Thursday, October 1, 2015

9. දුව ගැන මිස


බැස යන හිරු අහසින් හෙමි හෙමිහිට ඉවතට ඇදේ
සැඟවෙන එහි පාට වළා පෙළ අතරෙහි නෙත රැඳේ
ඉවතට පැන එසැණින් සිතුවිලි සිය දැහැනින් මිදේ
දුව හැර වෙන කිසිවකු ගැන සිතනට සිත ඉඩ නොදේ

සිනා සිසී ඉඳ මා හා මුවගින් කෙල බේරන
ගිරා පැටී වගේ කියවා බසකින් නොම තේරෙන
ගසාගෙනම ඇඟිල්ල මුව සතුටින් හද බෝ වෙන
නිදා ගනී වඩාන මා ඇවිදින විට රෑ වෙන

බලා ගන්නෙ තනියෙන්මයි කරදර හෙම නොම කරයි
කියාගන්නෙ කෙලෙසින් සෙනෙහස සිත මතුයෙහි පුරයි
සිතා ඉන්නෙ මුළු දවසම සෙල්ලමටම මදි කියයි
පොවාගන්නෙ කුක්කු බිඳක් යන්තම් නින්දෙදි තමයි

දිරවගන්න බැහැ එකතැන ඉන්නෙක නම් මහ මෙරක්
සනසවන්න කිව යුතුවේ සින්දුම එකපිට ගොඩක්
ඇවිදගන්න එළියට පොඩ්ඩක් ඇත්තෙම නැහැ ඉඩක්
නැගිටගන්න බැරි එක මිස වෙන නම් නැහැ කිසි දුකක්

පෙරලි පෙරලි ඇඳ හැමතැන අම්මි සොයන් යනවාදෝ
සොයා තොත්තුවක් අම්මිට හිනා වෙලා දෙනවදෝ
අතින් අල්ලාගෙන උදේට ඔපිස් යන්න එනවදෝ
හිච්චිකිතර ඇති තාමත් හනිකට ලොකු වෙනවදෝ

මල් නොපිපුණ සිත ළඟ දැන් සුන්දර මල් උයනෙකී
එන්නට ඇති හෙට ගැන සිත නලියන සුබ පැතුමෙකී
සිව් බඹ විහරණ පිළිසිදි තුන්සිත සෙත් කවියෙකී
මව් පදවිය ලැබුවෙමි තවමත් එය මට සිහිනෙකී !


No comments:

Post a Comment

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.