Thursday, October 15, 2015

17. සවස පහ වන තුරු ...


මැවි මැවි පෙනෙන සිය දහසක් වර නිතැතින්
කරනට තිබෙන සිය දහසක් වැඩ අතරින්
දුවගොස් ගෙදර ලද පොඩි ඉසිඹුවෙ විගසින්
එන්නෙමි සුවඳ අරගෙන දුවගේ මුහුණෙන්

පැනලා අතට පාමින් සුරතල් සිනහා
තුරුලුව සිටී අවිහිංසකකම විදහා
නොරැදී එහිම මල් පෙත්තක සිත සනහා
දුව එමි යළිත් දවසේ මෙහෙවර සඳහා

සිර කර සුවඳ පොද අරගෙන ආ සිතට
සිහි කර සුමුදු සුරතල් සිනහව ළඟට
ඉන්නට හැකි එයද මහ සතුටකි හදට
ඒ ඇති අද සවස පහ වන තුරු මෙම


Monday, October 12, 2015

16. බෙරි බත්


පහට අවදිව
මුහුණ බෙරිකර
අම්ම හනිකට
හදපු බෙරිබත්

හොඳට නාගෙන
තත්ත ඇවිදින්
ක්‍රීම් වගෙ
පොඩි කරපු බෙරිබත්

දාන් කණ්ණඩි
ආත්තම්මා
පදම හරිදැයි
බලපු බෙරිබත්

අටයි හතළිහ
නැකත එනකන්
පෙරුම් පුරමින්
ඉඳපු බෙරිබත්

පිරිත් කියලා
නූල් බැඳලා
චූටි හැන්දෙන්
කවපු බෙරිබත්

කන්න දන්නැති
අපේ චුට්ටා
මුළු පළාතෙම
නාපු බෙරිබත්


Wednesday, October 7, 2015

15. ගිරා පැටියෙක් ...



උදේ ඉඳලම මහා යුද්දේ
දොඩව දොඩවා සද්දෙට
ගිරා පැටියෙක් කූඩුවෙන් පැන
ඇවිල්ලා අපෙ ගෙදරට

ආත්තම්මට වෙන වැඩක් කොහෙ
කියන දේවල් අහනවා
අහක බැලුනොත් එහෙම වැරදිල
අනේ පව් සැර දමනවා

වටවෙලා කට්ටියම එකලඟ
බලයි මොකදැයි මේ හබේ
අහල පහළත් ගෙවල් වල අය
ඒවි දැන්නම් මයෙ හිතේ

කෙලත් පෙරෙනව කෑ ගැහිල්ලට
පිසිය යුතු වේ නිතරම
වෙවුල වෙවුලා වැනේ ඔළුවත්
ගණන් ගත්තේ නැතුවට

ඇඟේ හැටියට නොවේ කට නම්
ලැබී තියෙනව ලොකුවට
අපිට බැලු හැකි කොමඩි ස්ටාර්
හිනා වී ගෙන හොඳටම ...


Thursday, October 1, 2015

13. පොඩි උන්නැහේ


ඉන්නේ නැතුව පොඩ්ඩක් වත් නිදාගෙන
වෙන්නේ අවදි මහ හයියෙන් අඬාගෙන
යන්නේ එහෙට මෙහෙටයි කවි කියාගෙන
පොඩි උන්නැහේ අද දවසෙම වඩාගෙන

ගොරවයි මෙමට කටහඬ සැර පාට වෙලා
අමනාපෙන් ද කොහෙදෝ ආරුඩ වෙලා
මූනෙත් හිනාවක් නෑ ඇත පාලු වෙලා
අද නම් වයර් ටික ඔක්කොම මාරු වෙලා

දැන්නම් ඇතිය කොන්දත් රිදෙනවා තදට
මොනවා කරන්නද යන්නෙම නෑ ඇඳට
අනෙ ඇත්තමයි අරගෙන නවලා දෙකට
ආපහු හිතෙනවා දාගන්නට බඩට!


12. නුඹේ සිනා හින්දයි


තරු මල් ඉහිරෙයි - මුළු අහස පුරා
ඒ නුඹේ සිනා හින්දයි
එක වරක් සිනා - වී නිදියයි නම්
ඒ ඇති මගෙ සිත සැනසෙයි
තරු කඩා වැටෙන - රෑ අහස පුරා
නුඹ මගේ ළඟ හිඳ නැලවෙයි ...

ලා රෝස මුවින් මොනවාද කියයි
සෙනෙහසින් මහද සනසයි
මා ඉතින් ගොඩක් ආදරෙයි තමයි
එය කියාදෙන්නෙ කොහොමැයි
තරු මල් ඉහිරෙයි...

ලස්සනයි නුඹේ- ඔය සිනා මුවේ
හරි අහිංසකයි සුවඳයි
කප්පරක් තරම් - දුක් කන්ද හිතේ
කොහෙ ගිහිල්ලදැයි පුදුමයි
තරු මල් ඉහිරෙයි...


11. සරුංගලයක් ...


නිරන්තරයෙන් හමන සුළඟින් නිසංසල බව බිඳෙනවා
කතන්දරයක් යනෙන ගමනේ වලාකුලකට කියනවා
අනන්තයටම යන්න වාගෙයි ගමන ඉක්මන් කරනවා
සරුංගලයක් අන්න ලස්සන අහස තලයේ සරනවා

යැව්වෙ කවුරුද ඉහල ඔච්චර සරුංගලයේ මතකද
ඉන්නෙ ඔතරම් උඩින් තවමත් බයක් හෙම සිත නැතුවද
අල්ලගන්නම් දෙන්න එක්කම ටිකක් පහලට එනවද
එන්න දුව මගෙ ළඟට අපි අර සරුංගලයෙන් අහමුද

හිඳින්නේ ඇයි මුහුණ නොබලා තදින් හකුලාගෙන දෙතොල්
තනන්නේ ඇයි පනින්නට වගෙ අතින් මදිවාදෝ රුකුල්
කියන්නේ මොනවාද මුමුණා හෙමින් තව ගසමින් පතුල්
ඇහෙන්නේ නැතුවාද දුව තව වෙන්නකෝ අම්මීට තුරුල්

තාම යන්තම් මාස හතරයි ඒත් එන නම වෙනිදට
බෝම බරපතලයි නොවේදෝ ඔවැනි දේ පොඩි ඔළුවට
ඒක තේරුනෙ නැතිද තාමත් දිගින් දිගටම හිතුවට
මේම දේ මට කියන්නේ ඇත්තටම අම්මිට පිස්සුද ...

10. කවුදෝ ..


සීත රෑක පාට පාට තරු එළි ඉඟි බිඟි කරයි
ආදරේට මෙන් ගහකොළ ඒ දෙස බලමින් නටයි
කාමරේට එබුනෙමි එහි සද්ද බද්ද නැති හැඩයි
රෝස පාට නෙට් එක යට අර අර කවුදෝ නිදයි

දුටුවා අමුතුම පැහැයක් මුතු ඇටයක් දෝ සිතේ
දැනුනා ඉමිහිරි සුවඳක් මල් සුවඳත් දෝ ගතේ
බැලුවා අල්ලා පොඩියක් මල් පෙත්තක් දෝ නැතේ
ඉනුවා සෙනෙහස මුහුදක් කා වෙනුවෙන් දෝ හිතේ

අරගෙන හරි පරිස්සමට අතේ තියා ගන්නට
සියුමැළි වත දෙස දිගටම ඔහේ බලා ඉන්නට
ගතවෙන මොහොතක් ගානේ හදේ හොවා ගන්නට
බැරි වෙයි සිත මිහිරි හැඟුම් කොලේ ලියා ගන්නට

සංසාරෙන් සංසාරෙට මගේ වෙලා පැමිණිය
අත මිට මොලවා සෙනෙහස මට ගෙනාව මිහිරිය
සැනසුම දෙනයනට දෙන්නෙ ඉතින් නුඹම පමණය
පණ නල මගෙ නුඹයි සදා මගේ පුංචි දුවණිය!


9. දුව ගැන මිස


බැස යන හිරු අහසින් හෙමි හෙමිහිට ඉවතට ඇදේ
සැඟවෙන එහි පාට වළා පෙළ අතරෙහි නෙත රැඳේ
ඉවතට පැන එසැණින් සිතුවිලි සිය දැහැනින් මිදේ
දුව හැර වෙන කිසිවකු ගැන සිතනට සිත ඉඩ නොදේ

සිනා සිසී ඉඳ මා හා මුවගින් කෙල බේරන
ගිරා පැටී වගේ කියවා බසකින් නොම තේරෙන
ගසාගෙනම ඇඟිල්ල මුව සතුටින් හද බෝ වෙන
නිදා ගනී වඩාන මා ඇවිදින විට රෑ වෙන

බලා ගන්නෙ තනියෙන්මයි කරදර හෙම නොම කරයි
කියාගන්නෙ කෙලෙසින් සෙනෙහස සිත මතුයෙහි පුරයි
සිතා ඉන්නෙ මුළු දවසම සෙල්ලමටම මදි කියයි
පොවාගන්නෙ කුක්කු බිඳක් යන්තම් නින්දෙදි තමයි

දිරවගන්න බැහැ එකතැන ඉන්නෙක නම් මහ මෙරක්
සනසවන්න කිව යුතුවේ සින්දුම එකපිට ගොඩක්
ඇවිදගන්න එළියට පොඩ්ඩක් ඇත්තෙම නැහැ ඉඩක්
නැගිටගන්න බැරි එක මිස වෙන නම් නැහැ කිසි දුකක්

පෙරලි පෙරලි ඇඳ හැමතැන අම්මි සොයන් යනවාදෝ
සොයා තොත්තුවක් අම්මිට හිනා වෙලා දෙනවදෝ
අතින් අල්ලාගෙන උදේට ඔපිස් යන්න එනවදෝ
හිච්චිකිතර ඇති තාමත් හනිකට ලොකු වෙනවදෝ

මල් නොපිපුණ සිත ළඟ දැන් සුන්දර මල් උයනෙකී
එන්නට ඇති හෙට ගැන සිත නලියන සුබ පැතුමෙකී
සිව් බඹ විහරණ පිළිසිදි තුන්සිත සෙත් කවියෙකී
මව් පදවිය ලැබුවෙමි තවමත් එය මට සිහිනෙකී !


8. මල් සූටික්කෝ


තුරු ගොමු මතට හිරු රැස් වනවිට තුරුලූ
සුපුරුදු නදකි සවනත වෙත එන කුරුළු
අර අර දුටිමි සෙලවෙන යුරු ගස වෙරළු
කවුදෝ ඉන්නෙ මල් සුටික්කා යහළු

ඉඳගෙන වෙරළු අත්තේ බලමින් අවට
කිය කිය සිංදු තාලය අල්ලයි රුවට
කවුරුද අහන් ඉන්නේ ගෙයි සිට එවිට
අපි දෙන්නා නෙ යමු අපි චුට්ටක් ළඟට

හැමදාමත් උදේ ඇවිදින් මෙලෙස එයා
අපි හට ඇසෙන්නට යයි සුමිහිරිව ගයා
අහමුද එයාගෙන් රහසක් කනට තියා
සූටික්කෝ ගයන්නේ කා ගැනද ඔයා

හිනැහෙන බබා වගෙ මෙහෙ සුරතල් පුංචි
පැටියෙකු මටත් ඉන්නව කූඩුවෙ හිච්චී
සිහිවන විටදී වස්තුව මගෙ පොඩි පැංචි
නොදනිම වගේ කව් ගී මුව මතු වෙච්චී

ඇත්තද අනේ සූටික්කෝ පවසන්නේ
අපෙ පොඩි බබා වගෙ පැටියෙකු දෝ ඉන්නේ
දැකුමට එයා ආසා සිත උපදින්නේ
කවදද කියන මෙහි එක්කකරගෙන එන්නේ

එදවස එනතුරු නෙ මම මේ ඉන්නේ බලන්
ඉස්සර කරන් පැටියා මගෙ යන්න ගමන්
සියුමැළි පුංචි තටු සවිමත් වෙච්ච ගමන්
එන්නම් අපි !! දුවයි අම්මයි ඉන්න බලන් ..


7. හොරා පොලිස්


වහගෙන නහය කට සුදු රෙද්දකින් වෙලා
එබිලා දොරෙන් යයි පොඩ්ඩක් මදෙස බලා
ඉන්නේ හොරෙක් වගෙ අපගෙන් දුරස් වෙලා
අම්මේ තාත්තා ඇයි අර වෙනස් වෙලා

වෙනදා සුදූ යැයි අමතා එන ළඟට
සුරතල් කරන මා සෙනෙහෙන් ගෙන අතට
ඇඩුවොත් නලව ගත හැකි අරගෙන කරට
දැන්නම් එන්නෙ නැහැ දැක්කත් යයි දුරට

උස්සා ඔළුව වට පිට හෙම බලා කෙලින්
වැතිරී සිටීමට මට දැන් හැකිය මුනින්
ඒ බැව් පෙනී මදහස දක්වන්න තුටින්
ඔහෙ නැහැ තාත්තා ම’ළඟට එන්නෙ ඉතින්

සැමතැන ඇවිද දහසක් දේ විමසනවා
ඇහෙනව මෙමට අම්මා හට අණ දෙනවා
දැන්නම් හෙමින් සීරුවෙ වැඩ ටික වෙනවා
වෙනසක් කුමක් හෝ ඇතිබව වැටහෙනවා

පෙනුමද වෙනස් මැලවී ගිය සෙයකි මහා
වැනි වැනි වගේ යයි සැමවිට යනෙන දිහා
දෙඩුවත් වචනෙ දෙක ඈතින් ඉඳන් අහා
නැහැනේ අම්ම එක්කත් වැඩි කතාබහා

ගෙවුනා සතියකුත් තව දෙක තුනක් දවස්
තෙරෙන්නැහැ මෙමට මේ යන විදිය වෙනස්
අම්මේ කියන්නකො තව නම් එපා රහස්
ඇයි මේ තාත්තගෙ සෙල්ලම හොරා පොලිස් ...


Wednesday, September 30, 2015

6. අපි දෙන්නා


එන්නේ බලාගෙන සිටි ඉමිහිරි මොහොතයි
යන්නේ මැවෙන්නට අපෙ පොඩි රජදහනයි
දෙන්නේ කිරට පැණි මුසු වී දෙන රසයයි
ඉන්නේ ගෙදර අද අපි දෙන්නා විතරයි

දාලා අපිට හැට හත්තෑවක් නීතී
ගොස් ඇත තාත්තා රෑ වෙනතුරු නේතී
එනිසා අම්ම එක්කල පැටියෝ ජෝතී
අපි හට ඕන හැටියට අපි වෙමු ප්‍රීතී

ඇරියම ජනෙල් ටික සුළඟයි ගෙට එන්නේ
රස්නය ඔහේ නැහැ කොයිබක දෝ යන්නේ
එනමුත් පරිස්සම අපි හට හොඳ වෙන්නේ
මදුරුවො ආවොතින් ගෙට වැඩ වරදින්නේ

හෙමිහිට ගහෙන් කාටත් රහසේ බැහැලා
සේපාලිකා මල් අර මිදුලේ පිරිලා
දෙන්නත් එක්ක අරගමු ඒ ටික අහුලා
ලස්සනදැයි බලමු ඉන් මල් වැල් ගොතලා

ලේනෙක් එනව ටින් ටින් ගාගෙන අන්න
දැක්කද අතින් බත් ගුලි හැකි ගෙන කන්න
තව චුට්ටකින් දෙමලිච්චන් එයි ඕන්න
නාලා තටු ගසයි අපි ඉමු නොපෙනෙන්න

වක අඹ ගසේ කාලෙක සිට දවසැරිය
දැකුමට නිතර සිත තුල ඇති කල පිරිය
කච බච මල්ල හිමිදිරියෙම දිග හැරිය
ඇහුණද මාල ගිරවුන්ගේ සැණකෙලිය

ඉන්දපු පුංචි පැළ රස්නෙට මැලවෙන්නේ
දැම්මොත් වතුර පණ ගහලා හිනැහෙන්නේ
ඉක්මන් කරමු දැන් දැන් දහවල් වෙන්නේ
ගසකට වුවද සැලකුම පින් සිදුවෙන්නේ

පොල්තෙල් ගොඩක් අරගෙන ඔලුවේ ගාමූ
අතගා හොඳට අපි ඇල් වතුරෙන් නාමූ
වතුරේ ඉඳන් සෙල්ලම් ටිකකුත් පාමූ
නාලා කාල අපි හොඳ නින්දක් දාමූ

සද්දෙට ඇහෙනවා සංගීතයක් ආන්
යනවා වෑන් එක පාරේ චූන් පාන්
අරගෙන ඇවිත් අපි ඒකෙන් රෝස් පාන්
හවසට බොමුද එක මේසේ ජෝඩු දාන්

සික්කා අන්න වැනි වැනි එයි මේ පැත්තේ
මක්කා හරිම කන්නයි ඉල්ලනු ඇත්තේ
තිබ්බා කුප්පමේනිය කුස්සිය පැත්තේ
ලොක්කා වගේ කයි උගුලා දිය යුත්තේ

කෝ ඉර ඔහේ නැහැ හැංගිල මේ ටිකට
වැස්සක් එන්න වගෙ කළුවර වී තදට
ආසද තෙමෙන්නට චුට්ටක් හිරි පොදට
තෙමිලා ටිකක් පිහිදාගමු අපි හොඳට

වැටිලා වතුර හොඳටම මිදුලේ පිරිලා
ඔරුවක් හදමු අපි කොළ අරගෙන නවලා
වතුරට දමා ඈතට පා කර යවලා
බලමුකො ගිහින් කොහෙ නවතීවිද කියලා

දැන්නම් වැස්ස හොඳටම වන සෙයකි තද
විදුලිය සමඟ ඇහෙනව ගෙරවිලිද මඳ
පරදා එ’හඬ දීලා අප දෙදෙන නද
පැනලා ඇඳට බයිලා අපි කියමු සොඳ

රැකලා නීතී අපි අකුරට වැඩ කෙරුවෝ
පැනලා එළියෙ දඟ වැඩ හෙම නොම කෙරුවෝ
දැන් එයි තාත්තා රෑ වේගෙන එනවෝ
අපි නිදි ඕන් දෙන්නම දැන් හොඳ දරුවෝ !!!


5. තව නැහැ පිළිතුරක් ...


නොපෙනෙන ලෙසට අඹ අතු කෙලවරෙක තැනී
සෙලවෙන සුළගෙ කූඩුවෙකිය කුරුළු පැණි
නැළවෙන තුටින එහි සිය මව් සෙනෙහෙ දැනී
පුංචිම කුරුළු පැටියෙකි මල් කැකුල වැනී

පෙන්වන අහිංසකකම මුදු මුහුණ සතූ
දිගු කර හොටය සුරතල් බස් පෙමින් යුතූ
මුමුණන අයුරු ගැන හද සෙනෙහසින් සිතූ
අම්මා කවයි සිප සනසයි බිලිඳු පුතූ

දැකලා කුරුළු මව පුතූ සනසන සැටියා
හැඟුනා මහිම මවු සෙනෙහෙක ඉම නැතියා
එ’අතර මසිත මොහොතක් නතරව සිටියා
සිහි වි මගේ සුරතල් පොඩි දූ පැටියා

බලලා මුහුණ පානා මදහස සිත්තම්
පෙන්වා සතුට අප ළඟ පාතක ඇත්නම්
පෙරලෙන ගමන් කල හැකි පොඩි පොඩි සෙල්ලම්
ලැබුවා මාස හතරට ඊයේ යන්තම්

පැටියා රකින එ’කුරුළු මව මෙන් රුවට
සනසාලිය නොහැක මගෙ බිළිඳිය මෙමට
පවරා ඇයව වයසක අම්මා වෙතට
තව ටික දවසකින් යා යුතු වේ වැඩට

ඉහලට නගින ජීවන වියදම ඉවසා
එක පඩියකින් මාසය ගතවෙනු කෙලෙසා
සිත දුක් ගනී බැලු විට ඒ ගැන විමසා
යා යුතු ඔපිස් තව දුර නොසිතා එනිසා

දුවගේ ලඟින් නික්මෙන කිරි සුවඳ හමයි
මුළු ගේ හැමතැනම විසිරී සුවඳ කරයි
සුදු මුදු මුවින් නික්මෙන කිරි සිනහ වැලයි
අම්මා ආස දුව ගාවින් ඉන්න තමයි

නින්දෙන් අවදි වූ විට මගෙ සඳ සාවි
අම්මා කොහේදැයි හඬමින් විමසාවී
අම්මා එයි පුතේ දැන් යයි පවසාවී
අත්තම්මා ඇවිල්ලා හිස අතගාවි

තනිවම තාත්තට දිවි බර ගෙනයන්න
නොහැකිය අම්මටත් සිදුවෙයි එක්වන්න
එතකොට දූට හැකිවනවා ඇති ඔන්න
ලස්සන ගෙයක සැපසේ සතුටින් ඉන්න

සැමදේ තිබුණ මුත් දුකමය ළඟට එන
මට මොන සැපද අම්මා ළඟ නොමැති තැන
ඇසුවොත් එහෙම දුව ගෙල මගෙ වැළඳගෙන
තව නැහැ පිළිතුරක් මා හට ඇයට දෙන


Tuesday, September 29, 2015

4. කවි අහස


ගින්දර ගෙනෙන දහවල නිම වෙද්දි ගෙවී
අත්හැර වෙහෙස ගත සිත යන සෙයකි නිවී
එක්කර මනස සිතුවිලි එන විටදී මැවී
සුන්දර රැයේ පොඩි පැංචිට ලියමි කවී

පෙළකට පුළුන් ගොඩවල් ඇතිරුව විලස
පාවී යාවි ගමනක් ඉඳලම සවස
දන් නෑ වලාකුළු පවසන ඒ රහස
අද හරි ලස්සනයි දැක්කද දු අහස

තැන තැන හිනැහී හිනැහී ඒ අහස පුරා
පැංචන් පැංචියන් තරු නෙක එලිය කරා
නොනිදා ඇහැරගෙන තවමත් වෙහෙස දරා
ඉන්නේ බලාගෙන අපි අත වන්න තුරා

රන් තැටියකට කිරි පැණි බොහොමයි පුරවන්
පාවෙන වලාකුළු අතරෙහි හිඳ දිලෙමින්
කෝ අපෙ පොඩිත්තී නිදි නැතිදැයි අසමින්
එබි එබි බලයි අර හඳමාමා ඇවිදින්

යන යන තැනට අපි හා එනවා ඈත
සිනහා සලනවා අර බලමින් පාත
කිරි පැණි රසලු හඳමාමා දෙන සීත
ඉල්ලා ගමුද අපි දිගු කරලා දෝත

ඉස්සර ඉඳන් අහසේ තනියෙන් හිටියා
ලස්සන හඳේ සුරතල් සුදු හා පැටියා
දූ හා සෙල්ලමට හරි ආසා ඇතියා
එයිදෝ බිමට බැහැලා කාටත් නොකියා

සෙල්ලම් කරන්නට හඳ හාවත් එක්ක
බිව්වොත් කුක්කු හනිකට ලොකු විය හැක්ක
සුරතල් කතා කියමින් අම්මත් එක්ක
නැලවෙන් මැණික දුව මගෙ මල් සුටික්ක

ඉන්නේ හඳේ හාවා යයි කීවාට
හාවා නොවේ ඇත්තේ ඒ ආවාට
තේරෙයි දූට දවසක ලොකු වූ දාට
එතකොට බනීවිද දැන් නෑ අම්මාට

විදු ඇස කියා පැවත් තතු එලෙස ලොව
සඳ තරු අහස ගහ කොළ වල සොඳුරු බව
අත්විඳ බලන්නට හැකි කොයි තැනෙක වුව
කවි ඇස සොයා දේ සැනෙකින් සිතෙහි සුව

දන්නෙම නැතුව සිත යයි බොහො දුරට ඇදී
ඉන්නට හිතයි තව තව එළිමහනෙ රැදී
එනමුත් යන්න සිදුවෙයි ගෙය තුලට ඇදී
ගජමන් නෝනෙ මගෙ පොඩි හොඳටෝම නිදී !


Monday, September 28, 2015

3. ඇඟිල්ල බිව්වොත් ...


ඇඟිල්ල බිව්වොත් දත් ටික ඉස්සෙයි
කැත වේවිලු කට පියස්ස වාගේ
ඇඩිල්ල බොරුවට ඒ බව කිව්වම
නොවේද වාට්ටු කලූ මෙමාගේ

නැටිල්ල බොරුවට අත පය විසිකර
වහල දිහා ඔහෙ බලන්න වාහේ
ගැහිල්ල කට ගුලි සුරුට්ටු බොන්නද
මහත්තයා කිරි කරත්ත බාගේ...

පහට අවදි වී උදේ පාන්දර
හිඳින්නෙ අමාරු ගණන් හදන්නද
හොඳට හිනා වි අම්මත් එක්කල
තනන්නෙ අර හොර වැඩේ කරන්නද

අදට මැදපු නැපි ඔක්කොම ඉවරයි
අලුත් ඒව වෙන කොහෙන් හොයන්නද
ඇඟට ඇලුනු ඔය ඇඳුම හැඩයි !!! ඉමු
ඔහොම ඉතින් වෙන මක්ක කරන්නද...

සුදූ ය කිව්වට සුදූ නොවෙයි කළු
අප්පච්චිගෙ නම කණපිට හැරිලා
බොනූ ය බෑ කිරි වැඩීම පුදුමයි
හුලන් බලෙන් ඇත පැන ගැට ගැහිලා

ඉනූ ය බෑ බඩ උලන් උඩ බලන්
වඩාන ඇවිදිය යුතුය හිනැහිලා
කිවූ ය කවියක් ඕන්න අම්මා
නිදාගන්න හැකි ඉතින් හිනැහිලා...


Monday, September 21, 2015

2. සුපුන් සඳ කෝ ..


සිතින් උතුරන සතුට නිම නැත
හදින් හද යා වෙයි
ඉතින් මේ කිරි සිහිනයේ මගෙ
පණ නලද සැඟවෙයි
අදින් පසු රෑ තරුද තනියෙන්
අහසෙ හැඩ බොඳ වෙයි
සුපුන් සඳ කෝ බිමට බැහැලා
මගේ දෝතේ දොයි ...

1.



රහසේ පැමිණ මල් පෙති මත හමාගිය
නලසේ සුවඳ මුසු සිසිලස ගලාගිය
රිසිසේ සිහින බල බල සිත පුරාගිය
සුවසේ නිදනවා මගේ දූ කුමාරිය

සිත සුව සදන කුසුමෙකි පිපි අරවින්දී
නෙත සුව සදන දසුනෙකි මුදු සෙව්වන්දී
සැමසිත සෙනෙහෙ ගඟුලක හිමිකම ලද්දී
දෙව්ලොව සිට පැමිණි දියණි ලු දෙව්ලින්දී

අහසක් වගේ සෙනෙහස සිත හොවාගෙන
මුහුදක් වගේ මදහස නෙත පුරාගෙන
අවේ සසර මග බොහො දුර ගෙවාගෙන
අම්මයි තාත්තයි දෙන්නා සොයාගෙන


පොපියන මුවෙන් කිරි සුවඳක් විඳගත්තා
හිනැහෙන වේලෙහි රූ සිරි සැම දැකගත්තා
සුදු මුව පොඩිය එක හුස්මට සිප ගත්තා
අම්මා හාද්දක් දුගෙන් අර ගත්තා


සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.