Thursday, June 7, 2018

25. අද හරි ලස්සන දවසක්!


පොකුරු පොකුරු මල් ඇය එන විටදි ලඟට නැමෙනවා
ඇවිදන් යන මේ මල කවුදැයි එබිකම් කරනවා
චූටි කුරුල්ලොත් අර කිචි බිචිය නතර කරනවා
ඇවිදින මල කිචි බ්චි ගා කියවන හැටි අහනවා

හුළඟක් ඇවිදින් හීතල පුංචි මලේ එතෙනවා
මලේ කොණ්ඩෙ එතකොට නම් ඉගිලෙන්නට හදනවා
මලට හරිම සන්තෝසයි සතුටට උඩ පනිනවා
ඉර මාමත් ඉන්නවාද අහස දිහා බලනවා

යන තැනකට අපිත් එනව වලාකුලක් කියනවා
පුළුන් වලා පේළි පේළි ඒ පස්සෙන් වැටෙනවා
තණ ගොල්ලේ පුංචි පුංචි තණකොළ ඇස් අරිනවා
මල් පෙත්තක් වගේ පයට පෑගෙනතුරු හිඳිනවා

සමනලයෙක් උඩ යට කරණම් ඔක්කොම ගහනවා
ලඟට ඇවිත් මලට එයා අල්ලගන්න කියනවා
තණකොළ පෙත්තෙක් ලස්සන සිංදුවකුත් කියනවා
අද හරි ලස්සන දවසක්! වගේ මලට හිතෙනවා


සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.