Friday, August 16, 2019

96. ඇගේ කතාව

ඉහල ගොඩටත් ඇහුණා අළුයම් වෙලේ සිට ඝන්ටාරෙ රාවේ
එවෙලෙ ඉඳලම නින්ද ගියෙ නෑ හිතම මගෙ දුක සාංකාවේ
ඇහැළ පොයෙත් එන්න හිටියා හැදුන උණ ඒ නිසයි නාවේ
බෙදල දං හැන්දක් දුවන්නට හිතන් මං මේ හනික ආවේ

ඉන්න ගේ පැල ලිව්වෙ කොල්ලට ලේලි එක්කල ඉන්න සතුටෙන්
යන්න වෙනබව නොදැන හෙම නොව උන්ගෙ කිරි සප්පයා වෙනුවෙන්
හයිය නෑ දැන් කුලියකටවත් එන්නෙ වැඩ පළ හරිම අඩුවෙන්
ගෙව්ව පව් නම් ඉවරයක් නෑ තාම නොනැවති එනව පස්සෙන්

පුදා අට පිරිකරක් ඇති හැකි ලෙසට මහා සඟ රුවන වෙනුවෙන්
හිතා ඉන්නව දනක් දෙන්නට කලක ඉඳලම හිතේ සැදැහෙන්
තබා පඬුරක් අදත් බෝධිය ගාව ගිලිහුණු නෙතේ කඳුලෙන්
හැබෑ වෙන්නට පැතුව හීනය මගේ ඇස් පියවෙන්න කලියෙන්

හිටියෙ අම්මා වෙලා එකතැන් මාස හත අටකටම වැඩියෙන්
මියෙන තෙක් අත ගගා කැත කුණු ඈට සැලකුව දයා සෙනෙහෙන්
බුදුන් දැක උඹ නිවන් පලයන් පුතේ කියමින් ඇවිත් හීනෙන්
කියයි ඈ තව, ඉතින් බය නෑ යන්න මරු හා නික්ම මෙලොවින්

වැඳන් හිටියම බුද්ධ රූපෙට මගේ හිත මහ ගොඩක් නිවෙනව
හිමින් බෝ පත් සැලෙන මළුවේදි මහා සැනසීමකුත් දැනෙනව
ඉඩක් ඇත්නම් හතර පෝයෙම ඇවිත් සිල් අරගන්න හිතෙනව
ඉතින් දුවෙ මේ සසර මඟ මගෙ බොහෝ දුර බව මටම හැඟෙනව.

ප.ලි. නිකිණි පොහෝ දින පන්සලේ දී අහම්බෙන් හමුවූ මහළු අම්මාගේ කතාව. (පින්තූරය අන්තර්ජාලයෙනි.)

6 comments:

  1. දුක්බර කවිය හරිම ලස්සනයි...

    මේක ගොඩක් සිල් සමාදන් වෙන්න එන අම්මලාගේ කතාවද මන්ද. ඒ අතරේ මට හමුවෙලා තියෙනවා ආවේ මොකටද කියලාවත් මතක නැති උපාසකම්මලා. සුසුමක් හෙලන්න තමයි ඉතින් වෙන්නේ.

    ReplyDelete
  2. අගේ ඇති කවි.... දුකයි ඒත්

    ReplyDelete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.