Saturday, February 5, 2022

209. අඩක් ලියූ තව කවියක්

















ඇසින් උසුලගන්නට බැරි 
වසන්තයේ සිරි මේ යැයි 
කියා දීපු උණුසුම් හද 
කොහේ වේද අද සොයනෙමි 

අනන්තය ලඟට කැඳවා 
සුළං කපොල්ලක සිරකළ
ඉන්ද්‍රජාල රූපකාය  
වහා මතකයේ ඇඳගමි 

ආදරේ පිරි ඉතිරෙන
දෑසකින් හෙලූ සුසුමක් 
පාවෙලා ඇවිත් කොපුලක 
හැපී යන අයුරු හඟිනෙමි 

කලබගෑනි මැද සසැලෙන 
ජීවිතේ අඳුරු කැඩපත 
බිඳෙන්නට නොදී රැකගත් 
ස්නේහයේ මහිම දැකගමි 

එතී අඳුරු වැහි කෝඩෙක 
තුනී අකුණු පුපුරන විට 
නෙලුම් කුළුණ දිලිසෙන යුරු 
සැහැල්ලුවෙන් හිඳ විමසමි 

මහල් නිවාසෙට ඉහළින් 
රවුම් හඳක් පායනකොට 
අඩක් ලියූ තව කවියක්
මේස රෙද්ද යට සතපමි!



Friday, February 4, 2022

208. ඔබ නැතිව ඔබ එක්ක
















මල් සුවඳ මග ඇරුන 
අළු දූලි හෙවණැල්ල 
කාන්සිය පිරෙන හිත 
නැගෙද්දිත් අරුණැල්ල 
සොඳුරු නැති බව ඇත්ත 
කොලොම්පුර පවනැල්ල 
ඒත් දිගටම හුස්ම 
ගත යුතුයි පෙණහැල්ල 

සැකයකිය නිරතුරුව 
අසනීප හදවතේ 
හැකිවේද නගින්නට 
ජීවිතේ ගිරිදඹේ 
ඉසිඹුවක් ගත හැකිය 
හොවා සැනසුම් හිතේ 
ලැබෙයි නම් දිගම දිග 
ඔබේ කෙටි පණිවිඩේ...

දම්පාට ආකාසෙ 
මන්දාරමක් ගාව 
ඔබ නැතිව ඔබ එක්ක 
පාවෙන්නමයි ආස 
සංසාර සුවඳක්ව 
මේ පාලු හිත ගාව 
සැරිසරන පිනම ඇති 
ගෙනියන්න යනදාට...



Thursday, February 3, 2022

208. රැය














මාර ගස් අතු පතර 
තටු එකට පොරෝගෙන 
නිසොන්මන් වී රැයේ 
කොළඹ කපුටන් නිදයි 

නැතිව තෙල් වැඩ බැරිව 
අන්ධකාරෙහි ගිළුණු 
කැළණිතිස්සට එපිට 
පහන් කණු හිස නමයි 

නිතර අක්‍රීය වන 
නොරොච්චෝලේ වගේ 
එලිය බිඳ වැටී වැටී 
කණමැදිරියන් සරයි 

සුරඟනා ලොව දෙසට 
සිහිනයෙන් ඇවිද ගොස් 
ජීවිතේ පොරෝගෙන 
පොඩි පැටික්කිය නිදයි!



Wednesday, February 2, 2022

207. මගෙ අහස



 








 වලාකුළු කැරලි ටික 
 පැත්තකට කෙරුවාම 
 අහස් නිල්, නිල් පාට 
 ඔය කමිසෙ ඇන්දාම 
 ඉණට අත් දෙක තියන් 
 පල්ලෙහා බැලුවාම 
 ඇත්තමයි මේ අහස 
 කොයිතරම් ලස්සනද 

 මොකක්හරි අල්ලගෙන 
 විහිළුවක් කෙරුවාම 
 තරහදැයි අස අසා 
 මං අතින් ඇද්දාම 
 දම් පාට කර මූණ 
 තව බුම්ම ගත්තාම 
 ඇත්තමයි මේ අහස
 කොයිතරම් ලස්සනද 

 අවුස්සා රැලි කොන්ඩෙ 
 අවුල් කර දැම්මාම 
 ඇහි පිල්ලමක් හොරෙන් 
 ගලවගෙන දිව්වාම 
 අල්ලන්න පසු පස්සෙ  
 දුවල හති වැටුනාම 
 ඇත්තමයි මේ අහස
 කොයිතරම් ලස්සනද 

 හංගගත් මගෙ කවිය 
 උදුරලා ගත්තාම 
 බැරෑරුම්කම මූණෙ 
 ඒ සැණින් ඇඳුනාම 
 හිනා පිපිරෙන සද්ද 
 හිත යටින් ඇහුණාම 
 ආදරේ මං හුඟක්  
 මේ අහස මගෙ නේද?



Tuesday, February 1, 2022

206. මතක














අපිට අපි රැකගන්න බැරි වුනොත් කවදාහරි 
එක අහස යට ඉඳිමු සතුටින්ම කොහොමහරි 
ක්ශිතිජ ඉම දෙස බලා එදා අපි කියපු හැටි 
සිහි වුනා දකින විට හෝ ගගා අඬන රැළි 

හෙට ආයෙ එනවමයි ගිවිසගෙන හිටියාට 
දුක හිතෙනවා නේද ඉර මූදෙ ගිලුනාම 
පාලුවට තරු ටිකක් උඩ අහසෙ හිටියාට 
ඇහැරගෙන ඉන්නවා ඇති මූද මුළු රෑම 

වැලි අස්සෙ කිරි කවඩි සිප්පියක් හංගලා 
රැල්ල මුමුනණු ඇසේ ගිහින් එන්නම් කියා 
මතකයේ ඇවිදිද්දි අපි එකට අඩි තියා 
හිරිවැටුණු හිත උඩින් කෝච්චිය දැන් ගියා!



Monday, January 31, 2022

205. දැන් ඉතින්...


















දැන් ඉතින්.... 
දුරුතු මාසෙත් ඉවරයි 
ගෙවුණ ඉක්මන පුදුමයි 
හිරි වැටී ඇති හිතට රහසේ 
සීතලද නික්මී යයි 
මීදුමද දිය වී යයි.... 

හෙට ඉඳන්.... 
පෙබරවාරිය එළඹෙයි 
ආදරේ සඳ දිලිසෙයි 
අකල් වැහි වට හිතේ මතුපිට 
රිදුම් ඉඳහිට පෑරෙයි 
පුංචි වලවල් හෑරෙයි.... 

කවුළුවෙන්.... 
තාරකාවක් පායයි 
විසල් අහසට යාවෙයි 
අනන්තයටම පියාඹනු වස්  
පියාපත් යුග හිමිවෙයි 
ඒ සැනින් හිත ඉගිලෙයි.... 

මේ දැනුත්.... 
කදෝකිමියෙක් ඉගිලෙයි 
නිවි නිවී යළි දැල්වෙයි 
අතරමං වූ බවට ඉඟි ඇත 
ඒත් පිහිටක් නොලැබෙයි 
කොළඹ අහසම නිදියයි....



Sunday, January 30, 2022

204. වර්ණ












මුණගැහෙන්නේ නැතිව  අව් වැසි 
වෙන් වුනා නම් දෙපසට  
ඇඳෙන් නැතුවම වියැකිලා යන 
පාට දේදුණු කොපමණ
පිටෙන් පිට හරි සීරුවට ගෙන 
කියෙව්වොත් ජීවිත පොත 
සමහරක් විට අසිරිමත් වැකි 
මුණගැහෙන්නට පුළුවන.... 

හමා නොගොසින් නැවතුනානම් 
සුළඟ එක තැනකම ඉඳ
මලක සුවඳත් කෙමිය ඇතුලෙම 
හිරවෙලා මිය ගොස් අද 
සුදුය කිව්වට එහෙම පෙනුනට
එකම හිරු කිරණක් තුල 
ප්‍රිස්ම නැතුවත් සමහරුන් හට 
වර්ණ දැක ගන්නට හැක....
 
 

Saturday, January 29, 2022

203. මං නොදන්නෙමි














දුකක් හිතුනම 
සඳට නම් හැකි 
මූණ හංගාගෙන හඬන්නට 
වලා අස්සෙහි .... 

හිතක් රිදුනම 
රළට නම් හැකි 
හැල්මෙ දිවගෙන විත් හැපෙන්නට 
වෙරළ මත්තෙහි .... 

පෙමක් බිඳුනම 
ගඟට නම් හැකි 
ගලාගෙන ගොස් පැන ගිලෙන්නට 
මූදු පතුලෙහි .... 

හිතින් වැටුනම  
පිරිමි නම් හැකි
සුමිරි පානෙන් පා කරන්නට 
හිත අනන්තෙහි  .... 

කුමක් වූවත් 
ගැහැණු නම් අපි 
හූල්ලනු මිස මක් කරන්නද 
මං නොදන්නෙමි ....




Friday, January 28, 2022

202. ඒකට කමක් නෑ නේද?
















දුන්න මානාගෙන අහසට 
දඩයක්කාර තැන එන දවසට 
දැක්කද වහන් වෙන හැටි හඳ 
මුවා වී ලොකු වළාකුලකට 

කඩු දුනු කුමටදැයි ප්‍රේමෙට 
කවියෝ එමට ඇහුවට 
උණුවෙන හිත් හොයන්නට නැත 
වෙඬරුත් ගණන් ගිහින් අද

හිත් පාරගන්නෙ මොකටද 
පෙම කියා කියන්නෙම දුක 
සතුටක් ඕනිම නම් හිතට 
අපි හමු වුන එකම මදිද 

දුර ළඟ ලොකු පුංචි අනුපාත 
මැන මැන බලන ලෝකෙක 
සියේට සීයක්ම ගැලපුණත් 
අපෙ හිත් යා වෙන්නෙ කොහොමද 

පාළුයි තමයි කාටත් 
ඕනි අය ළඟ නැති වෙනකොට 
ඒ වුනත් මේ දැනෙන නිදහස 
අපි හෙව්ව නිවීමම නේද 

දඩයක්කරුවන්ගෙ විත්ති 
දැන් අපිට අදාලම නැති කොට 
හැමදාම අපි දකින හීනවල 
මල් සුවද තැවරේවි නේද 

ඉස්සර පුරුද්දට තාමත්  
රෑට අවේලාවෙ ඇහැරුනාම    
අපි ගැන ලියන්නම් කවියක් 
ඒකට කමක් නෑ නේද?


Thursday, January 27, 2022

201. මට එහෙම දැනෙනවා












සුදුපාට මීදුමේ 
රතුපාට බස්රතේ 
දිග..... හුස්මක් අරන් 
උස කන්ද නගිනවා 

වා කවුළු කෙලවරේ 
මුදු සීත මඳනලේ 
හුරු පුරුදු මල් සුවඳ 
මට තාම දැනෙනවා 

පෙම්වතුන් යුවලකට 
පමණක්ය කිය කියා 
පිටිපස්සෙ සීට් එක 
දොර දෙසම බලනවා 

අර ඈත කඳු පෙලේ 
ඔබ ඉන්න මන්දිරේ 
කොහේ වේදැයි කියා 
මං එවිට හොයනවා...

ප. ලි. 
ගිනි පෙට්ටියක් වගේ 
මේ ඇදෙන බස් රතේ 
ඔයාටත් පේනවැති 
මට එහෙම හිතෙනවා...

කවුළුවෙන් අතවනා 
ගිහින් එන්නැයි කියා 
කියනවා මයි ඔයා 
මට එහෙම දැනෙනවා ...




සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.