Friday, June 30, 2023

242. ඕනි නෑ






















මලක් වෙන්නට සුවඳ දෙන්නට පෙති තියෙන්නම ඕනි නෑ 
හිතේ හැටියට පිපී එන්නට ඉර දිලෙන්නම ඕනි නෑ 
ඉන්න තැන ලස්සනට ඉන්නට පාට වෙන්නම ඕනි නෑ 
හයිය නම් හිත දෙබලකුත් ඇති නටුවටත් අතු ඕනි නෑ 

අඬන්නට ඇති තරම් තනියෙන් හේතු තිබුනත් කෝටියක්
හොයාගන්නෙක තමා වැදගත් හිනාවට එක හේතුවක් 
මග බලාගෙන ඉන්න කෙනෙකුට ලැබෙන තුරු එක හාදුවක් 
වැඩක් නෑ ජිවිතේ පිලිබඳ කියාදෙන දිග පාඩමක්!

(පින්තූරය අන්තර්ජාලයෙනි.)


241. රිදුණා මිස

















කඳුළු දුක් නිව්ව නම් නිව්වේම 
හිත හුඟක් රිද්දවපු අයගෙමයි 
ලඟට වී හිටිය නම් හිටියේම 
තනිකරලා ගියපු අය ලඟින්මයි 
මතකයේ හිටිය නම් හිටියේම 
අමතකම කරලා ගිය අය තමයි 
ආදරේ කෙරුව නම් කෙරුවේම 
ඇත්තටම ඇත්තටම විතරමයි 

දිනෙන් දින සති මාස ඉගිලිලා 
නවතිමින් විටින් විට පැරදිලා 
මේත් ඇති ආපු දුර නැගිටලා 
අන්තිමේ ඉන්නවා හිනැහිලා 
හැරිල බැලුවාම ආ මග දිහා 
බොහොමයක් මෝඩකම් නම් තමා 
ඒත් ඉන් දිස්නයක් යයි ගලා 
රිදුණා මිස රිදෙව්වේ නැති නිසා !!!

(පින්තූරය අන්තර්ජාලයෙනි.)

Thursday, June 29, 2023

240. හීනයක්

වියදමට අඩු නැතිව මිල මුදල් අත මිටේ 
ගැවසෙනා සරුසාර කාලයක් 
හුගක් ආසා කරන කෑම බීමත් එක්ක 
නිදහසේ හිඳ ගයන ගීතයක් 
උදා වෙනවැ යි කියූ ධනයෝගෙ පල දරා 
කහ පාට සමනල්ලු ලෝකයක් 
මැද අතරමං වීම ඇත්තටම හැමදාම 
මට පේන මහ දුෂ්ට හීනයක් .... 

 (පින්තූරය අන්තර්ජාලයෙනි.)


Saturday, June 24, 2023

239. පාට පාට





















දරනු බැරි තරම් හිස කකියනා වෙලාවට 
 හීනි සුදු ඇඟිලි තුඩු වලින්  පිරිමදින්නට 
 මූණ හරි නැති වෙද්දි ඔඩොක්කුවෙ වාඩිවී 
 හිනායන කතාවක් හද හදා කියන්නට 

 දොයිය ගන්නට කලින් හාද්දක් පිරිනමා 
 "ඔයාටයි වැඩියෙන්ම ආදරේ" කියන්නට 
 පැංචි සූකිරි කැටේ මා සොයාගෙන එන්න 
 ඇත්තේම මේ හිතේ දුක් සුසුම් නිවන්නට 

 නිදි වෙලාවට මූණ බලාගෙන හිටියාම 
 ලෝබ කමකින් මහා මුළු හිතම පිරෙනවා 
 සුරඟනා අත පයේ හැඩ රටා ඔක්කෝම 
 අත ගගා සීරුවට යලි යලිත් බලනවා

 සිඟිති හුස්මේ සුවඳ නැහැ පුරා හමනවිට 
 අමුතු හැඟුමක සිරව හිතම හිරිවටෙනවා 
 ඇහැරිලා ඉඳගෙනම පාට පාටින් හීන 
 එකදිගට කප්පරක් ඉතින් මං දකිනවා... 

 (පින්තූරය අන්තර්ජාලයෙනි.)

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.