Monday, February 21, 2022

223. සැනසීම කොහිවේද













සැන්දෑව පාලුවෙන් යුක්තයි 
පිල්ලෑව වැව අදත් ගුප්තයි 
රන්පාට පින්තාරු කළ අහස මතදීම 
රතු පාට ඉර පාන මිය යයි 

මන්දාරමේ අඳුර පැතිරෙයි 
නිස්කාරණේ දෑස වෙහෙසෙයි 
මල් ආසනේ දුබල කුසුමන් වෙතින් විසුල 
දුක් දෝමනස් සුවඳ හැඟවෙයි 

සිලිලාරයක සිසිල දැනවෙයි 
සුදිලේන සිල පහනෙ සෙලවෙයි 
නන්නාඳුනන දෑස එක්කාසු කොට දෑත 
පිල්ලෑව බෝධියට මුමුණයි 

සන්තානයට සුසුම් ලංවෙයි 
නින්නාද වන හඬට කන්දෙයි 
සංසාර දුක ගාව අපි එහෙමමයි තාම 
සැනසීම කොහිවේද නොදැනෙයි...



Sunday, February 20, 2022

222. නික්මෙන්නට පෙර




















මහ රෑක නිස්සද්ද බව බින්ද 
මඳ නලේ ඇයි තාම නිදි නැද්ද 
හෙමි හෙමින් රැය පුරා ඉකි බින්ද 
හිත මගේ කියවන්න පුලුවන්ද 

සංසාර ගණුදෙනු ම අත් වින්ද 
තුන් යාමෙ හිත් මත්තෙ මල් විද්ද 
උන්මාද පෙම් උයනෙ පින් මන්ද 
අව්‍යාජ හිත් කොයිද පෙම් බැන්ද 

රිදි රිදිම යන දෙපය පිරිමැද්ද 
කටු ගාල මිස රෝස කොයිබින්ද 
හැම රෑම පැනයක්ය නිදි බින්ද 
හෙට උදය අරඹන්නෙ කොතනින්ද 

දුක සතුට අඩු වැඩිව අත් වින්ද 
දිවි සැරිය තව කොතෙක් දුර ඇත්ද 
මල් උයන දෙන සුවඳ මකරන්ද 
නික්මෙන්න පෙර ආයෙ හමු වෙයිද ...



Saturday, February 19, 2022

221. සැනසුම

















විසල් අහසින් නැඟ එන 
බිරුම් පුපුරන අතළඟ 
අකල් වැහි ගැන පොළොවට 
බයක් හිතුනෙම නැතුවද 

බදන් සුළඟක් හොඳටම 
නවත්තන්නට පොරකන 
ගසක් දැක්කම අසරණ
බලන් ඉන්නට ඇහැකිද 

පහන් තරුවක් දිලිසෙන 
අහස් තලයට පියඹන 
හිතක් තිබුනට අත්තටු 
පුදන්නට කවුරුන් වෙද 

ටිකක් වත් හිත සැනසෙන 
රැයේ සිහිනෙක දැවටෙන 
පුළුල් උරිසක සිසිළස 
අදත් ලබනට හැකිවෙද ....



Friday, February 18, 2022

220. නම්

















සිලිටි වෙරළත 
හොයා ගෙන විත් 
හැපී හැඬුමට නම් 
කුමට සයුරට 
නැගෙන රැළි මෙතරම් 

හමන පවනට 
සුවඳ මුසු කර 
විසිර යන්නට නම් 
කුමට මලකට 
සිනිඳු පෙති මෙතරම් 

රැයට කළුවර
කඳුල දිය කර 
දෙනෙත වැසුමට නම් 
කුමට සිතකට 
සිහින පෙම් සිතුවම් 

මතක අතරින් 
තුරුළු කරගෙන 
සුසුම් ලන්නට නම් 
කුමට තිබුනද 
අපට එක එක නම්...


Thursday, February 17, 2022

219. කවි ලියන්නේ කෝමද


















බලා ඉන්නට බැරි තැන 
වසා කවුළුව හෙමිහිට 
නින්ද අයදින මේ හිත 
අයිතිකාරිය කාගෙද 

නවම් සඳවත අහසට 
ඇවිත් මැදියම් රෑකට 
හෙළන කඳුලක සීතල 
ගෙනෙන තනිකම මේකද 

අතු අගිස්සක් අඬ අඬ
පිණි බිඳිත්තක් බේරන 
හිතේ උණුහුම ටික ටික 
දිය කරන්නේ ඒමද  

ලිහි ලිහී තව විසිරෙන 
සිතුම් රළ පෙළ අපමණ 
ආයෙ ආයෙම මුමුණා 
ගතු කියන්නේ කාටද 

ඈත දුර සිට පාවෙන 
ඇවිත් හිත අග යාවෙන 
සුසුම් එකිනෙක මගහැර 
කවි ලියන්නේ කෝමද....



Tuesday, February 15, 2022

218. වැලන්ටයින් තෑග්ග



















එකට මහ වැහි හතක් වැස්සත් කුඩේ අමතක වෙනවය 
අව්වෙ යනකොට අදාලම නෑ පිච්චි පිච්චී යනවය  
දිග ගවුම්, හැඩ සාය හැට්ටද ලෝකෙ දරුණුම විහිළුය 
කොහි යතත් නිල ඇඳුම නම් ටී ෂර්ට් එක සහ ඩෙනිමය 

දැක්ක විට අඩි උස සපත්තූ කලන්තෙට වගෙ එනවය 
ස්ලිපර්ස් දෙකකින් ඉතා සරලව කකුල් දෙක තුටු වෙනවය 
කැට් වොර්ක් යන අංගනාවියො දැකල හිත උණු වෙනවය 
අඩි දෙකට පහු කරල වේගෙන් ගමන දුවගෙන යනවය 

කොන්ඩ දිග දස අතේ විහිදුන මෝස්‌තර නෙක අපලය 
කොටට කැපුවම හුළං වැදි වැදි බෙල්ල වුව සැනසෙනවය 
ඕන කඩ චෝරුවක් ගිලිනට කොයි වෙලෙත් කට කැමතිය 
දසන් පෙනුනට මොකක් වෙනවද කැකිරි පැළුනම නියමය  

බෑග් දෙක තුන මල විකාරය හිතෙද්දිත් ටැපලෙනවය 
එකම බැක් පැක් එකට සේරම කොහොමහරි පැටවෙනවය 
ඒක පිට මැද එල්ල ගත් විට දෑත නිදහස් වෙනවය 
හිතේ හැටියට පද්ද පද්දා ඕන ගමනක් යනවය 

උපදවා බැති ප්‍රේම බොරු ගුණ ගායනා නොකරනවය 
අසාධාරණෙ පේන්නට බෑ ඉබේටම නැගිටෙනවය 
හිතේ හංගන් දෙයක් ලතැවෙන පුරුද්දක් හෙම නැතිමය 
මූණටම අත ඇරලා දැම්මම ඒක එතනින් ඉවරය 

මූඩ් එකපිට මාරු වීමෙන් නිතර හොල්මන් වෙනවය 
විහිළු කරනා අයවලුන් හට විසේසෙන් තැන දෙනවය 
සිංදු පිස්සන් වෙත කලාබර බලෙන් ගොස් ඇමිණෙනවය  
සතුන්ගේ නම් නිතර දෙවෙලේ භාවිතාවට එනවය 

රාස්ස ගණ යැයි කෙන්දරයේත් කියා තියෙනව මතකය 
එහෙව් රාස්සිගෙ විමන වෙත වැඩි දෙවියො වේ නම් පුදුමය 
වැලන්ටයිනුත් ඇවිත් ගොස් ඇත තෑගි සුපැතුම් අකැපය 
විහින් වැටුනට අමාරුවෙ මේ කවිය දෙවියනි ඔබටය!



Monday, February 14, 2022

217. අතීත මතක

 












 හිතුනාම බලෙන් මෙන් 
 කඩා බිඳ ගෙන එයි ය 
 සඟවාපු ඉසව් වල 
 වැඩිපුරම ගැවසෙයි ය 
 අවුස්සා සියල්ලම 
 අතර මං කර යයි ය 
 මතකයන් දඟකාර
 පුංචි සුළි සුළඟක් ය.

 පිරික්සා මෙතෙක් කල් 
 ආ ගමන් විමසයි ය 
 පුරුද්දා කැඩුණු තැන් 
 යලි එකට අමුණයි ය 
 ආදරේ හිතෙන හරි 
 සොඳුරු එළි දල්වයි ය 
 අතීතය හුරුබුහුටි 
 පුංචි පරිපථයක් ය.



Sunday, February 13, 2022

216. තාමත් ...

 













 පායගෙන එනතුරා 
 අඩ හඳක් ආකහේ 
 තාරකා ඇස් අගින් 
 සිනාවක් මතු නොවේ 
 හිස් කමක් දැනෙනකොට 
 කොතන මුත් ජීවිතේ 
 නැවතිලා බලාගෙන 
 හිටි හුඟක් තැන් තියේ 

 හේබාපු හිත් යාය 
 පිස ආපු මකරන්ද 
 ආපස්ස හරවන්න 
 කාටත්ම පුලුවන්ද 
 ජීවිතේ රැලි නැගෙන 
 සොඳුරුකම් අත් වින්ද 
 දැන දැනම අතරමං 
 වුන හීන කොතරම්ද 

 එක ළඟින් එකට ඉඳ 
 එළි දිදී දිළිසුනත් 
 හුඟක් දුර තිබිය හැක
 තරු අතර නොපෙනුනත්
 දිනු එකම හදවතට 
 අයිතියක් නැතුවමත් 
 සෙනෙහසක් තියෙන්නට
 බැරිද වෙන්වූ විටත්?



Saturday, February 12, 2022

215. සමහරක් දේ හරි පුදුමයි













මලක් හුඟක් ලස්සන 
පවනැල්ලෙ හැපිලා සැලෙද්දි
ගඟක් හුඟක් ලස්සන 
හැලැහැප්පීම් මැද ගලද්දි 
ඉරක් හුඟක් ලස්සන 
හවසට මූදෙ ගිලෙද්දි 
පෙම්කතා හුඟක් ලස්සන 
හමු වීම් වෙන්වීම් තියෙද්දි 

වැරද්දක් වෙන්න කොහොමත් 
පුංචිම වෙලාවයි යන්නෙ 
කොච්චර පරිස්සම් කෙරුවත් 
වීදුරුත් දවසක බිඳෙන්නෙ 
හැම පැන්සලකම අග්ගිස්සෙ 
මකනයක් එනමුත් නේන්නෙ 
සමහරක් දේ හරි පුදුමයි 
හා නැද්ද මං අහන්නෙ 

හිතේ හරි මැදින් නවතින්න 
හැමෝටම බෑ මේම කෝමත් 
ඒ නිසයි අපි හිටියෙ සතුටින් 
වෙන කවමදාකටත් වැඩියෙන් 
හිමිදෙයක් පිළිගෙන නවතිමුද 
අපි අපිට නැතිවෙන්නෙ නැත්නම් 
තව ඉතින් මොනවහරි කියන්නකො 
ඇයි ඔය බුකවගෙන තාමත් ....


Friday, February 11, 2022

214. තිතක් වෙනුවට ...















තවත් මල් පෙති වැටෙනවා 
සුළඟ නොනැවති හමනවා 
කොහෙන්දෝ පාවෙලා ඇවිදින් 
පුරුදු සුවඳක් දැනෙනවා 

දෑස ඈතක ඇදෙනවා 
කෙනෙක් ඒ යැයි සිතෙනවා 
තාම බංකුව දකුණු පැත්තේ 
එනවනම් ඉඩ තියෙනවා 

ඈත අහසම පෙනෙනවා 
පුරුදු හිස් බව තියෙනවා 
නූල කැඩිලා සරුංගලයක් 
ඔහේ ඔබ මොබ සරනවා 

දැස හෙමිහිට වැසෙනවා 
හීනි සුසුමක් නැගෙනවා 
නැගිට යා යුතු වේය ආපසු 
මසිත් මට බල කරනවා 

සඳක් ටිකකින් නැගෙනවා 
අදත් කවියක් ලියනවා 
තිතක් වෙනුවට කවිය අග දිග 
පේළියක් තිත් තියනවා..........



සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.