුන් ගමන් ලීලාවෙන් එන සඳෙහී
දෙව්රම් වෙහෙර මේ යැයි කරවන මෙනෙහී
සැනසුම් සුවය ගෙනදේ නිරතුරු සිතෙහී

සංවර කතා බහ මුවගෙහි රැඳෙන විට
බුදු ගුණ එකින් එක සිහියට නැගෙන විට
බැති බර හැඟුම් උපදී දුටු තැනෙහි සිට
සැරසී සුදු වතින් පන්සල් පැමිණි විට

පර මල් නියම තැන වෙත ගොස් දැමීමෙන්
තැන තැන ඉතිරි නැටි කොළ නොම හැලීමෙන්
පිරිසිදුකම රැකේ පිළිවෙල දැනීමෙන්
පුජාසනේ නිසි තැන මල් තැබීමෙන්

පහනුත් හඳුන් කූරුත් නිති දල්වන්නේ
නියමිත තැනෙහි පමණයි සිහියට ගන්නේ
තෙල් බිම හලා කිසි විටකදී නොමයන්නේ
පිසදා හොඳින් පිරිසිදු කල යුතු වන්නේ

සෙලවෙන විටදි බෝ පත් මෙත් සිසිල සලයි
දැල්වෙන පහන් බෝ මළුවම එලිය කරයි
නල මුසු මල් සුවඳ නිහඬව සිතට ගලයි
දහසක් දෙව් බඹුන් මෙහි සිය බැල්ම හෙලයි

තෙරුවන් වැඩ සිටින තෙද බල රැඳුන නොමින්
ගුණ නැණ බෙලෙන් යුතු මිනිසුන් තැනුව නිතින්
කවදත් සුදුසු පන්සල් බිම පමණි ඉතින්
ලද තැන ඉසිඹුවක් දිව එනු පිණිස සැණින්

පන්සල් බිමක බෝ සෙවනක දැනෙන සුවේ
ලද හැකි කමක් නැත අන් කිසි තැනක ලොවේ
මෙත් කරුණාව මිස ගෙන දෙන සිතෙහි සුවේ
දල්වන පහන් ගණනින් සිත් පහන් නොවේ !!!

73. එදා ඉරිදා

සඳක් නික්මී අහස් ගඟටම ගෙනෙන්නට සඳ පිණිදිය
සිතක් ඇතිවී තෙමාලන්නට එසඳ සිසිලෙන් මිහිලිය
මතක් කරමින් වෙහෙස වුනමුත් නිමා කරනට බැරිවිය
අඩක් ලිව් කවි පලා ගොස් සිත පතුලෙ සුසුමක හිරවිය

එදා ඉරිදා නපුරු හීනෙක වෙලී වෙන්වුන අප වෙතින්
සදා සැනසුම පතා සැමටම සිතේ උතුරා යන පෙමින්
හදා ගමු හිත් සැමට පොදු වූ දහම දැක ඇති තතු ලෙසින්
සදා කාලික ලෙසින් කිසිවක් ලොවේ පවතිනු බැරි බැවින්

ලබා නොමගෙන ඉසිඹුවක් සිත ගෙවා දැමු දින අපමණයි
හඹා යන සැප කවමදාවත් නොලැබ යන මිරිඟුව සමයි
දමා වත්කම් සියල්ලම යම් දිනෙක යන්නට වන වගයි
යොමා නුවණැස ටිකක් නැවතී මඳක් සිතුවෝතින් හොඳයි

Friday, May 10, 2019

72. ඇවිදින් ලොකු නෝනා
















කරදර අපිට දහසක් එක පිට ගේනා
කාලය උදා වී ගෙන එන බව පේනා
මොනවා කරන්නද ඉවසීමයි ඕනා
ඇවිදින් ගමේ සිට කොළඹට ලොකු නෝනා

අරගෙන පේර කෝටුව දොරකඩෙහි ඉඳ
ගස්සයි නිතර පුප්පයි දෙයි අපට වද
අයිනක් ගහන් බුම්මාගෙන හිඳින සඳ
දන් නෑ කවුරුවත් අපෙ දුක තිබෙන හද

ගෙය ඇතුලත අපිට තහනම් කලාපෙකී
මිදුලත් ළඟදි අහිමිව යන විලාසෙකී
බොහොමයි වෙනස්කම් කෙනෙහිලි විමානෙකී
සිදුවී තිබෙන්නේ මහ ලොකු විනාසෙකී

එළවලු පාත්තියෙ දැක්කොත් ඇවිදිනවා
දුවගෙන ඇවිත් අපි අහකට එලවනවා
කූරෙක් සමනලෙක් හෙම බොරු අල්ලනවා
කල පව් මදිද අසමින් එය වළකනවා

ඇවිදින් ජනේලෙන් ගෙට එබුනොත් දුකට
සිදුවෙයි වතුර නාගෙන යන්නට හොඳට
බඩගිනි වෙලා ඉවසන් හිටියත් තදට
දෙන්නේ හරිම චුට්ටයි කන්නට අපට

මාලුයි බතුයි දාලා සුදු අතින් අනා
අමතා ආදරෙන් ළඟටම අපගෙ ගෙනා
පොඩි නෝනත් සමග එදවස මැව්ව සිනා
වාගේ සිහිනයක් අද සිත සතුට ගෙනා

හප්පේ මෙවුන්ගේ හැටි පැස්බරුන් වගේ
කාලා හොඳට තදකර බඩ නිදන රඟේ
දැක්කම නැතිව යනවනෙ ඉවසීම මගේ
කිය කිය දෙහි කපයි අපි හට දමයි තගේ

ඉන්නව මිසක් කොච්චරවත් මෙහිම තැප
බළලුන් හට මොකට දෙනවද මෙහෙම සැප
නරකද ගිහින් පන්සලකට කලොත් කැප
ගෙවිලා දෙකන් අහලා බණ නොමැත ඇප

මාරක අපල ගෙවමින් දවසක් ගානේ
මේ දුක විඳින්නට තව නම් බැරිවානේ
චුට්ටක් නිදහසේ ඉන්නට ඉඩ ඕනේ
කවදද ගෙදර යන්නේ අනෙ ලොකු නෝනේ

Tuesday, May 7, 2019

71. අම්මේ ලබන පෝයට එනවා ගෙදර













කෙණෙහිලි කරන සුළඟට විත් හතර වටින්
බිමටම හැලෙන පොඩි පොඩි මල් බුරුතු පිටින්
මිදුලේ වෙරළු ගහ යට සුව හෙවන යටින්
කවුරුත් නැතිව ගල් බැංකුව හිඳී දුකින්

උණ ලී කඩුල්ලේ ලී ටික හැර දාලා
පාරට වැවුන පොඩි තණකොළ ගලවාලා
පොල් අත්තේ රටාවට හැඩ වැඩ දාලා
ගෙදරම ලස්සනයි සුදු වැලි අතු ගාලා

දෙහි ගහ යට ලෑල්ලේ අත්තටු සලමින්
එක එක තාලෙනී උන් උන් හා දොඩමින්
ලේනුන් ගිරවු මයිනන් රොත්තක් යහමින්
බත් කන අයුරු සිතුවම් කර ගමි මනසින්

රෝසද සුදුද තරඟෙට පොකුරට පිපිලා
බංගලි රෝස පඳුරෙහි ඇති මල් පිරිලා
ලිඳ ළඟ සිසිල් දිය සීරාවට එතිලා
නිවිතිය වැලේ ඇති කොළ ලොකුවට හැදිලා

ඒවිද කියා නිතරම පෙර මග බලන
තාමත් කෙට්ටු යැයි නිති මැසිවිලි කියන
මට බත් බෙදන්නට හනිකට ගෙට දුවන
අම්මේ දකින්නට ආසයි නුඹෙ මුහුණ

ආවද පුතේ කියමින් හිස අතගාන
දාඩිය බිංදු මගෙ නළලේ පිසදාන
සුවපත් කරන තුන් සිත දුක් සඟවාන
ආදර තාත්තා නුඹ මගෙ සමප්‍රාණ

සමගින් කොලු කුරුට්ටන් ගම කරක් ගසයි
මලයා පණ්ඩිතයි ගෙදරම ඉතින් යටයි
අද නම් නින්ද යයි කොළඹට අනේ යසයි
එකටෙක කියන විට ගුටියක්‌ දෙන්න හිතයි

පොඩි බත් කූරන්ට කුරුමානම අල්ලා
මුනිවත රකින ඉඳහිට වලිගය හොල්ලා
ඉන්නා සීනු හැංගී ගෙන හොර ගුල්ලා
පොල් ගානකොට එනවා ඇති පොල් ඉල්ලා;

තරගෙට සින්දු කියමින් නලියන නටන
පොල් කටු අරන් සද්දෙට තාලම ගහන
දෝණිල චූටි ලා බිම වැලි බත් උයන
ආසයි බලන්නට සෙල්ලම් ගෙය හදන

හැල්මේ දුවන ලොව හා මුහු වෙන අතර
පිම්මේ දුවයි සිත නම් ගෙදරට නිතර
ගෙව්වේ මසක් දිගු වුන කල්පය විතර
අම්මේ ලබන පෝයට එනවා ගෙදර !

Saturday, May 4, 2019

70. අවුරුදු සිරි



පැතිරේ කොවුල් නද දසතෙහි ඉමිහිරිය
සුපිපේ දොරින් දොර බක්මහ සුහදිනිය
මිහිරේ කුමාරිය නැවතත් සපැමිණිය
ඉතිරේ ගමේ බක්මහ අවුරුදු සිරිය

සුළඟින් හමන එරබදු මල කිනිති සැලේ
පුහුලන් පුරෝගෙන කජු අතු නැමෙන වෙලේ
සුවදින් කැවුම් අතිරස මුං බැදෙන තෙලේ
සතුටින් ලොකු කුඩා හැම හදවතම වෙලේ

එක්කර ළමා ළපටින් මහ සෙනග මැද
පන්සල් ගොසින් නොනගතයෙහි මුනිඳු වැඳ
පින්පෙත් සදා කරමින් ගන්ටාර නද
එක්වේ සැවොම නව අවුරුදු ලබන සඳ

එකවිට මොලවලා ලිප ගිනි සුබ නැකතින්
එකවිට උතුරුවා කිරි, කිරි බත පිසිමින්
එකවිට අල්ලලා වැඩ ගනුදෙනු කරමින්
එකවිට සැවොම සමරති අවුරුදු මැනවින්

විග්‍රහ කරන එක එක අයුරින් දකින
නිග්‍රහ කරත් සමහරු මෙසිරිත් නිතින
මේ සා සොඳුරු දිනයක් හමු වෙද කොතැන
මැඳුරට පැලට එකවිට සිරිදුව වඩින

සැරසේ කැවුම් අතිරස මුං සහ පිරිස
කිරිබත් කෙසෙල් මේසෙට එක්වනු පිනිස
උම්බලකඩ පවා නොයෙදුව ලුණු මිරිස
පුරවයි අහිංසක සිතුවිල්ලෙන් මනස

සතෙකුට කිසිම අබමල් රේණුවක තරම්
හිංසා නොකර මෙත් සිත පෙරදැරිව උතුම්
අවුරුදු කෑම මේසය ගම සැදුව නැවුම්
පුරවයි සිතේ මිහිරිම මතකයක හැඟුම්

දූ දරු පිරිස තැන් තැන් වල විසිර ගිය
පැමිණෙති දකිති මව් පිය නෑ පිරිස සිය
නමමින් දෙදණ නමදින පා කමල පිය
දසුනකි සොඳුරු මඳකට හද තෙතව ගිය

කරනට බොහොම අපහසු ගම එක්කාසූ
අවුරුදු දිනෙහි එක්වෙයි නැත ඉස්පාසූ
සරදම් සිනා මෙතුවක් කලෙකට නෑසූ
බෝවී තුඩින් තුඩ සැණකෙළියකි සෑදූ

වල කජු, පංච, පොර පොල්, අඹ කොට්ටන්ය
කඹ’දිලි, ග්‍රීස් ගහ, කොට්ටා පොරයන්ය
චක්‍ ගුඩු , එල්ලෙ, ජන කවි, ඔන්චිල්ලන්ය
වත්මන් මෙඅප නොම අර ගත් වත්කම්ය

ටික ටික නාගරීකරණය වෙන්න ඇවිත්
දැන් දැන් සුන්දරත්වය දියවෙන්නෙ ගමෙත්
නටඹුන් වෙලා ඉතිරිව නොම යයිද කිසිත්
සැක සංකා සිතේ සක්මන් කරයි යලිත්

ඉර හඳ පරිසරය සහ ගහ කොළට ලැදී
කෙලි සෙල්ලම් නොහිම් ප්‍රීතිය සිතට සැදී
ගැමි ජීවන සුවඳ අවුරුදු සඳෙහි විඳී
මියෙනා තුරු තියෙනු ඇත සිත පතුලෙ රැඳී.

Thursday, May 2, 2019

69. සැනසුම කොහිද

ලා රතු පාට අහසේ ඉර නිවෙන ගමන්
ගෙවිලා තවත් දිනයක් නිම වේය හෙමින්
කළුවර ඇවිත් බොඳ කර ලන තුරුම නුවන්
තනිවම බලා ඉමි ඈතක දෑස යොමන්

ඉඳහිට ඇසෙන පළගැටියන්ගේ රාවේ
සුව දෙන සුමුදු මද නල දසතින් පාවේ
සුදු මුදු රැසින් විසිතුරු ගෙන හැර පෑවේ
කිම අද පමා සඳ ඇයි තවමත් නාවේ

එක්තැන් නොවන සිතුවිලි රැස නැති මෙල්ල
අත් හැර නොයන වෙහෙසෙනි සිත කැළඹිල්ල
හමුවන රිසින් සසරෙහි වෙරළත වැල්ල
නිහඬව ගලා ගෙන යයි ජීවන රැල්ල

දිවි බර සිතෙහි අහලකවත් නැතිව ගෙවූ
ඉතිරුණ සැහැල්ලුව සිනහව දෝර ගැලූ
පාවෙන වළා රොදකට සිත දෙවෙනි නොවූ
සමනල වයස සුන්දර සිහිනෙකි ගෙවූ

යුතුකම් වගකීම් මත්තෙම හිස රැඳිලා
වියදම් පැත්ත නොදනිම අහසට නැගිලා
කලවම් වෙච්ච ලෝකෙක ගුණ දොස එතිලා
මිනිසත් කමේ පැහැපත් බව ඇත මැකිලා

සතුටින් සිටින අය දුටු විට අප දුකිනී
දුකකින් සිටින අය දුටු විට අප තුටිනී
සිතෙනා අයුරු සැසඳී නොදැනිම ඉතිනී
විමසමි සිතෙහි රූපය සිතුවිලි මතිනී

දින දින ශේෂ වී යන ජීවිත ගමනෙන්
අරුතක් සොයා ගනු වෙනුවට ලෝ දහමෙන්
දිව යති සැවොම එළියට යන මෙරු විලසින්
සැප යයි කියා ගත් මිරිඟුව පසු පස්සෙන්

පිපෙනා මලක මල් පෙත්තක සිරියාව
කුමටද විඳිනු බැරි දෙනෙතක හැකියාව
ගහ කොළ පරිසරය හා සංහිඳියාව
නැති තැන සැඟව යනු නිසැකය හැදියාව

දුවනා ලොවට එක් වී දිව යාම මිසක්
නැවතීමක් සොයා යන්නට නොහැකි කමක්
ඇති බව දැනෙයි නොදනිමි කල යුතුද කුමක්
නොපෙනේ පෙනෙන තෙක් මානේ ඊට මගක්

දරමින් දුකද සැප දෛවෙන් ලැබිය යුතූ
කුහුලින් යුතුව නොපැමිණි හෙට ගැනම සිතූ
ගෙවෙනා ජීවිතේ ඇති නැති රසින්  යුතූ
සැනසුම කොතනදැයි තනිවම සිතිය යුතූ..?

Sunday, April 28, 2019

68. එදා විසි එක බක් මහේ

සඳත් නෑ ඇවිදිල්ල අහසට පෙනෙන මානයෙ අඳුරමයි
ඉඩක් නෑ සිත සතුටකට ඇසු දුටුව තැන දුක කඳුලමයි
වගක් නෑ වෙන කාටවත් මේ අපිට අපි ටික විතරමයි
අදත් මේ දුක් කවි ලියන්නේ මල් කුමාරියෙ නුඹටමයි

අගේ කර මුතු ඇටේකට සම කලත් සයුරෙහි සුන්දර
මගේ මව් බිම කඳුළු බිඳුවකි යලිත් ලොව ඉහ ඉද්දර
බලේ ඇතිවුන් සැඟවුනා අප වෙතට විසිකර ගින්දර
අනේ කාටද කියන්නේ අවනඩුව තව නෑ උත්තර

එකට ගොස් වුවහොත් යමක් නෑ මාගෙ පැන්චිට කවුරුවත්
දෙකට බෙදිලා යන්නේ එනිසයි කොයිතරම් කරදර වුවත්
ලඟට විත් සුරතල් වෙලා කර දෙන්න අප සිත් සුවඳවත්
හවස ආපසු එන්න වේවිද කියන්නට බෑ කොහොමවත්

විදා පෙති තුරු හිසක් මත මල් පිපෙන විට සෙනෙහස තියා
සිතා සිටියේ එ මල් සුවඳින් ලොවම සැනසේවිය කියා
හැබෑ වෙන්නැති හීනයක් වී නෙතග උණු කඳුළැලි තියා
එදා විසි එක බක් මහේ ඒ පැතුම් මිහිදන් වී ගියා

Friday, April 26, 2019

67. ජාදූ










දැඟලිය හැකිය ගමකට සුරතල ඈදූ
සැනසිය හැකිය දැකුමද නෙත සුව සෑදූ
ඔපවිය ගෙදර සතුටට නිති මග පෑදූ
දැරිවිය පූස්, සුරතල් නම විය ජාදූ

වලිගය කොඩිය වගෙ උස්සා ගෙන උඩට
උඩ පැන දුවන් ඒ නම කිව්වම ළඟට
පුරු පුරු ගගා සුරතල් වීමට අතට
ඇවිදින් නිදයි හිස පිරිමැදි විට සැපට

පිට මැද ලේන ඉරි තුන එලෙසම පිහිටී
සුදු මුව පොඩිය බඩ අත් පා නොම කිලිටි
පොඩි ඇස්, වැඩුන ඉව ගස් මොනවට දිගැටි
රෝසයි නාහෙ නිතරම තෙත හුරු බුහුටී

නැගිටින්නට මඳක් උදයෙහි පසු වුනොතින්
නැගගෙන ඇඳ මතට බෙරිහන් දේ තරහින්
විගහට හාල්මැස්සෙක් දුන්නැති වුනොතින්
ඉන්නට නොවේ නොපියයි කට කිසි ලෙසකින්

ලේනුන් එන විටදි පැන පැන බත් කන්න
ඇය හට කිසිම ලෙසකින් බැහැ ඉවසන්න
රැක සිට ඉලක්කය ගෙන උන් අල්ලන්න
පනිනව පැනිල්ලක් ලෝකෙම පෙරලන්න

අප බිම ඉඳී නම් ඇය පුටුවට නගිතී
පුටුවල නම් මෙ අප ඇය මේසෙට පනිතී
නිතරම අපට ඉහළින් ඉන්නට කැමතී
මෙතරම් ලොකුකමක් මින්පෙර දැක නොමැතී

ගෙදරට රැජිණි වගෙ හිටියට බව්වන්ට
බියවී පටන් ගයි වලිගය පිම්බෙන්ට
බල්ලෙකු එන සෙයක් ඇත්නම් දැනගන්ට
සිහි නැහැ දුව ගිහින් ගෙතුලට පැනගන්ට

පොඩි පොඩි කුරුල්ලන් වත්තට එන ඉගිළි
පෙන්නන්නට බැරිව දාගෙන මුර කෙරිලී
පස්සෙන් ගියත් අල්ලන්නට කර පෙරලී
ළඟටම ආව විට උන් යනවනෙ ඉගිළි

පොල් ගස් පේර ගස් බාගෙට නැගිය හැක
වහලය උඩින් වුව පහලට පැනිය හැක
රිංගා ජනෙල් දැල් අතරින් දිවිය හැක
ගෙදරම ඉඳන් සර්කස් දැන් බැලිය හැක

පවරා ඇයව අල්ලපු නිවසෙහි අයට
අවුරුද්දට ගමේ යන්නට විය අපට
සතියක් අවෑමෙන් අප යළි එන කලට
පූසිය ගැබිනියකි පැමිණිය පෙර මගට

තාමත් පුංචි කෙල්ලට සය මස් වියෙහී
සිදු වුනෙ කුමක් දැයි සිතමින් සිටි වෙලෙහී
පූසන් දෙතුන් දෙනෙකුම අප ගෙය වටෙහී
කැරකෙනු දුටු විටදි පහ විය සැක සිතෙහී

අප නැති අතර තුර අප නිවසට වැඩිය
කෙල්ලගෙ හිතද නැම්මුව අරගෙන දිරිය
මනමාලයා කවුරුද මෙහි රැක සිටිය
පැටවුන් ලැබුණු පසු හඳුනා ගත හැකිය

වෙනදා මෙන් දෙතුන් ගුණයක වගෙ කෑම
ඕනෑ කර තිබෙනවා දැන් හැම දාම
එනමුත් කුලප්පුව සමගින් දඟ පෑම
අඩු වෙන බවක් නම් නැහැ පෙනුනේ තාම

බන්ඩිය ලොකුයි පැද්දෙයි ඇවිදින විටදී
සැලකුම් වැඩියි ඇය වෙත ඇත මුල් තැනදී
සුරතල් පූස් පැටියන් නලවන සුවදී
අත්තම්මා කෙනෙකු විය හැක මට ලඟදී.



Tuesday, April 23, 2019

66. මොකද්දම්මා ඔක්කෝටම වෙලා තියෙන්නේ

මොකද්දම්මා බෝම්බයක් කියා කියන්නේ
කියන්නකෝ අනේ ඒවා කඩෙන්ද ගන්නේ
බැලුම් බෝල වගේද ඒවා පිපිරෙන්නේ
බයක් ඇවිල්ලද අම්මල ළමයි අඬන්නේ

ඒව ඇතුලෙ දයියා පුච්චි ගිනි ද තියෙන්නේ
කොහෙන්ද එතකොට අරවගෙ කළු දුම එන්නේ
ඩෝන් ඩෝන් ගාල නේද සද්දෙ ඇහෙන්නේ
කන් දෙක වහගත්තොත් නෑ නේද ඇහෙන්නේ

අක්කලාට ඉස්කෝලත් නෑලු වහල ලූ
පුංචිලාගේ කැම්පස් ඒක ඒත් වහල ලූ
අපිට ඩේ කෙයාත් නෑ සතියක්ම වහල ලූ
පාරෙ ඉන්නේ පොළිස් මාමලා විතරයිලූ

තාත්ත ටී වී එක ළඟ නෑ හෙලවෙන්නේ
අම්මත් අද වර්කින් ප්රොම් හෝම් කියන්නේ
ආච්චම්ම පැයෙන් පැයට කෝල් කරන්නේ
කොහෙවත් නොගිහින් ගෙදරම ඉන්න කියන්නේ

මාව වඩන් උකුලෙ තියන් ගොළුවෙල ඉන්නේ
ගෙදර වැඩත් වෙනදා වගෙ නෑනෙ කෙරෙන්නේ
හිතට හරිම අමුත්තක් නෙ මට තේරෙන්නේ
මොකද්දම්මා ඔක්කෝටම වෙලා තියෙන්නේ

Wednesday, April 17, 2019

65. කොස් ඇට මීයෝ

කොහේද මන්දා ඉඳලා - කෑම සොයාගෙන රහසෙම
ලඟදි අපේ ගෙදරට ආ - කොස් ඇට මීයෝ

අයියට අහු වුනොත් ඔයා - දොර පොල්ලෙන් චටස් පටස්
එහෙ මෙහෙ යනකොට තරමක් - පරිස්සම් වෙයන්

මී කතුරක් අටවන්නට - තාත්තා දොර ළඟ රැකගෙන
පුච්චපු පොල් කෑලි එහෙම - කන්න නම් එපා

මෙයා හරිම හිරිහැරයක් - ගෙදර අයට කරදරයක්
ලෙඩත් හැදෙනවා හැපුවොත් - අම්ම කියනවා

අම්මගෙ ඒ කීම අහල - ඔයා මල්ලකට දාන්න
ඔන්න එනවා මද්දුමයා - හැංගිලා ඉඳින්

සියලු දෙනා ඔබට හතුරු - මම විතරක් ඔබට මිතුරු
මගේ පොතුත් ඔයා කාල - අනේ අනිච්චං

පසු ගිය කාලය තිස්සේ - මරණය නුඹ පසුපස්සේ
පණ බේරාගෙන පැටියෝ - වෙනතක පලයන් ...


ප.ලි.
විනීත පූ පොඩි කාලේ පුවත්පතක කියවූ කවියකි
අදටත් තිබෙන මතකය ගැන සතුටින් ලියා තබමි.


Tuesday, April 16, 2019

64. දේදුන්නට බර වැඩි නෑ

දේදුන්නට බර වැඩි නෑ
නැග යමු අපි දේදුන්නේ
සමනලයෝ යන්න එන්න
රවුමක් අපි ආකාසේ

පුළුන් වගේ පාවෙන සුදු
වලා කැරලි පහු කරලා
ගිහින් බලමු සුරංගනා
වියො හමු වේවිද කියලා

රෑට ඇවිත් හිනැහෙන්නේ
දවල්ට යලි හැන්ඟෙන්නේ
හැංගිමුත්ත තරු සෙල්ලම
අද අතටම අහු වෙන්නේ

ලිව්වේ විනීත පූ - 2019-04-12

63. වැස්ස කෝ ?

පාට පාට කඩදහි ඔරු ගොඩාරියක් හදන්
මිදුලෙ වතුර පිරුන පසුව පා කරන්න හිතන්
ඉන්නේ මග බලන් බබෙක් ගොඩක් දවස් ඉඳන්
වළාකුලේ එන්නෙ නැද්ද වැස්සක් මෙහෙ අරන්

උපන් දිනේ දවසට කහ මල් පිපෙන්න කියා
දාස් පාත්තියක් හදල ආච්චම්ම ගියා
මිලින වෙලා ඒ ඔක්කොම වැස්ස ඕන කියා
උපන්දිනේ පහුවුනාට මල් දුන්නෑ එයා

බත් ඇට කෑ ලේන් බබා බොන්න වතුර සොයන්
පයිප්පෙ ළඟ ඉව කරනවා ටින් ටින් ටින් කියන්
අනේ හරිම පව් ඉන්නට බැරි තැන මට බලන්
කොප්පෙකට වතුර දුන්න ඇවිත් බොන්න කියන්

හිටියම දවසක විදුලිය කොටලා ආකහේ
හග් ගුඩු ගුඩු ගෙරෙව්වාට වැස්සක් කෝ කොහේ
කඳුළු වගේ දාඩිය බිඳු ඇවිදින් ගත වැහේ
රෑට නින්ද යන්නෙත් නෑ රස්නෙ හරිම මෙහේ

රේන් රේන් හනිකට ගෝ අවේ කියල ගයා
ඉස්සර මං කිව්ව සිංදු තරහද තව ඔයා
දැන්නම් ඇති ඔහොම හිටිය අමනාපයි කියා
සමාවෙලා ආයෙ එන්න අනේ අපව සොයා

ලිව්වේ විනීත පූ 2019-04-12


62. සුළගේ මෙහේ එන්න

සුළගේ මෙහේ එන්න - පොඩියක් නතර වෙන්න
ඔයාට සුවඳ තියෙනවාලු මෙහෙ ගොඩක්
පිපිච්ච මලක් වැන්න - ලස්සන බබෙකු වෙතින
ඔයාට සුවඳ ලැබෙනවාලු හරි ගොඩක්

කොවුලෝ මෙහේ එන්න - පොඩියක් නතර වෙන්න
ඔයාට සින්දු තියෙනවාලු මෙහෙ ගොඩක්
පොඩි කෙවිලියක වැන්න - ලස්සන බෙබෙකු වෙතින
ඔයාට සින්දු ඉගෙන ගන්න හැකි ගොඩක්


මොණරෝ මෙහේ එන්න - පොඩියක් නතර වෙන්න
ඔයාට නැටුම් තියෙනවාලු මෙහෙ ගොඩක්
පොඩි මොනරියක වැන්න - ලස්සන බබෙක් වෙතින
ඔයාට නැටුම් ඉගෙන ගන්න හැකි ගොඩක්

ලිව්වේ විනීත පූ - 2019-04-12

Thursday, April 11, 2019

61. ලියා තබමි කවි

ලියා තබන්නෙමි මගේ කවි ඔක්කොම
මේ මල් පෙති මත්තේ
සිනාසෙමින් විත් නුඹට බලන්නට
යම් දිනයෙක පස්සේ

මිලාන වී පෙති බිමට වැටෙද්දී
මගේ කවිත් එක්ක
සුළං හමාවිත් අරන් යාවි රස
ඒ කවි වල දැක්ක

අලුත් කැකුළු මල් පිබිදී එනකොට
සුළං ඇවිත් හමලා
ආයෙ ලියනු ඇති ඒ කවි පෙතිවල
හොඳින් මතක් කරලා

ලිව්ව ලෙසම අද හෙටත් තියේවී
මේ කවි රස මුසුව
දිනෙක පිපුණු කවි හිතත් සමග නුඹ
ඇවිත් බලන තුරුම.

ලිව්වේ විනීත පූ - 2019-04-10


Tuesday, April 9, 2019

60. අපේ පින

නිබඳ ඉසිමින් සිසිල හද වෙත සුවය ගෙන දිය බිඳිත්තකි
සුවඳ සලමින් මුදුම හසරැලි අවට විසුරන මල් කිනිත්තකි
ළබැඳි ලෙස හෙට දිනට පැතුමන් අලුත් කරවන සුබ නිමිත්තකි
සබඳ අප තනි නොවන බව යලි පසක් කල පොඩි දූ සිඟිත්තකි

අතේ නිතරම තුරුළු කරගෙන සිටින සුදු බෝනිකි පොඩිත්තකි
අගේ කර කර කියයි කවි ගී එහිම ආවේණික නැටිල්ලකි
එහේ අය හා හිනාවීගෙන රෑට හීනෙන් මල් ගෙතිල්ලකි
අනේ මේ නම් අපේ පිනටම අපේ දෝතට ආ මැවිල්ලකි

ලිව්වේ විනීත පූ - 2019-04-09



Monday, April 8, 2019

59. කණාමැදිරි එළි

කණාමැදිරි එළි දිලෙන කළුවරේ
අපිව අත හැරලා ගොසින මිදුලේ
බයකරන්නට හිතුව මදි අප
සැලෙන්නෑ අපිලා - ඕවට නම්
ලයිට් ඕනෙම නෑ - ඔහේ ගිය දෙන්

ඉටි පහන් දෙක තුනක් පත්තු කරගෙන නටමූ
බිත්තියේ උස් මිටී සෙවනැලී බොහො මවමූ
මදි පාඩුවට විදුලි පන්දම් එළි රටාවක් හදමු
රැහැයියන් හට කළුවරේ යන පාර හරියට කියමූ

පාත බලමින් හිනාවෙන අර තරු විමානේ අහසේ
කියා එක දෙක ගණන් කරමුද දෙන්න එක්කල රහසේ
කණාමැදිරියො පොකුරු හැදිලා පාවයන විට දසතේ
රෑ බදුල්ලෙක් මොකද තණකොළ ගොඩේ තනියම ගමනේ

හඳත් නෑ බයවෙලා හැංගිලා කළුවරට
ඒ අතින් ඉස්තරම් ඔට්ටු අපි වෙන දෙයට
ඕන යැයි අඬ අඬා ලයිට් නැති වුන දුකට
ඉන්න අය හෙම නොවේ අපි,ඉන්නවා හිනැහී යසට

කණාමැදිරි එළි දිලෙන කළුවරේ
අපිව අත හැරලා ගියද මිදුලේ
බයකරන්නට හිතුව මදි අප
සැලෙන්නෑ අපිලා - ඕවට නම්
ලයිට් ඕනෙම නෑ - ඔහේ ගිය දෙන්


ලිව්වේ විනීත පූ 2019-04-08




58. හද ගී පොතේ

හද ගී පොතේ - පිටුවක් පුරා
ලියා තියමි ආදරේ
සුරංගනා දියනිට මා
හදෙහි තිබෙන ආදරේ ...

පොළවෙහි වැලි කැට උණුහුම සදනා
සයුරෙහි රළ පෙළ නොනැවති නැගෙනා
අහසෙහි අපමණ තරු කැට දිලෙනා
ඇය සතු සෙනෙහෙට නැත කිසි උපමා

හද ගී පොතේ - පිටුවක් පුරා
ලියා තියමි ආදරේ
සුරංගනා දියනිට මා
හදෙහි තිබෙන ආදරේ ...

දුටු පමණින් සැම ඇය වෙත බැඳෙනා
සුරතල් වදනක් ඇයගෙන් යදිනා
මදහස ගඟුලක් ඇය වෙත පුදනා
මඳකට ඇගෙ සුර ලොව වෙත වඩිනා

හද ගී පොතේ - පිටුවක් පුරා
ලියා තියමි ආදරේ
සුරංගනා දියනිට මා
හදෙහි තිබෙන ආදරේ ...


ලිව්වේ විනීත පූ 2019-04-08.

Monday, March 18, 2019

57. දියළුමක සිසිල

හිනා වැහි අරන් විත් මහද මත වස්සලා
රිදුම් පිරිමදින සඳ තුරුළෙ හින්ද නැළවිලා
අහිමිවී ගිය නමුත් බොහෝ දේ සැඟවිලා
ඇති බවක් හැඟෙනවා ජීවිතේ හමු වෙලා

පිපෙන මල් වල අසිරි කුඩා වුවනේ දකිමි
දිලෙන තරු වල කැල්ම කුඩා දෙනෙතේ හඟිමි
හමන නල මුදු සුවඳ ඇගේ මුවගේ විඳිමි
මිලින සිතිවිලි බොහෝ දුරක පා කර හරිමි

කිරුළු හිස පැළන්දූ උතුම් මව් පදවියේ
කුරුළු පොඩි පැටික්කිය සිටින සුරතල් වියේ
තුරුළු කර ආදරෙන් සෙනෙහෙ හද නිම්නයේ
දියළුමක සිසිල ගමි ගෙවෙන සති අන්තයේ.

56. සුළඟ නුඹ වගෙයි..

සුළඟ නුඹ වගෙයි
කිරි සුවඳ ගෙන හමයි
සෝ දුක් සුසුම් සිතේ අරගෙන ඈතටම හමයි
වැස්ස නුඹ වගේ
හසරැලි ලෙසින් වැටේ
ලතැවුල් තැවුල් සිතේ සැනෙකින් සෝදලා නිවයි

ජීවිතේ අපෙ නුඹයි
පසුපසින් සසරෙ හැම භවයෙම
ඇවිත් හමු වුනයි
දිවි තිබෙන තුරා නුඹේ නමට
අපේ දිවි කැපයි

සඳ අහසෙ නැග දිලෙයි
මුළු ලොවම වසා ගෙන තිබු ගණ
අඳුර අහවරයි
අප දෙසිත් එලිය කල ඒ දෙව්
ලින්දී නුඹ තමයි

සුළඟ නුඹ වගෙයි
කිරි සුවඳ ගෙන හමයි
සෝ දුක් සුසුම් සිතේ අරගෙන ඈතටම හමයි
වැස්ස නුඹ වගේ
හසරැලි ලෙසින් වැටේ
ලතැවුල් තැවුල් සිතේ සැනෙකින් සෝදලා නිවයි ..



55. සතුටු අරණ

සතුටු අරණක තනිවෙමී - නුඹ නිසාවෙන් මා
දුරක පාවෙයි සිතිවිලී - සැහැල්ලුව විදහා ...

බලා ලොව දෙස පෙර නොවූ ලෙස පා දයාබරකම්
බෙදා මිතුදම් දසත විසිරෙන ලෙස හිතාදර කම්
වහා විත් යලි තවත් දිනයෙක මෙහෙ නිමා කරමින්
බලා හිඳිනෙමි නැගිට නින්දෙන් නුඹ සිනාසෙනකන්

සමුදුරක් වන සෙනෙහෙ සිත ළඟ නුඹ නිසා පිරුණා
මිහිකතක් වන මහඟු අබිමන් නුඹ නිසා ලැබුනා
සියපතක් වන කවි හිතක් අරුණළු නැගී පිපුණා
සුවහසක් සිතුවිලි වලින් හද කවි පෙළක් ගෙතුනා

සතුටු අරණක තනිවෙමී - නුඹ නිසාවෙන් මා
දුරක පාවෙයි සිතිවිලී - සැහැල්ලුව විදහා ...

Friday, March 1, 2019

54. අඬනවද පොඩි හිත ...

ගේට්ටුවෙ කවුළුවෙන් එබී එබී බලනවද
අම්ම තාමත් එතන ඇති කියා හිතෙනවද
ටීච ඇවිදින් ලඟට ඔළුව අත ගානවද
එවිට පොඩි ඇස් දෙකේ කඳුළු ගුලි පිරෙනවද

යාලුවෝ සෙල්ලමට යන්න අඬ ගහනවද
මුකුත් නොකියා එවිට බිම බලන් ඉන්නවද
පාට පිටු අකුරු හැඩ ලොකු කතා කියනවද
පුංචි හිත අම්ම ළඟටම හොරෙන් දුවනවද

සීනු හඬ ඇහෙන තෙක් මග බලන් ඉන්නවද
හමන සුළඟට හිතේ දුක් කවිය කියනවද
මග ඇරුණු කිරි සුවඳ වට පිටේ හොයනවද
හැමෝටම හොරෙන් පොඩි හිත හුඟක් අඬනවද ...

Saturday, February 16, 2019

53. මාගෙ පැංචිගෙ නමයි සුදූ...

උදයෙ සුපිපුණු මලක් බඳු
ළපටි අත පය හුඟක් මුදූ
පණ වගේ ආදරෙන් හැදූ
මාගෙ පැංචිගෙ නමයි සුදූ

පොඩ්ඩ වැරදුනු තැනදී බලා
කඳුළු ගුලි ගුලි බිමට හලා
අඬයි අපි පින්සෙන්ඩු වෙලා
යාලු වෙනතුරු සොරිය කියා

දොළහ එකොළහ නොකර පහූ
නිදා ගන්නට යාම බොරූ
සෙල්ලමින් කල් අරින යුරූ
අපිට පෙන්වනවාය තරූ

රෑ දෙකට යලි අවදි වෙලා
කාණුවට ගල් දමමු කියා
යන්න එලියට සමග එයා
අඬ ගසයි මට එන්න කියා

දෙන්න පස්සට හොඳ ගුටියක්
හිතට එන මුත් කෝ හැටියක්
කඳුළු ඇස් වල අලි පොරයක්
සැර කරොත් ඇති එක සැරයක්

හිතෙන දේවල් කොහොම හරී
ගන්නෙ තාත්තා ලඟට හැරී
පැංචි මගෙ ළඟ නැතුව බැරී
එයත් හරි මගෙ පනත් හරී...

52. මතක මල් ...

නිලට දිදුලන පුංචි ඇස් හිමි
කිරි හිසට මිණි කිරුළු පළඳා
සිහින මාළිග සෑදුවේ මං
නුඹ මගේ කුස තුලට වන්දා

හඳෙන් හිමිහිට නික්ම ඇවිදින්
මගේ තුරුලට පනින හින්දා
හඳේ හාවිගෙ ටිකිරි හුරතල්
එදත් මං සිහිනයෙන් වින්දා

මවෙත එන්නට පෙරාතුව නුඹ
ලොවම ගෙන අත මිටට කැන්දා
ලියූ කවි ඇති තාම මල්වල
හිතේ උණුහුම් හැඟුම් රන්දා

සුසුම් දුක් ඇස කඳුලෙ දියකර
ලොවට රහසින් තනිව වින්දා
සිනා දෝතින් අරන් ලෝකෙට
මලක් වගෙ නුම හැදෙන හින්දා

නැවත ඉපදී නුඹ නිසා මං
තුන් වසක් හෙට ඉවර හින්දා
ලියා තබනෙමි අදත් කවියක්
මතක මල් කිරි සුවඳ රන්දා ...


Monday, February 11, 2019

51. හෙන්දිරික්ක මල් පිපිලා

හෙන්දි රික්ක මල් පිපිලා මුළු මිදුලම හැඩ වෙලා
කෙල්ල එක්ක සෙල්ලමටම මුළු දවසම ගත වෙලා
කරන්න නෑ ගෙදර වැඩක් ඔක්කොම ඇත හිර වෙලා
රණ්ඩු කෙක්ක හිනස්සන්න තිස්සෙම ඇප කැප වෙලා

ටක් ටුක් ටික් මං යන්නේ මොන පාරෙද කියන්න
කොතන ගියත් නවතින්නේ කොයිබකදැයි සොයන්න
අත්තාපන් මුත්තාපන් රෑ වෙනකන් සොයන්න
මූද ගාව තියෙන පොතේ අකුරු දෙකක් ලියන්න

රවුම් රවුම් බෝල ඇඳලා පොත්වල පිටු පුරවලා
ගිහින් දෙන්නෙ ආච්චි හට දෙන්න කියල කියවලා
තාත්ත ආවම හනිකට අලියා පිටේ නග්ගලා
වඩම්මවයි පොඩි නිලමෙව මුතු කුඩයක් අල්ලලා

රජ්ජුරුවෝ බිමයි බිමයි රැජිනයි උඩ හිඳින්නේ
මිටි ගොල්ලෝ බිම ඉඳගෙන ආවතේව කරන්නේ
අනේ හැබෑටම අපිටත් පිස්සුම නොවැ තියෙන්නේ
පඩ කෙල්ලෙක් හිනස්සන්න ඇයි මෙච්චර නැහෙන්නේ

යාලුයි යාලුයි අපි යාලුයි
රෑ බතටත් අද අමු මාලුයි
සුද්දි නැතුව බෑ හරි පාලුයි
දාල යන්නෙ නෑ අපි යාලුයි...

50. අපි හැදුනම ලොවම හැඩයි

කඳු තිබුනම පොලොව හැඩයි
සඳ නැගුනම අහස හැඩයි
මල් පිපුනම ගසද හැඩයි
අපි හැදුනම ලොවම හැඩයි...

මුතු හැදුනම මුහුද හැඩයි
රැලි නැගුනම ගඟද හැඩයි
එක මුතුකම සවිය වඩයි
අපි හැදුනම ලොවම හැඩයි..

Saturday, February 9, 2019

49. ප්‍රභාතයක් වී...

ප්‍රභාතයක් වී ඇස තැවරෙද්දී
නුඹෙ රුව නිරන්තරෙන්
නුඹෙන් වියුක්තව කිසිත් සිතන්නට
මට වෙන සිතක් කොහෙන්...

ගලා ගලා යන උණුසුම් සෙනෙහස
හද බිඳී ඉවුරු මතින්
සිනා තෙපුල් කිරි ප්‍රමෝදයන් මැද
සැනසෙයි අමා සුවෙන්...

දැවෙන දිලෙන යලි හඬන සිනාසෙන
අහසෙහි අරුම ගෙනා
නිවෙන සැනෙන සැනසුමද සුවය දෙන
සඳ නුඹ සතුට ගෙනා...

Wednesday, February 6, 2019

48. නුඹ දෝතට වැඩියා...

මුතු පිනිදිය ගලා හැලෙන
සොඳුරු නිසල රෑ යාමෙක
පසළොස්වක සඳක් වගේ
නුඹ දෝතට වැඩියා
මිහිරි හැඟුම් සමුදායක
පාවී පාවී සරන නිබඳ
සන්සුන් නැති හිතට නුඹව
හරිම බරට දැනුනා...

කඳුළු සුසුම් හසරැලි වී
උණුසුම් වූ සෙනෙහස ළඟ
ලියවෙන හැම කවි පදයම
නුඹේ නමට ගෙතුනා
කිසිම දිනෙක නොවුණු ලෙසින්
සොඳුරු හැඟුම් මවුන හදේ
පිපී බිඳෙන පිනි කැටයත්
සුන්දර ලෙස පෙනුනා...

දිලිසෙන නිල් ඇස් දල්වා
මදෙස බලා නුඹ සිටියා
මුළු ලෝකෙම මගේ වෙලා
එවිට සිතට දැනුනා
හදට තුරුළු කර සතොසින්
මලක් වගේ බලාගන්න
නුඹට නිබද සෙත් සදන්න
පොරොන්දුවක් දුන්නා...

Tuesday, February 5, 2019

47. සිනා...

ආදරේට හාදු දෙද්දි මුවින් පැන්න කිරි සිනා
කාමරේට හැංගි හොරා එද්දී පැන්න කිරි සිනා
ආච්චිගෙන් තෑගී ගද්දි බෝම වෙච්ච කිරි සිනා
කෝච්චියට අත වනද්දි පාට වෙච්ච කිරි සිනා

තාත්තගේ කරේ යද්දී සද්දෙ දැම්ම කිරි සිනා
පාත්තියේ පස් කොටද්දී උඩින් පැන්න කිරි සිනා
පොච්චියෙන් දුම් දමද්දී ඉහල නැග්ග කිරි සිනා
පාන්දරින් මල් පිපෙද්දී දසත විසුල කිරි සිනා

යාන්තමින් ඇස් අරිද්දි නෙලුම් මලේ ඒ සිනා
වාන් දමන් ගලන ගඟේ සුදු පෙණ කැටි ඒ සිනා
හීන්සැරේ කන්ද ඉඹින මීදුම් සළු ඒ සිනා
කාන්තියෙන් දිස්නෙ වැටෙන මුතු පිනි කැට ඒ සිනා

පාත් වෙමින් පහල බලන වලා පෙලේ ඒ සිනා
මෑත් වෙමින් අතු අස්සෙන් හිනැහෙන මල් ඒ සිනා
ඈත් එක්ක හාද වෙන්න හමන සුළගෙ ඒ සිනා
හාංකවිස්සියක් එබැව් නොදැන නගයි ඈ සිනා...

46. එදා සහ මෙදා ...

අතට අහු වුන හැම කොලේකම
බලි කුරුට්ටක් ඇඳලා නිතරම
තබා එක ළඟ නුඹයි මාවයි
එදා දුටුවෙමි මගේ ලෝකය

බිත්ති පොත් පිටු බිමද හැමතැන
බලි කුරුටු නුඹ අතින් නිමැවෙන
නුඹයි මාවයි ඒත් එකලඟ
මෙදා දකිනෙමි නුඹේ ලෝකය...

Sunday, February 3, 2019

45. පාරමී පුරමි...

නිදන පොඩි සඳකට
රහස් කොඳුරනු නොහැකිව
කවි පෙළක් ලියවෙයි
නුඹේ මුදු මුව සිඹිමින

සුන්දරම හැඟුම් අහුරක
මහා මෙරක් සේ සෙනෙහස
දිනෙන් දින තව ලියලයි
නුඹේ සුවදින් පණ ලැබ

සසර මග පුරාවට
නුඹ නමට දිවි කැපකර
මටම යලි හිමි වන්නට
පාරමී පුරමි මම...


44. වස්තුව ...

කඳුළු දිය කර හරින කිරි ටිකිරි සිනාවයි
සුසුම් පා කර හරින මුදු තෙපුල් කතාවයි
මහා මෙරක හිසේ බර දුටු සැනින් පලා යයි
මගෙ කුඩා මැණික මට සදා වාසනාවයි

ඉඩෝරෙට බිඳුණු හද බිමට වැසි වැස්සුවේ
අවාරෙත් කැකුළු මල් නටු අගට කැන්දුවේ
අමාවක දිනෙත් සඳ අහස් කුස නැංවුවේ
මගේ පණ ඉතින් නුඹ තමයි මගෙ වස්තුවේ !

Friday, February 1, 2019

43. නුඹට...

හෙමිහිට අඩි තියා උයනට ඇවිද ගිහින්
සුදු මුදු රෝස කැකුලියනට හාදු දෙමින්
ලීවෙමි කවක් පෙති මත සියුමලිව ඉතින්
සුරතල් පපා නුඹ දඟ කල විදිය තොසින්

එන මඳ නලෙන් උදයෙම සීතෙන් වුවද
ඉව කර නොඉවසිල්ලෙන් ඔය කිරි සුවඳ
කරගෙන තුරුළු හරි ආදරයෙන් කවුද
තනියෙන් සිනාසුන දින කොතරම් ඇත්ද

ලස්සන සින්දුවක් අහගන්නට කියලා
සුටික්කන් ගෙ කිචි බිචියට කන් යොමලා
කොඳුරා උන්ට කවියක තාලය කියලා
මතකයි වරු ගණන් මල් ගස් ළඟ උන්නා

සමනළයින් ගෙ අත් තටුවල රැඳී පාට
සිත්තම් කරයි ලොව නුඹ මෙහි එන දාට
සිතමින් සිය දහස් වර සිහිනෙන් රෑට
නිසැකයි කීව කවි නුඹ හට ඇසුනාට

රන්වන් හිමිදිරියෙ ලා හිරු නැග එද්දී
සිත්තම් කරන් සොම්නස මල් හිනැහෙද්දී
මත්වී එයින් මොහොතක් හිත නවතිද්දී
නුඹමයි සිහි වුනේ සිහිනෙක පාවෙද්දී

නැග එන රැල්ල නගමින් සුරතල් තාල
පිළිගෙන තොසින් දක්වන සෙනෙහස ආල
මා වගෙ නුඹට අන්දන සුසිනිදු සේල
ජීවය උතුරමින් දිදුලන ගං දෑල

කැටි කර මෙලොව සොඳුරුම දේවල් එකට
මැදි කර සෙනෙහෙ උල්පත නොසිඳෙන එයට
ගුලි කර අතේ මුළු ලෝකෙම මා වෙතට
ගෙන ආ නුඹට මා පුරනා පින් කුමට !

Friday, January 25, 2019

42. පුදුමයි තවම යලි මා ලැබූ දිනය පණ...

හසරක් නොදැන සසරෙහි සැරිසරන දින
නොදැනිම වගේ නුඹ විත් කුස තුලට පැන
සෙනෙහස මුහුද හරවා හිත ලඟට වුන
පුදුමයි තවම යලි මා ලැබූ දිනය පණ

හා පැටියෙක් වගේ තුරුළුව ලඟට වෙමින්
සුරතල් වදන් මුමුණන විට සිනහ සෙමින්
මුළු තුන් ලොවේ කිසිවෙකුටත් නොමැති ලෙසින්
පුරවයි සෙනෙහෙ සිත නිරතුරු උතුරුවමින්

ඉපදුනු දා පටන් ලෝකෙම සරසන්න
දඟ පැටියෙක් වෙලා මට කරදර දෙන්න
නොසිතා හරිම අවිහිංසක ලෙස ඉන්න
කොහොමද පුරුදු වුනෙ පැටියෝ පවසන්න!

41. නෙළුම් මලයි නුඹ ...

සුදු නෙළුම් මලක සුවඳ දිගේ සිත පැටලෙනවා
මුදු සුවඳ දිදී නුඹෙ සුවඳට තව ලංවෙනවා
ඒ අතීතයේ සිතූ සිතුම් මට සිහිවෙනවා
ඒ අතීතයේ සිතූ සිතුම් අද සුව දෙනවා

සුදු නෙළුම් මලක් බෙල්ලන්විල බෝ සමිඳුන්ට
බැති සිතින් පුදා පැතුවේ මං නුඹ මගෙ වෙන්ට
නිදි ලොවේ සිනාසී සිහිනෙන් ආ දැකගන්ට
කිරි සුවඳ දැනේ දුන් එදවස මා සනසන්ට

හිස් අහස් ගැබේ පොඩි තරු කැට අතරින් පායා
සඳ කුමාරියක් විත් අහසට රහසක් කීවා
සඳ දියෙන් තෙමා සිත් අහසම සෙනෙහෙන් නාවා
පස් මහා බැලුම් නොබලා නුඹ මා වෙත ආවා

හෙමි හෙමින් මතක පොත පිටු පෙරලා බලන්නෙමී
සුන්දරම මතක මල් ගෙන යලි යලි සිම්බින්නෙමී
මල් සුවඳ පිරුණු සුසුමක් සතුටින් මුදන්නෙමී
මගෙ නෙළුම් මලයි නුඹ, ආදරයෙන් රකින්නෙමී

Friday, January 4, 2019

40. දුවණි ...

සහස් සුවහස් සිනා පුබුදන
සිහින ගොන්නක් සිතට කැන්දන
සුවඳ දෙන මුදු වදන් තෙපලන
නිසල මගෙ දිවි අරණ කළඹන
දුවණි මගෙ සිත නුඹට නතුවන...

නැවුම් උල්පත් සිතක උතුරන
හදෙහි නෙක මල් මඩුලු හැඩලන
මවෙත වෙලෙමින් සොඳුරු සුව දෙන
නිබඳ මගෙ ජීවිතය කියවන
දුවණි මගෙ නෙත නුඹම ගෙනයන...

අඳුරු පැහැ මඳ මලක පෙති ගෙන
සෙනෙහෙ ස්වරයෙන් නිබඳ නලවන
වැටෙන නොවැටෙන කඳුළු කියවන
මියෙන්නට යෙන සිතට දිරි දෙන
දුවණි මගෙ සඳ නුඹය මගෙ පණ...

39. ජීවිතේ හමු වෙලා...

රැය පුරා නෙතු ඇරන්
දුටු සිහින ඉටු වෙලා
නිදි නොමැති නෙත් කෙවෙනි
සෙනෙහසින් මත වෙලා...

හැඟුම් දිරා පිරී ගොස්
හද මඬල ඉතිරිලා
විවර වූ මුව අගට
සුබ පැතුම් ලං වෙලා...

දිවි මගට එලිය දෙන
පහන් වැට දැල්විලා
කුඩා මුදු හිතක් ළඟ
ජීවිතේ හමුවෙලා ...



38. සිතන්නෙමි මම නුඹ ගැන ...

අහස කහ පැහැ ගැන්වුන
පොලොව සතුටින් මත්වුන
සැන්දෑවක සිරි විඳිමින
සිතන්නෙමි මම නුඹ ගැන...

කටුක බස් හිත කොනිහන
කප්පරක් වැඩ හිර වුන
විටෙක කඳුලක් ගිලිහුන
සොයන්නෙමි නුඹෙ මුදු හඬ...

ගැඹුරු උඳුවප් සීතල
සීනයෙන් නුඹ හිනැහෙන
හාදු මුහුදක් නුඹටම
තමන්නෙමි මුදු සෙනෙහෙන...

ජීවිතේ පොත අවසන
සන්ගවගන්නට පණ නළ
දිනක් එනතුරු මතුදින
සිතන්නෙමි මම නුඹ ගැන...

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.