Thursday, November 30, 2017

19. මටත් පුදුමයි ...


සෙනසුරාදට ටිකක් වැඩියෙන් නිදාගන්නට හිතුවොතින්
නැගිට හනිකට ඇඟට පැනලා ඉන්න ඇඟ උඩ දඟලමින්
පොතක් ආසම ටිකක් හරි කියවන්න කියලා ගත්තොතින්
ඒක අරගෙන මයනු ලයනූ ටයනු සොයනා පෙරලමින්

කුස්සියට ගිය විටදී කෑමක් උයා ගන්නට ඉක්මනින්
පඬියා වගෙ විත්  එක වැඩේ දෙක කරල ඔක්කොම වනසමින්
ඇමතුමක් අරගන්න හැදුවොත් කාට මුත් හරි හදිසියෙන්
රැගෙන එය ඔබ ඔබා නම් ගම කරන දෙවනත් හිනැහෙමින්

සුපිරියට අස් කරල සාලය තිව්ව මුත් බඩු පිලිවෙලින්
සැනින් ඇද ඒ සියල්ලම බිම දමල හැඩි කර මොහොතකින්
වැටෙයි බිම දිව්වොත් දුවන්නට එපා පැටියෝ කිව්වොතින්
අහක බලමින් නොන්ස්ටොප් හැමතැනම දුව යන විසි වෙමින්

දුකක් ඇවිදින් හිතෙනවා අම්මට අඬන්නට කිව්වොතින්
අම්ම ඇඬුවොත් පුතත් අඬනව කියන මං ළඟ නැලවෙමින්
එකට එක කර තරහවී පැත්තකට වී ගෙන උන්නොතින්
පුතා අම්මගෙ රෝස මල මේ, කියා උම්මා ඉල්ලමින්

පුතා කාගෙද කියන්නකො මට කවුරුහරි විත් ඇහුවොතින්
අම්ම තාත්තගෙ කියල සහතික කරන සැමටම සුරතලින්
හිතුන විට විත් දැවටිලා ළඟ අහිංසක කම පෙන්නමින්
මල්ලිවගෙ මං වඩන්නකො යයි කියන හරහට අත් දෙකින්

ඉරක් පායන හෙටක් ගැන නොම සිතුව මා හට සත්තකින්
පැතුම් පොදි පිරි හෙටක සිහිනය දිනෙන් දින තව ලියලමින්
ටිකින් ටික හිරි වැටී හිත සෙනෙහසම යලි යලි ඉපදෙමින්
මටත් පුදුමයි නැතිව පුතු, මං ඉතින් හුස්මක් ගත්තොතින්


18. අම්මා අද නෑ එන්නේ ...


එනවිට උදේ මම නිදියාගෙන හිටියා
දුන්නම හාදු මදහස මුව දිග හැරියා
සිහිවේ හුඟක් නවතාගන්නට බැරියා
සෙල්ලම් කරනවද දැන් මගෙ සුදු පැටියා

අද නෑ වෙනද වගෙ අම්මා එන්නෙ දුවන්
පැටියෝ ජනේලය ළඟ ඉන්නෙපා බලන්
අච්චා කවයි බත් කට කට ලඟට කරන්
දෙමලිච්චන්ට වී ඇට බිම දමන ගමන්

අපෙ හිත් දන්නෙ නැති බවකුයි පෙන්වන්නේ
ඔරලෝසුවේ කටු හෙමිනුයි කැරකෙන්නේ
ආවම කරන වැඩ ගැන සිහි කරමින්නේ
අම්මා හරිම නොම ඉවසිල්ලෙනි ඉන්නේ

ආවම වඩාගෙන රවුමක් කරකැවිලා
යමු අපි ලතාවට අලියගෙ පිට නැගිලා
අත් අල්ලගෙන රිසි සේ බිම දිග ඇදිලා
කියමුකො සින්දු එක දිගටම යන නැගිලා

අච්චා කතා කිව්වොතින් වෙනද නොකී
වරුවම හවස් සතුටින් ගත කරනු හැකී
ඉන්නයි ලඟට ගෙන රත්තා සමග නිකී
අම්මා නැති අඩුව එතකොට යාවි මැකී


සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.