Monday, May 6, 2024
262. සුබ දසුන්
Saturday, January 20, 2024
261. පෙම්බර මධූ මගේ (ශනිදා රෑ 10ට)
මගේ කියා කිව්වාට මේ කියන මධූ මගේ නොවේ. ඇගේ අයිතිකාරයා අපේ තාත්තාය. අපේ තාත්තා අපට වඩා ආදරේ පූසන්ටය. තුඩ මාරු කරන පැන්සලක මෙන් එකෙකු ඕෆ්ලයින් යනවිට තවෙකෙකු ඔන්ලයින් පැමිණෙන පූසන් සිටි අප නිවසේ වරකට තුන හතර බැගින් ද පූසන් සිටි කාලයන් එමටය. ටිකී, කිටී, සිංදු, බිංදු, රෙඩී, සැන්ඩි, ටෆී, සීනු, රොකී, කවී ලෙස මගේ මතකයේ ඇති මෑත භාගයේ අප සමග සිටි පූසන්ගෙන් අන්තිම දෙදෙනා වූ රොකීත් කවීත් අසල නිවසේ වූ වෙසමුණි බව් තඩියා විසින් ඕෆ්ලයින් යවන ලදුව දෙදවසක් නොකා නොබී කඳුලින් ගතකල තාත්තාගේ සාංකාවත් සෝකයත් තුනී කිරීමේ වගකීම සිය පූස් කරට ගෙන අවසානයටම අප නිවසට ආවේ මධුකිය. එවකට මාස දෙක හමාරක දැරිවියක වූ ඇය කුස්සියේ දොරකඩ ළඟ සැඟවී සිට අම්මා කුස්සියට යන එන විට කකුලට පැනීමත් අම්මාගේ දිග සායෙන් ඇද එහි එල්ලීමත් නිසා 'මලවදේ දුවපන් කිව්වෙ' යනුවෙන් අම්මා නිතර මුමුණන වැකියේ මුල් අකුරු තුන ගෙන පොෂ් වීම සඳහා මැද අකුර මහප්‍රාණද කර ඇයට මධුකි ලෙස නම් තබන ලදී. නත්තල් සීයාගේ මෙන් සුදු පාට දිග රවුල් ගස් ඇති තම පූසාට ඉතාම ලස්සන පොෂ් නමක් ලැබීම ගැන ඉමහත් ප්‍රීතියෙන් සිටි තාත්තා ‘මධුකියෝ...’ යැයි ඇද පැද කතා කරන විට සිනහ යන්නට ආවත් තාත්තාගෙන් නමේ තේරුම සඟවා ගැනීමට අප සියලු දෙනාම වග බලා ගත්තේ අපේ ජීවිතාරක්ෂාව පතාය.
ප.ලි. කොරෝනා මැද සතුට ගෙනා මිතුරෝ පරණ ලිපි ද කියවන්න.
1. කොස් මල්ලි - කොරෝනා මැද සතුට ගෙනා මිතුරෝ I
2. හිච්චි සහ චූටි - කොරෝනා මැද සතුට ගෙනා මිතුරෝ II
3. චුට්ටං බට්ටිච්චා - කොරෝනා මැද සතුට ගෙනා මිතුරෝ III
4. දම්මි සුගත් - කොරෝනා මැද සතුට ගෙනා මිතුරෝ IV
Saturday, December 30, 2023
260. දම්මි සුගත් (ශනිදා රෑ 10ට)
මඩේ ලගින තාරාවන් නාවන්නද මං කියා සිංදුවක් කියාගෙන එය සිංදුවට පමණක් සීමා කර පාඩුවේ හිටියේ ඉස්සරය. දැන් නම් එසේ කියනවිට ‘ඉතින් ඉක්මනට නාවනවකො වදේ’කියමින් ලඟට විත් දස වද දෙන දෙදෙනෙකු අපට සිටී. ඒ දම්මි සුගත්ය. කිරි පැණි මෙන් නිතරෝම එකට ඉන්නා නිසා දම්මි සුගත් කිව්වාට මේ අප දන්නා ගොළු හදවත නොව තනිකර එහි අනිත් පැත්තයි. හිතෙන හිතෙන කෝණවලට හොටත් හිසත් හරවමින් මන බඳනා හඬ පෞර්ෂයකින් නොනවත්වා දොඩවන මෙවුන් දෙදෙනා එක පැයකට ගොළු කර දිය හැකි කිසිවෙකු වේ නම් ඒ සැබෑ පින්වතෙකි. පාන්දර හයට පමණ මේ යුවල නිවසට එන විට ඉස්සරහ දොර වසා තිබුනොත් එදාට කන් දෙකටත් කකුල් දෙකටත් අත් වන්නේ කාලි මෑණි පිහිටය. ගේ වටේ රවුමක් ගසා කුස්සිය පැත්තෙන් මුට්ටිය දමා බලා අම්මා පේන්නට සිටින්නේ නම් හෙමිහිට පසුබෑමද අම්මා නැතිව තාත්තා හෝ වෙන කවුරුන් හෝ සිටින්නේ නම් අහුවෙන කකුලකට කොටමින් කෙලින්ම ටැප් එක ලඟට දක්කාගෙන යාමද දම්මි සුගත් සිරිතයි. බේසම් දෙකක් පුරවා දෙදෙනාට නාන්නට වතුරද නාන ගමන් දෙසා බාන්නට ඇති පදම් බත්ද දුනහොත් ටිකක් වෙලා ගතවන තුරු තත්වය සමනය වේ. (නරඹන්න)
1. කොස් මල්ලි - කොරෝනා මැද සතුට ගෙනා මිතුරෝ I
2. හිච්චි සහ චූටි - කොරෝනා මැද සතුට ගෙනා මිතුරෝ II
Saturday, December 23, 2023
259. චුට්ටං බට්ටිච්චා - නින්දෙදි මං දැක්කා (ශනිදා රෑ 10ට)
ගොම්මන් අඳුර ගලාවිත් හෝරා කිහිපයකට පසු සන්සුන් ලොවකට අපව කැඳවමින් අවට සිසාරා ගලා යන ඉමිහිරි සේපාලිකා මල් සුවඳ කුඩා කල සිටම මම විඳ ඇත්තෙමි. ඒ මිදුලේ කොනකට වෙන්නට වවා තිබූ සේපාලිකා ගසට පින් සිදු වන්නටය. පැරණි සේපාලිකා ගස අබලන් වී මීට වසර කිහිපයකට පෙර මිය ගියද තම සුවඳේ උරුමය රැගත් දරුවන් දෙදෙනෙකු අපට දායාද කිරීමට තම ඒ මව් ගස කාරුණික විය. මිදුලේ සිය අනසක පතුරුවමින් වැඩෙන ඉන් එක් ගසක් දැන් නව යොවුන් වියට පා තබා මල් සමය අරඹා ඇත. අම්මාගේ උන්මාද ගතිය එලෙසම නැතිනම් ඊටත් වඩා වැඩියෙන් උරුම කරගත් මා දියණියද ගමේ නිවසට පා තැබූ පළමු දිනයේ පටන් සේපාලිකා උන්මාදිනියක බවට පත් විය. එහි ප්‍රතිපලය වූයේ සෑම දිනකම රෑ හතාමරට හෝ අටට පමණ මිදුලේ සේපාලිකා ගස යටට ගොස් පිපෙන මල් වල සුවඳ විඳිමින් පහත කිනිති වල ඇති මල් කුඩා මල් වට්ටියකට හෙමි හෙමින් නෙලා ගැනීමට පැයකට ආසන්න කාලයක් ගත කිරීමයි.
එදා වැසි දිනයක් වුවද මෙම ලලනාවියගේ සේපාලිකා උමතුව නොනවතින කන්දොස්කිරියාවක් වූයෙන් පොද වැස්සේ එක අතකින් කුඩයද අනිත් අතින් විදුලි පන්දමද ගෙන රෑ අටට පමණ එදාත් මිදුලට ගියේ මල් කිහිපයක් හෝ නෙලා ගෙන ඒමටයි. මල් වට්ටිය අතින් එල්ලාගත් දියණියද මා පසෙකින් විය. පොද වැස්ස අතරේම තරමක් ලොකු අත්තක් පහත් කර කඩිනමින් එහි මල් නෙලූ අපි එන්නට ආපහු හැරෙද්දී මහ හඬින් “අන්න කුරුළු බිත්තර තියෙනවා....” යැයි කියූ දියණිය එක්වරම නතර විය. සැනෙකින් විදුලි පන්දම එල්ල කර එදෙස බැලූ මට දක්නට ලැබුනේ පහලට එල්ලෙන සිහින් සේපාලිකා අත්තක් මත විදුලි පන්දම් එළියට දිලිසෙන සුදු බෝල තුනකි. නිශ්ශබ්ද වී ඉතා පරිස්සමින් මඳක් කිට්ටු වී විපරමින් බැලූ විට ඒවා කුරුළු බිත්තර නොව නින්දේ පසුවන සැබෑ කුරුල්ලන් බව අවබෝධ කර ගැනීමට තත්පර කිහිපයකදී අපට හැකි විය සෙන්ටිමීටර් හතරක් පහක් පමණ වූ බෝලවල විෂ්කම්බයත් වට ප්‍රමාණයත් හැඩහුරුකමත් අනුව මේ නිදා සිටින්නේ අන් කිසිවෙකු නොව බට්ටිච්චන් තිදෙනෙකු බව තවත් තත්පර කීපයක අවෑමෙන් නිගමනය කිරීමට අපට හැකි වූයේ කෙමෙන් වැඩි වෙමින් පැවතුන වැස්සද අමතක කරගෙන සිත පුරා නැග එන ප්‍රීති ප්‍රමෝදය අතරිනි.
දුටුවනම අතට ගෙන තුරුළු කර ගැනීමට තරම් සෙනෙහසින් පිරී ගිය හිතක් පහල වුවද ආයාසයෙන් එය නවත්වා ගත් අප තවත් හොඳින් විපරම් කලේ කුරුළු හිස සහ කුරුළු පාද මේ සිනිදු බෝලයේ කොතැනක තිබේදැයි අනුමාන කර ගැනීමටයි. නමුත් ඔවුන් ඉතා සකසුරුවම් ලෙස සිය කුඩා සිරුරුවල පිහාටු පුම්බාගෙන හිස් සහ පාද ඒ අතර සඟවාගෙන සිටියේ අපට කිසිදු ඉඟියක් නොදෙමිනි. එක් සුදු බෝලයක පමණක් බෝලයට පිටතින් සිහින් කූරක් වැනි යමක් යන්තමින් දිස් වුවද රාත්‍රී අඳුර නිසා එය ගසේ අත්තේ කොටසක්ද නැතහොත් කුරුළු වලිගයද යන්න අපට නිශ්චිතවම හඳුනා ගත නොහැකි විය. බට්ටිච්චේකුගේ සැබෑ ප්‍රමාණයට වඩා මඳක් විශාල වන ලෙසත් හුරුබුහුටි බෝලයක් ලෙස වටකුරු වන ලෙසත් සිය සිරුරු සකසා ගැනීමට තරම් ඔවුන් දක්වා තිබූ කුසලතාවයෙන් මවිතයට පත් අපට ඇති වූයේ මේ හුරුබුටුටියන් තිදෙනා ගැන ඉමහත් අනුකම්පාවකි. කිසිසේත්ම කුරුල්ලකු යයි අනුමාන කිරීමට නොහැකි වන ලෙස හිස සහ පාද සිය අත්තටු අතර සඟවා ගෙන නිදන මේ කුඩා ප්‍රාණීන් තිදෙනා රාත්‍රිය ගත කිරීම සඳහා අප මිදුලේ සේපාලිකා ගසම තෝරා ගැනීම අප වෙත දක්වන ලද විශේෂ සැලකිල්ලක් ලෙසය අපට හැඟී ගියේ. පොද වැස්සේ වැටෙන වැහි බින්දු සේපාලිකා මල් අත්ත මත වැටී ඔවුන්ගේ පුළුන් බෝල සිරුරු ස්පර්ශ කළා මෙන්ම ඒ හා සමඟම අතු පතර සිසාරා හැමූ සීතල සුළඟ ඔවුන් නිදා සිටි සේපාලිකා අත්ත විටින විට සෙලවුවද ඒ ගැන කිසිම තැකීමක් නොකර ඔවුන් නිදා සිටියේ නින්දේදී ඔවුන් අතු මතින් ගිලිහී බිම නොවැටී සිටින්නේ කෙසේදැයි යන පැනයද අපට ඉතිරි කරමිනි.
දහවල් කාලයේ බට්ටිච්චන් කොපමණ දැක තිබුණත් නිදා සිටින බට්ටිච්චෙකු අප සැබැවින් දුටු මුල්ම වතාව මෙය වූයෙන් අප ඊ ලඟට කල්පනා කලේ මෙය චායාරුපයකට නගා ගන්නේ කෙසේද කියයි. කිසියම් අත් වැරදීමකින් කලබලයක සේයාවක් හෝ වුවහොත් මේ නිසොල්මන් සුදු බෝල තුන අවදි වී වෙනතකට පියඹා යාදෝ යන බියත් සමග හඬ නොනැගෙන ලෙස ගෙට ගොස් ජංගමය ගෙන ආ අප විදුලි පන්දම් එලිය බෙහෙවින්ම බාල කර පින්තූරයක් ලබා ගන්නට සැරසුණා පමණකි. සිතේ සැනසුම බිඳී අප වරදකරුවන් බවට පත් කරමින් සුදු බෝල තුනෙන් දෙදෙනෙකු අවදි වී හොට කරකවා අවට බැලුවේ මේ සීතලේ තම සැප නින්දට බාධා කරන සතුරා කවුරුද කියා දැක ගැනීමටයි. නමුත් මේ කිසිවක් ගණනකට නොගත් මැද සුදු බෝලය ඒ සිටින ඉරියව්වෙන්ම නිදා සිටියේ අවට පරිසරයේ කුමකින් කුමක් වුවත් සිය නින්ද ඒ හැමටම වඩා වැදගත් බව පසක් කරමිනි. අවදි වී සිටියද ඉවතට ඉගිළී යාමට තරම් නොසන්සුන්කමක් හෝ කලබලයක් නොදැක් වූ කුඩා ප්‍රාණීන් දෙදෙනාද නින්දේ පසු වූ කුඩා ප්‍රාණියා ද අපට අනුකම්පා කර ඔවුන්ගේ පින්තූරයක් ගන්නා තෙක් ඉවසාගෙන සිටියේ අපේ කුරුළු උන්මාදය ගැන උපන් සෝකයෙන් විය හැකිය. මෙහි දැක්වෙන්නේ එම මිල කල නොහැකි ආදරණීය පින්තූරයයි.
දහවල් කාලයේ කිහිප විටක්ම සේපාලිකා ගසේත් ඒ අසල වෙරළු ගසේත් අවට ගස් ගොන්න අතරත් ඇසුණ කිචිබිචිය මැද බට්ටිච්චන් යුගල කිහිපයක් දුටුවද ඒ අතරින් පෙරදින රැයේ පැමිණි කුඩා මිතුරන් තිදෙනා අපට සොයා ගන්නට නොහැකි විය. යුගල ලෙස පැමිණෙන ඔවුන් නිතරම එකිනෙකා පෙනෙන දුරින් හිඳීමට වගබලා ගත අතර ඉන් එක් යුගලයක් පුවක් ගසේ වේලුනු අත්තකට කොටමින් සිහින් කෙඳි රැගෙන මඳක් ඈත පිහිටි ගසකට රැගෙන යනු අප දුටු නමුත් රාත්‍රියේ දුටු තරම් අලංකාරයක් හෝ හුරුබුහුටි මනබඳිනා බවක් දහවලේ අප ඔවුන් වෙතින් නොදුටුවෙමු. එදින රෑ වනතුරු මහත් නොයිවසිල්ලෙන් සිට අඳුරු වැටුණ මොහොතේ පටන් සේපාලිකා ගසේද ඒ අවට වෙනත් තුරු මතද රාත්‍රී කාලයේ බොහෝ වෙලාවක් නිරීක්ෂණය කලද ඔවුන් නැවත වතාවක් දැක ගැනීමට අපට හැකි වූයේ නැත. සමහර විට එදා වැසි දිනයක් වූ බැවින් ඔවුන්ට පුරුදු නවාතැන සොයා ගන්නට පමා වීම නිසා වැඩි දුරක නොවූ අපේ සේපාලිකා ගසට පැමිණියා විය හැකියි. නැතිනම් බළලුන් වැනි විලෝපීයයන් බහුලව වෙසෙන මිදුල අවට සේපාලිකා ගස රාත්‍රී ඔවුන්ගේ වාසස්ථානය ලෙස යොදා ගැනීම කිසිසේත්ම නුවනට හුරු නොවන බව හැඟෙන්නට ඇති. එසේත් නැතිනම් අප කල අනවශ්‍ය මැදිහත් වීමෙන් ඔවුන් අප සමග අමනාප වූවා විය හැකියි. මෙවැනි සිතුවිලි සමග හැපෙමින් කෙමෙන් කෙමෙන් ඔවුන් නැවත දැක ගැනීමේ සියලු බලාපොරොත්තු සිතෙන් තුරන් වෙමින් සිටියදී හදිසියේම යලිත් ඉන් එක් කුඩා ප්‍රාණියෙකු අප සිහි වී නැවත පැමිණ තිබුනේ අපේ සිත් අමන්දානන්දයට පත් කරමිනි. කලින් දුටු දිනයේ මෙන්ම මෙදිනද ඔහු නිදා සිටියේ එකම අත්තක වීම එකම තැනක එකම පැත්තක් බලාගෙන වීම තවමත් අපට පුදුමයකි.
පෙර වැරදි මතක තිබු නිසාම මෙවර අප ඔහුගේ පින්තුරයක් ගනු ලැබුවේ ලැබුවේ සීයට දෙසීයක් පරිස්සම් වීමෙන් පසුවයි. වැරදීමකින් හෝ අනිත් සගයින් දෙදෙනාද පැමිණ කොහේ හෝ සැඟවී නිදනු ඇති බවට වූ සැකය නිසාම කොලයක් කොලයක් ගානේ ඉතා සැලකිල්ලෙන් බැලුවද අනිත් දෙදෙනා දැක ගැනීමට නොහැකි වූයේ සිතට කිසියම් දුකක්ද ඇති කරමිනි.
නමුත් පස්වනක් ප්‍රීති ප්‍රමෝදයෙන් අපව මුසපත් කරමින් එදා සිට උදා වූ සෑම දිනකම පාහේ නොකඩවාම එක් අයෙකු හෝ දෙදෙනෙකු ලෙස දොයියන්නට අපේ සේපාලිකා ගසට ඔවුන් පැමිණෙන්නට වූයේ කිසිසේත් අපේක්ෂා නොකළ පරිද්දෙනි. එතැන් සිට මල් සුවඳ මැද කුඩා අතු රිකිල්ලක පිහාටු පුම්බා සිහින ලොවේ සැතපෙන ඔවුන් දැකගැනීමත් එනයින් වඩාත් සුන්දරව හා ආදරණියව දිනය අවසන් කිරීමට ලැබීමත් අප ලද මහගු භාග්‍යයක් විය. එතනින් නොනැවතී මනස්කාන්ත රාත්‍රී සංචාරය මිදුල වටේටමත් පාර දිගේ කඩුල්ල දක්වාත් පුළුල් කරමින් කුරුළු නිරීක්ෂණයේ යෙදුණු අපට සේපාලිකා ගසේ නිදා සිටි කුඩා බට්ටිච්චන්ට අමතරව ගාඩ්නියා මල් ගසේ අතුවල මඳක් විශාල සුදු බෝල ලෙස නිදා සිටි බැම සුදු කොණ්ඩ කුරුල්ලන් කීප දෙනෙකුද, ඊට ආසන්න දිනයකදී සේපාලිකා ගසටම ආසන්නයේ මදාරා ගසේ නිදා සිටි කහ පාට සූටික්කන් දෙදෙනෙකුද දැකගත හැකි වූයේ ඒගැන වූ අපේ උනන්දුව දෙගුණ තෙගුණ කරමිනි. නමුත් එහි උච්චතම අවස්ථාව වූයේ මෑත දිනයක බට්ටිච්චන් සමග එකම සේපාලිකා ගසේ අතු දෙකක මුහුණට මුහුණ බලා නිදා සිටි පිලිහුඩු පැටියෙකුද දැකගන්නට හැකි වීමයි. බය හිතෙන දිගු හොට සහිතව පිළී ගඳ ඇති තිත්ත පැටවුන් බිලී බා ගන්නා පිලිහුඩු පැටියාගේත් මල් වැනි අහිංසක බට්ටිචන්ගේත් සම්බන්දය හෝ මිත්‍රත්වය ගැන අපට සිතා ගැනීමට නොහැකි වූ නමුත් සැමදා එකම ලෙස මුහුණින් මුහුණ බලා නිදියන ඔවුන් දැකීම අපට මහත් සතුටක් වූ බව නොකියාම බැරිය. ඔවුන් නොදුටු රාත්‍රියට අපට හද කකියවන පාලුවක්ද දුකක්ද දැනුනු අතර ඔවුන් යළි නොපමිනේය යන බියද අප සිත් තුල හොල්මන් කරන සිතුවිල්ල අප සිතෙන් පහව ගියේ පසු දින රාත්‍රියේ නැවත ඔවුන් දැකගනිමෙන් පසුව පමණි.නමුත් පිලිහුඩු පැටියාගේ ආගමනයත් සමගම පින්තුර ගැනිල්ලට තිත තැබීමට සිදු වූයේ අනිත් කුම්බකර්ණයන් මෙන් නොව ඔහු කුඩා සෙලවීමකදී වුව අවදි වී ඇස් ඇර ඉතා දුක්මුසු අනිමිස ලෝචනයෙන් අප දිහා බලා සිටීම නිසයි.
ඉතින් මේ සටහන අවසාන කිරීමට මත්තෙන් අප ආදරණිය කුරුළු මිතුරන් හට කීමට ඇත්තේ අවට ඇති සිය දහස් ගණන් තුරු වදුළු අතරින් අපේ සේපාලිකා ගස ප්‍රමුඛ යහළු මිත්රයින්ම රැයේ යහන් ගත වීමට තෝරා ගැනීමෙන් අපට දෙන/දුන් සතුටටත් ගවුරවයටත් ඔබට බොහෝ පින් බවයි. ගමේ ගොස් යලි කොළඹ එන සෑම දිනකදීම දමා එන්නට බැරි යැයි හැඟෙන අයවලුන් අතරට දැන් ඔබද එක් වී තිබෙන බවත් අප යලි එනතුරු ඉතාමත් පරිස්සමින් ඉන්නා ලෙසත් ඔබට දන්වනු කැමැත්තෙමි.එතෙක් ඔබ ගැන සුවඳ මතකය නැවුම්ව තබා ගැනීමට කොළඹ 8 මහල් නිවාස බැල්කනියේ පෝච්චියක වැඩෙන අපේ කුඩා සේපාලිකා ගසේ පිපෙන මල් තුන හතර අපට මහත් සේ උපකාරී වනු ඇති. ගමේ විසල් සේපාලිකා ගසින් නැග එන සුවඳ තරම්ම නොවුනත් ඒ සන්සුන් මිහිරියාවෙන්ම සිත පුරවන මේ සේපාලිකා මල් කිහිපයේ සුවඳ දැනෙන හැම මොහොතකදීම කවදාක හෝ ඔබෙන් කෙනෙකු මෙහිද එනු ඇති බවට සිත තුල වන අහිංසක බලාපොරොත්තුවද උණුසුම් වන බව වැඩි දුරටත් සඳහන් කරමි.
මගේ පුංචි නවාතැනේ1. කොස් මල්ලි - කොරෝනා මැද සතුට ගෙනා මිතුරෝ I
2. හිච්චි සහ චූටි - කොරෝනා මැද සතුට ගෙනා මිතුරෝ II
Sunday, December 17, 2023
258. මං වෙනුවෙන් මං.
Saturday, December 9, 2023
257. හිච්චියා සහ චූටි (ශනිදා රෑ 10ට)
හිච්චියාට දැන් වයස මාසයකි. චූටියාට මාස පහකි. නමුත් දෙදනාගේම මුල් ළමා විය සංවර්ධනය වී හමාර වී තිබුණේ ඉපදෙන විටමය. මුලින් මුලින් දෙදෙනාගේම නම් අග්ගිස්සට පුතා කෑල්ලකුත් එකතු කර හිච්චි පුතා චූටි පුතා ලෙස ආදරෙන් ඇමතුවද දැන් පුතා කෑල්ල කොහේ ගිහින්ද නැත. සිය මේරූ වසු මොළය පාවිච්චි කර මේ අයියා මලෝ දෙදෙනා කරන කුපාඩි වැඩ දිහා බලා සිටි කෙනෙකුට කොහොමටත් පුතා කියා කටක් ඇර කියන්නටද බැරිය. ආහාර අවශ්‍යතාවය සඳහා අසල ළදු කැලෑවට හැමදාම උදෑසනින්ම බලහත්කාරයෙන් මෙන් ඇදගෙන යන මේ දෙදෙනා දැක කුලප්පු වන එයාලාගේ සුදු නංගී නොහොත් අපේ පොඩි ලලනාවියගේ කන් කෙඳිරිය උච්චතම වූ තැන ‘අද එහෙනම් ගෙදරට ගෙනත් ඔය වත්තේ කොහෙන් හරි ගැටගහන්න’ කියා අම්මා කීවද ගෙදර කොතැනක ගැට ගැසුවත් එම ගැටය තිබෙන්නේ වැඩිම උනොත් පැය කාලකි. අයිතිකාර මාමා ගෙදරින් ගොස් විනාඩි දහයක් යන්නට මත්තෙන් ලිහා දමා වත්ත පුරා ඉගිලෙන්නට ඉඩ හසර ලබා දෙන තුරුම ලණුවෙන් ඇද ගනිමින් බෙල්ල කඩා ගැනීමට හිච්චියාත් චූටියාත් තරඟයට අර අදින්නේ මැරෙන සැටි මේ දැන් පෙන්වන්නට මෙනි. කෙසේ හෝ හැන්දෑ වනතුරු මේ යක්සයින් දෙදෙනාගේ පණ බේරී තිබිය යුතු නිසාත් අහක යන්නට ගිය කරදරයක් ඔඩොක්කුවට ගෙනත් දමන්නැයි කිව්වේ අප නිසාත් කවුරුන් හෝ පැමිණ ලණු ලිහා දමයි.
Saturday, December 2, 2023
256. කොස් මල්ලි (ශනිදා රෑ 10ට)
කොස් මල්ලීව මට මුණ ගැසුනේ මීට වසරකට පමණ පෙර වුවත් සමීපව ආශ්‍රය කිරීමට වරම් ලැබුනේ පසුගිය දෙසැම්බරයේ නිවාඩු දමා ගමට පැමිණි අතරවාරයේදීයි. ඔහුටම ආවේනික වූ විසුළු ස්වරූපයකුත් ප්‍රමාණයෙන් අන් අයට වඩා විශාල සිරුරකුත් කළු කන් දෙකකුත් හිමි ඔහු නිතරම පාතාල ක්‍රියාකාරකම් වල නිරත වීමත් කොස් වලට ඇති අධික ඇබ්බැහියත් නිසා ඔහුට කොස් මල්ලී යන නම තැබුවේ අපේ තාත්තාය. සිය පාතාල ක්‍රියා වලින් අපව විටෙක ප්‍රීතියටත් විටෙක කෝපයටත් පත් කරමින් සිටි කොස් මල්ලී අපේ ආගමනයත් සමග අපේ වත්තේම නතර වන්නට වාසනාව හිමි විය. ඒ වෙනදාට පෙට්ටි පිටින් දල්වන රතින්යා පත්තු වෙන්නේ නැති බැවිනි. එසේ වූයේ රතින්යා පත්තු කරන විට යටිගිරියෙන් කෑ ගසන සිය මිණිබිරිය ගේ බෙරිහන් දීම ඉවසනවාට වඩා කොස් මල්ලීටත් ඔහුගේ කල්ලියටත් වත්තේ ගැවසීමට ඉඩ දීම පහසු බව අම්මාත් තාත්තාත් තීරණය කිරීමෙන් අනතුරුවය.