Sunday, April 28, 2019

68. එදා විසි එක බක් මහේ

සඳත් නෑ ඇවිදිල්ල අහසට පෙනෙන මානයෙ අඳුරමයි
ඉඩක් නෑ සිත සතුටකට ඇසු දුටුව තැන දුක කඳුලමයි
වගක් නෑ වෙන කාටවත් මේ අපිට අපි ටික විතරමයි
අදත් මේ දුක් කවි ලියන්නේ මල් කුමාරියෙ නුඹටමයි

අගේ කර මුතු ඇටේකට සම කලත් සයුරෙහි සුන්දර
මගේ මව් බිම කඳුළු බිඳුවකි යලිත් ලොව ඉහ ඉද්දර
බලේ ඇතිවුන් සැඟවුනා අප වෙතට විසිකර ගින්දර
අනේ කාටද කියන්නේ අවනඩුව තව නෑ උත්තර

එකට ගොස් වුවහොත් යමක් නෑ මාගෙ පැන්චිට කවුරුවත්
දෙකට බෙදිලා යන්නේ එනිසයි කොයිතරම් කරදර වුවත්
ලඟට විත් සුරතල් වෙලා කර දෙන්න අප සිත් සුවඳවත්
හවස ආපසු එන්න වේවිද කියන්නට බෑ කොහොමවත්

විදා පෙති තුරු හිසක් මත මල් පිපෙන විට සෙනෙහස තියා
සිතා සිටියේ එ මල් සුවඳින් ලොවම සැනසේවිය කියා
හැබෑ වෙන්නැති හීනයක් වී නෙතග උණු කඳුළැලි තියා
එදා විසි එක බක් මහේ ඒ පැතුම් මිහිදන් වී ගියා

Friday, April 26, 2019

67. ජාදූ










දැඟලිය හැකිය ගමකට සුරතල ඈදූ
සැනසිය හැකිය දැකුමද නෙත සුව සෑදූ
ඔපවිය ගෙදර සතුටට නිති මග පෑදූ
දැරිවිය පූස්, සුරතල් නම විය ජාදූ

වලිගය කොඩිය වගෙ උස්සා ගෙන උඩට
උඩ පැන දුවන් ඒ නම කිව්වම ළඟට
පුරු පුරු ගගා සුරතල් වීමට අතට
ඇවිදින් නිදයි හිස පිරිමැදි විට සැපට

පිට මැද ලේන ඉරි තුන එලෙසම පිහිටී
සුදු මුව පොඩිය බඩ අත් පා නොම කිලිටි
පොඩි ඇස්, වැඩුන ඉව ගස් මොනවට දිගැටි
රෝසයි නාහෙ නිතරම තෙත හුරු බුහුටී

නැගිටින්නට මඳක් උදයෙහි පසු වුනොතින්
නැගගෙන ඇඳ මතට බෙරිහන් දේ තරහින්
විගහට හාල්මැස්සෙක් දුන්නැති වුනොතින්
ඉන්නට නොවේ නොපියයි කට කිසි ලෙසකින්

ලේනුන් එන විටදි පැන පැන බත් කන්න
ඇය හට කිසිම ලෙසකින් බැහැ ඉවසන්න
රැක සිට ඉලක්කය ගෙන උන් අල්ලන්න
පනිනව පැනිල්ලක් ලෝකෙම පෙරලන්න

අප බිම ඉඳී නම් ඇය පුටුවට නගිතී
පුටුවල නම් මෙ අප ඇය මේසෙට පනිතී
නිතරම අපට ඉහළින් ඉන්නට කැමතී
මෙතරම් ලොකුකමක් මින්පෙර දැක නොමැතී

ගෙදරට රැජිණි වගෙ හිටියට බව්වන්ට
බියවී පටන් ගයි වලිගය පිම්බෙන්ට
බල්ලෙකු එන සෙයක් ඇත්නම් දැනගන්ට
සිහි නැහැ දුව ගිහින් ගෙතුලට පැනගන්ට

පොඩි පොඩි කුරුල්ලන් වත්තට එන ඉගිළි
පෙන්නන්නට බැරිව දාගෙන මුර කෙරිලී
පස්සෙන් ගියත් අල්ලන්නට කර පෙරලී
ළඟටම ආව විට උන් යනවනෙ ඉගිළි

පොල් ගස් පේර ගස් බාගෙට නැගිය හැක
වහලය උඩින් වුව පහලට පැනිය හැක
රිංගා ජනෙල් දැල් අතරින් දිවිය හැක
ගෙදරම ඉඳන් සර්කස් දැන් බැලිය හැක

පවරා ඇයව අල්ලපු නිවසෙහි අයට
අවුරුද්දට ගමේ යන්නට විය අපට
සතියක් අවෑමෙන් අප යළි එන කලට
පූසිය ගැබිනියකි පැමිණිය පෙර මගට

තාමත් පුංචි කෙල්ලට සය මස් වියෙහී
සිදු වුනෙ කුමක් දැයි සිතමින් සිටි වෙලෙහී
පූසන් දෙතුන් දෙනෙකුම අප ගෙය වටෙහී
කැරකෙනු දුටු විටදි පහ විය සැක සිතෙහී

අප නැති අතර තුර අප නිවසට වැඩිය
කෙල්ලගෙ හිතද නැම්මුව අරගෙන දිරිය
මනමාලයා කවුරුද මෙහි රැක සිටිය
පැටවුන් ලැබුණු පසු හඳුනා ගත හැකිය

වෙනදා මෙන් දෙතුන් ගුණයක වගෙ කෑම
ඕනෑ කර තිබෙනවා දැන් හැම දාම
එනමුත් කුලප්පුව සමගින් දඟ පෑම
අඩු වෙන බවක් නම් නැහැ පෙනුනේ තාම

බන්ඩිය ලොකුයි පැද්දෙයි ඇවිදින විටදී
සැලකුම් වැඩියි ඇය වෙත ඇත මුල් තැනදී
සුරතල් පූස් පැටියන් නලවන සුවදී
අත්තම්මා කෙනෙකු විය හැක මට ලඟදී.



Tuesday, April 23, 2019

66. මොකද්දම්මා ඔක්කෝටම වෙලා තියෙන්නේ

මොකද්දම්මා බෝම්බයක් කියා කියන්නේ
කියන්නකෝ අනේ ඒවා කඩෙන්ද ගන්නේ
බැලුම් බෝල වගේද ඒවා පිපිරෙන්නේ
බයක් ඇවිල්ලද අම්මල ළමයි අඬන්නේ

ඒව ඇතුලෙ දයියා පුච්චි ගිනි ද තියෙන්නේ
කොහෙන්ද එතකොට අරවගෙ කළු දුම එන්නේ
ඩෝන් ඩෝන් ගාල නේද සද්දෙ ඇහෙන්නේ
කන් දෙක වහගත්තොත් නෑ නේද ඇහෙන්නේ

අක්කලාට ඉස්කෝලත් නෑලු වහල ලූ
පුංචිලාගේ කැම්පස් ඒක ඒත් වහල ලූ
අපිට ඩේ කෙයාත් නෑ සතියක්ම වහල ලූ
පාරෙ ඉන්නේ පොළිස් මාමලා විතරයිලූ

තාත්ත ටී වී එක ළඟ නෑ හෙලවෙන්නේ
අම්මත් අද වර්කින් ප්රොම් හෝම් කියන්නේ
ආච්චම්ම පැයෙන් පැයට කෝල් කරන්නේ
කොහෙවත් නොගිහින් ගෙදරම ඉන්න කියන්නේ

මාව වඩන් උකුලෙ තියන් ගොළුවෙල ඉන්නේ
ගෙදර වැඩත් වෙනදා වගෙ නෑනෙ කෙරෙන්නේ
හිතට හරිම අමුත්තක් නෙ මට තේරෙන්නේ
මොකද්දම්මා ඔක්කෝටම වෙලා තියෙන්නේ

Wednesday, April 17, 2019

65. කොස් ඇට මීයෝ

කොහේද මන්දා ඉඳලා - කෑම සොයාගෙන රහසෙම
ලඟදි අපේ ගෙදරට ආ - කොස් ඇට මීයෝ

අයියට අහු වුනොත් ඔයා - දොර පොල්ලෙන් චටස් පටස්
එහෙ මෙහෙ යනකොට තරමක් - පරිස්සම් වෙයන්

මී කතුරක් අටවන්නට - තාත්තා දොර ළඟ රැකගෙන
පුච්චපු පොල් කෑලි එහෙම - කන්න නම් එපා

මෙයා හරිම හිරිහැරයක් - ගෙදර අයට කරදරයක්
ලෙඩත් හැදෙනවා හැපුවොත් - අම්ම කියනවා

අම්මගෙ ඒ කීම අහල - ඔයා මල්ලකට දාන්න
ඔන්න එනවා මද්දුමයා - හැංගිලා ඉඳින්

සියලු දෙනා ඔබට හතුරු - මම විතරක් ඔබට මිතුරු
මගේ පොතුත් ඔයා කාල - අනේ අනිච්චං

පසු ගිය කාලය තිස්සේ - මරණය නුඹ පසුපස්සේ
පණ බේරාගෙන පැටියෝ - වෙනතක පලයන් ...


ප.ලි.
විනීත පූ පොඩි කාලේ පුවත්පතක කියවූ කවියකි
අදටත් තිබෙන මතකය ගැන සතුටින් ලියා තබමි.


Tuesday, April 16, 2019

64. දේදුන්නට බර වැඩි නෑ

දේදුන්නට බර වැඩි නෑ
නැග යමු අපි දේදුන්නේ
සමනලයෝ යන්න එන්න
රවුමක් අපි ආකාසේ

පුළුන් වගේ පාවෙන සුදු
වලා කැරලි පහු කරලා
ගිහින් බලමු සුරංගනා
වියො හමු වේවිද කියලා

රෑට ඇවිත් හිනැහෙන්නේ
දවල්ට යලි හැන්ඟෙන්නේ
හැංගිමුත්ත තරු සෙල්ලම
අද අතටම අහු වෙන්නේ

ලිව්වේ විනීත පූ - 2019-04-12

63. වැස්ස කෝ ?

පාට පාට කඩදහි ඔරු ගොඩාරියක් හදන්
මිදුලෙ වතුර පිරුන පසුව පා කරන්න හිතන්
ඉන්නේ මග බලන් බබෙක් ගොඩක් දවස් ඉඳන්
වළාකුලේ එන්නෙ නැද්ද වැස්සක් මෙහෙ අරන්

උපන් දිනේ දවසට කහ මල් පිපෙන්න කියා
දාස් පාත්තියක් හදල ආච්චම්ම ගියා
මිලින වෙලා ඒ ඔක්කොම වැස්ස ඕන කියා
උපන්දිනේ පහුවුනාට මල් දුන්නෑ එයා

බත් ඇට කෑ ලේන් බබා බොන්න වතුර සොයන්
පයිප්පෙ ළඟ ඉව කරනවා ටින් ටින් ටින් කියන්
අනේ හරිම පව් ඉන්නට බැරි තැන මට බලන්
කොප්පෙකට වතුර දුන්න ඇවිත් බොන්න කියන්

හිටියම දවසක විදුලිය කොටලා ආකහේ
හග් ගුඩු ගුඩු ගෙරෙව්වාට වැස්සක් කෝ කොහේ
කඳුළු වගේ දාඩිය බිඳු ඇවිදින් ගත වැහේ
රෑට නින්ද යන්නෙත් නෑ රස්නෙ හරිම මෙහේ

රේන් රේන් හනිකට ගෝ අවේ කියල ගයා
ඉස්සර මං කිව්ව සිංදු තරහද තව ඔයා
දැන්නම් ඇති ඔහොම හිටිය අමනාපයි කියා
සමාවෙලා ආයෙ එන්න අනේ අපව සොයා

ලිව්වේ විනීත පූ 2019-04-12


62. සුළගේ මෙහේ එන්න

සුළගේ මෙහේ එන්න - පොඩියක් නතර වෙන්න
ඔයාට සුවඳ තියෙනවාලු මෙහෙ ගොඩක්
පිපිච්ච මලක් වැන්න - ලස්සන බබෙකු වෙතින
ඔයාට සුවඳ ලැබෙනවාලු හරි ගොඩක්

කොවුලෝ මෙහේ එන්න - පොඩියක් නතර වෙන්න
ඔයාට සින්දු තියෙනවාලු මෙහෙ ගොඩක්
පොඩි කෙවිලියක වැන්න - ලස්සන බෙබෙකු වෙතින
ඔයාට සින්දු ඉගෙන ගන්න හැකි ගොඩක්


මොණරෝ මෙහේ එන්න - පොඩියක් නතර වෙන්න
ඔයාට නැටුම් තියෙනවාලු මෙහෙ ගොඩක්
පොඩි මොනරියක වැන්න - ලස්සන බබෙක් වෙතින
ඔයාට නැටුම් ඉගෙන ගන්න හැකි ගොඩක්

ලිව්වේ විනීත පූ - 2019-04-12

Thursday, April 11, 2019

61. ලියා තබමි කවි

ලියා තබන්නෙමි මගේ කවි ඔක්කොම
මේ මල් පෙති මත්තේ
සිනාසෙමින් විත් නුඹට බලන්නට
යම් දිනයෙක පස්සේ

මිලාන වී පෙති බිමට වැටෙද්දී
මගේ කවිත් එක්ක
සුළං හමාවිත් අරන් යාවි රස
ඒ කවි වල දැක්ක

අලුත් කැකුළු මල් පිබිදී එනකොට
සුළං ඇවිත් හමලා
ආයෙ ලියනු ඇති ඒ කවි පෙතිවල
හොඳින් මතක් කරලා

ලිව්ව ලෙසම අද හෙටත් තියේවී
මේ කවි රස මුසුව
දිනෙක පිපුණු කවි හිතත් සමග නුඹ
ඇවිත් බලන තුරුම.

ලිව්වේ විනීත පූ - 2019-04-10


Tuesday, April 9, 2019

60. අපේ පින

නිබඳ ඉසිමින් සිසිල හද වෙත සුවය ගෙන දිය බිඳිත්තකි
සුවඳ සලමින් මුදුම හසරැලි අවට විසුරන මල් කිනිත්තකි
ළබැඳි ලෙස හෙට දිනට පැතුමන් අලුත් කරවන සුබ නිමිත්තකි
සබඳ අප තනි නොවන බව යලි පසක් කල පොඩි දූ සිඟිත්තකි

අතේ නිතරම තුරුළු කරගෙන සිටින සුදු බෝනිකි පොඩිත්තකි
අගේ කර කර කියයි කවි ගී එහිම ආවේණික නැටිල්ලකි
එහේ අය හා හිනාවීගෙන රෑට හීනෙන් මල් ගෙතිල්ලකි
අනේ මේ නම් අපේ පිනටම අපේ දෝතට ආ මැවිල්ලකි

ලිව්වේ විනීත පූ - 2019-04-09



Monday, April 8, 2019

59. කණාමැදිරි එළි

කණාමැදිරි එළි දිලෙන කළුවරේ
අපිව අත හැරලා ගොසින මිදුලේ
බයකරන්නට හිතුව මදි අප
සැලෙන්නෑ අපිලා - ඕවට නම්
ලයිට් ඕනෙම නෑ - ඔහේ ගිය දෙන්

ඉටි පහන් දෙක තුනක් පත්තු කරගෙන නටමූ
බිත්තියේ උස් මිටී සෙවනැලී බොහො මවමූ
මදි පාඩුවට විදුලි පන්දම් එළි රටාවක් හදමු
රැහැයියන් හට කළුවරේ යන පාර හරියට කියමූ

පාත බලමින් හිනාවෙන අර තරු විමානේ අහසේ
කියා එක දෙක ගණන් කරමුද දෙන්න එක්කල රහසේ
කණාමැදිරියො පොකුරු හැදිලා පාවයන විට දසතේ
රෑ බදුල්ලෙක් මොකද තණකොළ ගොඩේ තනියම ගමනේ

හඳත් නෑ බයවෙලා හැංගිලා කළුවරට
ඒ අතින් ඉස්තරම් ඔට්ටු අපි වෙන දෙයට
ඕන යැයි අඬ අඬා ලයිට් නැති වුන දුකට
ඉන්න අය හෙම නොවේ අපි,ඉන්නවා හිනැහී යසට

කණාමැදිරි එළි දිලෙන කළුවරේ
අපිව අත හැරලා ගියද මිදුලේ
බයකරන්නට හිතුව මදි අප
සැලෙන්නෑ අපිලා - ඕවට නම්
ලයිට් ඕනෙම නෑ - ඔහේ ගිය දෙන්


ලිව්වේ විනීත පූ 2019-04-08




58. හද ගී පොතේ

හද ගී පොතේ - පිටුවක් පුරා
ලියා තියමි ආදරේ
සුරංගනා දියනිට මා
හදෙහි තිබෙන ආදරේ ...

පොළවෙහි වැලි කැට උණුහුම සදනා
සයුරෙහි රළ පෙළ නොනැවති නැගෙනා
අහසෙහි අපමණ තරු කැට දිලෙනා
ඇය සතු සෙනෙහෙට නැත කිසි උපමා

හද ගී පොතේ - පිටුවක් පුරා
ලියා තියමි ආදරේ
සුරංගනා දියනිට මා
හදෙහි තිබෙන ආදරේ ...

දුටු පමණින් සැම ඇය වෙත බැඳෙනා
සුරතල් වදනක් ඇයගෙන් යදිනා
මදහස ගඟුලක් ඇය වෙත පුදනා
මඳකට ඇගෙ සුර ලොව වෙත වඩිනා

හද ගී පොතේ - පිටුවක් පුරා
ලියා තියමි ආදරේ
සුරංගනා දියනිට මා
හදෙහි තිබෙන ආදරේ ...


ලිව්වේ විනීත පූ 2019-04-08.

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.