Thursday, October 1, 2015

10. කවුදෝ ..


සීත රෑක පාට පාට තරු එළි ඉඟි බිඟි කරයි
ආදරේට මෙන් ගහකොළ ඒ දෙස බලමින් නටයි
කාමරේට එබුනෙමි එහි සද්ද බද්ද නැති හැඩයි
රෝස පාට නෙට් එක යට අර අර කවුදෝ නිදයි

දුටුවා අමුතුම පැහැයක් මුතු ඇටයක් දෝ සිතේ
දැනුනා ඉමිහිරි සුවඳක් මල් සුවඳත් දෝ ගතේ
බැලුවා අල්ලා පොඩියක් මල් පෙත්තක් දෝ නැතේ
ඉනුවා සෙනෙහස මුහුදක් කා වෙනුවෙන් දෝ හිතේ

අරගෙන හරි පරිස්සමට අතේ තියා ගන්නට
සියුමැළි වත දෙස දිගටම ඔහේ බලා ඉන්නට
ගතවෙන මොහොතක් ගානේ හදේ හොවා ගන්නට
බැරි වෙයි සිත මිහිරි හැඟුම් කොලේ ලියා ගන්නට

සංසාරෙන් සංසාරෙට මගේ වෙලා පැමිණිය
අත මිට මොලවා සෙනෙහස මට ගෙනාව මිහිරිය
සැනසුම දෙනයනට දෙන්නෙ ඉතින් නුඹම පමණය
පණ නල මගෙ නුඹයි සදා මගේ පුංචි දුවණිය!


No comments:

Post a Comment

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.